Wednesday, May 7, 2014

උමාරියා එක්ක හැරෙන්නත් බැරි නන්දා...! - ලහිරු පෙරේරා

ලහිරු පෙරේරා පවසන පරිදි නන්දා මාලනීට උමාරියා සමඟ හැරෙන්නත් බැරිය. මව්බිම පුවත්පතේ එක් ලිපියක හෙඩිම එසේය. මේ තකතීරු කතාව ඇසූ විගස සිංහල ගීත ශ්‍රාවකයින් තුළ සාධාරණ කෝපයක් ඇති වීම යුක්ති සහගතය. 

නන්දා මාලනී සිංහල ගීත ක‍්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ නිර්මාණකාරියකි. ඇය ගැයූ ගීත ප්‍රමාණය අතිවිශාලය. අප හුදෙකලාව සිටින විට නිතැතින් සිතට නැඟෙන තරමට ඇගේ ගීත ජන විඥානයට බද්ධ වී ඇත. ඒ ගීත පිළිබඳ කතා කිරීමට මේ අවස්ථාව නොවේ. ඒ සඳහා අවශ්‍ය සියලු සම්මාන කිත් පැසසුම්වලින් ඈ පුද ලබා තිබේ. 

පෙර සඳහන් කළ හෙඩිම දුටු නලින් සුබසිංහ මිතුරා පළ කළ අදහසක් මෙසේය.
"නන්දා මාලනියට උමාරියා එක්ක හැරෙන්නවත් බැරි බව අලුත් පරපුරේ ගායක හිපාටුවෙක් පවසා ඇති බවයි කියැවෙන්නේ. උන්ගේ අප්පලාට සල්ලි තිබීම හේතුවෙන් මීඩියාවල පිහිටෙන් ගායක ගයිකාවන් බවට අද පත් වෙලා ඉන්න මේ හිපාටුවො හිතන් ඉන්නවා ඇති උන් මහ ලොකු ගායක ගායිකාවන් කියලා. අනේ මගේ කට...
නන්දා මාලනී කියන්නේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම ගායිකාවක්. ඊට පස්සෙ ගායිකාවො කී දෙනෙක් බිහි වුනාද? මාලනී බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ, ඉන්ද්‍රාණි පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී... මේ එක්කෙනෙක්ටවත් වඩා හොඳට හැරෙන්න පුළුවන් උමාරියාටද එතකොට?" 

පෙර සඳහන් කළ ලිපිය නොකිය වූ මම නලින්ගේ අදහසට මගේ ප්‍රතිචාරය මෙසේ පළ කළෙමි.
"ඇත්තට ම උමාරියා දක්ෂ ගායිකාවක්. නමුත් එයා නන්දා මාලනී සමඟ සැසඳීම නිසා ලොකුම හානිය වෙන්නේ උමාරියට. මේ කතාව අහලා එයා මුරුංගා අත්තේ නැග්ගොත් විනාසේ තමා. ලහිරු කියන්නේ තාත්තා නිසා මෙතනට රිංගපු හාදයෙක්. මේ වගේ ගොං කතාවක් නොකීවොත් ඇත්තට ම මෙහෙම එකෙක් ඉන්නවා කියලා අපට මතක් වෙන්නෙත් නෑ. ඒ නිසා ඉඳලා හිටලා මේ විදිහට උම්බෑ කියලා අපිට තමන් සිටින බව මතක් කර දීමත් නරක නෑ."

කෙසේ වුව ද පුවතේ හෙඩිම "නන්දා මාලනීට උමාරියා එක්ක හැරෙන්නවත් බෑ" යනුවෙන් තිබුණ ද එහි ලහිරු සඳහන් කර ඇත්තේ වෙනත් කතාවකි. 

"ප්‍රශ්නය - නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?

ලහිරුගේ පිළිතුර - නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ."

ලහිරු නන්දාට මෙන් ම අමරදේවට සිය කෘතඥතාව ප්‍රකාශ කර තිබේ. ඔහු උලුප්පා දක්වන තරුණ තරුණයින් ද දක්ෂයින් බව සැකයක් නැත. එහෙත් දැනට ඔවුන් යන මාවතේ ගොස් මෙරට සංගීත ක්‍ෂේත්‍රයට කිසිදු වටිනා වැඩක් කළ නොහැකිය. එහෙයින් ඔවුන් ලද සහජ හැකියාවන් සමඟ සිය ජ්‍යේෂ්ඨයින් ගිය මග යමින් එහි අඩුපාඩු ඇත්නම් සකසා ගෙන ඉදිරියට යා යුතුය.

