Wednesday, September 24, 2008

හිඟා කා තැනූ මහා සෑය

පෙරමුණේ රාල අවුරුදු කීපයක් තිස්සේ කොළඹ ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්නවා තමා. ඒ වුණාට මම ඉතින් ගමේ බයියෙක් නොවැ. බලු වලිගේ උණ පුරුකේ ලෑවත් ඇද ඇරෙන්නෑ වගේ ගමේ පුරුද්දට තාම සිරි ලංකා ගුවන් විදිලියේ එහෙම නැත්නම් රෙදෙව්වේ උදේ පරවුත්ති අහන එක මගේ පුරුද්ද.

දැන් පරවුත්ති කාලයත් කොම්පැණිවලට විකුණපු බව මම නොකිව්වට ඔහෙලා හොඳටම දන්නවා නෙව. ඉතින් අපේ රටේ බැංකුවකට තමා මේ උදේ පරවුත්ති අයිති. උන්දැලගේ දැන්වීමට හඬ කවන්නේ ළා හඬක් තියෙන නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි. ඒ මෙහෙම.

ගැටයා_ ඔයා දන්නව ද අපේ තාත්තාලා සීයලා ගෙවල් හැදුවේ කොහොම ද කියලා ?

ගැටිස්සි_බැංකු ණය අරන් වෙන්න ඇති.

අපේ තාත්තාට අර ගරාමීය බැංකුවේ පොතක් නම් තිබුණා ආයිබෝවන්ඩ. ඒත් තාත්තා පුළු පුළුවන් විදිහට ඒකට කීය කීය හරි දැම්ම මිසක් ණය ගත්තේ නැහැ. මුත්තා නම් බැංකුවක් දැකලාවත් නැතිව ඇති. දෙයියන්ගේ පිහිටෙන් මුන්දැලා දෙන්නට ම වැටිලා ඉන්න තැනක් හදාගෙන තිබුණා.

හැබැයි ඔය එක එකාට ණය ‍වුණේ නැහැ. කිව්වට විශ්වාස කරන්න අද කාලේ හැම එකාට ම අතපෑම නම්බුවක් වුණාට ආයුබෝවන්ඩ උන්දැලා ඒක සැලකුවේ මහා නවනිංගිරාවක් විදිහට. මට දුක මේ රටේ එවුන් කාටවත් ණය නොවී ජීවත්වෙලා දැන් මේ පොළව යට නිඳා ඉන්න උන්දැලට නින්දා කරන එක ගැන. අම්මපා උන්දැලා හිටියා නම් මුන්ට කියලා දෙයි ගනිපු ණය. මොකටද මගේ කට.

මේ උත්තමයෝ හෙට අනිද්දා රුවන්වැලි සෑය යටට ගොහින් "අපේ දුටුගැමුණු මුත්තා මේක හැදුවේ චෝල දේසේ රජාගෙන් ණය අරගෙන නොවැ" කීවොත් පුදුම වෙන් එපා ආයුබෝවන්ඩ.


5 comments:

Bo said...

ඇත්ත, ණයට දීලා සහනයට දීලා අපේ මිනිස්සුන්ව ණය කාරයෝ කරලා, කොහෙන් හරි නිකම් ලැබෙනකම් බලං ඉන්න පුරුදු කරලා, මේ කතාවනම් සහතික ඇත්ත.පෙරමුණේ රාළ දිගටම ලියන්ට මේ ලියමන. මම නම් නොවරදවාම කියවනවා

Leo Sadeepa said...

කතාව සහතික ඇත්තයි රාලේ ! දැන් අපි මෙච්චර ලංකාවට ණය අරන් දුන්නයි අච්චර අරන් දුන්නයි කියන එක අපේ දේශපාලුවන්ට ආඩම්බරයක් වෙලා ... කාලෙකට කලින් නම් අපි එක එක්කෙනා රුපියල් පනස්දාහක් විතර පිට රටට ණය වෙලා තිබුනා දැන් තත්වේ කොහොමද දන්නේ නැහැ..

නාමල් උඩලමත්ත said...

ඇත්තට ම දරු‍වෝ අපේ ඔය සෙම බරිත බඩ තඩි මැතිතුමන්ලා ලෝකේ වටේ ගොහිල්ලා රටේ අභිමානය උකස් කරලා හිඟා කනවා. අයේ ඇවිත් ගිරිය පුප්පලා පපුව ඉස්සරහට දාලා කියනවා අපිට අච්චර දුන්නා. මෙච්චර දුන්නා කියලා. බොරු මොකටද ආයුබෝවන්ඩ මට නම් ඇත්තට ම විළි ලැජ්ජවේ බෑ. මම හිතන්නේ මේ උත්තමයන්ගේ ලැජ්ජ හිතෙන කෑල්ල කපලා. නැත්නම් ඒක උපතින් ම නැහැ. රටේ ණය කන්දරාව ගැන බොලල්ලාට මෙන්න මෙතෙන්ට ගොහින් දැන ගන්න පුළුවන්.
http://sanhindha.blogspot.com/2008/07/2.html
බලපල්ලකො අපේ ගොයියලාගේ කෙරුවාව.

නිලන්ත පියසිරි said...

අපූරුයි රාලේ කතාව. "අනන සුඛය" දැන් හැමෝම අනාගෙන කියලා කියනවනේ. කවුද ඔය දාර්ශණිකයෙක් ඉදලා තියෙනවනේ එපිකියුරස් කියලා. උන්දෑ කියලා තියෙන්නේ මේ සියලුම ඉඳුරන් පිනවන්න කියලලු. අනේ දැන් ඉතිං අපේ හැමෝම ණයට අරගෙන හරි එපිකිරස් දහම ඉදිරියට ගෙන යනවා.

පසුව ලියමි - word verification අයින් කළා නම් තවත් ලෙහෙසියි

නාමල් උඩලමත්ත said...

මසුරං වටින කතාවක් නිලන්ත දරුවෝ. බුදු හාමුදුරුවෝ අනන සුඛය කීවේ කිසිවෙකුට අත නොපා ජීවත්වීමෙන් ලැබෙන සැපය නොවැ. අනේ ඉතින් අපේ පාලකයන්ට පිං සිද්ධවෙන්න මේ ර‍ට වැසියො ඔක්කොමල්ලා උපතින්ම ණයකාරයෝ නොවැ. මම විතරක් නෙවේ ආයුබෝවන්ඩ තාම නූපන් මගේ මී මුනුබුරත් පිට රටට ණයයි. ඒ වුණාට මේ රටේ එවුන් හිතා ඉන්නේ ටයි බැඳලා කෝට් බෑය දාලා ගියා ම උන් සුද්දා වගේ කියලා නොවැ. හිහ් හිහ් හිහ් ...

මට මතක් වෙනවා මේ රටේ හිටපු මහා සිංහලයෙක් ලියපු කවියක් නිලන්ත දරුවෝ.
නෑ ගෙරද කන බොන
දෑ රටට මහ මන
පෑ ඇඳැ පැලැඳැ ගෙන
යා ණයට හිඟමන
(හෙළ මියැසිය-කුමාරතුංග මුනිදාස)

 
සිය රට දේ සිරි සැප දේ !