Sunday, May 18, 2014

ඉල් විරුවන් සැමරිය හැකි නම් වෙසක් විරුවන් ඇයි බැරි?

ඉල් මහ සැමරුම ජවිපේය. වෙසක් විරු සැමරුමක් කොටින්ට ද ලබා දිය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. ඒ නන්දිකඩාල්හි මහ කොටියා ඇතුළු ත්‍රස්ත කල්ලි විනාශ කළ දිනයයි. මේ අදහස් දරන අය මාක්ස්වාදි සහ බෙදුම්වාදී ආස්ථානයක සිටියි. එමෙන්ම මේ දෙපිරසම කරන ලද්දේ එකම වරදක් බවත්, දෙමළ ජනතාවට මේ රටේ දෙවන පුරවැසියන් ලෙස සලකන නිසා ඔවුන්ට සිය විරුවන් සැමරීමට ඉඩ නොදෙන බවත් පවසා කෙප්පයක් නිර්මාණය කර පොරවල් වීම ඔවුන්ගේ අහිංසක ආශාවයි. 
මම මේ සැමරුම් දෙකට ම විරුද්ධය. නමුත් ඉල් මහ සැමරුම කළ හැකි නම් කොටි සමරන්න බැරි ඇයි කියා අහන අයට මට කීමට ඇත්තේ රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවය. ආණ්ඩුව යනු රාජ්‍යයක එක් අංගයක් පමණි. ජවිපෙ මදාවිකාරයෝ හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පත් කළ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන සන්නද්ධ ක්‍රම ඔස්සේ වෙනස් කිරීමටය. ඒක ජයග්‍රහණය කළා නම් රෝහණ විජේවීරත් අර ෆිදෙල් කැස්ත්‍රෝ වගේ අමරණීය නායකයෙක් වන්නේය. කෙසේ වුවත් සිංහල බෞද්ධයාගේ වාසනාවට එසේ වූයේ නැත.

 ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය යුද්ධ ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධව නොව, ලංකා රාජ්‍යයට විරුද්ධවය. එවුන් උත්සාහ කළේ ආණ්ඩුව වෙනස් කරන්න නෙමේ, රටේ භූමියෙන් 3/1 සහ මුහුදින් 3/2 සහිතව වෙනත් රටක් එහෙම නැත්නම් ඊළම කියලා ක්‍රිස්තියානි රාජ්‍යයක් තැනීමටය. ඒ සඳහා බටහිර රටවල් NGO සහ පල්ලිය උදව් කළහ. අය කුමන ක්‍රියාමාර්ග ඔස්සේ වුව ආණ්ඩු පෙරළීමේ ක්‍රියාදාමයකට එහා ගිය දැඩි බව පුනපුනා කිව යුතු නැත.

බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය විනාශ කළද, තවමත් ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී ඊළාම් කල්ලි ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඊළම වෙනුවෙන් නැවත සන්නද්ධ වූ ගෝපි ඇතුළු හිටපු කොටි තිදෙනෙක් මෑතකදී මැරුම් කෑහ.

ජවිපෙ මේ වන විට සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් ආණ්ඩු මාරු කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගෙන ඇත. ඔවුන්ගේ අරමුණ ජය ගැනීමේ ක්‍රමය වැරදි වුව ද අරමුණ වැරදි යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ ඉල් මහ සැමරුමට අවසර දීම ප්‍රශ්නයක් නොවේ. බහුතර ජනතා කැමැත්ත දිනාගත හැකි නම් ඔවුන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය.

එහෙත් බෙදුම්වාදී කල්ලිවල සන්නද්ධ අංශය විනාශ කළ ද ප්‍රජාතන්ත්‍රවාදී කල්ලි නැවත ලොව පුරා සන්නද්ධ වෙයි. ඔවුහු නැවත යුද්ධයකට ආයුධ රැස් කරමින් සිටිති. ඔවුන්ගේ අරමුණ ජයගැනීමේ ක්‍රමය මෙන් ම අරමුණ ද භයානකය. වැරදිය. එහෙයින් නැවත ද්‍රවිඩ තරුණයින් ඊළම වෙත දක්කන කිසිදු ක්‍රියා මාර්ගයකට නැඹුරු වීමට ඉඩ නොදීම ආණ්ඩුවේ මෙන් ම ආරක්ෂක අංශවල ද වගකීමයි. තවත් වසර 5ට කොටි තහනම් කිරීමට ඉන්දිය රජය ගත් පියවර කොටින් තවමත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සනාථ කරයි.

ලොව මෙතෙක් ජර්මනියේ හිට්ලර් හෝ සෞදියේ බින් ලාඩන් සැමරීමට ඉඩදී නැත. එසේ නම් මෙතෙක් ලොව බිහිවූ භයානකම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන කොටි සංවිධානය හෝ එහි නායකයා කිසිසේත් සැමරීමට ඉඩදිය යුතු නැත.  දේපළ රාජ සන්තක කළ යුතුය. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදයට කත් ඇදීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ට සම්බන්ධ සියලු කල්ලි කණ්ඩායම් තහනම් කළ යුතුය. තරමට වඩා දඟලන එවුන් මහජන ජීවිත, මව්බිමේ ආරක්ෂාව සහ රටේ ඒකීයභාවය වඩා වැදගත් හෙයින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුය. 

1 comment:

Secularist said...

//ඊළම කියලා ක්‍රිස්තියානි රාජ්‍යයක් තැනීමටය.// ඊළම ක්‍රිස්තියානි රාජ්‍යක් වන්නේ කෙසේදැයි ඔබතුමාට පැහැදිලි කළ හැකිද ? බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහාය දුන් පළියට , 1988 පෙර ගුණදාස අමරසේකරලා නලින් ද සිල්වලා සහාය දුන් පළියට ජවිපෙ විසින් හදන්නට තැත්කළ මාඕ වාදි උතෝපියාව බෞද්ධ රාජ්‍යයක් වන්නේ නැත
එබැවින් ක්‍රිස්තියානි විරෝධි පාර්ශ්විකත්වයෙන් තොරව මේ ප්‍රශ්නය දෙස බැලීම අගනේය

 
සිය රට දේ සිරි සැප දේ !