(උතුරේ ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු මොනවා ද ඒ සඳහා යෝජිත 13 වන සංශෝධනය මගින් විසඳුම් ලැබෙන්නේ ද උතුරේ පුරාවිද්‍යා භූමි සහ ආරක්ෂක හමුදාවෙහි කාර්යභාරය පිළිබඳ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති, යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුණ් සිද්ධාර්තන් සමග පැවැත් වූ සාකච්ඡාවකි.)
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක
කිරීම පිළිබඳ කතාබහක් මේ වන විට නැවත ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
13 වන සංශෝධනය උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට
විසඳුමක් කියලා තමයි 1987 ඉන්දියාව හඳුන්වා දෙන්නේ. අද දෙමළ සමාජයේ බහුතරයක් වන හීන
කුළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් කිසිවක් එහි නෑ. ඒක තමයි, 13 වන සංශෝධනයේ
ඇති බරපතළ ම ගැටලුව.
ඔබ උතුරේ දරුණු කුල පීඩනයක් පිළිබඳ කතා කළත්
එහෙම දෙයක් දකුණේ අපට පෙන්න නෑ?
ඔව් දෙමළ සමාජයෙන් පිට බොහෝ දෙනාට ඒ පිළිබඳ
අවබෝධයක් නෑ. එය සඟවා තබා ගෙන තමයි, උතුරේ කුලවතුන් බවට පත්ව සිටින වෙල්ලාලයින්
කටයුතු කරන්නේ. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ තේසවලාමේ නීතිය. එම නීතිය බලපාන්නේ
උතුරේ පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වව්නියාව කියන දිස්ත්‍රික්ක
පහේ ජීවත් වන දෙමළ ජනතාවට. 1707 ඕලන්ද යටත්විජිත පාලන කාලයේ යාපනයේ වාසය කළ
වෙල්ලාල මුදලිවරුන් 12 දෙනෙක් එකතු වෙලා තමන්ගේ කැමැත්ත අනුව මෙම නීතිය සම්පාදනය
කරනවා.
තේසවළාමේ නීති සංග්‍රහයේ 08 වන පරිච්ඡේදය
අනුව යාපනේ ජීවත් වන කෝවියාර්,
චන්ඩාර්, නලවාර් සහ පාලර් කියන දෙමළ කුල හතරක්
වහල්ලු විදිහට නීත්‍යානුකූලව හඳුන්වා දෙනවා. මම අයත් වන්නේ නලවර් කියන අඩු කුලේට.
තේසවළාමේ නීතිය අනුව වහලුන් වන අපට ඉගෙන ගන්න තහනම්. අපට ඉඩම් අයිතිය නෑ. විවාහ
විය යුත්තේ වහල් කුලයක කාන්තාවක් සමග විතරයි. එහෙම විවාහ වෙන්නත් වහල් හිමියාගේ
අවසරය අවශ්‍යයයි. අලුතින් උපදින තමන්ගේ දරුවට නම තියන්නවත් වහල් කුලේ දෙමාපියන්ට
අවසර නෑ. නම තියන්නෙත් වහල් හිමි මුදලි විසින්. 1707 ඉඳලා 1844 දක්වා අවුරුදු 137ක්
මේ නීතිය ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් තමන්ගේ කොලනිවල
වහල්භාවය පිළිබඳ නීත ( Anti-Slavery Act) ඉවත් කරනවා. ඒ අවස්ථාවේ තමයි, අපි නීත්‍යානුකූල
වහල්භාවයෙන් එළියට එන්නේ. නමුත් අවුරුදු 137ක් තිස්සේ අපේ ජනතාවට ඉගනිමේ අයිතිය
අහෝසි කළ නිසා ඒ මිනිස්සු තව දුරටත් වහල්ලු නෙමෙයි කියලාවත් එදා දැනගෙන හිටියේ නෑ.
1944 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා
නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දුන් පසු තමයි, වහල්භාවයේ සිටි අපේ මුතුන් මිත්තන්ට
ඉගනීමේ අවස්ථාව ලැබෙන්නේ. 1957 බණ්ඩානායක ආණ්ඩුවෙන් Social Disability Act යනුවෙන් කුලවාදයට
එරෙහි පනතක් ගේනවා. එයින් පස්සේ තමයි අපේ ජනතාව දැන ගන්නේ අවුරුදු 237ක් තිස්සේ
තමන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. අපේ කුලවල මිනිස්සුන්ට පළමු වතාවට
නල්ලුර් ඇතුළු කෝවිල්වලට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ 1956 අවුරුද්දේ. 1967 තමයි,
මාවුස්සපුරම් කෝවිලට ඇතුළු වෙන්න අවසර දෙන්නේ. එතෙක් කල් අපේ මිනිස්සුන්ට වෙල්ලාල
ප්‍රභූන් ආගමික අයිතියවත් දුන්නේ නෑ.
අදත් සමහර කෝවිල්වලට අපට යන්න තහනම්. අඩු
කුලේ අයට පොදු ළිඳක වතුර බොන්න තහනම්, පාවහන් පළඳින්න බෑ. ප්‍රසිද්ධ ස්ථානයකට යන්න
තහනම්, කාන්තාවන්ට උඩුකයට ඇඳුම් අඳින්න තහනම්, ඊට පස්සේ බ්ලවුස් අඳින්න බෑ,
සරිපොටෙන් උඩුකය වසාගත යුතුයි. කනත්තකට ඇතුළු වෙන්න තහනම්, සැලුන් එකට තේ කඩයකට
ඇතුළු වෙන්න තහනම්, පිරිමි අයට උඩු කයට අඳින්න බෑ. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි
කරන්න තහනම්. මේ විදිහට සාමාන්‍ය මිනිස්සු භුක්ති විඳින කිසිම අයිතිවාසිකමක් අපට
දුන්නේ නෑ.
ඒ විදිහට සියවස් ගණනාවක් පීඩාවට පත් කළ
ජනතාව තමයි, 60%කට වඩා උතුරේ ඉන්නේ. එම නීතිය යම් යම් සංශෝධන සහිතව තවමත් ක්‍රියාත්මකයි.
ඉතින් තේසවලාමේ නීතියේ 08 වෙනි පරිච්ඡේදය මග ඇරලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳ
කතා කිරීම විහිළුවක්. ඒක හරියට ත්‍රිපිටකය අතහැරලා බුදු දහම ගැන කතා කරනවා වගේ. මේ
රට පාලනය කළ පාලකයින් පවා මේ ගැන කතා කළේ නෑ. උතුරේ ජනතාව මුහුණ දෙන මේ සැබෑ ප්‍රශ්නය
පිළිබඳ දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳ දකුණේ කතා කරන අය දන්නෙත් නෑ. අපේ සැබෑ ප්‍රශ්නවලට
විසඳුම් ලබා නොදෙන 13 වන සංශෝධනයට අපි දැඩි ලෙස විරුද්ධයි.
දෙවනුව අපේ රට පිහිටි ස්ථානයේ ඇති මූලෝපායික
වැදගත්කම නිසා ඉන්දියා හැමදාම උත්සාහ කළේ මේ රටේ ප්‍රශ්නයක් හදලා ඒ ප්‍රශ්නය
දඩමීමා කරගෙන අපේ රට පාලනය කරන්න. එම සැලසුමේ කොටසක් විදිහට තමයි, 1960-70 දශකවල උතුරේ යම් යම් කණ්ඩායම්වලට ආයුධ සහ
පුහුණුව ලබා දීලා ඉන්දියාව ගැටලුවක් නිර්මාණය කරන්නේ. කිසිම ප්‍රායෝගිකභාවයක් නැති
13 නැවත බලාත්මක කරන්න ඉන්දියාව උත්සාහ කරන්නෙත් රටේ අවුලක් හදන්න. මේ රටේ
ශක්තිමත් නායකයෙක් බිහිවෙලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කොට දැමිය යුතුයි. මේක
කිසිසේත් විසඳුමක් නෙමෙයි, නැති ප්‍රශ්න ඇති කරන වැඩක්. අපි අපේ මහ පොළොවේ යථාර්ථය
අනුව අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුතුයි.
ඔබ එසේ කීවත් 13 වන සංශෝධනය බලාත්මක කළොත්
උතුරේ දෙමළ ජනතාව අතට නේද බලය යන්නේ? දෙමළ සන්ධානය වගේ ම දකුණේ ඇතැම් පාර්ශ්ව පවා
කියන්නේ එහෙමයි. ඔබ ඒකට විරුද්ධ ඇයි?
13 වන සංශෝධනය ඔස්සේ දෙමළ
ජනතාවට නෙමෙයි, දෙමළ ජාතික සන්ධානයට තමයි බලය ලැබෙන්නේ. දෙමළ ජාතික සන්ධානය
කියන්නේ අපේ ජනතාව අවුරුදු සිය ගණනක් වහල්භාවයේ තබා ගෙන සිටි අයගේ පක්ෂය. දෙමළ
සන්ධානය කියන්නේ වෙල්ලාලයින්ගේ පක්ෂය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ,
විධායක කමිටුවේ වෙනත් කිසිම කුලයක අයෙකුට ඉඩක් නෑ.
ඒ විතරක් නෙමෙයි, අධ්‍යාපනය ආයතන, විශ්වවිද්‍යාල,
රාජ්‍ය පරිපාලන ආයතන ආදී කිසිම තැනක අඩු කුලවල අයට කිසිම අවස්ථාවක් නෑ. මේ අය අවුරුදු
දෙසීය ගණනක් තිස්සේ අපට ඉගනීම තහනම් කරලා සමාජයේ සියලු අවස්ථා තමන්ගේ කුලයට අත්පත්
කරගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට මගේ සීයගේ සීයට ඉගනීම තහනම් කරලා විග්නේශ්වරන්ගේ
සීයා ඉගෙන ගෙන නීතීඥවරයෙක් වෙනවා. මගේ සීයා නූගත් වහලෙක්. මේ විදිහට අපි පරම්පරා
ගණනාවක් වහල්භාවයේ හිරකරලා ඔවුන් ඉගෙන ගෙන සමාජයේ සියලු තීන්දු තීරණ ගන්නා ආයතනවල
බලය අල්ල ගෙන ඉන්නවා. අපේ පරම්පරා ගණනාවක් මේ අයගේ ඉඩම්වල වහල් වැඩට යොදවලා අපට
කෑම වේලක් විතරක් දීලා ඒ අය අති විශාල ධනස්කන්ධයක් උපය ගත්තා, අධ්‍යාපනය ලැබුවා. ඒ
හරහා දේශපාලන බලය අත්පත් කරගත්තා. මේක අතිවිශාල අසාධාරණයක්.
මේ වගේ ම අසාධාරණයක් ඉන්දියාවේ කුලහීන
ජනතාවටත් වුණා. ඒ අවස්ථාවේ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
මගින් ම ඒ ජනතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සඳහා වෙනම
කෝටාවක් වෙන් කළා. ඒ විදිහට ම අවුරුදු 200කට වැඩි කාලයක් අපට කළ අසාධාරණයට යුක්තිය
ඉටු කරන්න 13න් මොනවාද කරලා තියෙන්නේ?
එසේ නම් මේ රටේ ඇති බව කියන ජනවාර්ගික
ගැටලුවට සඳහා උතුරේ බහුතර ජනතාව නියෝජනය කරන ඔබ යෝජනා කරන විසඳුම කුමක් ද?
බලය බෙදා හැරීම පරිපාලනය විමධ්‍යගත කිරීම
අපට ඉන්දියාව ඇවිත් කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. 13 වන සංශෝධනය හඳුන්වා දුන් 1987ට
පෙරත් මේ රටේ ගම්සභා, ප්‍රාදේශීය සභා, නගර සභා ඔස්සේ බලය විමධ්‍යගත කරලා තිබුණා.
