Monday, September 24, 2012

වඳින්නම් සර් කනක් ඇහිලා යන්න දෙන්න . . .

අපේ රටේ බහුතරයක් ජනතාව පෞද්ගලික වාහනයක් භාවිත කිරීමට තරම් ආර්ථික මට්ටමකට නොමැත. ඇතැමුන්ට වාහන ගතහැකි වුව ද ඉන්ධන වියදම දරාගත නොහැකිය. එහෙයින් බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා එනම් බස් දුම්රිය භාවිත කරති. මේ සේවා භාවිත කරන අයට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න අත්දැකීම් බොහෝය. ඒ අතරින් එකක් නම් නිදහසේ කන්දොස්කිරියාවක් නොමැතිව ගමනාන්තයට යාමට ඇති නොහැකියාවයි. ඒ ලංකාවේ සියලු ම පෞද්ගලික බස්වල අති දැවැන්ත ස්පීකර් පද්ධති නිසාය. බස්වලට බෆල් නොව බෆල්වලට බස් සවි කර ඇතැයි කිව යුතු තරම් දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර ඒවාට සවි කර තිබේ.

මේ දූපතේ සංගීතය යනු ගීතයයි. ඉන් එහා සංගීතයක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වුව දන්නේ නැත. ගුත්තිලය සැළලිහිණිය ලියූ පරපුරෙන් පැවත එන මහ සඟරුවන ද දන්නා සංගීතය ගීතයයි. ඉතින් අවම අධ්‍යාපන මට්ටමක් සහිත බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ රසඥතාව පිළිබඳ කවර කතා ද? ඔවුහු සිය රස වින්දනයට ගැලපෙන ගීත මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාසනය කරන්නේ බස් රියේ සිටින අයට පමණක් නොව පාරේ ගමන් කරන අයට ද මඟ දෙපස ගම්වල සිටින අයට ද ඇසෙන පරිදිය. බස්වල යන බොහෝ මගීන් මුහුණ දෙන අතිශය අප්‍රසන්න අත්දැකීමකි මෙය.

මේ රටේ සිටින බස් රථ සේවකයින් ප්‍රබුද්ධ රසිකයින් කිරීමට යාමට අපට අවශ්‍ය නැත. ඔවුන්ට වඩා හොඳ නිර්මාණ අසන්නැයි කීමට ද අපට අවශ්‍ය නැත. එසේ කිවහොත් එය ඔවුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම කැයි මේ සුජාත ප්‍රජාතන්ත්‍රවාදී රටේ කිසිවෙකු කීමට ද ඉඩ තිබේ. එය ඔවුන්ගේ පෞද්ගලික අයිතිය කැයි පිළිගැනීමට අප සුදානම්ය. ඔවුන්ගේ නිදහසට බාධා කිරීමට ද අපට අවශ්‍ය නැත. එහෙත් ඔවුන්ගේ නිදහස අනෙකාගේ නිදහසට බාධා කිරීමට තරම් අසීමාන්තික එකක් විය යුතු නැත. එය වරක් එක්තරා දේශපාලන චින්තකයෙකු කී පරිදි ඔබේ කුඩ කරකැවීමේ අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙළවර වේ.