එම ලිපිය නොකියවා ප්‍රතිචාර දැක්වීමත් නිසා මේ සංවාදය වැරදි මඟක ගිය බව මගේ හැඟීමයි. අවසානයේ සල් ගහ යට නිදා සිට ගෙඩියක් වැටුණු කල ලෝකය පෙරළෙන බව කියා දිව ගිය සාවා සහ සතුන්ගේ තත්ත්වයට අප පත්ව ඇත. 

සැබවින් ම ලහිරු කියන මේ කතාවේ ඇත්තක් තිබේ. කිසියම් ගායක ගායිකාවකගේ දක්ෂතාව ඔහු හෝ ඈ විසින් ගයන ලද ගීත ප්‍රමාණය මත නොව ඔහුට හෝ ඇයට ගායනා කළ හැකි ස්වර පරාස මත තීරණය විය යුතු යැයි මම සිතමි. 

ඒ අර්ථයෙන් ගත් කළ නන්දාට වඩා ඉදිරියෙන් සිටින එකිනෙකට වෙනස් විවිධ ස්වර පරාසයන්හි ගායනා කළ හැකි ගායිකාවන් මෙරට පහළ වූ බව මගේ අවංක අදහසයි. එහෙත් නන්දාට ලැබුණු අවස්ථා ඔවුන්ට නොලැබිණි. ඒ නිසා ම නන්දා සිංහල ගීත ක‍්ෂේත්‍රයෙහි අධිතක්සේරුවට ලක්ව ඇතැයි මට සිතෙයි. දැන් මගේ අදහස කියවූ ඔබ කළ යුත්තේ මට බැණ වැදීම නොව ඒ ගැන මොහොතක් නිදහසේ කල්පනා කර බැලීමය. ලහිරු කියන කතාවේ ඇති සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ ගැනීමය.

9 comments:

සෙන්නා said...

කසිකබල් සිංදු කියන ලහිරු, කසිකබල් සිංදු කියන උමාරියාව, නන්දා මාලනිය සමඟ සසදන්නේ මොන කෙහෙම්මලකටද ? උමාරියාව සැසඳිය යුත්තේ ඒ වර්ගයේම සිංදු කියන කසිකබල් ගායිකාවක් සමඟ මිස නන්දා මාලනිය සමඟ නොවේ. එය සැසඳීමම ඇයට කළ අපහාසයකි..

vicharaka said...

හරි හරි ඔය මහා මාරියවල් එක්ක නන්දා මාලිනීට හැරෙන්න බැහැ. නන්දා මාලිනීට දැන් වයසයිනේ. ඔය මහා මාරියාව කොට ගවුමත් ඇඳන් සුරුස් ගාලා හැරෙනවානේ.

හැබැයි ඉතින් නන්දා මාලනී මයික්‍රෆෝනයක් නැතුව එක පද පෙලක් ගායනය කලාම ඔය මහාමාරියලාට රෙද්දේ පහවෙනවා.

Dinesh said...

අද සංගීතයක් කියලා දෙයක් තියෙන්නේ නන්දා මාලනියන් අමරදේවයන් අතීතයේ කරපූ දේවල් නිසා කියන එක ඉතින් අද ඉන්න අය අමතක කරන්න නරකයි..

දේශකයා said...

ඕකේ කිසිම අවුලක් නැහැ. එයා දකින දේ එයාට කියන්න ඇයි බැරි??

Tharindu Sanjeewa Rathnathunga said...

අත්ටටම මෙතන ප්‍රශ්නේ තියෙන්න ලහිරු කියන දේ නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. ඕනෑම කෙනෙකුට විශේෂවූ සංගීත රසාස්වාදයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක මේ පුවත්පත හුවා දක්වන ආකාරය වැරදියි.

Unknown said...

තමන්ගෙ මට්ටම් තම්මට්ටම් කිවුවලු.හැබැයි මාත් නන්දා මාලනි හැරෙනවට කිසිම කැමැත්තක් නැත්ත උමාරියා හැරෙනවටනම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

නාමල් උඩලමත්ත said...

මේ නිව්ස එකේ දී ලහිරු කියනවා අපට අමරදේව සහ නන්දා කළ සේවය මිල කරන්න බෑ කියලා. ඊට පස්සේ ඔහු කතා කරන්නේ ගායන හැකියාව. ඒ කියන කතාව ඇත්ත. නමුත් ලහිරුට නොතේරෙන දේ තමා හැකියාව තිබුණු පමණින් සංගීත ක‍්ෂේත්‍රයට කිසිම හොඳක් කරන්න බැරි බව. ඒකට මහන්සිවෙලා සම්ප්‍රදාය හදාරමින් සෙසු සම්ප්‍රදායන් හදාරමින් නිර්මාණ කළ යුතුයි. සමහර සීමා යටතේ වුණත් අමරදේවලා නන්දා මාලනීලා ඒක කළා. උමාරිය හෝ සෙසු අය දක්ෂ වුණත් නිසි හැදෑරිමක් නෑ. ඒ නිසා ඔවුන්ගේ දක්ෂතාවලින් රටට තාම නම් කිසි සේවයක් නෑ.

තිසර said...

ඕක සයිට් එකේ මතු කරලා දක්වන විදිහ වැරදියි තමයි. ලහිරු කියන්නේ ගායන හැකියාව ගැන විතරයි. කියවන බොහෝ අය ඕක පටලවගන්නවා ඒ අය කරපු සේවය සහ නිර්මාණවල ගුණාත්මකභාවය එක්ක. ගායකයෙක්ව තක්සේරු කලයුතු ක්‍රමය මොකද්ද කියන තර්කය පොඩ්ඩක් එහෙම්මම තිබ්බාවෙ... ගායනා කිරීමේ හැකියාව අතින් නන්දා මාලිනීට සහ අමරදේවට වඩා දක්ෂ අය නවපරපුරේ ඉන්නවා කියන එකේ ලොකු අරුමයක් නැහැ.

අනික ලහිරු වගේ ඔහොම ප්‍රසිද්ධියේ නොකිව්වට, අපි අගය කරන බොහෝ ගායක ගායිකාවොත් පුද්ගලික තැන් වලදි තමන් අරයට මෙයාට වඩා දක්ෂයි කියන කතා අනන්තවත් කියනවා. අමරදේව ගැන නම් දන්නේ නැහැ, හැබැ‍යි නන්දා මාලිනී වුණත් කේමදාසගේ හැකියාව පහත් කරලා කතා කරලා තියනවා ඕන තරම්. ඔය ෆීල්ඩ් එක තනිකර බෙලිකපාගන්න ෆීල්ඩ් එකක්. ඔය ගායකයන්ගේ ගීතවලින් මතුකරන සුන්දරත්වය හැබෑවටම තියෙන්නේ ඉතාම සුළු පිරිසක් ලඟ. ගොඩක් ගායකයෝ තමන් ගායනා කරන සිංදුවල තේරුම වත් දන්නේ නෑ...

methu's world said...

මෙතන comment දාන අය පටලවාගෙන බව පේනවා කෙනෙකුගේ හැකියාව ඔහ්ගේ හෝ ඇයගේ වයස හෝ පැරණි බව මත තීරණය නොවේ . ලහිරු මේ කියා ඇති දෙය සත්‍යකි .පුද්ගලිකව මම ලහිරුගේ ගීත වලට ඒතරම් ලැදි අයෙක් නොවුනද ඔහු ගේ සුදු ගවුම ගීතයේ සංගීත සංකලනය විශිෂ්ට එකකි.අමතක නොකළ යූතු තව දෙයක් ඇත පැරැන්නන්ගේ ගීත නැවත ගායනයට ආරම්භය තැබුවේ නන්දා මාලිනිය විසින් බවය .අද සිටින නවකයන් ගේ ගීත වල ගුණාත්මක බව පිළිබද ප්‍රශ්න ඇතතත් ඔවුහු තමුන්ගේ දෙයක් කීරීමට උත්සාහ දැරීම අගය කල යුතුය මෙය නන්දා මාලනිය හෑල්ලු කෙරීමක් ලෙස නොසිතන මෙන් කාරුණිකව දන්වා සිටිමි

 
සිය රට දේ සිරි සැප දේ !