Tuesday, October 4, 2011

ලංකාවට සිංහ නාද කරන පොලිසියක් අවශ්‍ය වී තිබේ

මෙරට සිටින නිල පතාල කල්ලිය පොලිසිය යැයි කිසිවෙකුට සාධාරණ චෝදනාවක් එල්ල කළ හැකි තරමට ලංකා පොලිසිය දිනෙන් දින පිරිහෙමින් තිබේ. නීතියට මුවා වී රට පුරා අහිංසකයින් මරා දැමීම මොවුන්ගේ විනෝදාංශය බවට පත්ව ඇතැයි සිතෙන තරම්ය. මුහුදට පැන වැඳ වැටෙන අහිංසකයෙකුට පොලුවලින් පහර දී මරා දැමූ පොලිසිය ඊට පසු අඟුලානේ දී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමුවේය. සුපුරුදු පරිදි දොම්පේ පොලිසියට රැගෙන ගිය තරුණයෙකු දිනකට පසු මල මිනීයක් බවට පත්ව තිබිණි.

මෙසේ මාධ්‍ය ඔස්සේ වාර්තා වන දෑවලට අමතරව පොලිසියේ නේක අඩම්තේට්ටම්වලට වධ බන්ධනවලට ගොදුරු වන මිනිසුන් ප්‍රමාණය අතිමහත්ය. ඒවා තිත්ත කුණුහරුපයෙන් කරන බැණ අඬ ගැසීම්වල සිට අත පය කැඩෙන තුරු කරන දරුණු පහර දීම් දක්වා ගලා යයි. මෙවන් තත්ත්වයක් තුළ පොලිස් නිලධාරියෙකු තමාට දෙනෝදහක් මැද කුණු හරුපයෙන් බැණ වැදීම ජනතාව සලකන්නේ තමන්ට සිදුවන හිංසනයක් ලෙස නොව ගෞරවයක් ලෙසය. මන්ද අතක් පයක් කඩා නොගෙන පොලිස් නිලධාරියාගෙන් මිදීමට හැකිවීම ගැන ඔවුන්ට උදම් ඇනිය හැකිය.

මේ අතර අලි සංගණනයට ගිය නිලධාරීන් දෙදෙනෙකු ග්‍රීස් යකුන් යැයි පල්ලියක සිර කර ගත් මැර කල්ලියක් අභියස වැඳ වැටෙන ඉහළ පොලිස් නිලධාරියෙකු මාධ්‍ය ඔස්සේ රටට ම දක්නට ලැබිණි. ඔහු අර මැර රංචුව ඉදිරියට විත් තමා මරා දමන්නැයි ද අහිංසක නිලධාරීන් දෙදෙනා නිදහස් කරන්නැයි ද ඉල්ලා සිටියේ ය. මේ පොලිස් නිලධාරියා මෙසේ වැඳ වැටුණේ, ආයාචනා කළේ රටේ නීතිය අතට ගෙන ක්‍රියා කළ මැර රංචුවක් ඉදිරියේ ය.

ඊට පසු දිනක කොල්ලුපිටියේ පවත්වා ගෙන නීති විරෝධි පන්සල් කඩයක් වෙත පැමිණි මහා සංඝ රත්නය හමුවේ එහි පැමිණි උසස් පොලිස් නිලධාරියෙකු හැසිරුණු ආකාරයෙන් සාමාන්‍ය ජනතාව සමග මොවුන් ගනුදෙනු කරන ආකාරය කෙතරම් බිහිසුණු විය හැකි දැයි අවබෝධ කර ගත හැකිය. මේ කඩය පිළිබඳ කිහිප වරක් සිය විරෝධය පළ කළ ද ඊට එරෙහිව කිසි පියවරක් නොගත් පොලිසිය, එහි පැමිණි මහා සංඝ රත්නය හමුවේ හැසිරුණේ මේ පන්සල් කඩය පවත්වා ගෙන ගියේ අර පොලිස් නිලධාරියාගේ නැන්දාම්මා යැයි ඒ දුටු අයට සිතෙන තරම් පහත් ලෙස ය.

නීතිය කාටත් එකය. නීතිය අතට ගැනීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි යැයි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙත් නීතිය කාටත් එක නම් පෙර කී නිලධාරීන් මැර රංචුවක් අබියස වැඳ වැටී නිරායුධ මහ සඟ රුවන ඉදිරියේ කුලප්පු වී උඩ පැනීම අප අවබෝධ කරගන්නේ කෙසේද?

මහ සඟ රුවන ඉදිරියේ සිංහ වේශයෙන් පෙනී සිටි මේ පොලිස් නිලධාරියා එකී පන්සල් කඩය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වූ දේශපාලන හස්තය හෝ මොනයම් බලවේගයක් හෝ ඉදිරියේ මෙසේ හැසිරුණි නම් නොවෙද, ඔහු නියම සිංහයෙක් වන්නේ? මෙසේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බලවේග නිහඬ කිරීමෙන් සිදුවන්නේ රටේ තව තවත් අපරාධ බහුල වීම නොවෙද? ආගම්වලට මුවා වී මිනිසුන් ගසා කමින් ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට උඩගෙඩි දීම නොවේද? මිනිසුන් පැහැර ගත් මැර රංචුවකට වැඳ වැටීමෙන් පොලිසිය ලබා දෙන ආදර්ශය කුමක්ද?

මේ සිදුවීම් දකින විට එස්. මහින්ද හිමියන්ගේ කවක් මා සිතට නැඟුණේ නිතැතින්මය.

