Thursday, June 16, 2022

පල්ලේකැලේ ජනතා නැගිටීම!

 ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් තරඟය සඳහා සූදානම් වෙද්දි එතන ගැටුමක් හදන්න පිරිසක් උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා කළා. මෙතන දී පොලිස් රාජකාරියට බාධා කළ විශ්වවිද්‍යාල සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට අරන්.
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්, පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්, මේ පුතාලා ටික මෙතනට ආවෙි ආයෙමත් රට ගිනි තියන්න පොටක් පාද ගන්න බව පැහැදිලියි. 
මෙතන ගැටුමක් ඇති වෙලා ලේ වැගිරීමක් වුණා නම් ඕස්ට්‍රේලියාව තරඟාවලිය අතරමග නතර කරලා තමන්ගේ කණ්ඩායම නැවත වහාම තමන්ගේ රටට කැඳවනවා. එතකොට නැවත මේක ජාත්‍යන්තර මාධ්‍යවල හොට් නිව්ස් එකක් වෙලා ලංකාව සංචාරයට සුදුසු නැති රටක් කියල නිව්ස් එක ලෝකයට යනවා.
පොලිසිය බුද්ධිමත්ව කටයුතු කරමින් වහා ම අර කඩාකප්පල්කාරයෝ ටික අත්අඩංගුවට ගත් නිසා රටට වෙන්න ගිය අවාසනාවන්ත සිද්ධිය මග ඇරුණා. නමුත් මේ අය රට අගාධයට ඇද දමන උත්සාහය නතර කරන්නේ නෑ.
මේක දුරදිග ගිහින් මැච් එකත් අතරමග නතර කරන තැනට වැඩේ පත්තු වුණා නම් ඊට පස්සේ ක්‍රීඩාංගණයත් ගිනි තියල රටේ මහා ජීවිත සහ දේපළ හානියක් වෙනවා. 
වැඩේ පත්තු කළ විශ්විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගන්න ලැබෙන්නේ නෑ. ඒ අය වැඩේ පත්තු වුණා ම අතුරුදන් වෙනවා. අත්අඩංගුවට ගන්නේ මැච් එක බලන්න ඇවිත් මේ ගැටුමේ කොටස්කාරයෝ වුණ ක්‍රිකට් පිස්සෝ ටිකක්. 
එහෙනම් ජවිpay, පෙරටුගාමීන් සහ අන්තරේ අද විජයග්‍රාහී ලීලාවෙන් මාධ්‍ය අමතනවා, මර්දනයට එරෙහිව නැගී සිටි පල්ලේකැලේ පීඩිත ජනතා නැගිටීම ගැන. නිර්දෝෂී අපට චෝදනා කරන්න එපා, අපේ පක්ෂවල කවුරුත් අත්අඩංගුවට අරන් නෑ කියල සිංහනාද කරනවා. අත්අඩංගුවට ගත් අහිංසක ජනතාව නිදහස් කරපල්ලා කියනවා. 
ඇත්තට ම වැඩෙි පත්තු කළ විශ්වවිද්‍යාල විලක්කුකාරයෝ වෙනුවට මැච් එක බලන්න ඇවිත් ගැටුමට සෙට් වෙලා අත්අඩංගුවට ගත් අහිංසක කොල්ලෝ දකිද්දි මේවා අහන අයටත් අයටත් ඒවා ඇත්ත තමයි කියලා හිතෙනවා.
පසුගිය කාලේ රට පුරා සිද්ධ වුණු පීඩිත නිර්පාක්ෂික ජනතා නැගිටීම් සියල්ල වුණේ මෙහෙම තමයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා හන්දියක් හන්දියක් ගාණේ විරෝධතා කළ අය නෙමෙයි, ගමට පටින් ඇවිත් ඒවා සංවිධානය කළ සැඟවුණු අමුත්තන් සොයාගත යුතුයි. මේ රටේ සිදුවුණු මහා ජීවිත සහ දේපළ විනාශයට වගකියන්න ඕන ඒ කල්ලිය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !