Sunday, September 5, 2010

ව්‍යවස්ථාවෙන් සීමා පැනවිය යුත්තේ දිනන්නාට ද? පරදින්නාට ද?

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව මරේ මරු එකකි. ජනාධිපතිවරණයක දී දිනන අපෙක්ෂකයාට, එනම් ජනතා කැමැත්ත ලබන්නාට සීමා පනවා තිබේ. එනම් ඔහු කෙතරම් හොඳින් රට පාලනය කළත් ජනතා ආශීර්වාදය තිබුණත් දෙවරක දී ගෙදර යා යුතුම ය. ‍3 වන වර ඔහුට ජන වරමක් ඉල්ලිය නොහැකි ය.ජනතා කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව උඩු බුරන්නන් අපට කියා දෙන්නේ නැත.

එහෙත් ජනාධිපතිවරණයක දී පරදින්නාට සිය වරක් වුව යළි ඉල්ලිය හැකි ය. ඔහුට නීතියෙන් කිසිම බාධාවක් නැත. සැබවින් ම කළ යුතු වන්නේ ජනාධිපතිවරණයක දී 2 වරක් පරදින්නකුට යළි ඊට ඉදිරිපත් විය නොහැකි යැයි නීති පැනවීම ය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය හැක්කේ වරකි. සරසවියට පිවිසීමට අපට උස්ස පෙළ සඳහා පෙනී සිටිය හැක්කේ 3 වරකි. පරිපාලන සේවා විභාගයට පෙනී සිටිය හැක්කේ 2 වරකි. එහෙත් සමස්ත රට පාලනය කරන ප්‍රධාන තනතුරට වරක් දෙවරක් නොව සිය වරක් ඡන්දය ඉල්ලා පැරදුන ද නැවත ඡන්දය ඉල්ලිය හැකි ය. මේ වූ කලී ජනතා පරමාධිපත්‍ය අන්තිම බිංදුවට හෑල්ලු කිරීමකි. අදාළ තනතුරු ද හාස්‍යයට ලක් කිරීමකි. රටේ උසස් පරිපාලන තනතුරුවලට යාමට ඇති විභාගවලට සීමා පනවා ජනාධිපතිවීමට කිසිදු සීමාවක් නොපැනවීම කවර නම් විහිළුවක් ද?

අද එජාපය නැති භංගස්ථාන වී විනාශ වී ඇත්තේ මේ නිසා නොවෙද? රටේ විශාලතම දේශපාලන පක්ෂය වූ එජාපය අද කොරෙහේ නෑවිය හැකි තත්වයට ඇද වැටී තිබේ. එහි සදාතනික නායක රනිල් වික්‍රමසිංහ උතුමාට පක්ෂ නායකයා ලෙස මැරෙන තුරු ජනපති ධූරයට තරග කළ හැකි ය.

සැබවින් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කිරීමට අවංක උවමනාවක් ඇති අය කළ යුත්තේ දිනන අපේක්ෂකයාට පනවා ඇති සීමා ඉවත් කිරීමට කටයුතු කිරීම පමණක් නො ව පරදින්නාට යම් සීමාවක් පැනවීම ය. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කළ හැක්කේ එසේ ය.

5 comments:

රංචාගොඩ මුදියන්සේ said...

මණ්ඩුක භවනේ ජීවතවන ඔබ සිතා සිටින්නේ ඔය සීමාව පනවා තිබෙන්නේ ලංකාවේ විතරයි කියානේද? ඔබ මහින්ද රජතුමාටම ගැලපෙන ගෝලයෙකි. මණ්ඩුක මහතාණෙනි කරුණාකර භවනෙන් ඉවතට පැමිණ ලෝකය බලන්න.

ඔය ව්‍යවස්ථා සීමාව පණවා ඇත්තේ ජේ ආර් ගේ ව්‍යවස්තාවේ විතරක් නොවේ. ජේ ආර් ඕක කොපි කරේ ඇමරිකන් හා ප්‍රංශ ව්‍යවස්ථාවලිනි.

දැන දැන බොරු කරන්නා කපටියෙකි. නුඹ දැන දැන බොරුකරනවා යයි කියන්නට මට සිත්වෙන්නේ නැත. නුඹ ප්‍රදර්ශණය කරන්නේ නුඹගේ නොදැනුවත් කමයි.

නාමල් උඩලමත්ත said...

Kandula (කණ්ඩුල),
උතුමාණෙනි, ඔබේ මහාර්ඝ බුද්ධියෙන් බිඳක පහස ලබන්නට මෙහි යන එනවුන්ට අවස්ථාව දීම ගැන පිං. අපගේ නොදැනුවත්කම ගැන දසමා උවමැනවි.

මේ ඇමරිකාව හෝ ප්‍රංශය නොවන බවත් අඩු තරමින් ඒ දෙරටේ කොලනියක් නොවන බවත් මම දනිමි. ඒ රටවල් සිය සංවර්ධන ඉලක්ක සපුරා ගත් අපේ දේශපාල සමාජ පසුබීමට වෙනස් රටවල් බව ද දනිමි. අප විමසා බැලිය යුත්තේ ආසියාවේ අපට පසු පසින් සිට සංවර්ධන ඉලක්ක කරා ගිය මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල්වල පාලන ක්‍රම බව ද දනිමි.

ලංකාවේ තිබෙන්නේ ඔය කී රටවල මිනිසුන් ඡන්දය දී පත් කළ ආණ්ඩුවක් නොවන බවත් දනිමි. ඒ ජනතාව ලංකාව, ඇමරිකන් ගැති යැංකි පැංකිලාට නොදී මහින්දට භාර දුන්නේ මෙරට සම්ප්‍රදාය අනුව රට පාලනය කිරීමට බවත් දනිමි. 78ට පෙර රාජ්‍ය නායකයාගේ වාර ගණන සීමා කර නොතිබූ බවත් දනිමි. අද රටට අවශ්‍ය තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ ලිබරල්වාදය හෝ මොන කෙහෙල්මල් වාදයක් හෝ ස්ථාපිත කිරීම නොව රට සංවර්ධනය කිරීම බවත් දනිමි.

මා දන්නේ මෙවන් දේ බැවින් අප ගැන අනුකම්පා කර අප දන්නා දෙයක් ගැන කතා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

විහඟ ගීතය said...
This comment has been removed by the author.
විහඟ ගීතය said...

බලව් දෙනත් හැර හැත්තෑ හතේ පවේ
බොලව් ලා නේද අත් දෙකම ඉස්සුවේ
ඉලව්වක් නොවේ ඒ නුඹලාගේ පවේ
හිලව්වට අතක් උස්සමු පවක් නොවේ

මෙන්න ව්‍යවස්ථාව ගැන විහඟ ගීතය
http://wihagageethaya.blogspot.com/2010/09/blog-post_06.html

නාමල් උඩලමත්ත said...

පුටුව ඇතත් හරි නිරිඳෙක් නොසිටි නිසා
ඔටුණු ඇතත් පලඳින තැන නොමැති නිසා
නිකන් අයාලේ ගිය රට නපුරු දසා
කෙළවර කරමු හද පරගැති ගතිය නසා

 
සිය රට දේ සිරි සැප දේ !