Saturday, May 29, 2010

දළඳා පෙරහැර නවතව්!

විනයෙන් තොර දැනුම භයානකය. එතැන බුද්ධිය ද නැති වූ කල අතිභයානකය. මිනිසා අතට පත් දැනුම සිය බුද්ධිය නමැති කෝවෙහිලා උණුකර, විනය නම් පෙරහන් කඩින් පෙරාගත යුතුය. එකලය ඒ දැනුම සමාජයට හිතකර වන්නේ. විනයක් නැති අනුවණයින් ලබන දැනුම සෑම කල්හිම විනාශකාරී වන්නේ පෙරකී ක්‍රියාවලිය සිදු නොවන හෙයිනි. ඒ දැනුම වඳුරාට දැළි පිහිය අහුවීමට නොදෙවෙනිය.

උක්ත කාරණාව මැනවින් පැහැදිලි වන්නේ;ඇතැම් බ්ලොග් අඩවි බලන විටය. මොවුන්ට අනුව දුටුගැමුණු රජු කළේ ආගමික යුද්ධයකි. මහායානික අභයගිරිය විනාශ කිරීම ආගමික සංහාරයකි. ඒ නයින් සෙසු ආගමිකයින් තම ආගම ව්‍යාප්ත කිරීමට කරන ලද සියලු ආක්‍රමණ, සංහාර බෞද්ධයින් ද කර තිබේ. ළමුන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝයකි. සිය මානසික විකෘතිවලට ගැළපෙන මතවාද නොදරන්නන් අන්තවාදීන් යැයි හංවඩු ගසන මොවුන්ට තමන් සිටින අගාධය නොපෙනේ. තමන් කරපින්නා ගෙන සිටින අන්තවාදය නොපෙනේ. තම දැනුම් දරිද්‍රතාව කිසි කලෙක නොපෙනේ.

බටහිරින් ගලා එන ඕනෑම කසිකබල් මතවාදයක් කරගසා ගෙන අප නම් ප්‍රබුද්ධයින් වම්හයි පාරම් බෑම පමණි; මේ කූප මණ්ඩුකයින්ට කළ හැක්කේ. මොවුන්ට සිය ස්වාමිවරුන් උගන්වා ඇත්තේ 'තම මතවාද දරන්නා මිනිසෙකි; අනෙකා ත්‍රස්තවාදියෙකි' කියාය. ඉතින් බටහිර මානව අයිතීන්, ළමා අයිතීන් දිවි හිමියෙන් 100% ආරක්ෂා කළ යුතුය. නැත්නම් අපි අසමත්ය. ආක්‍රමණයකට එරෙහිව සටන් වැදීම ද අපරාධයකි. එය ආගමික සංහාරයකි.

ඉදිරියේදී මොවුන් සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ජාතික කොඩියෙන් සහ සඳකඩ පහනින් සිංහයා ඉවත් කළ යුතුයැයි කියනු ඇත. අලි ඇතුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දළඳ පෙරහැර නවතන්නැයි කියනු ඇත. ඉන් නොනැවතී කාන්තා අයිතිවාසිකම් සුරැකීමට ළමා ප්‍රජනන කාර්යය තමන් වෙත පවරන්නැයි කීවත් අප පුදුම විය යුතු නැත.

තායිලන්තයේ මෙන් සියලු බෞද්ධයින් කලක් සිවුරේ සිටීමේ සම්ප්‍රදායක් මෙරට නොතිබීම මෙවන් අසංස්කෘතික මිනිසුන් බිහිවීමෙහිලා කළ බලපෑම සුළුපටු නැත. ඉතිහාසය, සාහිත්‍යය උදුරාගත් මුල් සිඳුණු පරපුරකින් මීට වඩා යමක් ලැබීය හැකිද කියා වරෙක සිතෙයි.

6 comments:

පුලස්ති said...

හායි නාමල් ඔයා නම නොකිය මටත් කිංඩිය දාල නේද?සන්තෝසයි සන්තෝසයි.

