Thursday, August 5, 2010

ජාතියේ ආඩම්බරකාර බාප්පලාගේ කතාව

ජනපති මහින්ද රාජපක්ෂ වරක් තමා හඳුන්වා ගත්තේ පරපුරක සාඩම්බර පියා ලෙස ය. තිස් වසරක් ‍ඇදී ගිය යුද්ධය කෙළවර කොට රටේ ප්‍රගතිය උදෙසා අඩුපාඩු යටතේ වුව යම් වැඩපිළිවෙළක් ඔහු ක්‍රියාවට නඟන හෙයින් ඒ හැඳින්වීම ගැන අපට උරණ වන්නට කාරණයක් නැත. එහෙත් ඔහුගේ නිශ්ශංක මල්ල ප්‍රතිපත්තිය නම් මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බැව් කිව මනා ය. ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානියක් මිස වන සෙතක් මට නො පෙනෙයි. ඔහු වටා සිටින කේවට්ට උපදේශකයින් මේවාට වගකිව යුතු යැයි අපි සිතමු. එහෙයින් ඔහු මේ අයියලාගෙන් පරිස්සම් විය යුතු ය.

ජනපති ජාතියේ ආඩම්බරකාර තාත්තා කැබිනට් මණ්ඩලයේ සිටින අය අප හඳුන්වන්නේ කෙසේ ද? ඒ අය ජාතියේ ආඩම්බරකාර බාප්පලා ය. මේ බාප්පලා අතරින් දෙදෙනෙකු මෑත දී රත්නපුරයට ගොස් අපූරු කතාවක් කියා තිබුණි.

ඔවුන් රත්නපුරයට ගොස් තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධිත පුහුණු පාසැලක් විවෘත කිරීමට කියා ය; මගේ මතකයේ ඇත් තේ. එහිදී කතා කළ මේ බාප්පලා පවසා තිබුණේ දැන් රත්නපුරේ මැණික් හිඟ හෙයින් කාන්තාවන් වැඩිපුර පිට රට යැවිය යුතු බව ය. පැහැදිළි ව කිව හොත් අපේ අම්මලා, සහෝදරියන්, බිරින්දෑවරු මැදපෙර දිග වළං හෝදන්නට තව තවත් යැවිය යුතු ය.

රත්නපුරේ මැණික් හිඟ වීමෙන් ඇති වන ආර්ථික බලපෑමෙන් ආරක්ෂා වීමට මේ ජාතියේ බාප්පලා යෝජනා කරන්නේ රටේ ගැහැණු ටික පිට රට යැවීම ය. කාන්තාවන් රට යැවීම නිසා මේ රට දැන් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙයි. ඒ ප්‍රශ්න මේ බාප්පලාට නො තේරෙයි. බාප්පලාගේ බිරින්දෑවරු ගෙදර වැඩ වසති. ඒ බොහෝ දෙනාගේ නම් ඇමති කාර්ය මණ්ඩල පඩි ලැයිස්තුවේ තිබේ. ‍

රටේ ගැහැණු ලවා අනුන්ගේ වළං හෝදවා, ඒ ලැබෙන විදේශ විනිමයෙන් ජීවත් වීමට සිතීම මහා නිවට කමකි. අපට වඩා දුප්පත් බංගලිදේශය වැනි රටවල ගැහැණු පවා පිට රට ගෘහ සේවිකාවන් ලෙස නො යවයි. එහෙයින් රටේ අභිමාණයට කැළලක් වන මේ නිහීන ක්‍රියාව නතර කිරීමට රජයට බල කරන මහා ජන මතයක් ඇති කළ යුතු ය. පුහුණු ශ්‍රමිකයින් ලෙස පිරිමි විදේශ රැකියාවලට යාමේ කිසිදු ගැටළුවක් නැත. විවාහ වීමට පෙර ගැහැණු වුව ඒ සඳහා ගියාට එතරම් වරදක් නැත. විවාහ වී දරුවන් ලැබූ පසු මව ඒ දරුවන් සමග ජීවත් විය යුතු ය. මන්ද ඒ කුඩාවුන් රටේ අනාගතයයි.

නුපුහුණු ශ්‍රමිකයින් ලෙස කාන්තාවන් උපයන සොච්චමින් ඇමති වරප්‍රසාද විඳිමින් කුමාර ජීවිත ගත කරන මේ ආඩම්බරකාර බාප්පලා සමග රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි ද යන ගැටළුව ද දැන් දැන් අප තුළ මතු ව එයි.

2 comments:

විහඟ ගීතය said...

තාත්තා උනත් රටකට මඟ කියන
බාප්පලාගේ වැඩ කටයුතු අමන
කේප්පයන් විත් දරුවන් ගස් බඳින
සූත්තරේ ළඟ රජුගෙත් ඇස් වැහෙන

සෙස්සන් හට හිනාවට ඉඩ නොතබන්න
වස්සන් හිටපු කො‍ටුවලටම දක්කන්න
පස්සෙන් වැඳ වැටෙන පුස්සන් අඹවන්න
පිස්සන් එලවන්න ආඩම්බරවෙන්න

නාමල් උඩලමත්ත said...

වැල යන අතට මැසි ඇත බැලු හැම පැත්තේ
වටේ පුස්සෝය එතුමගේ හිත ගත්තේ
රටට නම් බරකි මේ ගොන් රැළ සත්තේ
නම් පට බඳයි නුඹටත් මහදැන මුත්තේ

 
සිය රට දේ සිරි සැප දේ !