Wednesday, September 12, 2012

මාලකට මල් මිටක් . . .

කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් හා සසඳන විට මාලක සිල්වා මහතා බෝධිසත්වයෙකි. නිදසුනක් ලෙස වෙන ඇමතියෙකුගේ පාදඩ පුතෙකුට මේ රිවෝල්වරය බිම වැටී තිබී හමු වී නම් කුමක් කරනු ඇද්ද? එය මෙලෙස නැවත පොලිසියට භාරදේවි ද? අප වැනි කෙලෙස් සහිත එකෙකුට එය අසු වුණා නම් කාට හරි විකුණා කීයක් හෝ සොයා ගනු මිස මෙලෙස තමාට පෑදුණු වාසනාවට පයින් ගසයිද? එසේ සිතන කල මාලක අපේ කාලයේ සැමට ආදර්ශයක් විය යුතු චරිතයකි. කපිල වස්තු ධාතුන් වහන්සේ වුව තැනින් තැනට වැඩම කරවීමට නාමල්ට වඩා මාලක සුදුසු බව මෙමගින් සනාථ වී තිබේ.

මෙවන් උතුම් පුතුන් හැදූ මව්පියන් රටේත් ජනතාවගේත් නිරන්තර සිහිකිරීමට ලක්වීම වැදගත්ය. මා සිතන පරිදි ඔහුගේ මව්පියන් පමණක් නොව අත්තා, මුත්තා, කිරිකිත්තා දක්වා නෑ පරපුර උදේ සවස සිහිපත් කළ යුතුය. දරුවන් පිළිබඳ සිහින මවන අඹු සැමියන් ද මෙවන් පුතුන් පතා නින්දට යාමම මැනවි. හෙට අනාගතය භාර ගන්නට සිටින කුඩා දරුවන් ද මාලක අයියා ආදර්ශයට ගතයුතුය. උදේ හවස පන්සිල් ගන්නා රටක අදත්තාධානය හෙවත් තමන් සතු නොවන දේ නොගැනීම කෙතරම් අගේ කළ යුතු ක්‍රියාවක් ද? 

වාර්තා වී ඇති අන්දමට එම හෝටලයෙහි රාජකාරී කරමින් සිටි බුද්ධි අංශ නිලධාරීයෙකු හිටි හැටියේ රෝගාතුරුව රෝහල්ගත කර තිබේ. ඊට හේතුව හිමිදිරියේ සීතල දරා ගැනීමට නොහැකි වීමය. මේ දිනවල කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2-3 බැවින් එය සිදුවිය හැක්කකි. අදාළ රිවෝල්වරය සහ ජංගම දුරකථනය ඔහුට අයත් ය. කොටි ත්‍රස්තවාදය පරදා රට එක්සේසත් කළ රණවිරුවෙකුට අයත් එම උපකරණ මෙලෙස නැවත භාරදීම තුළින්ම මාලක සිල්වා මහතා ජාතික වීර සම්මානයක් සඳහා සිය නම නිර්දේශ කර ගැනීමට තරම් වටිනා ක්‍රියාවක් කළ බව මගේ අවංක හැඟීමයි.

කෙසේ වුවද මාලක සිල්වා කළ සද්ක්‍රියාව යටපත් කොට එතුමාටත් එතුමාගේ පියතුමාටත් නින්දා අවලාද නැඟීම සඳහා ද ඔවුන්ගේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා ද හෝටලයේ කැමරා පද්ධතියට ව්‍යාජ වීඩියෝ පටයක් ඇතුළු කර තිබේ. ඉරිසියාකාර කුහකයින්ගේ එවැනි ලනු අපේ ජනාධිපතිතුමා නොකනු ඇති බව කාට නැතත් මට නම් විශ්වාසය. කැලණියේ අපේ හාමුදරුවන් ද මෙවැනි බොරුවලින් රැවටිය නොහැකි බව අපි දනිමු. මාලකගේ සද්ක්‍රියාව අගය කරමින් ඔහුට මල් පිටක් පුදන අතර ඔහුගේ ආදරණීය දෙමාපියන් නැවත වරක් සිහිපත් කරමින් මේ සටහනට මෙලෙස තිත තබමු. 

3 comments:

Tharurasi Fernando said...

මේ වගේ ආදර්ශමත් පුතුන් ඉන්න දේශයක් ලෝකයේම ‍‍යඓශ්චර්යමත් දේශය වීම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් මේ ජාත්ය්න්තර කුමන්ත්රටණ තමයි වැඩේ.

Nimal (Desertfrog) said...

හක්....හක්....හක්ක්ක්ක්....

Unknown said...

මේ රටේ කොච්චර බොරු කතා යනවද? බලන්නකො අර කිරිසප්පයා පොලිස් අතඩංගුවටත් අරගෙන. ගන්න ඕන එකා තාම නිදහසේ. පවු අනේ මාලක බේබි

 
සිය රට දේ සිරි සැප දේ !