Tuesday, March 18, 2014

අධිවේගයත් මග මරුවන්ට පාවා දෙමුද?

මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින අධිවේගී මාර්ග ජාලය ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු කරනුයේ ලංගම සහ ඩී.එස්. ගුණසේකරගේ බස් රථ පමණි. මේ නිසා ජනතාවට කිසිදු බියක් සැකක් නොමැතිව ගමන් බිමන් යෑම සඳහා එම මාර්ග භාවිත කරති. කිසියම් වැඩි මුදලක් ගෙවා හෝ ජනතාව අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරනුයේ කාලය ඉතිරිවීම, ආරක්ෂාව, පහසුව වැනි කරුණු සලකාය. දැන් වසරකට වැඩි කාලයක් මේ මගී ප්‍රවාහන සේවාව ඉතා වැදගත් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ගාලු - මාතර සාමාන්‍ය මාර්ගයේ මෙන් මාරාන්තික බස් රථ ධාවන තරඟ අධිවේගයේ අප දැක නැත. මේ කාලය තුළ කිසිදු බස් රථ අනතුරක් හෝ ජීවිත හානියක් නොවීම එම ප්‍රවාහන සේවයේ විශිෂ්ටතාව පිළිබඳ සාක්ෂියකි.

කෙසේ වුව ද ආරම්භයේ සිට ම මේ රටේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව සිය බස් රථ කෙසේ හෝ අධිවේගී මාර්ගවලට රිංගවා ගැනීමට කැසකවමින් සිටී. බස් ගැමුණු ඇතුළු එම සම්ගම්වල ලොක්කෝ විවිධ සුරංගනා කතා ඇදබාමීන් තමන් ජනතාවට සපයන සේවාව අධිවේගී මාර්ග දක්වා පුළුල් කර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. තමන් දැනට වඩා අඩු මුදලක් අය කර අධිවේගී මාර්ගවල බස් ධාවනය කිරීමට සුදානම් බව පවසති. ජනෙල්වලට තිර යෙදීම නිසාම අර්ධ සුඛෝපභෝගී නම් වන බස් රථ කඩුවෙල සිට මාතරට මගියෙකුගෙන් රුපියල් 250ක් අය කර ධාවනය කිරීමට සුදානම් යැයි පිං සෙණ්ඩුවෙති. මේවා දකින අපට නම් සිහිවන්නේ රජුගෙන් ගෙරිහම් කඩක් එලා ගන්නට අවසර ඉල්ලා බලකොටුවක් ගොඩනැඟූ පරංගියාය.  



අද මේ රටේ මහා මාර්ග පද්ධතිය අනාරක්ෂිත කලාපයක් බවට පත්ව ඇත්තේ මේ අසික්කිත පෞද්ගලික බස් මාෆියාව නිසාය. මගී ජනතාව පොල් පටවන්නා සේ පටවා ගෙන සෙසු බස් රථවලට වෙට්ටු දමමින් ලංගම බස්වලට මග අවුරමින් මාරාන්තික රේස් දුවන ඔවුහු මහ මග ගමන් කරන පදිකයින්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. මගී ජනතාවගේ සුව පහසුව තබා ජීවිතවල වටිනාකම පවා නොතකති. 

කරුණු මෙසේ හෙයින් මගී ජනතාවගෙන් නාමයෙන් පවතින පෞද්ගලික බස් මාෆියාව අධිවේගයෙන් ඉවත් කර තැබීම රටේ පාලකයින්ගේ වගකීමයි. එපමණක් නොව පවතින පෞද්ගලි ප්‍රවාහන සේවාව පවා දැඩි සුපරීක්ෂණයකට ලක් කළ යුතුය. ගමන් වාර සඳහා ලබාදී ඇති කාලය නූතන මාර්ග පද්ධතියේ දියුණුවට සාපෙක්ෂව යාවත්කාලීන කළ යුතුය. එනම් නොදියුණු මාර්ගයක පැයක් ගත වන ගමන මාර්ග දියුණු කළ විට ඊට අඩු කාලයකින් යා හැකි හෙයින් ඒ අනුව කාලය ද අඩු කළ යුතුය. මගී ජනතාවගේ ආරක්ෂාව මෙන් ම පදිකයින්ගේ ආරක්ෂාව ද තහවුරු කළ යුතුය. දිගු ගමන් බස් අතරමග නතර කරන අපිරිසිදු කෑම අධික මිල ගණන්වලට අලෙවි කරන ස්ථාන පිළිබඳ සොයා බැලිය යුතුය. මාර්ග නීති කඩකරන බස් රථවල බල පත්‍ර අහෝසි කළ යුතුය. ලෝකයේ අපිරිසුදුම නිල ඇඳුම නිසි ලෙස භාවිතය උපදෙස් ලබා දිය යුතුය. එය සෙසු පොලිස්, හෙදි නිල ඇඳුම් මෙන් අනීවාර්ය කළ යුතුය. නිල ඇඳුම යනු තවත් කමීසයක් ඇඳ උඩින් දමා ගන්නා සරුවාලයක් නොව සේවා කාලය තුළ සැරසී සිටිය යුතු ඇඳුමයි. මේ සියලු අගතීන් ඉවත් කළ හැකි ක්‍රමවේදයක් නොසකසා, රටේ සෙසු මාර්ගවල දැනට පවතින ක්‍රමයට මේ අසික්කිත ප්‍රවාහන ජාලය අධිවේගී මාර්ග දක්වා ව්‍යාප්ත කිරීම යනු ඉතා අනතුරුදායක තත්ත්වයකි. 

සෙසු මාර්ගවල මනා ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාමෙන් පෞද්ගලික ප්‍රවාහන සංගම්වල අධිවේගයේ ධාවනයට තමන්ට ඇති සුදුසුකම් පෙන්වා දිය හැකිය. ඔවුන් එසේ කර පෙන්වන්නේ නම් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා අවසර දීම පිළිබඳ සලකා බැලිය හැකි යැයි කියා රජයට බස් ගැමුණුලා ඒ සඳහා දිරිමත් කළ හැකිය. එසේ නොමැතිව මේ මුදලාලිලා අපි ලංගමයටත් වඩා අඩුවට දුවමියි කියන බොරුවලට ආණ්ඩුව හසුවිය යුතු නැත. එසේ අඩුවට දිවිය හැකි නම් සෙසු මාර්ගවල බස් ගාස්තු වැඩි කරන්න යැයි උද්ඝෝෂණය නොකර එම මාර්ගවල අය කරන ගාස්තු අඩු කර බස් රථ ධාවනය කළ හැකිය. ඒ ඔස්සේ සිය වඩා හොඳ සේවාවක් ලබාදිය හැකිය. එහෙත් මේය උපායක් පමණි. කෙසේ හෝ අධිවේගයට ඔලුව දමා ගන්නා මේ මාෆියා කාරයෝ ලංගම බස් ටික කෙසේ හෝ ඉන් ඉවත් කර අනතුරුව අධිවේගයට ද වඩා වේගයෙන් ගාස්තු වැඩි කළ යුතු බවට පවසා වර්ජනය කරනු ඇත. එවිට ආණ්ඩුවට සිදුවන්නේ මේ කප්පම් කාරයින්ට හිස නැමීමට පමණි. අධිවේගයේ මේ වන විට පෞද්ගලික බස් මාෆියාවේ බලය තිබිණි නම් මෑතකදී සිදුවූ ගාස්තු අඩු කිරීම වෙනුවට සිදුවිය යුතුව තිබුනේ ගාස්තු වැඩි වීමක් පමණි.

එහෙත් බොහෝ විට සිදුවිය හැක්කේ මේ මුදලාලිලාගේ කොමිස් වරදානවලට ලොබින් ආණ්ඩුවේ ප්‍රවාහන නිලධාරීන් පෞද්ගලික බස්මරුවන්ට අධිවේගයේ පිස්සු කෙළින්නට අවසර ලබාදීමය. එයින් පසු සිදුවන සියලු ජීවිත හානි සහ විනාශයන්ට වගකිව යුත්තේ එම විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකළ ආණ්ඩුවයි. දැන් නියපොත්තෙන් කැඩිය හැකි දේ එවිට පොරවෙන් ද කපා දැමිය නොහැකි තැනට පත්ව තිබෙනු ඇත.

2 comments:

Unknown said...

ඔය යොජනා කලින් ඇවිත් තිබුන.ක්‍රියාත්මක වෙනවනම් කවුරුත් කැමතියි.එත් මෙක අමුතු මිනිස්සු ඉන්න රටක් නේ

නාමල් උඩලමත්ත said...

මම මූලික වශයෙන් මෙහිදී කතා කළේ මේ මාෆියාව අධිවේගයට ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතු බවයි. සෙසු කරුණු සඳහන් කළේ එහි වැදගත්කම අවධාරණය කරනු සඳහා පමණි. අප සැක කළ පරිදිම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතියෙකු ඇතුළු පිරිසක් දැනටමත් ලංගමයට බාධා කරන අතර ලංගම බස් ගමනාගමනය දැන් නතර වී තිබේ. වැඩි විස්තර මෙහි ඇත. http://www.divaina.com/2014/03/19/news25.html

 
සිය රට දේ සිරි සැප දේ !