Thursday, September 27, 2012

පිල්ලේයාන්ට ජනාධිපති උපදේශක තනතුරකට නුසුදුසු ඇයි?

ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ට ජනාධිපති උපදේශක තනතුරක් දීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සරදමට හේතුවක් වී ඇත. ආණ්ඩු විරෝධීහු සහ රාජ්‍ය විරෝධීහු එලිපිට එය විවේචනය කළහ. කාටුන් ඇන්දෝය. ආණ්ඩු පාක්ෂිකයෝ ද ඊට හූ මිටි තබමින් එම විවේචන අනුමත කළහ. ඒ අර්ථයෙන් ගත් කල රටේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස ඔහු එම තනතුරට නුසුදුසු බවය. ඇත්ත. මේ වන විට ජනාධිපති උපදේශක තනතුර දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට භාවිත කරන වෛශ්‍යයාවක් බව රට ම දන්නා රහසකි. පැරදී තනතුරු අහිමි වූ දේශපාලඥයින්ට, විවිධ අසාධාරණයන්ට ලක්වූ පාක්ෂිකයින්ට, තමන්ට උදව් කළ හිතවතුන්ට කෘතගුණ සලකන්නේ ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමෙනි. ඒ තනතුර සමඟ නිවසක් ද වාහනයක් ද රු. 50 000ක පමණ දීමනාවක් ද ලැබෙන බව අසා ඇත්තෙමි. පිටකොටුවේ කීර තම්පලා විකුණන ආත්තම්මා දවල්ට කුස ගිනි නිවා ගන්නා පාන් කෑල්ලේ සිට ගසන බදු මුදලින් මෙලෙස පිරිසක් නඩත්තු කිරීම අලුත් දෙයක් නොවේ. එම පිරිසට අලුතින් එක් වන අයට ප්‍රබල විරෝධතාවක් මතු වූ අවස්ථාවක් ද අප දැක නැත.



එසේ නම් හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි නැඟෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කළ අවස්ථාවේ එය අමුතු සරදමක් වූයේ කෙසේ ද? ඊට හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. ශිවනේෂතුරෛයි කොටි සංවිධානයට ළමා සොල්දාදුවෙකු ලෙස එක් වූ අයෙකි. එහි අරුත ඔහුට නිසි ලෙස සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ නොහැකි වු බවය. එහෙයින් ඔහු නැඟෙනහිර හිටපු මහ ඇමති වුව ද නූගතෙකු බව බොහෝ පක්ෂ විපක්ෂ පිරිස්වල අදහසයි. ඉගනීම යනු පාසැල් ගොස් සාක්ෂරතාව ලැබීම, විවිධ සහතික ලැබීම සහ විශ්වවිද්‍යාලවලට පැමිණ උපාධි ලැබීම යැයි සිතන මේ දූපතේ මිනිසුන්ගෙන් ඉන් එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ මත ගොඩ නඟන රාජ්‍ය විරෝධීන් ද ආණ්ඩු  වීරෝධීන් ද ඊට එරෙහි වන්නේ ශිවනේෂතුරෛයි ත්‍රස්තවාදය ප්‍රතික්‍ෂේප කරමින් රජයට සම්බන්ධ වූ පුද්ගලයෙකු වීම නිසාය. කොටි වෙනුවෙන් තවමත් කඳුළු සලන මොවුන් කරුණා අම්මාන් කෙරෙහි දක්වන්නේ ද මේ ප්‍රතිචාරයයි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින මොවුන් කරුණා, ශිවනේෂතුරෛයි දෙපළ දකින්නේ සටන පාව දුන් ද්‍රෝහීන් ලෙසය. අනෙක් අතට පක්ෂ විපක්ෂ බිම් මට්ටමේ සාමාජිකයෝ තමන් දෙමළ ජනතාවට වඩා ශ්‍රේෂ්ඨ යැයි විශ්වාස කරති. ඉතින් දෙමළෙකුට ජනාධිපති උපදේශකකමක් දීම ඔවුන්ට කරන ලද අවනම්බුවකි. අවශ්‍ය වෙලාවට ජාතිවාදය සිය බලය වෙනුවෙන් භාවිත කරන විවිධ පක්ෂවල එහෙයියන් බවට පත්ව ඇති නූගතුන්ගෙන් ද ඊට එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය.