එහෙයින් අප ඉල්ලා සිටන්නේ වහාම සියලු ම පොදු ප්‍රවාහන සේවාවල සීඩී, කැසට් වාදන යන්ත්‍ර භාවිතය තහනම් කළ යුතු බවය. මගීන් වන අපට හිරිහැරයක් හෙයින් එය තමනම් කරන්නැයි ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. අද බස් මගීන් සියලු දෙනා සතුව ජංගම දුරකතන තිබේ. ඒවායේ අවශ්‍ය නම් ගීත ඇසීමේ පහසුකම් තිබේ. එහෙයින් ගීත ඇසීමට කැමති අයට ඒවා භාවිත කිරීමේ හැකියාව තිබේ. රියදුරු මහතාට කොන්දොස්තර මහතාට ද අවශ්‍ය නම් එම ක්‍රමය භාවිත කළ හැකිය. එසේ කිරීම තුළින් සියලු දෙනාට ලැබෙන්නේ සහනයකි. එහෙයින් සියලු පොදු ප්‍රවාහන සේවාවලින් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීම අතවශ්‍ය වෙයි. නියමිත ගාස්තුව ගෙවා ඉතා ම අප්‍රසන්න අත්දැකීම් විඳිමින් යනෙන මගීන්ට දෙතිස් වධ දිය යුතු නොවේ. එහෙයින් මේ පිළිබඳ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බලධාරීන්ගේ ද එම බස් රථ සංගමයේ සභාපතිතුමා වන ගැමුණු විජේරත්න මහතාගේ ද අවධානය වහා යොමු වේවායි පතමු.

3 comments:

අරවින්ද චන්ද්‍රපද්ම said...
This comment has been removed by the author.
අරවින්ද චන්ද්‍රපද්ම said...


මේ ප්‍රශ්නේ මටත් තිබේ. පෞද්ගලික විනෝදාස්වාද උපකරණ බෙහෙවින් ප්‍රචලිත අද කාලයේ තමන්ට කැමති සිංදුවක් හෝ ඕනෑම එකක් තමන්ට රිසි සේ තමාට පමණක් ඇසීමට උපක්‍රම ඇත. ඒසේ තිබියදී බස් රථයේ රියදුරාට ඇසීමට අවශ්‍ය දේ බසයේ යන සියලු දෙනාටම ඉවසාගෙන සිටීමට සිදු වීම බස්රථවල ගමන එපා කරවන්නකි.

මේකට මම කරන පිළියම් දෙකක් තියනවා.
පළවෙනි එක කොන්දොස්තරට හොඳින් කතා කර ස්පීකරයේ හඬ අඩු කරන්නැයි ඉල්ලීම. බොහෝ විට මෙම ඉල්ලීම ඒ අවස්ථාවේ ඉටු උනත් විනාඩි 10ක් 20ක් යනවිට නැවත තිබුණාටත් වඩා සද්දෙට ස්පීකරය වැඩ කරයි. දුර ගමන් යන්නේ ඉදලා හිටලා නිසා සහ දුරගමන් බස්වල මේ ප්‍රශ්නේ එච්චරම නැති නිසා ස්පීකරේ සද්දේ ආයෙම වැඩි වෙනකොට බහින තැනට ළඟයි
බස් රථවල පිටුපස දොර ආසන්නයේ ගමන් මළු රාක්කයේ ඇති ස්පීකරයට බොහෝ විට සමබන්ධ කර ඇති වයරය පිටතට විවෘතවයි තියෙන්නේ. ස්පීකරයේ හඬ වැඩි නම් හෝ ඒ සිංදුව අහන්න මට අවශ්‍ය නැත්නම් මම කරන්නේ කොන්දොස්තර ඉස්සරහා ඉන්න වෙලාවක අර වයර් එක ඇදලා ගලවලා දානවා. යාළුවෙක් එක්ක ගමන යනවා නම් අවුලක් අදින්න ආවොත් කතා කරන්න උනත් පුලුවත්. මේක මම කරන්නේ දුර ගමන් බස්වලයි. රියැදුරාට මේක කවදාවත් තේරෙන්නේ නෑ. කොන්දොස්තරටත් පිටිපස්සේ ස්පීකරරේ වැඩ නෑ කියලා මීටර් වෙන්නේ කලාතුරකින්. අනිත දුර බස්වල කොන්දා එච්චර බස් එකේ ඇවිදින්නේ නෑ නේ.

