Thursday, November 3, 2016

ආවා ව්‍යාපාරය රැකගමු!

විනෝදන් හෙවත් ආවා විසින් සාමාජිකයින්ගේ 12 දෙනෙකුගෙන් ආරම්භ කළ ආවා ගෘප් එකේ මේ වන විට සාමාජිකයින් 500ක් පමණ සිටින සාර්ථක ව්‍යාපාරයක් බව වාර්තාවෙයි.
සන්නා, දේවා, ප්‍ර‍කාශ් නම් නායකයින් තිදෙනා මුහුදු මගීන් ආයුධ තුනක් ගෙන්වා ගෙන භාවිත කරති. ඔවුන් සමග තවත් කුඩා මැර කල්ලි නවයක් කටයුතු කරන අතර බ්‍ර‍සීලයේ නිෂ්පාදිත තියුණු කඩු ඔවුහු භාවිත කරති.
ආවා ව්‍යාපාරය මේ වන විට ඝාතන 12ක් සිදුකර ඇති අතර ඔවුන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි 30ක් පමණ ලැබී තිබේ. කප්පම් නොදුන් නිසා යාපනේ ව්‍යාපාරිකයින්ට පහරදීම් සිදුවන බවද වාර්තාවිය.
මේ ආකාරයට රටේ විරැකියාව තුරන්වනු ඇතැම් කුහකයින්ට බලා සිටිය නොහැකිය. එහෙයින් දිනෙන් දින දියුණු වන ආවා ගෘප් විනාශ කිරීමට රජයට කේලම් කියන බව වාර්තා වෙයි.
රජය මෙවැනි බාධක හමුවේ සැලිය යුතු නැත. වොක්ස්වැගන් කම්හල මෙන් ආවා ගෘප් එක කඩාකප්පල් කිරීමට ලංකා හමුදාවට ඉඩදිය යුතු නැත. රස්සා නැතැයි ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරන දකුණේ මෝඩයින් ආවා ව්‍යාපාරය ආදර්ශයට ගත යුතුය.
නව රජයේ රැකියා දශ ලක්ෂයේ වැඩසටහන යටතේ තව සම්පාදනය කළ යුත්තේ රැකියා 999 500ක් වැනි සුළු ප්‍ර‍මාණයක් පමණි. ඒ රැකියා සුළු ප්‍ර‍මාණයද බිහි කොට රටේ විරැකියාව තුරන් වනු දැකීම බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !