Sunday, July 5, 2015

"අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" ....?

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන පමණි. ඒ පානදුරාවාදය ඇතුළු පංචමහාවාද කරමින් මිෂනාරි දුර්මත පරාජය කර බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මුල්ගල් තැබූ ගුණානන්ද හිමි ය.  යහ පාලන ආණ්ඩුව අපට මාදුළුවාවේ සෝභිත හිමි නම් වාදිභසිංහයාණෝ කෙනෙක් ද දයාද කොට තිබේ. උන්වහන්සේ චතුර හඬින් බටහිර සහ ඉන්දීය කුමන්ත්‍රණය වෙනුවෙන් හඬ නැඟූ සේක.

අප  යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කුඩාපොල හිමිවරු එක් නමක් පමණි. ඒ 1848 බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව නැඟුණු නිදහස් සටනට පන්සලේ නායකත්වය ලබා දී ජීවිතය පූජා කළ ජාතික කුඩාපොල හිමි ය. යහ පාලන ආණ්ඩුව අපට අතුරලියේ රතන හිමි නම් නූතන කුඩාපොල හිමි නමක් ද දයාද කොට තිබේ. උන් වහන්සේ බෙදුම්වාදීන්ට මේ රට නැවත අත්පත් කර ගැනීමට ජීවිතය පරදුවට තබා සටන් කළ සේක.

එදා අප දත් යතිවරු සිටියේ පන්සලේ ය. දැන් අපට යතිවර නාමය සහිත ටියුෂන් කඩකාරයෙක් ද ලෝක හොරෙක් ද සිටි. අප යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ කොග්ගල ප්‍රාඥයා, කන්නිමහර ප්‍රාඥයා වැනි ප්‍රාඥයින් ගැන පමණි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම කේ. ජයතිලක මහතා ද ඒ නමින් හැඳින්වීම ඒ නමට ගෞරවයකි. යහ පාලන ආණ්ඩුව අපට ප්‍රාඥයෙක් ද ලබා දී තිබේ. ඒ මැතිසබේ ප්‍රාඥයා ය. 

උපාධි කිහිපයක් ලැබූ පමණින් කෙනෙක් ප්‍රාඥයෙක් වේ නම් මර්වින් සිල්වා ද ප්‍රාඥයෙකි. කෙනෙකු ලබන උපාධිවලින් ප්‍රකට වන්නේ ඔහුගේ දැනුම මිස බුද්ධිය නොවේ. උපාධි ලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන අතර උපාධි නොලැබූ පමණින් යමෙක් බුද්ධිමතෙක් නොවන්නේ ද නැත. කෙසේ වුව ද එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි එකල පාර්ලිමේන්තුව නියෝජනය කළ අය බුද්ධිමතුන් වූහ. එහෙත් ඔවුහු තමන් ප්‍රාඥයින් වම්හයි තාප්ප ගානේ පෝස්ටර් ඇලවුයේ නැත. ඒ ඔවුන් බුද්ධිමතුන් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පිළිගත් හෙයින් සහ සැබෑ බුද්ධිමතුන් වූ හෙයිනි. ඔවුහු අධිරාජ්‍යවාදයට එරෙහි අදීන මිනිසුන් වූහ.

අනෙක් අතට මේ රට සිංහලයින්ගේ වන්නේ කෙසේ දැයි ටයිකොට් ඇඳ පැමිණ රටෙන් අසන ඊනියා උගතුන් තමන් බුද්ධිමතුන් නොවනවා පමණක් නොව උගතුන් ද නොවන බව රටට පෙන්වා දී තිබේ. ඒ නූගත්කම සහ විලිලැජ්ජාවක් නැතිකම එකට එක් වූ විට සිදුවන සන්තෑසිය දැන් ඔබට කොළඹ තාප්පවල "අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" නමැති පෝස්ටරය දකින විට අවබෝධ කර ගත හැකි ය. මේ සියල්ල යහ පාලන ආණ්ඩුව විසින් අපට ලබා දුන් විපරිත ආදර්ශයන් ය.  

3 comments:

Unknown said...

අැත්තට ම මොකාද මේ අලුත් ප්‍රාඥයා

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ඔය වගේ ප්‍රාඥ්ඥයෝ පොල්පිත්තෙන් කපන්න පුළුවන්.මේ ප්‍රාඥ්ඥයෝ බටහිරට සේවය කිරීමටම ෆැක්ටරි වලින් මොළ හදල බද්ධ කරල එව්පු උන්.

සෙන්නා said...

ප්‍රාඥඥයෝ තාප්ප ගානේ තමන් ප්‍රාඥයෙක්යැයි පෝස්ට්ර් නො අලවන බව මේ ගොබ්බ ඊනියා ප්‍රාඥයන්ට නොතේරෙන හැටි. රටේ මිනිස්සුන්ගේ කරුමකයක් පලදෙන්න තමා ඕකුන් මේ ලංකාවේ ඉපදිලා තියෙන්නේ. ගොරකයෝ...

 
සිය රට දේ සිරි සැප දේ !