1987 කෘත්‍රිම
බුද්ධිය (Artificial Intelligence)
තිබුණේ නෑ.
තොරතුරු
තාක්ෂණය දියුණු නෑ. අද රාජ්‍ය සේවයේ බොහෝ අංශ ඩිජිටල්කරණය වෙලා. තමන්ගේ අතේ තියෙන
දුරකතනයෙන් එම සේවා ලබා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 40කට කලින් යෝජනා කළ 13 වන
සංශෝධනය අද කොහොමත් යල් පැනලා ඉවරයි. අනික සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට සමාජයක්
බෙදා වෙන් කරන යෝජනා සමාජයේ යහපැවැත්මට විශාල බාධාවක්. ඒවා විසඳුම් නෙමෙයි, ප්‍රශ්න.
එහෙම නම් ඉන්දියාව මුලින් ම තමන්ගේ රටේ ප්‍රශ්නවලට
විසඳුම ආදේශ කරන්න ඕන. මනිපූර්, කාෂ්මීර්, නාකලාම් වගේ ප්‍රාන්තවල ගැටුම් තියෙනවා.
ඉතින් ඉන්දියාව ඇයි ඒ ප්‍රාන්තවලට මේ විදිහේ බලය ලබා නොදී සියලු බලතල තමන් යටතේ
තබා ගෙන හමුදා බලයෙන් ඒ කණ්ඩායම් මර්දනය කරන්නේ ඇයි? තමන්ගේ රටේ ජනතාවට ඒ විදිහට
සලකන ගමන් ලංකාවට ඇවිත් දෙමළ ජනතාවට බලය ලබා දෙන්න කීම විහිළුවක්. ඉන්දියාව විශාල
රටක් තමයි. නමුත් අපි කුඩා රටක් වුණත් අපටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. අපේ රාජ්‍ය
නායකයින් කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගැනීම වැදගත්. අපේ ප්‍රශ්නවලට බුදු දහමින්
විසඳුම් සොයා ගන්න අපට පුළුවන්.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවා
චෝදනා කරනවා සිංහල වර්ගවාදීන් දෙමළ නිජ භූමිය ආක්‍රමණය කරන බවට චෝදනා කරනවා. එම
චෝදනාවේ ඇත්තක් තියෙනවා ද?
එහෙම චෝදනාවක් කිරීම ම මොන තරම් ගෝත්‍රික ද?
දෙමළ ජනතාව ලංකාව පුරා ම ජීවත් වෙනවා. ලෝකය වටා ජීවත් වෙනවා. බහුතර සිංහල ජනතාව
ජීවත් වන පළාත් මේක අපේ නිජභූමිය කීවොත්, එහෙම නැත්නම් බහුතර මුස්ලිම් ජනතාව ජීවත්
වන පළාත් මේක අපේ නිජභූමිය කීවොත් ඒ දෙමළ ජනතාවට මොකද වෙන්නේ? ශිෂ්ට සමාජයක නම් ඕන
මනුස්සයෙකුට තමන් කැමති තැනක ජීවත් වෙන්න අවස්ථාව තිබිය යුතුයි. කැනඩා ජාතිකයෝ එහේ
ඉන්න දෙමළ ජනතාවට මේක අපේ නිජභූමිය උඹලා පලයල්ලා කීවොත් මොකද වෙන්නේ? මේ අයට තියෙන
ප්‍රශ්නේ මේ රටේ සියලු දෙනා සමගියෙන් ජීවත් වීමයි. ඔවුන්ට ඕන මේ ජනතාව එකට මිශ්‍රවීම
වළක්වන්න. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර්
ජනතාව සමගියෙන් ජීවත් වුණොත් මේ අයගේ දේශපාලනය අහෝසි වෙනවා. අපි මේ ගෝත්‍රික ප්‍රකාශ
කරයේ හෙළා දකිනවා.