දැන් කියන්නම් මේකේ නීතිමය තත්ත්වය. නීතිරීති සම්බන්ධයෙන් තියන කණගාටුදායක කරුණ තමයි සියලු නීති රීති බලපැවැත්වෙන්නේ සහ යන්තම් හෝ ක්‍රියාත්මක වෙන්නේ අන්තර් පළාත් දුරගමන් සේවා බස්රථවල පමණක් වීමයි. අනෙකුත් කෙටි ගමන් සහ පළාත් ඇතුළත වන බස් සේවා පාලනය වන්නේ පළාත් සභාවල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වලින්. පලාත් සභාවලට කිසිම බලයක් නෑ මේවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. පුලුවන් උනත් කරන්නේ නෑ. ලංකාවේ පළාත් සභා ක්‍රමය ගැන ඉතිං කතාකරලා වැඩක් නෑනේ. අන්තර් පලාත් දුරගමන් සේවා බස් රථ පාලනය වන්නේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන්. මෙහි දැනට වසර කීපයකට ඉහත සභාපතිව සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහව හා ගමනාගමන අධ්‍යයන අංශයේ ආචාර්ය අමල්. එස් කුමාරගේ මහතා මේ කාරණය ගැන නීති පැනවීමේ අවශ්‍යතාව වරක් රජයට නිර්දේශ කළා. ඒ සම්බන්ධ සාකච්ඡාවේ දී රජයේ පාර්ශ්වයෙන් කිව්වේ සුනාමිය අවස්ථාවේ බස් වල සිටි මිනිස්සු ඒ ගැන දැන ගත්තේ බස්එකේ රේඩියෝ එකෙන්. ඒ නිසා රේඩියෝ බස්වල තහනම් කිරීමට රජය විරුද්ධ වුණා. අන්තිමට කැසට් සහ සීඩී වාදනය පමණක් තහනම් කළා. ඒ වගේම උපරිම ශබ්ද මට්ටම ගැන නීතියකුත් පැනවූවා. එත් මේ නීතිවත් හරියට ක්‍රියාත්මක කරවන්න ඊටපසු කවුරුත් උත්සාහ කළේ නෑ. දේශපාලන බලපෑම් වැඩි වීම නිසා අචාර්ය කුමාරගේ ඉල්ලා අස් වුණා. පගා කාරයෝ සභාපතිලා වුණා. දැනට ඉන්න ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන කියන්නේ සාමාන්‍යපෙළවත් නැති අංක එකේ හොරෙක්.

ඉතිං ඔන්න ඕකයි තත්වේ..................

නාමල් උඩලමත්ත said...

අරවින්ද, ප්‍රතිචාරයට ස්තුතියි. මගේ අත්දැකීම නම් කිසිදු බස් රථයක් ඔය කියන නීති අනුගමනය නොකරන බවයි. බස්වල රේඩියෝ නෙමේ දාන්නේ සීඩී. ඉතාම අවර ගණයේ විකාර. රේඩියෝවල අර ජරා සිංදුවලට අමතරව නිවේදක නංගිලා මල්ලිලා තොදොල් අහගෙන එන්නත් ඕන.

ආණ්ඩුව පැත්තෙන් අර යෝජනාවට විරුද්ධ වෙච්චි නාම්බා තාම ජීවත් වෙන්නේ 1920 විතර වෙන්න ඕන. මොකද ඒ කාලෙට නම් ඔය විරුද්ධ වීම සාධාරණයි. දැන් හැමෝම අතේ මොබයිල්. හුඟක් අය ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්නේ. නිව්ස් ඇලට්වලින් මේ මොහොතේ ඇමරිකාවේ සිද්ධ වෙන දේ පවා ෆෝන් එකට ලැබෙනවා. ඒ නිසා මේ වගේ ගොන් තර්ක නොදා මගී ජනතාවගේ යහපත වෙනුවෙන් මේ පියවර ගතයුතුයි. ඒ සඳහා ජනතාව අතරින් හඬක් ඉස්මතු කිරීම වැදගත්.

 
සිය රට දේ සිරි සැප දේ !