Wednesday, June 15, 2022

කළු වළාවක රිඳී රේඛා...

අද මුළු රට ම දැඩි ආර්ථික අර්බුදයක. හැමෝම අනෙකා පිට වරද පටවමින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේක අපි 1951 සිට ම ගෙවුම් ශේෂ හිඟයක් ඇති වන ආකාරයට දිගින් දිගට ම ණයට කෑමේ ප්‍රතිඵලය. අපනයනයට වඩා ආනයනය එදා ඉඳලම වැඩියි. 77 ඒක තීව්‍ර වුණා. ජනතාව එතෙක් පැවැති සරල ජීවන ක්‍රමය වෙනුවට සංකර අධිපරිභෝජනවාදී ජීවන ක්‍රමයකට ගොදුරු කළා. ක්‍රමයෙන් රාජ්‍යය දුප්පත් වෙමින් ජනතාව පොහොසත් වෙන්න, එහෙම නැත්නම් තමන්⁣ට සැබවින් ම හිමි නැති ජීවන ක්‍රමයකට ජීවත් වෙන්න පටන් ගත්තා. 

ඒ සඳහා විසඳුම් සොයාගන්න අපට බැරි වුණා. අපි අතරින් පත් වූ නායකයොත් අර ප්‍රශ්නය ඉදිරියේ පරාජය වුණා. අපට මේ අර්බුදයට විසඳුම් නොදුන්නා කියලා වර්තමාන ජනාධිපතිට සහ ආණ්ඩුවට බනින්න ලේසියි. නමුත් මෙතෙක් කල් රට පාලනය කළ පාලකයිනුත් ප්‍රශ්නය උග්‍ර කළා මිස කළ හොඳක් නෑ. 

වර්තමාන ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ නිලධාරීන් ගත් ඇතැම් තීන්දු තීරණ පවා එම ගැටලුව උග්‍ර කළ බව ඇත්ත. නමුත් වාහන ආනයනය නතර කිරීම, මන්ත්‍රී වාහන ලබා දීම අත්හිටුවීම, ජනාධිපතිවරයාගේ පෞද්ගලික වැය ශීර්ෂ කපා හැරීම වගේ තීන්දු අරගෙන ඒ සඳහා විසඳුම් සොයන්නත් ජනාධිපතිවරයා උත්සාහ කළා. 

හැබැයි ඒ අතර ගත් වැරදි තීන්දු නිසා අර යහපත් තීන්දුවල ප්‍රචිඵලය ගඟට කැපු ඉනි බවට පෙරළුණා. ඒ වගේ ම රට වහන්න බලකිරීම, විදේශ ප්‍රේෂණ ලැබීම නතර කිරීමට මතවාද හැදීම, විරෝධතා උද්ඝෝෂණ හරහා සංචාරක කර්මාන්තය බිඳ දැමීම ඔස්සේ විපක්ෂයත් ඊට සම්මාදම් වුණා. ඒ සියල්ල නිසා රට අඳුරට ගියා.

ඒ කොහොම වුණත් මේ අඳුරට ශාප කරමින් සිටීමට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනවා. මේ අඳුරේ රිදී රේඛා හඳුනා ගෙන මතු යහපත උදෙසා තීන්දු තීරණ ගන්න මේ තමයි, හොඳ ම අවස්ථාව. පොදු ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දෙමින් ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කිරීම සහ අවශ්‍ය සුඛෝපභෝගී පහසුකම් සහිත නව පොදු ප්‍රවාහන බස් සේවා ආරම්භ කිරීම වැදගත්. 

තමන්ගේ වාහනයක යාමට වඩා බොහෝ අඩු මුදලකට පහසුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතයට හැකි නම් ජනතාව ඉබේම ඒ සඳහා යොමු වෙනවා. එහි දී පෙට්‍රල් සඳහා කිසිදු සහනාධාරයක් ලබා නොදීම වැදගත්. 

ඒ වගේ ම අපි දැන්වත් පාපැදි භාවිතයට උවමනා පරිසරය හදන්න ඕන. රටේ මාර්ග පද්ධතියට පාපැදි මංතීරුව එකතු කරන අතර අලුතින් හදන මාර්ගනලට පාපැදි මංතීරුව අනිවාර්ය කරන නීති ගෙන ආ යුතුයි. 

ඒ වගේ ම පාපැදි භාවිතය දිරිගැන්වීම සඳහා රක්ෂණ ක්‍රම ආදිය හඳුන්වා දීම, පොදු ප්‍රවාහන මාධ්‍යයට මාරු වන විට පාපැදි ගාල් කිරීමේ පහසුකම් ඇති කිරීම, පාපැදි සහ අමතර කොටස් සඳහා බදු සහන ලබා දීම ඔස්සේ මිල පහත දැමීමත් වැදගත්.

පාපැදි භාවිතයෙන් රටේ ඉන්ධන පරිභෝජනය අඩු වෙනවා වගේ ම නීරෝගීභාවය ඉහළ යාමෙන් ඖෂධ භාවිතයත් අඩු වෙනවා. ඒ දෙක ම රටේ ඩොලර් සංචිත ආරක්ෂා වීමට හේතු වෙනවා. ඒ වගේ ම පරිසර දූෂණය අවම වෙනවා. 

ඉන්ධන හිඟය සමග දැන් දැන් පාපැදි මාර්ගවල සුලබව දකින්න පුළුවන්. ළමා, බාල, තරුණ මහලු හැමෝම පාපැදිවල යනවා. ඒක සුබ තතත්වයක්. ජනතාවට ඒ සඳහා ධෛර්යය ලබාදීම වැදගත්. උතුරු නැගෙනහිර මේ තත්ත්වය සාමාන්‍යයයි. ජනතාව පාපැදිය එක්ක බැඳිලා. උතුරට අපට වගේ දැඩි තෙල් අර්බුදයක් නැත්තේ ඒ නිසා ම වෙන්නත් පුළුවන්.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !