අපේ රටේ නිෂ්පාදනය නොකරන පිට රටින් ආනයනය කරන භාණ්ඩවල මිල තීරණය කළ යුත්තේ ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව කිසිවෙකු ඉහළ මිලට භාණ්ඩ අලෙවි කර අසාධාරණ ලෙස ලාභ උපයන්නේ නම් ය.
එසේ ම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ නොනංවා බලහත්කාරයෙන් වෙළඳපොළ පාලනයට උත්සාහ කිරීම ප්‍රායෝගික නැත. එවිට සිදුවන්නේ ව්‍යාපාරිකයින් භාණ්ඩ ආනයනය නවතා දැමීම ය. පසුගිය සමයේ ලාෆ් ගෑස් හිඟයක් ඇති වූයේ එහෙයිනි. කිරිපිටි, තිරිඟු පිටි ආදියට ද මෙය අදාළ ය.
එසේ ම ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව මිල ඉහළ නොනංවා රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාග ඔස්සේ පාඩු පිට ගෑස් විකිණීම ද නොකළ යුතු ක්‍රියාවකි. මේ නිසා සිදුවන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විනාශ වීම ය. මේ වන විට එම සමාගමේ දෛනික පාඩුව ලක්ෂ 800ක් බව කියවෙයි. තව කෙතරම් දුරට මෙම පාඩුව දරා ගන්න ද?
මේ වන විට අසල්වැසි ඉන්දියාවේ 12kg ගෑස් සිලින්ඩරයක මිල ශ්‍රී ලංකා රු. 2384.77කි. පාකිස්ථානයේ ගෑස් සිලින්ඩයක් ශ්‍රී ලංකා රු. 2414.97කි. බංගලිදේශයේ රජයට අනුබද්ධ සමාගමේ ගෑස් සිලින්ඩරයක් ශ්‍රී ලංකා රු. 1378.76ක් ද පෞද්ගලික සමාගම් සිලින්ජරයක් ශ්‍රී ලංකා රු. 2274.60ක් ද වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ සිලින්ඩරයක් රු. 1495ක් ද ලාෆ් සිලින්ඩරයක් රු. 1856ක් ද වෙයි.
මේ අනුව ඉන්දියාවේ මෙන් ම පාකිස්ථායේ ද ගෑස් මිල ලංකාවට වඩා ඉහළ ය. බංගලිදේශයේ පෞද්ගලික සමාගම් සිලින්ඩයක මිල ද ශ්‍රී ලංකාවේ ගෑස්වලට වඩා මිල ය. බංගලි රජයේ ගෑස් ලංකාවේ ලිට්‍රෝවලට වඩා රු. 115ක් පමණ වැඩිය. ඒ කෙසේ වුව ද ලංකාවේ ලාෆ් ගෑස් සමාගමට පවා සාධාරණ මිල වැඩි කිරීමක් නොලැබී ඇති බව බංගලි පෞද්ගලික ගෑස් මිල සමග සසඳන විට පෙනෙයි.
මෙලෙස ආනයන මිල පාලනය කෙටි කාලීනව ඉතා ජනප්‍රියවාදී තීන්දු විය හැකි වුව ද ඒවා දිගුකාලීනව රටට හිතකර නැත. මේ නිසා රජයේ ලිට්‍රෝ සමාගම පමණක් නොව ලාෆ් සමාගම ද බංකොලොත් වී යා හැකි අතර ඒ හා බැඳුණු ඍජු හා වක්‍ර රැකියා කරන විශාල පිරිසකගේ ඉරණම ඒ සමග විසඳෙනු ඇත. එහෙයින් ජනතාවට සැබෑ තත්ත්වය පැහැදිලි කර මෙම සමාගම් සඳහා මිල ඉහළ නැංවීමට අවස්ථාව ලබා දිය යුතු ය. එපමණක් නොව සෙසු භාණ්ඩවලට ද ඒ අවස්ථාව ලබා දිය යුතුය.
එසේ නොමැතිව ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීම අතහැර දැමූ විට ඇති වන භාණ්ඩ හිඟය සහ පෝලීම් නිසා ආණ්ඩුවට විශාල හානියක් සිදුවන බව ද මතක තබා ගැනීම වැදගත්ය. ඒ සමඟ ඇති වන පීඩනය සමග මිල වැඩි කර භාණ්ඩ ගෙන ඒමට ඉඩ දී විහිළුවක් බවට පත්වීම ඊට වඩා හානියක් සිදුකරයි.
රටේ නිෂ්පාදනය කරන සහල් ටිකේ මිල පවා පාලනය කළ නොහැකි තත්ත්වයට වෙළෙඳපොළ ක්‍රමය බලවත් වී ඇති අතර රාජ්‍ය ශක්තිය දුර්වල වී ඇති පසුබිමක රට දැඩි විදේශ විනිමය අර්බුදයක ගැලී සිටිමින් ලෝක යථාර්ථයට එරෙහිව ජනතාවට සහන දීමට යැයි උඩුගං බලා පිහිනීමට කටයුතු කිරීම නිරර්ථකය. මන්ද භාණ්ඩ හිඟය, භාණ්ඩ පෝලීම් නිසා අවසානයේ ඒ ජනතාව ද නවතින්නේ ආණ්ඩුවට එරෙහි තැනක හෙයිනි.
2 comments:
මිල පාලන ක්‍රමවේද ගැලපෙන්නේ නෑ කියලා ආර්ථික ඔස්තාර් බන්දුලටත් නොතේරෙනවා වෙන්න බෑ. හැබැයි ලොක්කෝ සතුටු කරන්න මොනවහරි කරනත් එපැයි.
අන්න
ඒකයි
Post a Comment