//ඉතින් බටහිර මානව අයිතීන්, ළමා අයිතීන් දිවි හිමියෙන් 100% ආරක්ෂා කළ යුතුය.//
මාර කේස් එක කියන්නෙ මානව අයිතින් ලමා අයිතින් බටහිර ඒව කියල අදනෙ මම දන්නෙ.ඒව එතකොට අපේ රටට අදාල නැද්ද අයියෙ?කතාකිරීමේ නිදහස හෘදසාක්ෂියේ නිදහස එතකොට ලමයින්ට හොද අධ්‍යාපනයකට තියෙන අයිතිය ඕවටනෙ මානව අයිතින් ලමා අයිතින් කියන්නෙ.ඒව බටහිරට කැප වෙන්නත් අපිට අකැප වෙන්නත් හේතුව මොකක්ද?අනික ඒව 100 % ආරක්ෂා කල නොයුතුයිද?ඒව කඩකලාට කමක් නැහැ කියලද කියන්නෙ?

//මහායානික අභයගිරිය විනාශ කිරීම ආගමික සංහාරයකි//
වෛතුල්‍යවාදින් මරල දාපු එක එයාලව පිටුවහල් කරපු එකට ආගමික සංහාරය කියල කියන්න එපා නම් ඒකට කියන නම මොකක්ද?යෝජනා කරන්නකො එකක්.ඕක අනිත් පැත්තටත් නොවුන නෙමේ.මහා විහාරය සමතලා කරල උදු වපුරන්නත් ගේමක් දුන්නනෙ.මේව ප්‍රචන්ඩ ක්‍රියා නෙමෙයි නම් සුන්දර ක්‍රියාද?

//තායිලන්තයේ මෙන් සියලු බෞද්ධයින් කලක් සිවුරේ සිටීමේ සම්ප්‍රදායක් මෙරට නොතිබීම මෙවන් අසංස්කෘතික මිනිසුන් බිහිවීමෙහිලා කළ බලපෑම සුළුපටු නැත//
සිවුරෙ හිටියම මිනිස්සු සංස්කෘතික වෙනවද?මාරයි නේ?ඔය සිවුරෙ ඉන්න සමහරු ( හැමෝම නෙනෙම් ) අනවින කොඩිවින මන්තර සාත්තර ගුරුකම් කියල මිනිස්සු ගසාකන්නේ සංස්කෘතික වුන හින්ද වෙන්න ඇති නේද?ඔයා නං ආසද දන්නෙ නැහැ.මට නම් කිසි ආසාවක් නැහැ මහන වෙලා ඉන්න.තායිලන්තෙ එහෙම කොරනවද දන්නෙ නැහැ.එහෙම පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට මහන වෙන්න කියල බල කරන නීති අරගෙන ආවොත් ඒක නම් මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් තමයි.බය වෙන්න දෙයක් නැහැ හැබැයි.රජතුමා ඒ වගේ දෙයක් දැන් කොරන්න යන්නෙ නැහැ.මොකොද ඔයාල මානව අයිතින් එපා කියල දැන් බිරුවට රජතුමා පාත් එක වෙනස් කරල.ඒකනෙ ස්වෛරිභාවය නැත්නම් මරනය කියපු කෙනා ජීඑස්පී හිගාකන්නේ ලෝකේ වටේ

නාමල් උඩලමත්ත said...

තමා වන්දනාමාන කරන මානව අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් හුදෙක් බටහිර යටත්විජිතවාදය නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට ඒ ජඩ ආක්‍රමණ සාධාරනීකරණය කිරීමට භාවිත කරන ඇස් බැන්දුම් විතරයි කියලා අවබෝධ වෙන්නයි මිනිහෙකුට බුද්ධියක් ඕන වෙන්නේ. මේ මානව අයිතීන් බලවත්තු කුමටද යොදා ගන්නේ කියලා දකින්නත් බුද්ධියක් අවශ්‍යයයි. ඔය කියන අයිතීන් ඉරාක වැසියන්ට,ඇෆ්ගන් වැසියන්ට දරුවන්ට නැත්තේ ඇයි? අපේ රටවල ඔය මානව අයිතීන් හොයන නඩුකාර හාමුදුරුවරු අර රටවල් විනාශ කරන්නේ ඇයි? පලස්තීන වැසියන්ගේ ඔය අයිතිවාසිකම් තූ තූ කරන තුරු අයිතිවාසිකම් පොල්ම:කාරයින් බලා ඉන්නේ ඇයි? මේවා පරිධියේ රටවල් තම සපත්තුව යට තබා ගැනීමට, ඒ රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න, ඒකට සුජාතභාවයක් ලබාදෙන්න යටත්විජිත හාම්පුත්තු අටව ගනිපු ඊනියා අයිතීන් කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් යමෙකුට නැතිවීම අවාසනාවක් තමා. ඒත් ඒකට අනුකම්පා කරනු විනා කුම් කරම්? ඒ බුද්ධිය නැත්නම් අර න්‍යායේ එල්ලිලා දිව්‍ය ලෝකේ යනවා. එතන විනයක් නැති වුණාම දිව්‍ය ලෝකේ යන ගමන් අනිත් අයටත් ගරහනවා, තමන් වගේ ශිෂ්ට වෙන්න කියලා.

අප්‍රිකාවේ ඈත වනන්තරවල ඇතැම් ගෝත්‍රිකයින් ගස් ගල් වඳිනවා,සෙසු ගෝත්‍රවල මිනිසුන් මරා කනවා, ගුවන් යානා යෝධ කුරුල්ලන් කියලා අදහනවා.මේ අය ගැන හිතලා ලොකේ මිනිස්සු ම්ලේච්ඡයි කියලා කවුද කියන්නේ? බුදු සසුනේ විතරක් නෙමේ උප්පැන්නයේ බෞද්ධ කියලා තියෙන අයත් ඉන්නවා තාම ගෝත්‍රික යුගයේ ඉන්න. සමහරු බෞද්ධයින් නෙමේ ජෛනයින් කීවොත් නිවැරදියි. සුද්දෝ යද්දි පැටව් ගහලා ගිය අයත් ඉන්නවා. මේ වගේ පිරිහුණු අය ඉන්න සමාජයක නොපිරිහුනු භික්ෂුවක් හොයන්නේ යකඩ පිච්චුණු ගෙයි පුළුං හොයන අමනයෙක් විතරයි. බුදුන් දවස දෙව්දත් හිටියා. චිංචිමානවිකාව හිටියා. අජාසත් හිටියා. අදත් ඔය ඔක්කොම ඉන්නවා.

අභයගිරිය ගොඩනැගුණේ කොහොමද? මහා විහාරයට මොකද වුණේ? එතෙක් මෙරට පැවති සම්ප්‍රදාය කුමක්ද? කියන අවබෝධය නැති කෙනෙක් අතට අභයගිරිය විනාශ කිරීම කියන දැනුම ආවම මතක් වෙනවා ආගමික ආක්‍රමණය. අමතක වෙනවා බෞද්ධයින් තම ආගම පතුරුවන්න ලෝකේ වටේ දඩයමේ ගියේ නෑ කියලා.ඔවුන් සටන් කළේ තමන් වෙත ආක්‍රමණයක් ආවා නම් විතරයි කියලා අමතක වෙනවා. ආක්‍රමණිකයා මෙරටට ආවේ බයිබලයයි තුවක්කුවයි දෑතට ගෙන කියලා අමතක වෙනවා. යම් දැනුමක් විනිවිද දකින්න මේ අයට බැහැ. ඒකට අවශ්‍ය විනය බුද්ධිය ගෑවිලාවත් නෑ.

විනයක් බුද්ධියක් නැති තැන දැනුම හුදු සීතාම්බර පටක් විතරයි. ඒ සීතාම්බර සළුවට අබුද්ධිකත්වයේ නිරුවත වහන්න බෑ. හැබැයි ලෝකෙට හෙළුවෙන් කියලා පෙනුණට තමන් ඇදුම් ඇදගෙන ඉන්නේ කියලා මේ අයට අහිංසක ස්වයං තෘප්තියක් ලබන්න තහනමක් නෑ. මේ සීතාම්බර සළුකාරයින්ට එකිනෙකා වර්ණනා කරගැනීමටත් තහනමක් නෑ.