එහෙම කිසියම් සාක්ෂියක් තියෙනවා ද කියලා
තමයි, අපිත් ඒ චෝදනාව කරන අයගෙන් අහන්නේ. මෙතෙක් ඒ සඳහා සාක්ෂියක් ඉදිරිපත් කරලා
නෑ. 1937 බ්‍රිතාන්‍ය පාලනය කාලේ කුරුන්දි ප්‍රදේශය පුරාවිද්‍යාත්මක භූමියක්
විදිහට ගැසට් කරනවා. ඒ කාලේ රාජ්‍ය පරිපාලනයේ හිටියේ සුදු ජාතිකයෝ. සිංහල හරි දෙමළ
හරි මිනිස්සු නෙමෙයි. මේක බෞද්ධ පුදබිමක් නොවුණා නම් ඒක සුදු ජාතිකයින්ට බෞද්ධකරණය
කිරීමේ කිසිම උවමනාවක් තිබෙන්න විදිහක් නෑ. අපිත් මේ භූමියට ගිහින් බැලුවා. එහි
දක්නට ලැබෙන සියලු පුරාවස්තු බෞද්ධ ආගමට අයත්. කැනීම් කරලා බැලුවත් පොතපත පරිශීලනය
කළත් ලැබෙන්නේ බෞද්ධ පුදබිමක් පිළිබඳ සාක්ෂි විතරයි.
මුලතිව් කියන්නේ 2009 වන තුරු කොටි සංවිධානය
යටතේ පාලනය වුණ භූමියක්. ඉතින් කෝවිලක් තිබුණා නම් කොටි පාලනය යටතේ එය වඩාත් හොඳට
හදලා පුදපූජා කරන්න තිබුණා නෙ. නමුත් 2009ට කලින් මේ අය ඒ ප්‍රදේශයට ගියේවත් නෑ. මෙතන
බෞද්ධ විහාරස්ථානයක් ගොඩනැඟෙද්දි තමයි, මේ අයට හදිසියේ ම එතන කෝවිලක් තිබුණා කියලා
මතක් වෙන්නේ. මෙතන කෝවිලක් තිබුණා නම් හොඳයි. නමුත් ඒ බවට කිසිම සාධකයක් නෑ.
කුරුන්දිය අවට ගම්වල දෙමළ ජනතාවටත් මේ පන්සල
ප්‍රශ්නයක් නෙමෙයි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා යාපනෙන් කිලිනොච්චියෙන් කිහිප
දෙනෙක් අරන් ඇවිත් තමයි, මේ ප්‍රශ්නය ඇති කරන්නේ. මේක නීත්‍යානුකූලව නිවැරදි ලෙස විසඳිය
හැකි ප්‍රශ්නයක්. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩු නිසා නැති ප්‍රශ්නයක්
ඇති කරලා. මේ විදිහට වැඩ කළොත් එය ලේ හැලීමකින් අවසන් වෙන්න පුළුවන්. මොකද
බුද්ධිමත් මිනිස්සු නිහඬව හිටියත් අනික් මිනිස්සු ආගම නාමයෙන් ගැටුමකට එන්න
පුළුවන්.
දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර හමුදාව
අත්පත් කරගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ලබා දිය යුතු බව කියනවා. දැන් යුද්ධය අවසන්
නිසා මේ ඉඩම් නැවත පවරා දෙන ලෙස ඉල්ලා සිටීම සාධාරණයි නේද?
යුද්දේ කාලේ පෞද්ගලික ඉඩම්වල හමුදා කඳවුරු
තිබුණා. නමුත් යුද්ධය අවසන් වීමත් සමග ම 90%ක් විතර ඒ ඉඩම් නිදහස් කරලා ඉවරයි.
දැනට හමුදා පාලනය යටතේ පවතින්නේ ආරක්ෂක මර්මස්ථාන විදිහට පැවතිය යුතු ස්ථාන.
උදාහරණයක් විදිහට පලාලි ගුවන්තොටුපළ. එහි ආරක්ෂාව සඳහා යම් භූමි ප්‍රමාණයක් උවමනා
වෙනවා. ඒක උතුරට විතරක් නෙමෙයි, දකුණටත් අදාළයි. කොළඹ-මාතර අධිවේගී මාර්ගයට
ජනතාවගේ ඉඩම් පවර ගන්නවා. ඒ සඳහා වන්දි ලබා දෙනවා. ඒ ඉඩම් රජය ගත්තා කියලා විරෝධතා
කරලා වැඩක් නෑ. දැනට හමුදා පාලනය යටතේ උතුරේ තියෙන්නේ එහෙම ඉඩම්. එහෙම නොවන තව
සුළු ප්‍රමාණයක් තියෙනවා. හමුදාව මුදා හැරි ඉඩම් වැඩි දියුණු කරන්න දෙමළ සන්ධානය
මොනවා හරි උදව්වක් කළා ද? නෑ.
ඒ වගේ ම වෙල්ලාල කුලේ ධනවතුන් විශාල පිරිසක්
විදෙස් රටවල පදිංචි වුණා. ඒ දෙමළ ඩයස්පෝරාවේ මිනිස්සු වසර 30-40ක් තිස්සේ උතුරේ
ඉඩම් සල්ලිවලට අරන් කොටි කරගෙන ඉන්නවා. කිසිම වගාවක් නෑ. කිසිම ප්‍රයෝජනවක් නෑ.
දෙමළ සන්ධානයට ඇයි බැරි මේ ඉඩම් ටික අරගෙන ඉඩම් නැති ජනතාවට බෙදා දෙන්න කටයුතු
කරන්න බැරි. ඇත්තට ම උතුරේ ඉඩම් ප්‍රශ්නයට හේතුව හමුදාව නෙමෙයි, මෙන්න මේ විදිහට
හිස් ඉඩම් කොටු කරගෙන සිටීමයි.
අපි පසුගිය දවසක දැක්කා තමන්ගේ ගමේ හමුදා
කඳවුරක් ඉවත් කිරීමට එරෙහිව ජනතාව විරෝධතා කරනවා.
2010 වෙද්දි අපි එළියට ඇවිත් නිදහසේ අදහස්
ප්‍රකාශ කිරීමේ කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය වෙනුනේ හඬ නගන්න පටන් ගත්තා. අද
අපේ ජනතාව එතැනට ඇවිත් කියලා මේ වගේ දේවල්වලින් තහවුරු වෙනවා. හමුදාව උතුරේ ජනතාව
එක්ක ඉතා ම සුහදව වැඩ කරනවා. ජනතාවට හමුදාවෙන් ආරක්ෂාව ලැබෙනවා. සමාජ විරෝධී
කටයුතුවලට හමුදාව විරුද්ධ වෙනවා. පොදු වැඩවලට හමුදාව ශ්‍රමය ලබා දෙනවා. හිටපු කොටි
සාමාජිකයින්ට පවා ගෙවල් හදලා දෙන්න ශ්‍රමය දුන්නේ හමුදාව. මේ විදිහට හමුදාව සුහදව
ඉන්න නිසා තමයි ජනතාව කඳවුර ඉවත් කරන්න එපා කියලා කියන්නේ. දකුණේ වගේ ම උතුරෙත්
පොලිසිය පිළිබඳ ජනතාව තුළ පැහැදීමක් නෑ. පොලිසිය දූෂිතයි. නමුත් හමුදාව එහෙම නෑ.
සමහරු දේශපාලනික උවමනාවන් නිසා බොරු චෝදනා කළාට අපේ හමුදාව ඉතා ම විනයගරුක
හමුදාවවක්.
දෙමළ හින්දු කතෝලික ජනතාව ගැන අපි දන්නවා. උපතින්
හින්දු ආගමිකයෙකු වන ඔබ බුදු දහම වැළඳ ගන්නවා. එහි පසුබිම කුමක් ද?
බුදු දහම දෙමළ ජනතාවට ආගන්තුක දර්ශනයක්
නෙමෙයි. දේවානම්පියතිස්ස රජ කාලයට වසර 200කට පසු යාපනේ විශාල බෞද්ධ රාජ්‍යයක්
ගොඩනැගෙනවා. අපේ ගමේ ඒ කියන්නේ කදුරුගොඩ විශාල බෞද්ධ විහාරස්ථානයක් ඉදිවෙනවා. ඒ
කාලේ කදුරුගොඩට කීවේ කදිරමලේ කියලා. කතරගමටත් කදිරමලේ කියනවා.