උස් තැන් දැක හැකි‍ළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

දේශපාලන බලය, මැර බලය, තක්කඩිකම්, පගාව, අල්ලස ඉදිරියේ දෙකට තුනට කුදු වන්නෝ එවන් බලයක් නැති දුබලයින් දුටු කළ සිංහ ගර්ජනා කරන්නට තතනති. එහෙත් ඒ තප්පුලෑමක් පමණි. උඩු බිරීමක් පමණි. නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවා ද නිකට පානවා යැයි ගැමියන් කීවේ මේ වැනි අවස්ථාවලය. එය සිංහ ගර්ජනාවක් වන්නේ අසාධාරණය, අයුක්තිය, අවනීතිය ඉදිරියේ නැගීමෙනි. සැබෑ වීරයින් නම් කළ යුත්තේ එයයි.

එමෙන්ම සිය රාජකාරිය දේවකාරිය මෙන් සලකන, අවිනීතිය අයුක්තිය, අසාධාරණය හමුවේ දණ නොනමන, විනය ගරුක පොලිස් නිලධාරීන්ට අපි අපේ ගෞරවය පුද කිරීමට ද නොපැකිළෙමු. එහෙත් දැන් දැන් එවන් උතුමන් කළුනික මෙන් දුර්ලභ බව ද ලියා තබමු. රටට අවශ්‍ය එවන් සිංහ නාද කරන පොලිසියක් මිස උඩු බුරන තප්පුලන පොලිසියක් නොවේ.

කරුණු මෙසේ හෙයින් පොලිසියේ සිටින බල්ලන් රංචුව බැඳ දමන ලෙස ද හමුදා නිලධාරීන් මෙන් විනය ගරුක පොලිස් නිලධාරියෙක් තැනීමට කටයුතු කරන මෙන් ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමු. රටේ පතාළය විනාශ කිරීම පැත්තකින් තබා පොලිස් පතාළය විනාශ කොට දිනාගත් නිදහස භුක්ති විඳීමට රටේ සාමාන්‍ය ජනතාවට අවස්ථාව උදා කර දෙන මෙන් අපි එතුමාගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමු. එසේ නැතහොත් මේ රටේ නීති සාමය ආරක්ෂා කිරීම බරපතළ අර්බූදයකට යනු ඇත්තේ පොලිසියේ මෙවන් වැරදි දඩමීමා කරගෙන කසිප්පුකාරයින් ගංගා වවන්නන් ස්ත්‍රී දූෂකයින් ජනතාව පොළඹවා ගෙන පොලිසිවලට කඩාපාත්වීම නිසාය. එවිට බටහිර මාධ්‍ය එය වාර්තාකරනු ඇත්තේ ලංකාවේ සිවිල් ජනතාව මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පොලිසිවලට පහරදී සිවිල් නීති කඩකිරීම අරඹයි යනුවෙනි.

4 comments:

නිලන්‍ත said...
This comment has been removed by the author.
නිලන්‍ත said...

නිරතුරුවම දෙකේ කොලේට දාන මහා ජාතිය වන සිංහලයන් වෙනුවෙන් හඬක් නගන නාමල් උඩමත්තල සහෝදරයාණෙනි ඔබට මෙවන් සත්කාර්යයන් තවත් කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා. ඔබට තෙරුවන් සරණයි!!!

දේශපාලුවා said...

නාමල් ආයෙත් ලියන්න පටන් ගත්තට ස්තූතියි, මට නම් ආයේ කවදා ලියන්න ලැබෙයිද දන්නේ නැහැ, දැන් මම අළුත් රස්සාවක, දරුමල්ලෝ ලැබිලා, ජීවිතේ කිසිම නිදහසක් නැහැ, එත් දරුවන්ගේ කෙලි කවට දැක්කම විඩාව නිකන්ම නැතිවෙලා යනවා. ආයෙත් ඉතින්, විශ්‍රාම ගත්ත දවසක තමයි. උඹ ලියන්න පටන් ගත්ත එක ලොකු දෙයක්, අපි එනවා කියවන්න , සංවාදයට, දිගටම කරන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.

නාමල් උඩලමත්ත said...

නිලන්තට සහ දේශපාලුවාට,

ඔබ දෙදෙනාගේම ප්‍රතිචාරවලට පිං. මටත් පහුගිය ටිකේ ම අනේක කරදර බාධක තිබුණා. ඒත් ඒ හැම දෙයක් ම ශක්තියක් කරගෙන මම ආයෙමත් සාමාන්‍ය ජීවිතයට ළංවෙලා ඉන්නේ. අටලෝ දහමින් කම්පා නොවෙන්න කියලා බුදු හාමුදරුවෝ අපට උගන්වලානේ තියෙන්නේ.

මම දැන් ආයෙමත් ලියනවා. මොකද අපි උපන් රටට ණය නොවී මැරෙන්න ඕන නිසා. රට වෙනුවෙන් කළ හැකි සුලු දෙයක් හෝ කළ යුතු නිසා. අපි අත්විඳපු ඛේදවාචක අපෙන් පස්සේ පරපුරට මුණ නොගැස්විය යුතු නිසා.

මම ලියන්නේ සිංහලයින් වෙනුවෙන්. හැබැයි උප්පැන්නේ සිංහලයින් වෙනුවෙන් නෙමේ. මේ රටට ආදරය කරන එහි පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින මිනිහාගේ උප්පැන්නේ මොනවා තිබුණත් මිනිහා සිංහලයෙක්. උප්පැන්නේ සිංහල කියලා තිබුණාට කරන්නේ රටට හතුරුකම් නම් ඌ සිංහලයෙක් නෙමේ. ඌ ද්‍රෝහියෙක්.

 
සිය රට දේ සිරි සැප දේ !