මිනිසෙකු තමන් ලබා ඇති සහතික උපාධිවලින් උගතෙකු වන්නේ නැත. සාක්ෂරතාව ලබා පොතපත කියවා දැනුම ලැබීම යනු ඉගනීමට ඇති එකම ක්‍රමය නොව එක් ක්‍රමයක් පමණි. අපේ රටේ අධ්‍යාපනය ලබා දෙන්නේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ලිපිකරුවන් බෝ කිරීමටය. විවිධ විෂය මාලා කටපාඩම් කර ඒවා උත්තර පත්තරවල වැමෑරීම වෙනුවෙන් සහතික ලබා දී අගතුන් බව සහතික කළ උගතුන්ට වඩා මේ පරිසරයේ ජීවත්වීමෙන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් ඒ ඔස්සේ පන්නරය ලැබූ ජීවිත තක්සලාවෙන් උගත් මිනිසා පාසැල් නොගිය ද අර පෙර කී උගතාට වඩා උගතෙකියි මම සිතමි. ඔහු උගතෙක් වන අතර සිය දැනුම පිළිබඳ අවබෝධයෙන් සිටින හෙයින් ප්‍රාඥයෙක් ද වෙයි. එහෙත් පොතේ උගතා හැමදාම උගතෙක් පමණි. ඔහුට සිය විෂය පිළිබඳ දැනුම මිස ලෝකය පිළිබඳ අවබෝධයක් නැත. එහෙයින් සාක්ෂරතාව හෝ ලැබූ සහතික උගත්කම මැනීමෙහිලා ඉතා අසාර්ථක මිනුම් දඬු වේ. යමෙක් ජයග්‍රහණයේ දී නොව පරාජයේ හමුවේ හැසිරෙන ආකාරයෙන් ඔහුගේ උගත්කමත් බුද්ධිමත්කමත් මැනිය හැකි වෙතැයි මම සිතමි.

මේ දූපතේ මැතිවරණයකින් පැරදුනු කිසිදු දේශපාලන පක්ෂයක් සිය පරාජය පිළිගන්නේ නැත. ඡන්ද ප්‍රතිඵල පැමිණි විගස පවසන්නේ මේ මැතිවරණය අන්ත දූෂිත බවය. මැතිවරණ කොල්ලයක් බවය. කොම්පියුටර් ජිල්මාට් බවය. ජනතාව සමඟ පාරට බහින බවය. තම මනාප සොරා ගෙන ඇති හෙයින් නැවත ඒවා ගණන් කළ යුතු බවය. නැවත මැතිවරණය පැවැත්විය යුතු බවය. තමන්ට ජනතා මනාපය අඩු වුව ද මැරෙන තුරු තමන් මහ ඇමති විය යුතු බවය. වෙන මහ ඇමතියෙකු යටතේ තමන්ට එහි මන්ත්‍රීවරයෙකු ලෙස වාඩි විය නොහැකි බවය. ඒ අනුව ජයග්‍රහණය මෙන් ම තනතුරු ද මේ රටේ දේශපාලකයෝ සිය පරවේණියක් බව සිතති.

එහෙත් ශිවනේෂතුරෛයි සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථමයා මෙන් ම බොහෝ දෙනා විශ්වාස කළ පරිදි ඔහු ඊළඟ මහ ඇමති අපේක්ෂකයා ද වුව ද මහ ඇමති තනතුර ඉල්ලුවේ නැත. ඇමති තනතුරු ද ප්‍රතික්ෂේප කළේ ය. තමන් පාලක පක්ෂයට සහාය දෙන බව ද පසුපසින් සිට නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන බව ද කීවේය. තමන් ජනාධිපති උපදෙශක තනතුරට පෞද්ගලිකව කැමති නැති බව ද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා එය බාර ගත් බව ද කීවේය. සිය මහ ඇමති ධූරය අහිමි වීම පිළිබඳ දුක නැද්දැයි විමසූ විට ඔහු කීවේ තමන් මහජන මතයට ගරු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්ය. මැතිවරණයේ සිය ප්‍රතිවාදීන් වූ මුස්ලිම් කොංග්‍රසය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව කීවේය. එසේ බලන කල ලංකාවේ සිටින බොහෝ උගත් යැයි තමන් සිතා සිටින දේශපාලකයින් සේ ම විවිධ පක්ෂවල අනුගාමිකයින් ද ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ගෙන් ටියුෂන් ගතයුතුය.

TNA සංවිධානය දෙමළ ජනතාවගේ හදවත්වල නැවත ජාතිවාදය අවුලමින් ඊළම සඳහා යාමේ අවසාන අවස්ථාව මෙය බව පවසමින් නැඟෙනහිර ජනතාව මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රතික්ෂේප කරන බව ද ස්වයං නිර්ණය අයිතිය සඳහා සටන් කරන බව ද සිය ඡන්දවලින් ලෝකයට පෙන්වන්න යැයි කියා සිටියේය. TNA සංවිධානය නැඟෙනහිර දෙමළ ජාතිවාදය වපුරමින් ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය ද ඔහුගේ විවේචනයට ලක් විය. ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස වසර කිහිපයක් තුළ මෙවන් පරිණත හැසිරීමක් ප්‍රකට කළ ශිවනේෂතුරෛයි ජනාධිපති උපදේශක වැනි විකට තනතුරකට නොව රටේ වගකිව යුතු ඇමති තනතුරකට පත් කළ යුතු බව මගේ අදහසයි. ඒ ඔස්සේ අපේ සහෝදර දෙමළ ජනතාවට සහ ලෝකයට ප්‍රබල පණිවිඩයක් ලබා දිය හැකිය.    

