Friday, May 28, 2010

තරු සහ මෙරු

මේ රටේ රූපවාහිනී ජාලය සිය ප්‍රමුඛ මාධ්‍ය වගකීම ලෙස සලකන්නේ ගායක තරු තේරීමය.මේ සංදර්ශන ගොන්න දකින පිටරැටියෙකුට ඉතිහාසය පුරා ලංකාවේ කිසිදු ගායකයෙක් බිහිව නැතැයි ද එහෙයින් මෙසේ වහා වහා ගායකයින් තෝරනු ඇතැයි ද සිතෙනු ඇත. මේ තරු තේරීම ඇරඹී දැන් වසර කිහිපයක් ගතව ගොස්ය. රුපියල් මිලියන ගණනින් වපුරමින්, රටක් කළඹමින් තේරු එකදු sms තරුවක් නව පරපුරේ කසුන් කල්හාර අසලටවත් ළං වේද? අද ආපසු හැරී බලන අප හමුවේ නැගෙන ප්‍රශ්නය, මේ තරගවලින් අපට එකදු ප්‍රතිභාසම්පන්න ගායකයෙක්, සංගීතවේදියෙක් බිහි කරගත හැකි වීද යන්න නොව, එසේ කළ නොහැකි වූයේ ඇයිද යන්නය.

මූලිකව මේ මාධ්‍ය ආයතන සඳහා අවැසි වූයේ සංගීත ක්ෂේත්‍රයට ඵලදායි නිෂ්පාදයක් බිහි කරනට නොව තම වෙළඳ අභිලාෂ ඉටුකර ගැනීමටය.එහෙයින් ඒ තරුවල සංගීත හැකියාව, ප්‍රතිභාව, පසුබිම හැර සෙසු සියල්ල විනිශ්චය කෙරිණි.යෞවනෝන්මාදයට අවැසි සරාගී රූපසපුව, පේක්ෂක අනුකම්පාව දිනාගත හැකි දුප්පත්කම,වෛද්‍ය වැනි රටේ සම්භාවනාවට ලක්වන විෂය හැදෑරීම ආදිය එහිලා ප්‍රමුඛ විය.මේ ඔස්සේ පේක්ෂක මනස සන්තර්පණය කරමින්, sms,වෙළඳ දැන්වීම් හරහා එම ආයතන මිලියන සිය ගණනින් ආදායම් ලැබීය.

ඇඟ ලොමු ඩැහැ ගන්වන මේ ත්‍රාසජනක ක්‍රීඩාව අවසන තරුවක් තෝරා උපයාගත් මුදලින් සොච්චමක් තෑගී කෙරිණි. මේ බොහෝ තරු දුප්පත්ය. ඉතින් අනේක හේතු නිසා සිහින ජයගත නුහූ පිරිස් තම සිහින දිනූහයි මේ සිහිනයේ වැද ස්වයං තෘප්තියක් ලබති.ඒ සිහිනයේ පරමායුෂ කෙළවර වන කල තව අලුත් සිහිනයක් ඔබේ ආලින්දයට එළඹෙනු ඇත.

මේ මාධ්‍ය ආයතනවලට සැබෑවටම රටේ සංගීත ක්ෂේත්‍රයට යමක් කිරීමේ අවංක අභිලාෂයක් ඇත්නම් කළ යුතු වැඩ කොතෙක්ද? නැති බැරි අය ඇති හැකි කරන ජනසවිය, සමෘද්ධිය පන්නයේ මේ මුදල්, නිවෙස්, වාහන වෙනුවට සැබෑ දක්ෂයෙක් තෝරා දෙස් විදෙස් සංගීත සම්ප්‍රදායන් උගැන්මට, දෙස් විදෙස් අධ්‍යාපනය ලබනට අවැසි සියලු පහසුකම් දිනිනම් කෙතරම් අගේද? එහෙත් මුදලාලිලාට ලාභ මිස අනෙකක් කුමටද? එහෙයින් ඔබට තව කලක් වහා පියාපත් ලැබ අහසට ඉගිළ ඊට වැඩි වේගයෙන් බිමට වැටෙන මෙරු දකිනට වාසනාව ලැබෙනු ඇත.

2 comments:

Unknown said...

SMS ගායන තරු තේරීම සිරස, ශක්ති, දෙරණ, ජාතික රූපවාහිනිය වගේ නාලිකා වලට සුළු මුදළක් ආයෝජනය කර විශාල ප්‍රතිලාභයක් ගන්නට හැකි මගක්.

ඒකනේ සුචරිතකම ගැන බණ දෙසමින් හිටි ජාතික රූපවාහිනියත් Sri Lankan Star කලේ.

නාලිකා වලටත් වරදක් කියන්න බැහැ. ඒගොල්ලන්ගේ අරමුණ කීයක් හරි හම්බු කරගන්න එක මිසක්, රට හැදීම නොවේ නේ. අපට රුගුම් පාලක මණ්ඩලයක්,සංස්කෘතික අමාත්‍යාංශයක් එහෙම තිබෙනවානේ... සිගරුට් අරක්කු බොන කොට කොටු දාන මොලෙන්, මහගෙදරට හින්දි චිත්‍රපටි වලට බදු ගහණ මොලෙන් මේවා ගැනත් සුදුස්සක් කොරන්නටයි ඇත්තේ.

නාමල් උඩලමත්ත said...

ඇත්ත මම ඔයා එක්ක එකඟයි.රජය පැත්තෙන් කළ යුතු දේ බොහෝ තියෙනවා. ඒත් ඒක හරියට නොකෙරෙන විට ඒ දෙස අවදියෙන් බලා සිටින අපට කළ හැකි දේ කුමක්ද? අපි යමක් කරලා ඒ හරහා රජය වෙත බලපෑමක් කරන්න උත්සාහ කළොත්? අපි රජයට හැම දේම භාරදීලා ඉන්න අවශ්‍ය නෑ මං හිතන්නේ? මේ වගේ දේ ගැන ජනතාව අතර සුසංවාදයක් ගොඩ නඟන්න ඇහැක් නම් ඒක නොදැක්ක වගේ ඉන්න රජයකට පුළුවන්කමක් නෑ.මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ?

 
සිය රට දේ සිරි සැප දේ !