Unknown said...

සමහර "පොරවල්" කියලා හිතා ගෙන ඉන්න උන් දන්නේ සින්හල කම හා බෞද්ධ කමට අපහාස කරන්න විතරයි. ඒ වගේ කට්ටියත් මෙ ලෝකේ ඉන්න ඔනෙ. නැත්නම් ගතියක් නෑ.

ඇටමැස්සා said...

නාමල්,
01. බුද්ධාගමේ ඉස්සරහට දාගෙන කරන වැරදි පෙන්වා දීමෙන් බුද්ධාගමට වෙන හානිය මොකක්ද?
02. හැම තිස්සෙම 'ඈයි අතන වැරදි ඒවා පෙනෙන්නෙ නැද්ද?'කියන තර්කෙන් බුද්ධාගමට වෙන සෙත මොකක්ද?
03. පණිවිඩය හරියට අහගන්න කලින් පණිවිඩකරුට පහරදෙන සම්ප්‍රදායත් විනයක් නැති වැඩක් කියල හිතෙන්නෙ නැතිද?

පෞද්ගලිකව මටත් 100%ක් එකඟවෙන්න බැරි දේවල් මේ කථාබස්තුල තියෙනවා. හැබැයි එහෙමයි කියල මේ කතාබහ අන්ත දෙකක ඉඳන් කෙරෙනව නම් ඒකෙයි බේබද්දො දෙන්නෙක් කුණුහරුපෙන් බැනගන්න එකෙයි වෙනසක් මට පෙනෙන්නෙ නෑ.

Unknown said...

"ළමුන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝයකි."
ඇත්තටම ඔව්.

දෙමව්පියන් ගේ කැමැත්ත තිබූ පමණින් වයස අවුරුදු 16 (18 දෝ මතක නැහැ) ට අඩු දරුවෙක් විවාහ කරන්නට නීතියෙන් තහනම් නේද?

මහණ වෙනවා කියන්නේ විවාහ වෙනවාටත් වගේම බරපතල කාරණයක්.
සිවුරු අැරීම, දික්කසාද වෙනවාටත් වඩා සමාජයෙන් කොන්වෙන්නට හේතුවන කාරණයක්.

ටිකක් නිදහසේ කල්පනා කරලා බලන්න...
පොඩි ළමයින් විවාහ නොකරන්නට හේතුව ම, ඔවුන් මහණ නොකරන්නට ද අදාල වෙනවා නේද?

නාමල් උඩලමත්ත said...

Akila said...
මම සිංහල බෞද්ධ. හැබැයි කාටවත් අපි අපහාස කරන්නේ නෑ. හැම ආගමක් ම අදහන්න ඒ ඒ ආගමිකයින්ට ඇති අයිතියට අපි ගරු කරනවා. හැබැයි බෞද්ධ වේශධාරී නිගණ්ඨයෝ කියන දේවල් අහගෙන කර බා ගෙන ඉන්න අපට බෑ. ඒක සිංහලකමටවත් බෞද්ධකමටවත් උචිත නෑ.
. said...
බුද්ධාගම පෙරට දාගෙන වැරදි කළේ අද විතරක් නෙමේ. ඒක දෙව්දත්ලා, මාගන්දීලා, සුන්දරී පරිබ්‍රාජිකාව එදා කළා. අදත් ඒ පරපුරෙන් පැවත එන අය එහෙම කරනවා. සමහර බ්ලොග් ලියන අය අදහන්නේ බුදු හාමුදුරුවෝ නෙමේ දෙව්දත්. එදා දෙව්දත් බුදුන්ගෙන් වර 5ක් ඉල්ලුවා. භික්ෂුව ආරණ්‍ය මුලික විය යුතුය වගේ බැලු බැල්මට බුදු දහමේ චිරස්ථිතියට හේතු වන වගේ දේවල්. බුදු හාමුදුරුවෝ ඒ සියල්ල ඉවත දැම්මා. අද දෙව්දත් පුතාලා කියන දේවලුත් එහෙම තමා අහක දානවා.
ලෝකයේ මුලින්ම බුදු දහම තමා තර්කය ඉවත දැම්මේ. වෙන තැනක වැරදි වුණා කියන අදහසින් කිසි වරදක් නිදොස් කියන්න අපට බෑ. ඒත් නැති වැරදි ඇති කරලා පෙන්වනවාට අපි විරුද්ධයි. ඕනෑම අයිතිවාසිකමක් කෙළවරටට ගිහින් බැලුවම ඒක අන්තවාදයක්. ඒකයි ඔබේ හැරමිටිය වැනීමේ අයිතිය අනෙකාගේ නහය අසළින් කෙළවර වේ කීවේ. බුද්ධාගම වසර 2500 මේ රටේ ආරක්ෂා වුණේ ඔය මුල් නැති ඕතපාතිකයෝ නෙමේ. කහ නූල බැදන් හරි ඒක ආරක්ෂා කළේ භික්ෂුව. බුදුදහම විවිධ පිරිහුණු කාලවල ධර්ම සංගායනා තියලා ආරක්ෂා කළෙත් භික්ෂුව.
ඔයාට පණිවිඩේ තේරුම් නොගියාට මටත් එහෙමයි කියලා හිතන එකයි වැරදි. මට ඔය පනිවිඩේ හොඳට අහලා පුරුදුයි. පණිවිඩකාරයොත් හුරුයි. අපි දන්නවා ගොනා හැරෙනකොට...හැබැයි මම දන්නවා මේ වගේ අක්මුල් නැති අයට අර කතා සුභාරංචි බව.
Akshi said...
ළමයි මහණ කිරීම ළමා අයිතිවාසිකම් කඩවීමක් නෙමේ. ලෝකයේ ශ්‍රේෂ්ඨතම මානව හිතවාදියා බුදු හාමුදුරුවෝ. ළමයි මහණ කිරීම ළමා අයිතීන් කැඩීමක් නම් බුදු හාමුදුරුවෝ තමා මුලින්ම ළමා අයිතීන් උල්ලංඝනය කළේ රාහුල, සෝපාක මහණ කරන්න අනුබල දීලා. එහෙම කියන බෞද්ධයා කවුද? හැබැයි විවිධ අන්තවාදී කල්ලි කියනවා 'බුදු හාමුදරුවෝ රාහුල කුඩා කාලේම දාලා ගියා. එයා පොඩි ළමයින්ට ආදරේ නෑ. අපේ දෙයියෝ ළමයින්ට ආදරේ. එයා ඔයාලට චොක්ලඒ ටොෆි දෙනවා' කියලා. මෙන්න මේ වගේ තුප්පහි ගුබ්බෑයම්වලින් තමා ඔය ළමා අයිතිය ගැන අපට බණ කියන්නේ.
කෙනෙක් සිවුරු ඇරියා කියලා කොන් කරන කෙනා බෞද්ධද? මම දන්න සිවුරු ඇරපු අය හැමෝම බොහොම හොඳ රස්සා කරන සාර්ථක ජීවිත ගෙවන අය. ඒ අය හොඳට ඉගෙන ගෙන සමාජයට රටට වැඩදායක විදිහට ජීවත් වෙනවා. මේ රටේ සිවුරු ඇරලා සමහරු රජවුණා. සමහරු රට වෙන වෙනුවෙන් යුද්ධ කරන්න දස මහා යෝධයෝ විදිහට වැඩ කළා.
හැබැයි බුදු බණ වෙනුවට සුදු බණ අහන බෞද්ධ බෞද්ධ වේශධාරීන්ට නම් මේක මානව අයිතීන් උල්ලංඝනයක් වෙන්න ඇති. මොකද මේ අය අදහන්නේ බුදු හාමුදුරුවෝ නෙමේ සුදු හාමුදුරුවෝ නිසා. බුදු මග නෙමේ සුදු මග තමා හරි මග කියලා හිතන අයට ඒක හරි ඇති.

 
සිය රට දේ සිරි සැප දේ !