Sunday, September 13, 2020

ද්විත්ව පුරවැසි නීතිය ප්‍රායෝගිකද?

යහපාලන ට්රෝජන් අශ්වයා වෙසින් 2015 මේ රටේ පාලන බලය ඩැහැගත් කුමන්ත්රණකාරයින් තමන්ට තර්ජනයක් වන රාජපක්ෂ පවුල සටන් බිමෙන් ඉවත් කිරීමේ අරමුණ පෙරදැරිව ගෙන ආ පටු ව්යවස්ථා සංශෝධන පිළිබඳ අපට කාලය මිඩංගු කිරීමට සිදුවීම ද ඛේදවාචකයකි.

ද්ව්ත්ව පුරවැසියන්ට මේ රටේ පාලන තන්ත්රයට එකතු විය නොහැකි බවට 19 යටතේ ව්යවස්ථාවට වගන්තියක් එකතු වන්නේ ම ගෝඨා බැසිල් අභියෝගය ඉවත් කර ගැනීම සඳහා ම ය. එසේ නොවන්නට මේ රටේ ජාතික ආරක්ෂාව නොතකා හැරීමේ සහ විදෙස් අතපෙවීම්වලට ආශීර්වාද කිරීමේ කුප්රකට ඉතිහාසයක් ඇති යහපාලනය වටා එකතු වූ බලවේගවලට මෙවැනි වගන්තියක් ව්යවස්ථාවට ගෙන එන්නේ නැත.


රටක ජනතා ඡන්දයෙන් පත්වන ජනතා නියෝජිතයන්ගේ පුරවැසිභාවය පිළිබඳ පවා සැලකිලිමත් වන බලවේගයක් මේ රටේ පුරවැසිභාවය නොමැති අර්ජුන් මහේන්ද්රන් රටේ මහ බැංකු අධිපති ධුරය⁣ට පත්කරන්නේ යැයි සිතිය හැකිද? බෙදුම්වාදී කොටි සංවිධානය වෙනුවෙන් අරමුදල් එකතු කළ බවට චෝදනා සහිත කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි රත්නජීවන් හූල් විශේෂ ප්රතිපාදනවලින් දේශපාලන මුක්තිය ද ලබා දී මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කරයිද?
ඡන්ද නොතබන ලෙස ඉල්ලමින් අධිකරණයට ගිය හූල් වැනි කළු චරිත රටේ පරිපාලන මර්මස්ථානවල ස්ථානගත කළ යහපාලන ඇම්බැට්ටයන් ද්විත්ව පුරවැසි රෙගුලාසි ඉවත් කළහොත් අනාගතයේ බෙදුම්වාදීන්, ඇමරිකන් හිතවාදීන් රටේ බලයට පත්වනු අැතැයි කිඹුල් කඳුලු සැලීම බලා සිටිය නොහැකි තරම් ජුගුප්සාජනකය.
එපමණක් නොව ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ 2015 තමන්ට නඩු පවරන ලද අවස්ථාවේ වහා ම රටට පැමිණ නීතිය ඉදිරියට පැමිණ ලබාදුන් ආදර්ශය මගින් යහපාලන තක්කඩි නඟන චෝදනාව නැවත පාරාවළල්ලක් වෙයි.
අනාගතයේ යම් අවස්ථාවක රත්නජීවන් හූල්, රට අතහැර ගිය යහපාලන න්යයාචාර්ය ජයම්පති වික්රමරත්න මෙරට නීතිය හමුවට පැමිණේවි ද? මහා විනාශයක් කර රටෙන් පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා මෙම ප්රතිපාදන ඔස්සේ නැවත රටට ගෙන්වාගත හැකිද?
නිශාන්ත ද සිල්වා ස්විස් රටට පළා ගොස් දේශපාලන රැකවරණ පැතීමෙන් තහවුරු වන්නේ රටට එරෙහි කුමන්ත්රණ සඳහා ද්විත්ව පුරවැසියන් නොවන මෙරට පුරවැසියන් ඉතා ම හොඳින් යොදාගත හැකි බව නොවෙද?
අනෙක් අතට මේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය සඳහා සහාය වන්නට ලොව කිසිම රටක් බැඳී සිටී ද? කිසි ම රටක් සිය පුරවැසියන් පිළිබඳ තොරතුරු තෙවන පාර්ශ්වයක් වෙත ලබා දෙන්නේද? කිසිවෙකු ස්වේච්ඡාවෙන් සිය පුරවැසිභාවය පිළිබඳ හෙළි කළහොත් මිස ගීතා කුමාරසිංහ මෙන් ලංකාවේ නොවන තමා පුරවැසිභාවය දරන අනෙක් රටේ විදෙස් ගමන් බලපත්රයක් භාවිත කළහොත් මිස ද්විත්ව පුරවැසියන් හඳුනාගත හැකි ද?
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙමළ සන්ධාන මන්ත්රී පිරිසකට කැනඩාව ඇතුළු රටවල ද්විත්ව පුරවැසිභාවය ඇති බවට වාර්තා පළ වුව ද ඒ කිසිදු තොරතුරක් සනාථ කරගත නොහැකි විය. ඇතැම් රටවල් එම තොරතුරු ලබා දීම ඍජුව ම ප්රතික්ෂේප කර තිබිණි.
අනෙක් අතට මේ නීතිය 2005 වන විට දේශපාලකයන්ට සහ රාජ්ය නිලධාරීන්ට බලාත්මක වී තිබිණි නම් ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක ⁣අමාත්යංශ ලේකම් ධුරයට පත් වන්නේ නැත. බැසිල් රාජපක්ෂ මෙරට දේශපාලනයට එකතු වන්නේ ද නැත.
එසේ වී නම් අපේ දේශපාලන ඉතිහාසය කෙසේ වනු ඇති ද?ත්රස්තවාදය පරාජය කළ හැකි වේද? අනෙක් අතට යහපාලන දායාදයක් වන රත්නජීවන් හූල් හැර රටට එරෙහිව කටයුතු කළ කිසිදු ද්විත්ව පුරවැසියෙකු නැත. එජාප ජවිpay කල්ලිවල ද්වේශය වෛරය පදනම් කරගත් බොරු කිඹුල් කඳුලුවල කිසිදු හරයක් නොමැති බව කිව යුත්තේ මේ නිසාය.
එහෙයින් මෙම නීතිය මගින් අප අපේක්ෂා කරන ආරක්ෂාවක් රටට හිමි වේ ද යන්න අප ගැඹුරින් විමසා බැලිය යුතුය. මේ රටට සැබවින් ම ආදරය කරන රටේ ආරක්ෂාව සියල්ලට ඉහළින් තබන අපට ද්විත්ව පුරවැසි නීතිය මගින් අප අපේක්ෂා කරන කිසිවක් සාක්ෂාත් කරගත හැකිද?
විශේෂයෙන් මේ රටට එරෙහිව කටයුතු කරන කිසිවෙකු ස්වේච්ඡාවෙන් සිය ද්විත්ව පුරවැසිකම හෙළි කරයි ද? එය සිය මතු ආරක්ෂාව පිණිස සඟවා ගෙන සිටී ද? ඔවුන් අපේ රටට එරෙහිව යොදා ගන්නා බලවේග ඔවුන්ගේ පුරවැසිකම හෙළි කරයිද? ඒ සියල්ලට ම වඩා නිශාන්ත ද සිල්වා කන්දප්පලා බිහිවීම අපට පාලනය කළ හැකි ද? මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ අප විකල්ප සොයාගත යුත්තේ නිශාන්ත ද සිල්වා කන්දප්පලා බිහිවීම වළක්වා ගැනීමටය.
මෙය මා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතියට එරෙහිවීමක් ලෙස වටහා නොගනු ඇතැයි සිතමි. මගේ අවධානය යොමු කරන්නේ එය ප්රායෝගිකව බලාත්මක කළ හැකි ද යන්න වෙතය. එය ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි නම් ඇතැම් විට යහපත් විය හැකිය. එය අනාගතය තීන්දු කරනු ඇත.
©නාමල් උඩලමත්ත

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !