Tuesday, May 25, 2010

ආගම යනු කිම?

ඉස්ලාම් ආගමට අපහාස වන දෑ පළ කළේය යන හේතුව පදනම් කරගෙන පකිස්ථානය ෆේස්බුක්, යූටියුබ් සහ විකිපීඩියා වෙබ් අඩවි තහනම් කර තිබේ. මේ ආගමික අන්තවාදය යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. යමෙකුගේ විශ්වාසයකට නිග්‍රහ කර අනියමින් තම විශ්වාසයන් හුවා දැක්වීම අන්තවාදයක් නොවේදැයි තවෙකෙකුට තර්ක කළ හැකිය. කෙසේ වුවද මේ ගැටුමෙන් පිළිඹිබු වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය සහ ඉස්ලාම් සංස්කෘතිය අතර මතුව ඇති සීතල යුද්ධයයි. මේ සංස්කෘතීන් දෙකම ඉතාම ආක්‍රමණකාරී බව කිව යුතු නැත. ඔවුනොවුන් අතර ලෝක සංස්කෘතික ආධිපත්‍ය සඳහා බල අරගලයක් වෙයි. තවමත් ලෝක සංස්කෘතික ආධිපත්‍ය උසුලන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තමාට තර්ජනයක් වන ඕනෑම බලවේගයකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පසුබට නොවන බව මෑත ඉතිහාසය සනාථ කරයි.

ආගම වෙනුවෙන් යුද ප්‍රකාශ කිරීම, සිය දහස් ගණන් මිනිසුන් මරාදැමීම සහ නොයෙක් අශික්ශිත ක්‍රමවේද ඔස්සේ සිය ආගම අනුන් මත පැටවීම ඉතිහාසය පුරා සිදු වූ දෑය. මෙසේ සිය ආගම සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට අද ද ඔවුනොවුන් ඇනකොටා ගන්නා අතර වෙනස ඇත්තේ ක්‍රමවේදවල පමණි.

බුදුදහමින් පෝෂණය ලැබු ධර්මාශෝක රජතුමා සිය ශිලා ලේඛනයකින් ප්‍රකාශ කළේ අන් ආගමකට අපහාස කිරීම සිය ආගමට අපහාස කිරීමක්ම බවය. ඉන් තමා සිය ආගමින් මැනවින් හික්මී නැති බව පිළිඹිබු වෙයි. උක්ත ඝට්ඨනවලින් ප්‍රකට වන්නේ එයම නොවේද?

ආගම යනු සත්‍ය නොව සත්‍ය යැයි පිළිගැනීමය. එය වැරදි හෝ නිවැරදි හෝ විය හැකිය. එසේ තමා කැමති ආගමක් ඇදහීමට සැමට අයිතියක් තිබේ. එකී විශ්වාසයක්ට ගරහා ඒවා ඇදහන අය අපහසුවට පත් කිරීම යුක්ති යක්ති නැත. අප කළ යුත්තේඅපේ ආගම නිවැරදිව ඇදහීමයි. එසේ යම් ආගමිකින් ශික්ෂණය වූ අයෙකු කිසි විටක සෙසු ආගම්වලට අපහාස නොකරයි.

සමකාලීන භාරත සමාජයේ විවිධ ආගමික නායකයින්ගේ ආරාමවලට යමින් එමින් ඔවුන්ගේ යහලක්ෂන සිය ශ්‍රාවකයින්ට පෙන්වා දෙමින් ඔවුන් සමග ඉතාම සුහදශීලි සම්බන්ධයක් පැවැත්වූ බුදු හාමුදුරුවෝ මේ ගැටුම් මැදින් බෞද්ධ අප යා යුතු මාවත පෙන්වා දුන් සේක.

2 comments:

ඇටමැස්සා said...

එළ සඳහනක්. අනේ අපේ අනිත් දේශප්‍රේමීන්ටත් මේ ටික තේරෙනවනම්.

නාමල් උඩලමත්ත said...

ඒ කියන්නේ දේශප්‍රේමි නොවන එහෙම නැත්නම් දේශද්‍රෝහීන්ට මේ ටික තේරෙනවා කියලද? මට උවමනා වුණේ තමන්ගේ ආගමට ගරු නොකරන අය හුවා දක්වන්න නෙමේ. ආගම වෙනුවෙන් ඇන කොට ගැනීම පිළිකුල් කරන්න. එතනින් කියන්නේ නෑ අප වෙත යම් ආක්‍රමණකාරීත්වයක් ආවොත් නිහඬව නිවටව ඉන්න ඕන කියලා. අපේ මුතුන් මිත්තෝ එහෙම කළා නම් අද අපේ රටත් මාලදිවයින වගේ ඉන්දියාව වගේ ඉතිහාසයේ එක යුගයක බුදු සමය පැවැති රටක් වෙනවා නියතයි.

 
සිය රට දේ සිරි සැප දේ !