බහුතරයක් TNA නායකයින් සිටින්නේ උතුරේ නොව දකුණේය. ඔවුහු උතුරට යන්නේ ඡන්දය ලබා ගැනීම සඳහා පමණි. නැවත යන්නේ විටින් විට ජනතාව තුළ සිංහලයාට විරුද්ධව ජාතිවාදී හැඟීම් ඇවිස්සීම සඳහා පමණි. උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනය සම කළ හැක්කේ ප්රභාකරන්ගේ මහවිරු ප්රකාශනයට පමණි. මේ මැතිවරණය ඔස්සේ නන්දිකඩාල් කළපුවේ ගිලී ගිය ඊළාම් සිහිනයෙ සැබෑ කර ගැනීම බෙදුම්වාදීන්ගේ අරමුණ වේ.
විග්නේෂ්වරන් කුඩා කළ සිට දකුණේ එනම් කොළඹ 7 හැදී වැඩී රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබුවෙකි. ඔහු සිය ජීවිත කාලය සැඳෑ සමය වන තුරු ගෙවා දැමුවේ දකුණේ සිංහලයින් සමඟය. ඔහුගේ දියණියන් දෙදෙනා විවාහ වී ඇත්තේ ද සිංහලයින් සමඟය. එහෙත් දැන් ඔහු ද ඔහු නියෝජනය කරන පක්ෂය කියනුයේ උතුර දෙමළ නිජබිම බවය. උතුර දෙමළ නිජබිම කීමත් සමඟ ම දකුණ සිංහලයාගේ නිජබිම බවට පත්වන අතර දකුණේ වසන 52%කට වැඩි ලාංකික දෙමළ පිරිස සිංහල නිජබිමෙහි වසන පිටස්තරයින් බවට පත් වේ.
එමෙන්ම TNA කියන පරිදි උතුරේ හමුදාව එදා 1983 උතුරේ සිටි ප්‍රමාණයට අඩු කළ යුතුය. එදා ලංකාවේ සමස්ත හමුදාව 16 000ක් පමණ විය. එම පිරිස රට පුරා බෙදී ගිය විට එකල උතුරේ සිටින්නට ඇත්තේ 1000කට වැඩි භට පිරිසකි. එදා උතුරේ විවිධ බෙදුම්වාදී කල්ලිවලට රිසි සේ හිස එසවීමට එකී සුළු හමුදා බලය ද හේතු වන්නට ඇත. කෙසේ වුව ද තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර තැන, හමුදාව නැවත කොළඹ ගෙන්වා ගත යුතු යැයි කීම විහිළුවකි. එසේ කියන්නේ ද බෙදුම්වාදී කල්ලි වීම ලෝක විහිළුකි. අද එය ලක්ෂ 2 ඉක්මවූ සෙබල පිරිසක් සේවය කරති. රටේ හමුදා ස්ථානගත වීම තීරණය කළ යුත්තේ රටේ ආරක්ෂක අංශ මිස දේශපාලන කල්ලි නොවේ. මේ බෙදුම්වාදී කල්ලිවලට කිරි පොවන ඇමරිකානු හමුදා කණ්ඩ තවමත් ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවල නවතා ඇති බව ද ඇමරිකානු හමුදා කඳවුරු ලොව පුරා 1000 වැඩි ප්‍රමාණයක් ඇති බව ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය. අවම වශයෙන් එදා (1983) උතුරේ සිටි හමුදා ප්‍රතිශතය පමණක් අද එහි තැබිය යුතු යැයි ඔවුන් කීවේ නම් එහි තර්කයක් තිබේ.
මේ කතාවේ හොඳම හරිය ඒ නොවේ. හමුදාව 1983 සිටි ප්‍රමාණයට අඩු කළ යුතු යැයි කියන TNA න්යයාචාර්යයින් උතුරේ 1983 පැවති තත්ත්වයට ජන අනුපාතය සැකසිය යුතු යැයි කියන්නේ නැත. එදා උතුරේ සිටි සිංහලයින් නැවත පදිංචි කිරීමට ඔවුහු විරුද්ධ වෙති. එය ආක්‍රමණය කැයි කියති. 1990 දශකයේ පැය 24ක් තුළ යාපනයෙන් පළවා හැරි මුස්ලිම්වරුන් එහි නැවත පදිංචි කළ යුතු යැයි නොකියති. කිලිනොච්චියේ පැවති සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කළ යුතු යැයි නොකියති. දෙමළ ජනතාවට ලංකාවේ ඕනෑම තැනක සිතු සේ ජීවත් විය හැකිය. එහෙත් සිංහලයින්ට උතුරේ ජීවත් විය නොහැකිය. ඒ ඔවුන්ගේ නිජබිමය. සමස්ත ලාංකික දෙමළ ප්‍රජාවෙන් මේ නිජබිමේ වසන්නේ 48%කි. සෙසු පිරිස සිංහලයින් සමඟ සෙසු ප්‍රදේශවල වසති. මේ අතර TNA ලොක්කෝ ද වෙති. එසේ සිටින ලොක්කෝ සිංහලයින් තමන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකතියි කියති. මේ වර්ගවාදී ප්‍රෝඩාව වහා විනාශ කළ යුතුය. බෙදුම්වාදයට යා හැකි සියලු මං වසා දැමිය යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කළ යුතුය.
මේ මොහොතේ TNA නියෝජනය කරන්නේ ලාංකික දෙමළ ජනතා අභිලාෂ නොවේ. එදා ප්රභාකරන්ගේ පාර්ලිමේන්තු පඹයින් ලෙස ක්‍රියා කළ ඔවුහු අද දෙමළ ඩයස්පෝරාව ගයන බයිලයට පාද තබති. දෙමළ ඩයස්පෝරාව දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ සිහිනයක සිරවී සිටී. ඒ සිහිනය දඩමීමා කරගෙන උතුරේ ආසියාවේ ඊශ්‍රායලය නිර්මාණය කිරීම ඇමරිකාවේ අරමුණය. නැගී එන චීනය සහ ඉන්දියාවට මුහුණ දීම එහි අරමුණය. එය අවශ්‍යයෙන්ම ක්‍රිස්තියානි රාජ්‍යයක් වනු ඇති අතර හින්දූන්ට සිදුවනුයේ නිහඬවීමටය. අදත් එදත් ඊළම වෙනුවෙන් හඬ නඟන පිරිස හින්දූහු නොවෙති. යුද්ධයෙන් මිය ගියේ හින්දූන් වුව ද පසුගිය ජිනීවා සමුළුවට පෙත්සන් අත්සන් කළේ හින්දු පූජකවරු නොව කතෝලික ක්‍රිස්තියානි පූජකයින්ය. අද තමන්ට රිසි සේ මුස්ලිම් ලෝකය දඩයම් කිරීම සඳහා ඇමරිකාව භාවිත කරනුයේ එදා ඔවුන් මැදිහත් වී නිර්මාණය කළ ඊශ්‍රායලයයි. දැන් දැන් ඊශ්‍රායලය නමැති බලු නකුට බල්ලා වැනීමට තරම් ශක්තිමත් වී ඇති බව පැහැදිලිය.
1988 උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත් කොට ඉන්දියාවට පළා ගියේය. අදත් ඊළමට හඬන දයාන් ජයතිලක එදා ඒ පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකි. 30 වසරක් රට ආපස්සට රැගෙන ගිය ත්‍රස්තවාදය විනාශ කොට නැවත උතුර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් කර ගැනීම සඳහා රජය ක්‍රියා කරන විට මෙදා උතුරේ ජාතිවාදය වපුරන විග්නේශ්වරන් ද අවසානයේ සිදුකරනු ඇත්තේ මහ ඇමති බවට පත්ව රට නැවත වටයකින් ත්රස්තවාදයට ඇද දැමීම බව දැන් පැහැදිලිය. මේ ජාතිවාදී නාඩගම නිසා සිදුවනුයේ දැන් නිදහසේ හුස්ම ගන්නා උතුරේ ජනතාව නැවත නිරයට ඇද දැමීමය. ඒ සඳහා ඇති ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉවත් කිරීමට ආණ්ඩුවේ සිටින බෙදුම්වාදීන් (එනම් විග්නේශ්වරන්ගේ වාසුදේව මස්සිනාලා) විරුද්ධ වන අතර ජනපතිද එහි අවධානම අවබෝධ කර ගෙන ඇති බවක් ෙනොපෙනේ. තමා සිටින තුරු රට බෙදන්නට ඉඩ නොදෙමැයි ජනාධිපති බෙරිහන් දීම ඇතැමුන්ට උජාරුවට හේතුවක් වුව ද මට නම් සිහිවූයේ දිය උණුවන තුරු කෙළින කකුළුවාය.
එහෙයින් ව්‍යවස්ථාවේ ඇති බෙදුම්වාදී පිළිල විනාශ කිරීමට ක්‍රියා නොකරන සහ ඊට විරුද්ධ වන සියලු දෙනා අනාගතයේ ජාතියට මුහුණදීමට සිදුවන අනතුරට වගකිව යුතුය. මේ මොහොතේ රටට ආදරය කරන බුද්ධිමතුන්ගේ වගකීම මේ සියලු ද්‍රෝහී බලවේග හෙළි කරමින් ජනතාව දැනුවත් කිරීමය. මේ ද්‍රෝහීන් නැවත ඔවුන් ඉල්ලන දෙයක් දී සාමය ආරක්ෂා කරගත යුතු යැයි කියන තැනට සිංහල ජන මනස සැකසීමට ක්‍රියාකරනු ඇත. එම බියගැන්වීම්වලට සිංහලයින් බිය නොවිය යුත්තේ සිංහලයා කිසිදින යුද්ධයෙන් පැරදි නැති හෙයිනි. සිංහලයා සැමදා පරාජය වූයේ කූඨ ගිවිසුම් නිසාය. එමෙන්ම යටත්විජිතවාදීන් සිංහල ජාතිය මහ ගඟක් සේ වැඩෙන්නට තිබූ උල්පත් සිඳලමින් ඇති කළ විවිධ බෙදුම්වාදී ව්‍යාපෘති අහෝසි කරන තැනට අප යා යුතුය. විශේෂයෙන් උප්පැන්වල ජන වර්ග සඳහන් කරන කොටස් ඉවත් කළ යුතුය. සියලු ජන කොටස්වලට මහ ජාතිය සමඟ මුසුවීමට එය අති විශාල බාධාවකි. සිංහලයා යනු මෙරට සංස්කෘතියට අනුගත වීම ඔස්සේ ගොඩනැඟුණු ජාතියකි. එහි ලේ උරුමයක් නොමැත. අවසානයේ මෙරට ජීවත් වන දෙමළා ද මුසල්මානුවා ද සිංහලයින් විය යුතුය. ඒ සඳහා ජාතියට කෙතරම් විශාල වන්දියක් ගෙවීමට සිදු වුව ද ඊට මුහුණදිය යුතුය. ඒ අපට වෙන විකල්පයක් නොමැති හෙයිනි.
1 comment:
Post a Comment