Monday, April 20, 2015

අනුර කුමාර සිරිකෝත සහෝදරයා දිනේවා!!!

ජනතවා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ. කෙසේ වුව ද ටිල්වින් සිල්වා මහතා පවසන පරිදි පක්ෂය තුළ කිසිදු අර්බූදයක් හෝ ගැටලුවක් නැත. සෝමවංශ අමරසිංහ මහතා කුමක් කීවා ද ටිල්වින් සිල්වා මහතාගේ අදහස නිවැරදි බව මගේ අදහසයි.

2005 ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පක්ෂයෙන් ඉවත් විය. 2010 ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ අභ්‍යන්තර නායකයෙකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද පක්ෂයෙන් ඉවත් විය. ඒ අතර අජිත් කුමාර මහතා ස්වාධීන විය. අද 2015 ජනාධිපතිවරණයෙන් පසු සෝමවංශ අමරසිංහ මහතා ද පක්ෂය අතැර ගොස් ය. මේ සියල්ල පක්ෂයේ අර්බූද නොව පෞද්ගලික අර්බූදය. නැතහොත් කුමන්ත්‍රණය. එපමණක් නොව මේ සියල්ල පක්ෂය ලැබූ ජයග්‍රහණ බව මගේ අදහසයි. මේ කුණු ගොඩවල් ඉවත් කිරීම සහ ඉවත් වීම ඔස්සේ පක්ෂය පිරිසිදු වී ඇති අතර එහි සුවඳ දසත පැතිරෙයි.

ජවිපෙ මෑත කාලීනව මෙලෙස පිරිසිදු නිර්මල පක්ෂයක් බවට පත් වන්නේ අනුර කුමාර සිරිකෝත මහතා සහ ඔහුගේ මතවාදී හිතවතුන් පක්ෂය තුළ බලවත් වීමත් සමඟ ය. සෝමවංශ අමරසිංහ මහතා 88-89 මර්දනයෙන් පසු ඉතා අසීරුවෙන් පක්ෂය නැවත ගොඩ නැඟීමට විදේශයක සිට නායකත්වය ලබා දුන්නා ද ඔහු නායකත්වය ලබා දුන් සමයේ පක්ෂය අනුර කුමාර සිරිකොත මහතාගේ යුගයේ තරම් පොහොසත් නැති බව රට්ටු දනිති. එකල සාමාජිකයෝ පක්ෂය ගොඩ නැඟීමට මහ මඟ, බස් රියේ, දුම්රියේ කැට සෙලවූහ. 

එහෙත් අනුර කුමාර සිරිකොත මහතා පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂයට එජාපයෙන් ලක්ෂ ගණනින් මුදල් ලැබිණි. විජේදාස රාජපක්ෂ මහතා ජවිපෙට ලක්ෂ විසි පහක් ලබා දුන් බව ප්‍රසිද්ධයේ කීවේ ය. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර ලබා ගැනීමට ද ජවිපෙ සමත් විය. නිර්ධන පන්ති ආඥාදායකත්වය ගොඩ නඟා රට සමාජවාදය කරා රැගෙන යෑමට කටයුතු කරන බව පවසන ජවිපෙ මෙලෙස ලංකාවේ අංක එකේ ධනවාදී, ඇමරිකන් ගැති එජාපයේ ද ලොව අංක එකේ ධනවාදී, අධිරාජ්‍යවාදී රජ්‍ය වන ඇමරිකා එක්සත් ජනපදයේ ද ආධාර ලබා ගැනීමට සමත් වීම අති විශාල ජයග්‍රහණයකි. ධනවාදයේ ආසිරි ගී මැද ශ්‍රී ලංකාව සමාජවාදය කරා රැගෙන යෑමට කටයුතු කිරීම උපක්‍රමික තලයේ ලබා ගත් විශාල ජයකි. එහි සියලු ගෞරව අනුර කුමාර සිරිකොත ඇතුළු පිරිසට ලබා දීමට අප පසුබට විය යුතු නැත. 

මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ජවිපෙ තුළ ඇති ලාල් කාන්ත, බිමල් රත්නායක වැනි කසල ගොඩවල් ටික ද ඉවත් කර දැමිය යුතු ය. එවිට එය පිවිතුරු නිර්මල සැබෑ විප්ලවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වනු ඇත. ලෙඩා මළත් බඩ සුද්දයි කියා මේ පිරිසිදු කිරීම්වලට හිනා වන්නේ ජවිපෙ හතුරෝ ය. නිර්ධන පන්ති විප්ලවයට අකුල් හෙළන්නෝ ය. ජනතා විමුක්ති පෙරමුණ මේ මාර්ගය ඔස්සේ රැගෙන ගොස් නිර්ධන පන්ති විප්ලවය යථාර්ථයක් කර ගැනීමට නම් නුර කුමාර සිරිකෝත සහෝදරයා රැකගත යුතු ය. ඒ විප්ලයට ඇමරිකාවේ ද ඉන්දියාවේ ද එජාපයේ ද සහාය ලබා ගත හැකි ජගතෙක් මේ මිහිපිට ඇත්නම් ඒ අනුර කුමාර සිරිකෝත සහෝදරයා පමණි. එහෙයින් අනුර කුමාර සිරිකෝත සහෝදරයා දිනේවා! ජනතා විමුක්ති පෙරමුණ දිනේවා! විප්ලවය දිනේවා!



No comments:

 
සිය රට දේ සිරි සැප දේ !