විශිෂ්ට ඉතිහාසඥයෙකු වන සී. රාසනායගම්
මුදලිතුමා ලියූ Ancient
Jaffna (1984) පොතේ
තියෙනවා මලබාරයෙන් පැමිණි වෙල්ලාලයින් යාපනේ සිංහල බෞද්ධ ජනතාව යටත් කරගෙන
වහල්භාවයට පත් කළා කියලා.
ඒ වගේ ම සිලප්පදිකාරම්, මණිමේකලා, වලයාපති, කුණ්ඩලකේසි සහ සීවග සින්දාමණි වගේ අපේ දෙමළ සාහිත්‍ය
ග්‍රන්ථ ලියවිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙන. යාපනේ විතරක් නෙමෙයි, උතුරු
පළාතේ ම දෙමළ බෞද්ධ සහ සිංහල බෞද්ධ අය හිටි බවට සාක්ෂි තියෙනවා. පසුකාලනව යුද්ධයත්
එක්ක උතුරේ බෞද්ධයින් මර්දනය කළා. අඩු කුලේ කියන අපි සියලු දෙනා බෞද්ධයෝ. අපි දැන්
කරන්නේ අපේ අපේ මුල් හොයා ගෙන යන එක.
අම්බෙක්කාරතුමාගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය
පසුකාලීනව යටපත් වෙනවා. ඔබ මේ ගමන යන්නේ අම්බෙක්කාර් ව්‍යාපාරය මුහුණ දුන්
අභියෝගවලට මුහුණ දීමට සූදානමින් ද?
අම්බෙක්කාර්තුමා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ
ආරාධනයෙන් 1950 ලංකාවට එනවා. ඒ අවස්ථාවේ ඉන්දියාවේ බෞද්ධ පුනරුදය සහ බැසයාම ගැන
දේශනයක් කරනවා. එහි දී එතුමා පෙන්වා දෙනවා, එකල භාරතයේ විසූ බ්‍රහ්මින් කියන උසස්
කුලයේ පිරිස බෞද්ධ සහ ජෛන ආගමික කණ්ඩායම් සමූල ඝාතනය කරනවා. ඒ ප්‍රචණ්ඩක්‍රියා
ඔස්සේ තමයි, හින්දු ආගම ඉහළට එන්නේ. යාපනය ඇතුළු උතුරු පළාතෙත් වෙල්ලාලයින් කළේ
ඒකමයි. එහෙත් දැන් ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුවේ විතරක් නෙමෙයි, ලොව පුරා ජනතාව
බුදු දහම කෙරෙහි ආකර්ශනය වෙනවා.
ඔබ පසුගියදා යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති
ධූරයට පත්වෙනවා. මොනවාද ඔබේ බලාපොරොත්තු?
අපි වසර 30ක් තිස්සේ යුද ගැටුම් සමග ආපස්සට
ගිය සමාජයක්. ඕනෑම ප්‍රශ්නයක් ප්‍රචණ්ඩත්වයෙන් විසඳගන්න තමයි, අපි හුරු වෙලා
තියෙන්නේ. අපි මුලින් ම අම්බේක්කාර්තුමා වගේ බුදු දහම සහ බෞද්ධ දර්ශනය ඒ දෙමළ
ජනතාවට නිවැරදිව කියලා දෙන්න ඕන. බුදු දහම දෙමළ ජනතාව අතරට ගෙන ගොස් ප්‍රඥාවන්ත
සමාජයක් ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා. එයින් පසු අපි උතුර-දකුණ යා කරන පාළමක්
විදිහට බුදු දහම යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් මේ රටේ පවතින සියලු ගැටලුවලට
විසඳුම් ලබා දිය හැකි බව අපි විශ්වාස කරනවා.
නාමල් උඩලමත්ත
No comments:
Post a Comment