3 comments:

CHINTHAKA TIKIRIBANDARA said...

නාමල් උඩවත්ත්ගේ මේ රුවන් වැකියේ අර්ධයකට මා එකඟ වේ. ඒ උගත්කම යනු විධිමත් ආයතනගත අධ්‍යාපනය ඔස්සේ ලබාගත නොහැකි දෙයක් ය යන කාරණාව සම්බන්දයෙනි. ඒ කෙසේ වෙතත් පිල්ලෙයාන් යනු අමු හරකෙක් බැව් ඔහුගේ වර්තමාන ක්ර්‍යාකරිත්වයෙන්ම පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ඔහු පසුගිය පළාත්සභා මැතිවරණයේදී හැසිරුණු ආකාරය මොහු තව දුරටත් පරණ ත්‍රස්ත කාඩරයාම බැව් ඔප්පු කොට පෙන්නුවේය, පර්සි මහත්තයාගේ උපදේශක වූයේ එවැනි එකෙකි.

නාමල් උඩලමත්ත said...

ඔබ කතා කරන්නේ ඔහුගේ අතීතය ගැන මිස වර්තමානය ගැන නොවන බව මගේ අදහසයි. මා මෙහි දී ප්‍රකාශ කළේ මැතිවරණයට පසු හැසිරීම පිළිබඳවය. අපේ නාම ගිය දේශපාලකයින් සහ ඔහු එහිදී ප්‍රකට කළ වෙනයි මා වැදගත් කොට සලකන්නේ. එවැනි හැසිරීමක් අප බලාපොරොත්තු වන්නේ පරිණත දේශපාලඥයෙකුගෙන් පමණයි.

ඔව්, ඔහු තවමත් කාඩරයා යැයි සිතමු. ඔබ කියන පරිදි පූර්ව මැතිවරණ සමයේ ඔහු මැරයෙකු ලෙස හැසිරුනේ යැයි සිතමු. ඒ කාලයේ සෙසු උගත් දේශපාලකයින් හැසිරුනේ ඊට වෙනස් ලෙස ද? ඔවුන් වැදගත් විදිහට ඡන්ද කළ අය ද? ඡන්දසයට පසු සෙසු අයගේ හැසිරීමෙ සහ පිල්ලේයාන්ගේ හැසිරීම අතර වෙනස වැදගත් කොට සැලකිය යුතු නොවේද?

Nimal (Desertfrog) said...

මේ සමස්ත ලියවිල්ලටම එකඟ වෙමි.

මේ වටිනා අදහස් ටික, ජාතිවාදයෙන් හා කුහකකමින් හිස්ගෙඩිය පුරවාගත්තු තමන් මහා උගතුන් යයි කියාගන්නා අමන රැල මැනවින් කියවා අවබෝධ කරගත යුතුයයි මම සිතමි.

මා වැඩියෙන්ම අගය කරන ජේදය....

//මිනිසෙකු තමන් ලබා ඇති සහතික උපාධිවලින් උගතෙකු වන්නේ නැත. සාක්ෂරතාව ලබා පොතපත කියවා දැනුම ලැබීම යනු ඉගනීමට ඇති එකම ක්‍රමය නොව එක් ක්‍රමයක් පමණි. අපේ රටේ අධ්‍යාපනය ලබා දෙන්නේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ලිපිකරුවන් බෝ කිරීමටය. විවිධ විෂය මාලා කටපාඩම් කර ඒවා උත්තර පත්තරවල වැමෑරීම වෙනුවෙන් සහතික ලබා දී අගතුන් බව සහතික කළ උගතුන්ට වඩා මේ පරිසරයේ ජීවත්වීමෙන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් ඒ ඔස්සේ පන්නරය ලැබූ ජීවිත තක්සලාවෙන් උගත් මිනිසා පාසැල් නොගිය ද අර පෙර කී උගතාට වඩා උගතෙකියි මම සිතමි. ඔහු උගතෙක් වන අතර සිය දැනුම පිළිබඳ අවබෝධයෙන් සිටින හෙයින් ප්‍රාඥයෙක් ද වෙයි. එහෙත් පොතේ උගතා හැමදාම උගතෙක් පමණි. ඔහුට සිය විෂය පිළිබඳ දැනුම මිස ලෝකය පිළිබඳ අවබෝධයක් නැත. එහෙයින් සාක්ෂරතාව හෝ ලැබූ සහතික උගත්කම මැනීමෙහිලා ඉතා අසාර්ථක මිනුම් දඬු වේ. යමෙක් ජයග්‍රහණයේ දී නොව පරාජයේ හමුවේ හැසිරෙන ආකාරයෙන් ඔහුගේ උගත්කමත් බුද්ධිමත්කමත් මැනිය හැකි වෙතැයි මම සිතමි. //

 
සිය රට දේ සිරි සැප දේ !