
ඔන්න ඔහොම කලක් ගියා කියමුකෝ. මට නිච්චි හැටියට 1942 වරුසේ බීබීසී සංදේසේ කියලා රටක් වටිණ පොරෝගැරූම් එකක් පටන් ගත්තා. ඕක කොළේ බිරිතානියේ ඉඳලා. ඉතින් ඕක බොහොම කාලයක් ජයට කොළා. පහුපහු වෙද්දි තමා කොහුකොහු වුණේ. දැණුත් අපි වගේ ඉහනිකට පැහුණු ඈයෝ ඕක අහනව නම් තමයි. ඒත් ඉතින් කලු කෝට් අස්සෙන් කොටි පුල්ලි පේනවා. ඕන්න ඕක නිසා තමා කොලුවෝ යන දීපංකරේක දැනං පලයන් කියන්නේ.
කොහොමින් කොහොමින් හරි මම කියන්න ආ කාරණාවත් අමතක වුණා නොවැ. ඔය බීබීසී සංදේසේ ඊයේ රෑ කිව්වා මරු කතාවක්. භුතානේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ ලැප්ටොප් පාවිච්චිය තහනම් කොළාලු. උන්නැහේ කියනවා ආයුබෝවන්ඩ රටේ වැදගත් පුරස්න මෙතන කතා කොරද්දි මන්තිරිලා ලැප්ටොප් එකේ ගේම් ගහනවලු. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඈයෝ ගහන ගේම් ගැන උන්නැහේ දන්නවා නම් මොනවා කොරයි ද මන්දා?
ඔන්න ඉතින් මං මේ ගැන අහන්න කදිම මනුස්සයා හොයාන දියවන්නාව පැත්තේ ගියා. ගිහින් උන්නැහේ එනකම් ඔහේ තැග් ගැහි ගැහි උන්නා. උන්නැහේගෙ සද්දන්ත වාහනේ දැක්ක ගමන් අත දැම්මා පාරට. මාව පහුකර ගෙන යාර ගාණක් ඉගිලුන වාහනේ ආපි පස්සට.
"මොකද රාල මේ පැත්තේ?" කියවමින් සිටි 'සීගිරි ගී' පොත නමලා අතේ තියාන ලොකුබණ්ඩාර උන්නැහේ ඔලුව දමාපි එළියට. මම උන්නැහේගෙ සුපුරුදු ලෙංගතු හිනාවට හිස නමන ගමන්ම කිව්වා ආරංචිය. දැහැන්ගත වෙලා වගේ මගේ කතාව අහන් වුන්නු උන්නැහේ මෙන්න මෙහෙම කියලා ඔලුව වාහනේ ඇතුලට දා ගත්තා.
"මොනවා කරන්නද රාලේ උන්නැහේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්රි ගොල්ලගේ දෙපා නැමද සමාව ගනීවි"
උන්නැහේ මෙහෙම කියලා හිනාවුණේ කාටද කියලයි මම තාම කල්පනා කොරන්නේ. උන්දැ හිනාවුණේ භුතානේ මන්තිරි ගොල්ලට ද? නැත්නම් ඒ රටේ කතානායක උන්දැට ද? උන්දැ උන්දැටම හිනාවුණා ද? එහෙමත් නැත්නම් අපේ මන්තිරිගොල්ලට ද? නැත්නම් මේ උත්තමයෝ දියවන්නාවට උස්ස ගෙන ගිය අපට ද? මගේ අප්පච්චියේ මම තාම පිලේ ඉඳ ගෙන කල්පනා කොරනවා. අනේ හැබෑවටම උන්දෑ හිනාවුණේ කාට ද? හා කියමුකො බලන්න.