Friday, January 30, 2015

අයවැය හොඳ ද?

අයවැය මගින් ආණ්ඩුව ජනතාවට සහන මල්ලක් ලබා දී තිබේ. එය හොඳ ලක්ෂණයකි. කිරිපිටි, ගෑස්, සීනි, මුං ඇට, උම්බලකඩ, ටින් මාලු, භූමිතෙල් මිල අඩු කිරීම යහපත් ය. මේ පිළිබඳ පහු ගිය ආණ්ඩුව යොමු කළේ අඩු අවධානයකි. එහෙත් පාන් කෑමට ඇබ්බැහි වී තිබූ රට බත් කෑමට හුරු වූ පසු නැවත පාන් පිටි මිල අඩු කර පාන් පිටි කෑමට යොමු නො කළ යුතුව තිබිණි. කලකට පෙර පාන් පිටි පරිභෝජනය නිසා විවිධ සෙඛ්‍ය ප්‍රශ්න පවා පැන නැඟී තිබිණි. ආණ්ඩුව කළ යුතුව තිබුණේ කිසියම් ක්‍රමවේදයක් ඔස්සේ සහල් මිල අඩු කිරීම මිස ජනතාව නැවත පාන් කෑමට යොමු කර ඇමරිකන් ගොවියා පෝසත් කිරීම නොවේ. ඒ පිළිබඳ ව අගමැතිට හෝ මුදල් ඇමතිට හෝ රෝයල් කැබිනෙට්ටුවට වගක් නැති වුව ද ජනාධිපතිවරයාට කිසියම් වගකීමක් තිබිණි. එහෙත් දැන් ජනාධිපතිතුමා අධිකරණ කටයුතු ද අරන් හදා ගත් විපක්ෂයේ කටයුතු ද නිසා කාර්යබහුල වී තිබේ. එතුමා ජනාධිපතිකම් කිරීම හැර අන් සියල්ල කරන බව පෙනේ. 

මේ සහන ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ලබා දෙන්නක් බව පැහැදිලි ය. එසේ නොමැතිව එය රටේ අනාගතය දෙස බලා සකසා නැත. අවුරුදු විස්සක් විපක්ෂයේ වෙළුණු පිරිසකගෙන් ඉන් එහා දෙයක් බලාපොරොත්තු විය යුතු නැත. ජනතාව මේ සහන මල්ල දැක ඇස් අඳ කර ගග යුතු නැත්තේ එහෙයිනි. විශේෂයෙන් තෙල් මිල මෑත ඉතිහාසයේ අවම අගයක පසුවන මේ මොහොතේ පවා වර්තමාන ආණ්ඩුව කර ඇත්තේ පසුගිය ආණ්ඩුව අය කළ බදු මුදලින් කොටසක් ඉවත් කිරීම පමණි. නුදුර අනාගතයේ සිදු වන ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යෑමේ දී මෙය පරාවළල්ලක් බවට පත් වනු ඇත. අනෙක් අතට ඇතැම් බදු පනවා ඇත්තේ සිය දේශපාලන සතුරන් මැඩලීමට බව පැහැදිය. හඳුන්වා දීමට යෝජිත මිල සූත්‍රය යටතේ සිදුවිය හැක්කේ එවැන්නකි.  

එසේ ම රටේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් සීමා කර, එම මුදල් පරිභෝජනය සඳහා යෙදවීම සුදුසු නැත. පසුගිය රජය යම් යම් බදු අය කළ ද ඒ කාලය තුළ නවීන මාර්ග, ගුවන් පාලම්, වරාය, ක්‍රීඩාංගණ, ව්‍යයාම් පථ, විවේක උද්‍යාන, කුණු කසළ නොමැති පෙර මෙන් වැසි දියෙන් වහා යට නොවන සුන්දර නගර රටට ලැබිණි. පදික වෙළඳුන් ආක්‍රමණය කර තිබුණු පදික වේදිකා නැවත මගී ජනතාවට ලැබිණි. බෙදුම්වාදීන්ගේ බාධා කිරීම් මැද දුම්රිය මාර්ග නැවත තනවා නැවත උතුර දකුණ යා කෙරිණි. මාර්ග දෙපස ගස් සිටුවා සහ තණ පිඩැලි අල්ලා ඒවා මැනවින් නඩත්තු කෙරිණි. ඒවා රටට ඉතා වැදගත් වන අතර වර්තමාන රජය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු දේය. එමෙන් ම දෙමළ සන්ධානයේ බලපෑමට යට නොවී වහා අධිවේගී මාර්ගය ඉදි කර එමගින් උතුර දකුණට ළං කළ යුතු ය.  

මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවේ සපථ කළ පරිදි රටේ සංවර්ධනය පෙරට වඩා තුන් ගුණයක වේගයෙන් ඉදිරියට යා යුතු ය.  සංවර්ධන සඳහා යෙදවෙන මුදලින් 2/3ක් පහුගිය රජය හොරා කෑවේ නම් ඔහු කී පරිදි ම එම මුදල ද දැන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි ය. එසේ නොකර ජනතාවට අඩු මිලට කන්න දීම පමණක් රටකට වැඩක් නැත. එසේ වුවහොත් අවසානයේ බඩගෙඩි ටික පමණක් ලොකු වනු ඇත. එමෙන් ම ලාභෙට කන්න දෙමින් ජනතා ඇසට වැලි ගසා බෙදුම්වාදය වෙත රට ගෙන යෑමට නම් නො සිතිය යුතු ය. පහුගිය වර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අඩු ආයුෂින් හකුළා ගෙන ගෙදර යන්න සිදු වූයේ ද ඒ නිසා ය.  

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !