Thursday, July 28, 2022

අරගලය අරාජිකත්වය සහ විමල්...!

ආර්ථික අර්බුදය නිසා ඇති වූ ජනතා පීඩනයේ අනියම් දරුවා වන අරගලය රාජ්‍ය දුර්වල කරන අරාජිකත්වය මිස අනෙකක් නොවන අපි මුල සිටම කීවෙමු. ආර්ථික පීඩනය දඩමීමා කරගෙන ජනතාව නීතියට අතට ගන්නා තැනට යොමු කළ දේශපාලන පක්ෂ, නීතීඥ සංගම්, තානාපති කාර්යාල සහ ආගමික පූජකයින් බහුතරයකගේ අරමුණ වූයේ ද ආණ්ඩුව දුර්වල කර එමගින් රාජ්‍ය දුර්වල කිරීමය. 

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රඹුක්කන තෙල් බවුසර සිද්ධියේ සිට ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය තහවුරු කිරීමට ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ශක්තිය නොදීමත් නීතීඥ සංගම් විසින් අවනීතියට එරෙහිව බලය පාවිච්චි කළ ආරක්ෂක අංශ දඩයමට පෙරමුණ ගැනීමත් අරාජිකත්වයට පාවඩ එළුවේය.

විමල් වීරවංශ මෙම අරගලය පසුපස සිටින්නේ අරාජිකකරුවන් බව මුල සිට එම බරින් අවබෝධ කර ගැනීමට නොහැකි මට්ටමේ බබෙක් යැයි මම නොසිතමි. එහෙත් ඔහු කළේ එම අරගලය ආණ්ඩුවට තුළ සිටින සිය ප්‍රතිවාදීන් දඩයම සඳහා යොමු කර, කල දුටු කල වළ ඉහගෙන කන්නට සැලසුම් කිරීමය. බැසිල් මහින්ද ආණ්ඩුවෙන් ඉවත් කර ආණ්ඩුවෙි සුක්කානම සියතට ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

සැබවින් ම සජිත් අනුර සුමන්දිරන් කුමාර් ආදීන්ට මෙන් ම විමල්ලාට ද උවමනා වූයේ ආර්ථික පීඩනයෙන් බිහිකරගත් අරගලය නැමති බළලා ලවා කොස් ඇට බාවා ගැනීමටය. සිය පටු අරමුණු සඵල කර ගැනීමය. සරත් ෆොන්සේකා තවමත් උත්සාහ කරන්නේ ඒ සඳහා ය. 

පසුගිය අනුප්‍රාප්තික ජනාධිපති තරඟයේ දී අරාජිකත්ව කඳවුරේ ඍජු අපේක්ෂකයා වූ ඩලස්ට, හකීම් බදියුදීන් සුමන්දිරන් රාජිත මනෝ ආදීන් සමග කිසිදු හිරිකිතයක් නැතිව විමල් සහයෝගය දෙන්නේ ද රාජපක්ෂලාට කෙළවීමේ අරමුණ අරාජිකත්වයට වඩා ඒ මොහොතේ පවා ඔහුට වැදගත් වු හෙයිනි. නො එසේ නම් විමල් යනු ඩලස් වැනි රූකඩයක් ජනාධිපති කර මේ රට අරාජිකත්වයෙන් ගොඩගත නොහැකි බව අවබෝධ කරගන්නට නොහැකි තොත්ත බබෙකු බව අප පිළිගත යුතුය.

එසේ නැත්නම් අප කෙතරම් අකමැති පුද්ගලයෙකු වුව ද වැඩ බලන ජනාධිපති ලෙස රනිල් ඒ වන විටත් මේ රටේ අරාජිකත්වය පාලනය කරන්නට නීතිය නැවත ස්ථාපිත කරන්නට ගෙන තිබූ සාධනීය පියවර නොතකා ඩලස් නම් අරාජිකත්වයේ බෙදුම්වාදයේ රූකඩ අපේක්ෂයා කර තබා ගෙන එන්නට කිසිදු සාධාරණ හේතුවක් නැත. එදා ඩලස්ට ඡන්දය දී කැලණි වැන්දා සේ සියලු පව් කමා කරගන්නා ලෙස ඉල්ලමින් විමල් ගෙන ගිය ප්‍රචාරණ රැල්ලට පොහොට්ටුවේ බහුතරය රැවටිනි නම් ඊළඟ පැයේ සිට රටේ රජයන අරාජිකත්වයට විමල්ලා ද ගොදුරු වන්නට ඉඩ තිබිණි.

එසේ වී නම් "මට ඇමැතිකම් එපා මගේ රාජ්‍යය මට දෙන්නැයි" ද කෑ ගසන්නට ද "පෞද්ගලික කෝන්තර පිරිමහින්නට ගොස් මේ රට තවත් හයිටියක් සුඩානයක් ලිබියාවක් නොකරන්නැයි" තමාගෙන් ම ඉල්ලා සිටින්නට ද වන්නේ නැත. සැබවින් ම එය ඔහු වෙන කිසි මන්ද ඒ වන විටත් අශ්වයා පැනගොස් හමාර හෙයිනි. පාර්ලිමේන්තුව ද අරාජිකකරුවන් විසින් නිෂ්ප්‍රභ කර නැතහොත් ඔවුන්ගේ රූකඩයක් බවට පත් කර අවසන් හෙයිනි.

මේ අවස්ථාවෙි හෝ විමල්ලා සිය පෞද්ගලික කෝන්තර සහ බල ව්‍යාපෘති පැත්තකින් තබා සිය උද්දච්ච අධිතක්සේරුව පාලනය කරගෙන රට වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය කැලණි වැන්දා වගේ ම පිංකමක් වන්නට ඉඩ ඇත. සිය නිවාස ගිනි බත් වෙද්දි ජීවිත තර්ජන සෙවනැලි මෙන් පිටුපස එද්දී නැවත අවස්ථාවට උචිත පුද්ගලයෙකු ජනාධිපති ධූරයට පත්කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ 225ට මම ස්තූති කරමි. පසුගියදා පාර්ලිමේන්තුව තුළට පැමිණ සිංහනාද කළ විමල් ද තමන්ගේ ව්‍යාපෘතිය පරාජය කළ පිරිසට ස්තූති කළ යුතුය. 

මට විමල් සමග හෝ වෙනත් කිසිවෙකු සමග පෞද්ගලික කෝන්තරයක් නැත. අතීතයේ විමල්ලේ භාවිතය අගය කළ ආකාරයට ම ඔවුන් රට වෙනුවෙන් සිට ගන්නා විට එය අගය කරන්නට මම සූදානමින් සිටිමි. අපේ දේශපාලනය විය යුත්තේ සමාජය ඉවකර එහි මතු වන ඕනෑ ම රැල්ලක් මත නැග වීරයින් වීම නොව කෙතරම් දුෂ්කර වුව ද රටට අහිතකර රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනමින් රට පැත්තේ සිට ගැනීමය.


Tuesday, July 26, 2022

නාමල්ගේ ඇම්බැට්ටයා අත්අඩංගුවට...!

පසුගියදා රූපවාහිනියට කඩා වැදුණු ඩැනීෂ් අලී යනු නාමල් රාජපක්ෂගේ හෙංචයියෙකු බව අරගල ක්ෂමාලාපකයින් පසුගිය සමයේ ප්‍රකාශ කළේ, ඔහු නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ සමග සිටින ඡායාරූප රට හමුවේ තබමිනි. 

එමගින් ඔවුන් රටට කීවේ මේ පුද්ගලයා නාමල් රාජපක්ෂ අරගලය අල කිරීමට යොදවා ඇති බවය.


අරගලය අල කර රටින් පැන යාමට තැත් කළ අවස්ථාවේ එයාර්පෝර්ට් විරුවන් බැසිල් රාජපක්ෂට රටින් පිටවන්නට ඉඩ නොදුන්නා සේ ම ඩැනීෂ් අලීට රටින් පිටවීම වළකමින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි.

මා සිතුවේ ඒ අවස්ථාවේ ගුවන් යානයේ සිටි අරගල ක්ෂමාලාපකයින් ප්‍රීතියට පත්ව එයාර්පෝර්ට් විරුවන්ට ඔල්වරසන් දෙනු ඇති බවයි. අරගලයට වින කටින එකෙකු බෙල්ලෙන් අල්ලා අත්අඩංගුවට ගැනීම ගැන බුකියේ කවි ගී ලියනු ඇති බවයි.

එහෙත් එම පිරිස ඩැනීෂ් අලී අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පාති. අරගලය අල කළ නාමල්ගේ හෙංචයියා වෙනුවෙන් පෙනී සිටිති. ඩැනීෂ්ලා අරගල කළේ මුළු රට වෙනුවෙන් ම බව කියති. මෙම අත්අඩංගුවට ගැනීම පෞද්ගලික පළිගැනීමක් බවට චෝදනා කරති. මෙිවැනි බොරු කියමින් පිරිසිදු අරගලයට ගොම රිටි දැමීම ද්‍රෝහීකමක් නොවෙද?

මේ ගුවන් යානයේ සිටි පිරිස නාමල්ගේ හෙංචයියෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම අරගලයට ම එරෙහි වීමකි. අරගලය පාවදීමකි. 

මොවුන් නාමල්ගේ ඩොලර්වලට මෙවැනි නින්දිත පාවාදීමක් කිරීම අරගලය වෙනුවෙන් කැප වූ එයාර්පෝර්ට් විරුවන්ට ද කළ බලවත් නින්දාවකි. අර ගල යට ජය වේවා!

Saturday, July 23, 2022

තෙල් බෙදිල්ල...

 තෙල් බෙදා හැරීම විධිමත් ලෙස කළ නොහැකි ප්රධාන සාධක නිසාය.

1. වංචනික ඉන්ධන පිරවුම්හල හිමියන් සහ සේවකයින්
2. පිරවුම්හල පිහිටි ප්රදේශයේ නීතිය අතට ගත් මැරයින් සහ පාතාළ කල්ලි
3. දූෂිත පොලිස් නිලධාරීන්
4. ජංගම මිනි තෙල් බවුසර්හිමියන් ලෙස කටයුතු කරන ත්රිරෝද රථ හිමියන්
5. තම වාරය පැමිණෙන තුරු පෝලිමක රැඳී සිටීමට විනයක් නැති ජනතාව
6. වැඩි මිලට තෙල් මිල දී ගනිම්න තෙල් මාෆියාව ශක්තිමත් කරන්නන්
මෙම චෞර ජාලය බිඳ දමා තෙල් බෙදා හැරීම් විධිමත් කළ යුතු පොලිසිය එම මාෆියාවේ ඓන්දීය කොටසක් බවට පත්ව ඇති හෙයින් තෙල් බෙදා හැරීම් විධිමත් කිරීමට පොලිසිය යෙදවීම නරියාට කුකුළු කොටුව භාරදීමකි.
එහෙයින් පොලිස්පතිවරයාගේ වගකීම ඒ සඳහා හමුදා සහය පැතීමයි. පිරවුම්හල් වෙත සන්නද්ධ හමුදා යෙදවීම හැර සීමිත තෙල් තොග QR කේත ක්රමයට ජනතාවට සාධාරණ ලෙස බෙදා හැරීමට ක්රමයක් නොමැත. එවැනි මැදිහත් වීමක් නොමැතිව කළුකඩ තෙල් මාෆියාව පරාජය කිරීම ද සිහිනයකි.
Kanchana Wijesekera Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමැතිවරයා ද රජය ද මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතුය. හමුදාව මැදිහත් වී කඩු කිනිසි තෝමර පොලු මුගුරු පිහි රජයන පිරවුම්හල් මාෆියාව පරාජය කරන තුරු මෙි රටේ සාමාන්ය ජනතාවට සාධාරණයක් ඉටුකළ නොහැකිය.

Friday, July 22, 2022

අගමැති දිනේෂ්ට සුබ පැතුම්...!

 නව අගමැති ධූරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධනට මහත් සතුටින් සුබ පතමි. රට දැය සමය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි දිනේෂ් තමා මෙතෙක් කළ කැපකිරීම් විසින් ලංකාවේ දෙවැනි පුරවැසියාගේ පුටුවට ඔසවා ඇත. එය ජාතිකත්ව කඳවුර ම ලද ජයග්රහණයකි.

බලය වෙනුවෙන් ඕනෑ ම රැල්ලක නැගී නායකත්වය පමණක් නොව රට දැය සමය වුව පාවා දෙමින් ඕනෑ ම ද්රෝහියෙකු සමග එකගෙයි කන්නට දෙවරක් නොසිතන ජාතිකත්ව සීතාම්ඹර සළුපිළි හැඳගත් අවස්ථාවාදීන් රටට ම හෙළිදරව් වූ මොහොතක මෙය සිදුවීම දෛවෝපගතය.
ඇමැති කටුවක් වෙනුවෙන් බදියුදීන් හකීම් සුමන්දිරන් ශානක්කියන් සමග වුව ආණ්ඩු කිරීමටත් එය උපන්දා සිට කළ පව් කමා කරගැනීමක් ලෙස අර්ථකතනය කරන තැනටත් මේ ජුදාස්ලා වැටෙන තුරු නිහඬව ඉවසා සිටීම පිළිබඳ අප ද ලැජ්ජාවට පත්විය යුතුය.


බලය තනතුරු වෙනුවෙන් කෙටිමං සෙවීම වෙනුවට තමන්ට ⁣පැවරෙන වගකීම උපරිමයෙන් ඉටුකළ විට නියමිත මොහොතේ තනතුරු තමා සොයා පැමිණෙන බවට වන සුබ පණිවිඩය අංකුර දේශපාලකයින් මෙමගින් ලබා ගන්නේ නම් යහපති.
තම හිස මත පළඳා ඇත්තේ ඔටුන්නක් නොව ආර්ථික අර්බුදය ද දේශපාලන අර්බුදය ද ආතුර කළ මාතෘභූමියේ ස්වෛරීත්වය ද සුරක්ෂාව ද තහවුරු කිරීමේ මහාර්ඝ වගකීම බව නිසි බරින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට තුනුරුවනේ ආශීර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් නව අගමැතිතුමාට නො අඩුව ලැබේවා!

Tuesday, July 19, 2022

සජිත්ගේ කැපකිරිල්ල...!

විපක්ෂ නායක සජිත් ජනාධිපතිකමට තරඟ නොකර පුදුම කැපකිරීමක් කළා කියල නිකන් බොරු කියන්න එපල්ලා. එතන මේ මුරුංග පප්පලා කියන විදිහේ මගුලක් නෑ. සජිත් ඩලස් එක්ක සෙට් වෙන්නේ අගමැතිකම ගන්න. ඒක ඩීල් දේශපාලනේ.

එහෙම නෙකෙර ඩලස්ට එකතු නොවුණා නම් සජිත් හෙට ඡන්දෙන් 3 වෙනියා වෙනවා. තමන්ට පාර්ලිමේන්තුවේ තියෙන්නේ ආසන 52යි කියල රටටම පේනවා. විපක්ෂයේ වැඩි ම ආසන හිමි ඩලස් විපක්ෂ නායක වුණා ම සජිත් නිකන් ම නිකන් මන්ත්‍රී වෙනවා.

නමුත් දැන් ඉතින් සජිත්ට කලින් 79 පාරක් එපා කිව්ව අගමැතිකම ලැබෙන්න පොඩ් චාන්ස් එකක් තීනවා. හැබැයි ඩලස් පැරදුණොත් ඩලස් විපක්ෂ නායක වෙලා සජිත් ආයෙම මන්ත්‍රී වෙනවා. 

රනිල් දිනුවොත් එයා ජනාධිපති වෙලා දිනේෂ් අගමැති වෙනවා. සජිත් ළඟ ඉතිරි වෙන එවුන් ටිකත් රනිල් ළඟට පනිනවා. රනිල් පැරදුණොත් රනිල් විපක්ෂ නායක වෙනවා. ඇත්තට ම මේ ගේම් එක නිසා සජිත්ගේ දේශපාලන ජීවිතය ම අවධානමක වැටිලා.

Monday, July 18, 2022

අරගලයෙන් දේශපාලන පක්ෂයක්..!

 අරගලකරුවන් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම අගය කළ යුතුය. එය ඔවුන් නැවත නියෝජිත ප්රජාතන්ත්රවාදය වෙත නැඹුරුවීමක් ලෙස දැකීමට කැමැත්තෙමි.

දැනට අපට ඇති වඩාත් පිළිගත හැකි පාලන ව්යුහය නියෝජිත ප්රජාතන්ත්රවාදයයි. එමගින් පත් කරන නියෝජිතයින් එක්ව සංවාද සාකච්ඡා කර බහුතර එකඟතාව අනුව තීන්දු තීරණ ගැනීමට වඩා හොඳ ව්යුහයක් නැත.

දැන් අරගලකරුවන්ට ද එම ව්යුහයට පිවිස මහජන මතය උරගා බැලිය හැකිය. ජනතා කැමැත්ත ලැබේ නම් අරගලකරුවන්ට ද ප්රාදේශීය සභා. නගර සභා, පාර්ලිමේන්තු පමණක් නොව ජනාධිපති ධූරයට ද පත්විය හැකිය.
කිසිදු පදනමක් නැතිව තමා පවසන සියල්ල ජනතා මතය යැයි කියන අරගලකරුවන්ට ඉදිරියේ දී ජනතා මතය සැබවින් ම අභිමුඛ වනු ඇත. එය සුබ ලකුණකි.
ඔවුන්ගේ මතවාදවලට මගේ සහයක් නැත ද ඔවුන්ට ත්රස්තවාදය ෆැසිස්ට්වාදය බලහත්කාරය නොවන මතයක් දැරීමට ඇති අයිතියට ගරු කරමි.
එම මතයට ප්රජාතන්ත්රවාදී ව්යුහය තුළ ඉඩක් හිමිවිය යුතු බව විශ්වාස කරමි. නියෝජිත ප්රජාතන්ත්රවාදයට පිවිසි අරගලකරුවන්ට සුබ පැතුම් එකතු කරමි.

ජනපති ඩලස්...අගමැති සජිත්...

 සජිත් ප්රේමදාස සහ ඩලස් අලහප්පෙරුම අතර එකඟතාවක් ඇති කර ඔවුන් දෙදෙනා අතර ජනාධිපති අගමැති තනතුරු දෙක බෙදා ගැනීමේ සැලසුමක් මේ වන විට ක්රියාත්මක වන බව රාජිත සේනාරත්න ඊයේ අනාවරණය කළේය.

මේ සැලසුමේ මහ මොළකරුවන් පිටුපස දෙමළ මුස්ලිම් පක්ෂ, පල්ලිය, රාජ්ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල බවට සැකයක් නැත. ඒකීය රාජ්ය දුර්වල කොට බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා එක කඳවුරක් පෙළ ගැසෙන විට රාජපක්ෂලාට කෙළවීමේ අරමුණ පෙරදැරිව තව පිරිසක් ඊට පාවඩ එළමින් ඇත.
එම සැලසුම අනුව ජනාධිපති ඡන්දයේ දී ඩලස් පිල සජිත්ට සහය දෙමින් සජිත් ජනාධිපති කරන අතර දෙපිල එකතු වී ඩලස් අගමැති කරයි. ඩලස්ට පාර්ලිමේන්තුවේ ආසන 68ක පමණ ද සජිත්ට ආසන 62ක පමණ ද සහාය ඇතැයි උපකල්පනය කර ඇත. ආසන 90ක පමණ බලය හිමි රනිල් පරාජය කිරීම එහි අරමුණය.
එහෙත් මේ සඳහා දෙමළ සන්ධාන සහාය ලබා ගැනීමට ඔවුන් පනවන කොන්දේසි එහි අනිත් පැත්ත සිදුවීමේ සම්භාවිතාවක් ද ඇතැයි දැන ගන්නට ඇත. එවිට සජිත් අගමැති වන අතර ඩලස් ජනපති වෙයි. වහාම 19 බලාත්මක කිරීම කොන්දේසියයි.
එවිට නැවත සජිත් බලවත් වන අතර ඩලස් විලියම් ගොපල්ලව ගාණට වැටේ. අනතුරුන පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ අධිකරණ ඇමැති සුමන්දිරන් විධායක ජනාධිපති ධූරය අහෝසි කර රට ෆෙඩරල් කරන ව්යවස්ථාව ගෙන එනු ඇත.
මේ අනුව ඩලස් යටතේ පිහිටු වන ආණ්ඩුවකින් බෙදුම්වාදී බලවේග නැවත රාජ්ය මර්මස්ථාන වැටලීම සහ ඒවා ක්රමානුකූලව දුර්වල කිරීමේ දැඩි අනතුරක් ඇත. ඕනෑ ම රැල්ලක නැගී වීරයෙකු වන්නට මිස රැල්ලට අභියෝග කිරීමට කොන්දක් නැති ඩලස් ඔසවා ගෙන පෙරහැරේ යන සැමට ඉදිරියේ දී ජනතා අධිකරණයට නගින්නට සිදුවනු ඇත.

Sunday, July 17, 2022

ෆැසිස්ට්වාදයට යට වෙකවාද? රනිල්ට යට වෙනවාද?

 ගාලු මුවදොර අරගලකරුවෝ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි ප්රධාන සෙබල සේනාංකය වන අන්තරේ තමයි.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ල ගෙන පාලනය කළෙත් එයාල ම මිස ජනතාව නෙමෙයි. ජනතාව කියන්නේ එයාලා තමන් අඳුන්ව ගන්න නම.
මේ කියන්නේ රනිල්ට ඡන්දේ දෙන්න එපා, සජිත්ට දෙන්න කියලා. එහෙම නැත්නම් ඩලස්ට දීලා සජිත් දිනවන්න කියලා. 2015 ජවිපෙ මෛත්රීගේ කැම්පේන් එක කළෙත් මෙහෙමයි.

2019 ජනාධිපතිවරණෙන් ඡන්ද 8000ක් අරන් මෙහෙම තර්ජනය කරනවා නම් බලය ලැබුණොත් කොහොම තියෙයිද? විශ්වවිද්යාල බලය අන්තරේ ඇල්ලුවා වගේ ෆැසිස්ට් රාජ්යයක් වෙලා තමයි නතර වෙන්නේ.
මේ ෆැසිස්ට්වාදයට විරුද්ධ නම් ප්රජාතන්ත්රවාදය ඕන නම් රනිල්ට ඡන්දෙ දෙනවා ඇර විකල්පයක් මේ වෙලාවේ නෑ.

Saturday, July 16, 2022

කුරුන්දි වෙහෙර තහනම්...

 අරගලයක් කරල ගෝඨාභය පන්නල දාන්න එකතු වුණ අපේ ජාතිකවාදී මිත්රයින්ට පුරාවිද්ය උරුමය පිළිබඳ උනන්දු මිත්රයින්ට ඉදිරියට ගොඩක් වැඩ තියෙයි.

පොලිසිය සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ජනාධිපති මන්දිරේ රැකගත්තා වගේ රටේ අනතුරට ලක්වෙන උතුරු නැගෙනහිර පුරාවිද්යා උරුමයන් රැකගන්න අපේ මිත්රයින් ඉදිරයට එන බව මගේ විශ්වාසයයි.
ඒ සඳහා අරගලයට නායකත්වය දුන්න දැන උගත් භික්ෂූන් වහන්සේලත් එකතු කරගන්න පුළුවන්. පිටකොටුවේ වගේ සත්යග්රහ, උපවාස කල්මුණේ, මුලතිව්, කිලිනොච්චි, යාපනේ, කදුරුගොඩ සංවිධානය කරන්න පුළුවන්. මුස්ලිම් ව්යාපාරිකයින්ගේ මුදලින් ගෝඨාගෝගම වගේ අරගල බිම් උතුරු නැගෙනහිර හදන්න පුළුවන්.
ඒ සටන පෙරේදා මුලතිව් අධිකරණය ගලවා ඉවත් කරන්න නියෝග දුන් කුරුන්දි රජ මහ විහාරයෙන් ම පටන් ගන්න පුළුවන්. ඒ විහාරය ක්රි.ව. 100-103 අතර රජ කළ ඛල්ලටනාග රජ දවස කළ බව තමයි, මහාවංශය කියන්නේ.
ඉතින් 69 ලක්ෂයක් එකතු වෙලා පත් කළ තමා බහුතර සිංහල බෞද්ධ ජනතා ඡන්දයෙන් පත්වූ බව ප්රකාශ කළ ජනාධිපති පළවා හැරි බලවේගය එකතු කරගෙන මේ උරුමය රැකගන්න එක ඒ හැටි කජ්ජක් නෙමෙයි.
හැබැයි මේකට උත්තරේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බවත් එහි ඉදිකළ විහාරාරාම, කෝවිල් මත ඉදිකළ බවත් දැනට බෞද්ධයන් නැති පළාතකට බෞද්ධ පන්සල් අවශ්ය නැති බවත් නම් අපි ඒ පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට භාර ගන්නවා.
මොකද 2015 විතර හෙළ උරුමය සමග ඉඳලා යහපාලනාණ්ඩුව එකතු වුණ අය ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ දේහය ආදාහනයට ඉඩ නොදෙන කොට නැගෙනහිර විශාලතම දාගැබ ඩෝසර් කරල මිරිස් වවන කොට දුන් පිළිතුර වුණෙත් ඒකමයි.

Wednesday, July 13, 2022

අජිකත්වයට එරෙහි වව්!

 පහුගිය ටිකේ ආණ්ඩුවේ ඇමැති මන්ත්රී නිවාස දේපළ ගිනි තියද්දි, මන්ත්රීවරයෙක් බල්ලෙක් මහ පාරේ වගේ මරද්දි, හිටපු අමාත්ය කුමාර වෙල්ගමට ගහද්දි, විපක්ෂ නායකට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැති රාජිතට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැතිවරු වන සරත් වීරසේකරට විමල් වීරවංශට බැනල පන්නද්දි ජනතාව බෙදිලා එක ජවනිකාවට හිනාවෙනවා. විසිල් ගහනවා. හුරේ දානවා. එදා ගාලු මුවදොරදී සජිත්ට ගහපු ජගත් මනුවර්ණලාගේ වසන්ත සමරසිංහට අද එතන දි ම ගහනවා.

තමන්ගේ එකාට ගහන කොට සද්ද නැතිව ඉන්නවා. තම දේශපාලන ප්රතිවාදියාට ගහන්න ජනතාව වියරුවට පත් කොට යොමු කළ අයටත් දැන් ගහනවා. අරගලකාරයෝ දෙකට බෙදිලා ගහගන්නවා. බෙලි කපා ගන්නවා. මේ සියල්ල අපට හිනාවෙන්න නෙමෙයි, අඬන්න දේවල්. අපි බුද්ධිමත් කියල විශ්වාස කළ අයත් ඉතා ම කනගාටුදායක විදිහට එහි ගොදුරු වෙලා.

මේ සියලු ජවනිකා රඟ දැක්වෙන්නේ අරාජිකත්ව වේදිකාවේ. නීතිය වල් වැදිලා කැලෑ නීතිය රජ වෙලා. මේ හැම ප්රහාරයකින් ම ප්රජාතන්ත්රවාදය මිය යනවා. ප්රචණ්ඩත්වය ත්රස්තවාදය පෝෂණය වෙනවා. රටේ ආරක්ෂක හමුදාව තීරණාත්මක විදිහට මේ භයංකාර අරාජිකත්වය පාලනයට යොමු විය යුතුයි.
නැත්නම් පොලිසි හමුදා කඳවුරු හමුදා වටලන්න සහ ඒවායේ ආයුධ පැහැර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයුධවලින් එකිනෙකා ගහ මරා ගෙන මහා විනාශයක් වෙන්න පුළුවන්. හමුදා ප්රධානීන්ගේ සහ අධිකරණ විනිසුරුවන්ගේ නිවාස වටලලා ඒ පිරිස් ප්රාණ ඇපයට ගන්න පුළුවන්.
ඒ නිසා මේ අරාජිකත්වය පාලනය කර ගැනීමට පක්ෂ පාට භේද නොතකා ජනතාව එකතු විය යුතුයි. සිය දේශපාලන අනාගතය ගොඩනඟා ගන්න මේ අරාජිකත්වය යොදා ගන්න හදන අයට ම අනාතයේ එහි වන්දිය ගෙවන්න වෙන්න පුළුවන්.
ආගමික නායකයින් වෛරය වෙනුවට මෛත්රීයත් ඉච්ඡාභංගත්වය වෙනුවට බලාපොරොත්තුවත් අඳුර වෙනුවට ආලෝකයත් ජනතාවට දේශනා කළ යුතුයි.
අපි දැන් ඉන්නේ ලිබියාවට සිරියාවට ඉරාකයට වංගු දෙක තුනක් පිටිපස්සෙන්. ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන සියලු දේශපාලන පක්ෂ වගේ ම නායකයෝ මේ වෙලාවේ ඊළඟ ඡන්දේ ජයග්රහණය ගැන හිතල හරාකිරි කරගන්නේ නැතිව, ඊළඟ ඡන්දේ තියන්න රටක් ඉතිරි කරගන්න එකතු විය යුතුයි. ඒ සඳහා ප්රාඥාව ලැබේවා!

Sunday, July 10, 2022

අනුර කුමාර් ආණ්ඩුවක්....!

 2015 ගාමිණී වියන්ගොඩ බුද්ධ දේශනාවක් ප්රංශ බසින් උපුටා දක්වමින් රටට දේශනා කළේ ගෙයින් එළියට පැන කරන දේ පිළිබඳ නොසිතා ගිනිගත් ගෙයින් එළියට පනින ලෙසය.

එදා මැතිවරණයෙන් ද මෙදා අරගලයෙන් ද ජනතාව ගිනිගත් ගෙයින් එළයට පැන ඇත. මැතිවරණයක් පැමිණෙන තුරු නොසිටින ලෙසත් ජනතාව සූදානම් නම් තමන් සූදානම් බවත් මාස හයෙන් රට හදන බවත් කී අනුර දිසානායකලා ද පාර්ලිමේන්තුව තුළ අර්බුදයට විසඳුම් නැතැයි කී කුමාර් ගුණරත්නම්ලා ද දැන් එකතු විය යුතුය.
එකතු වී රට පාලනය කිරීමේ ක්රමවේදයක් නිර්මාණය කර ගැනීමට මූලිකත්වය ගතයුතුය. මෙම දෙපාර්ශ්වයට රට ගොඩගත හැකි යැයි මම නොසිතුව ද හැකි යැයි සිතන පිරිසක් ද ඇත. "දුන්න හැම එකාම රට කෑවා. ජවිපෙටත් එක පාරක් දීලා බලමු." යැයි කියන්නෝ එමටය.

එහෙයින් රාජ්ය පාලනය මෙම දෙපාර්ශ්වය භාරගත යුතුය. සෙසු පක්ෂ ඔවුන්ට අවශ්ය සහය ලබාදිය යුතුය. අනුරලට පාර්ලිමේන්තුවේ සිටින හොඳ යැයි ඔවුන් සිතන පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ කරගත හැකිය.
අවශ්ය නම් කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, රංජන් ජයලාල්, නාමල් කරුණාරත්න, කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ ඇතුළු පිරිසට ඉඩ දී 225න් පිරිසක් ඉවත් විය යුතුය.
ඊළඟ ආණ්ඩුව ආඬි හත් දෙනාගේ කැඳ හැලියක් බවට පත් නොකර තමන්ගේ කොටස නොමසුරුව ආණ්ඩුව නම් බඳුනට දැමීමට අනුරලා කුමාර්ලා තීන්දු කළ යුතුය.
එසේ නොකර වර්ජන, විරෝධතා ඔස්සේ පත්වන ආණ්ඩුවක කකුලින් ඇදීම ද රට අරාජික වන්නට ඉඩ හැරීම ද ඔවුන් කෙරෙහි පවතින ජනප්රසාදය නාය යාමට හේතු වනු ඇත. බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ ..කියා කතා හදන්නට ද ඉඩ දිය යුතු නැත.

Saturday, July 9, 2022

ජුනි 09 සතුට සහ ජුලි 09 සතුට...!

 පසුගිය ජුනි 09 වෙනිදා ගාලු මුවදොර දී සජිත්ට පහර දෙද්දි සතුටු වුණා. ඒක මරු වැඩේ සජියට දුවන්න දුන්නා කියලා.ඒ වීඩියෝ එක ශෙයාර් කරමින් වින්දනයක් ලැබුවා. 

අරගලකාරයෝ එදා රෑ වෙද්දි මිනී මරල ගෙවල් ගිනි තියද්දි පිරිසක් සතුටු වුණා.

සමහරු ඒවා සාධාරණීකරණය කළේ මැති ඇමතිලා අනුකම්පාව ගන්න තමන්ගේ ම ගෙවල්වලට ගිනි තියාගෙන කියලා. 

පිරිසක් කීවේ ඉන්ෂූවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න කියලා. සමහරු කීවේ හොරා කෑ සල්ලි නිසා ගිනි තිබ්බට කමක් නෑ කියලා. 

අපේ රටේ සිය ගණනකට රැකියා දුන් රටට ඩොලර් උපයා දුන් දැවැන්ත හෝටලයක් ගිනි තියල කොල්ලකද්දි ඒවා ලංසගේ කුඩු සල්ලි කියල සතුටු වුණා.

ඒ අතර එදා අර සිදුවීම් ගැන දුක් වුණ පිරිසක් ඊට මාසෙකට පස්සේ ජුලි 09 සතුටු වෙනවා, රාජිතට මහ පාරේ ගැහුවා කියලා. 

ඒක මරු වැඩේ, ඕකට ඔහොම වෙලා මදි කියලා. සමහරු ඒ වීඩියෝ එක 1500 වාරයක් බලලා නිරාමිස සතුටක් ලබලා. 

ඊට පස්සේ රෑ අරගලකාරයෝ රනිල්ගේ ගෙට ගිනි තියනවා. රනිල්ම ගෙට ගිනි තියා ගත්තා කියල පිරිසක් කියනවා. 

යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බ නිසා රනිල්ගේ ⁣නිවස ගිනි තැබීම සාධාරණයිලු. අනික ඒක කුරුඳුවත්තේ රෝයල් එකට මිසක් වන්නියේ දුප්පත් ඉස්කෝලේකට පවරල නෑලු.

මේ ගිනි තැබීම් පහර දීම් කිසිවක් ගැන මට සතුටු වෙන්න බෑ. අපේට විරුද්ධ සජිත්ට වගේ ම රාජිතට පහර දීම ගැනත් මම කනගාටු වෙනවා. ඒ වගේ ම අපේ රටේ අනාගතය ගැන රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පැවැත්ම ගැන මට තියෙන්නේ දැඩි බයක්. 

රාජිත හෝ සජිත් සමග හෝ වෙන අයකු සමග අපට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ගනුදෙනු කරන්න බැරි නම් කැලෑ නීතිය අනුව ඔහු පරාජය කළ යුතුය සිතනවා නම් එහෙම කළා ම අපි සතුටු වෙනවා නම් අපි ඉන්නේ ආපසු හැරිලා ගල් යුගයට යන ගමන්.

මේ කිසිවක් ශිෂ්ට රටක විය යුතු හෝ ශිෂ්ට මිනිස්සු සතුටු විය යුතු දේවල් නෙමෙයි. මේ සිදුවීම් මාලාවට අප දැක්වූ ප්‍රතිචාර අපට අපවම මැනගන්න කැටපතක් හදනවා.මේවා මහා ජයග්‍රහණ විප්ලව කියල හිතන අයට ළිප ගිනි ඇවිළෙන තුරු දිය හැලියේ නටන්න බාධාවක් නෑ. නමුත් මේක මහා ඛේදවාචකයක්.

Tuesday, July 5, 2022

ඉන්ධන අර්බුදයෙන් පෞද්ගලික රෝහල් වැහුණ ද?

ඉන්ධන අර්බුදය නිසා කිසිදු පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකර සිටි බවක් වාර්තා වන්නේ නැත. කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකළ නිසා පෞද්ගලික රෝහලක් වසා දැමූ බවට තොරතුරක් ද නැත. 

සෑම ගමකම නගරයකම දැකිය හැකි පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ද වසා දමා නැත. ඉන්ධන අර්බුදය නිසා රජයේ රෝහලට යා ගත නොහැකි වෛද්‍යවරු පවා දුරුකතර ගෙවා ගෙන සිය පෞද්ගලික සායන සඳහා ගමට ඇදෙති. 

සිය රාජකාරී වේලාවේ තෙල් පෝලිමේ සිටින බව කියන වෛද්‍යවරු සිය චැනල් සේවා සඳහා ද ගම්වල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ද පැමිණීමට කාලය කළමනාකරණය කර ගනිති.



පසුගිය සති කිහිපයේ මුණ ගැසුණු ගමෙන් බැහැරව පෞද්ගලික රෝහලක රියදුරෙකු ලෙස කටයුතු කරන මිතුරෙකු ද පෞද්ගලික වාහන අමතර කොටස් අලෙවි ආයතනයක සේවය කරන මිතුරෙකු ද පෙදරේරුවෙකු වන අසල්වැසියෙකු ද පැවසුවේ ඉන්ධන අර්බුදය නිසා දිනපතා නිවසට නොපැමිණ දින 4-5 නතර වී රැකියාව කරන බවයි.

මේ තිදෙනාට ම සිය රැකියාව කළ යුතු වේලාවේ ඉන්ධන පෝලීමේ සිටිය ද වැඩ වර්ජනය කළ ද තෙල් නැතැයි නිවසේ නැවතුණ ද වැටුප් ලැබෙන්නේ නැත. එහෙයින් මෙම අර්බුදයට මුවා වී සිය රැකියාවේ වගකීම අතහැරීමට ඔවුන්ට නොහැකිය.සිය සේවාදායකයා අපහසුතාවට පත්කළ නොහැකිය.

අපේ රටේ දුම්රිය, තැපැල්, ලංගම, විදුලිය, ඛනිජ තෙල් වැනි බොහෝ රාජ්‍ය සේවා ද මෙලෙස පෞද්ගලික ව්‍යවසාය යටතේ ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි දුෂ්කර අවස්ථාවක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කිසිවෙකුට සිය සේවයෙන් බැහැර විය නොහැකිය. ජනතාව කබලෙන් ළිපට ඇද දැමිය නොහැකිය. එසේ වූයේ නම් උදේ නිවසින් කාර්යාලයට පැමිණි දුම්රිය හවස වර්ජනය කරන රටක් අපට උරුම නොවන්නට ඉඩ තිබිණි. 

මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව එංගලන්ත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බවය. විශ්වාස කරන්න, එවැනි වර්ජනයක් එංගලන්තයේ ක්‍රියාත්මක වන්නේ අවු. 25 පසුවලු. ඔව්, පැය නෙමෙයි, දවස් නෙමෙයි, සති නෙමෙයි, මාස නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි. අවුරුදු 25කට පස්සේ. දශක දෙකහමාරකට පස්සේ.

අනුරට අගමැති වෙන්න ජන වරමක් නැද්ද?

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි තමන් සිතන මන්ත්‍රීවරයාට අගමැතිකම දෙන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒ අනුව රනිල්ට වගේ ම අනුරටත් අගමැතිකම දෙන්න ජනාධිපතිට පුළුවන්.

දැන් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි මුළු රටේමත් ජාත්‍යන්තරයෙත් බහුතර විශ්වාසය තියෙන්නේ අනුරට. ඒ නිසා අනුර තමන්ට අගමැති පුටුවේ වාඩිවෙන්න ජනවරමක් නෑ කියන එක පදනම් විරහිත කතාවක්. ඔහුට ඒ සඳහා ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා.

අනෙක් අතට රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී නිසා අගමැතිකම දරන්න බැරි බව කීම වගේ ම ඔහු ඡන්දෙන් පැරදුණු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව කීම විහිළුවක්. 2015 මහා මැතිවරණයට මාතරින් තරඟ කරල පරාද වුණ සුනිල් හඳුන්නෙත්ති එදා පාර්ලිමේන්තු ආවේ ජවිපෙ ජාතික ලැයිස්තුවෙන්. 

එදා හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ආවේ ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගන්නා බවට ජවිපෙ ජනතාව ඉදිරියේ සපථ කළ පසුබිමක. හැබැයි 2019 එජාපය නම් පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්නේ නෑ කියල රටට පොරොන්දු වුණේ නෑ කියලයි මතක. 

ජනතාව ප්‍රතික්ෂේප කළ හඳුන්නෙත්ති ජනතාවට ලබා දුන් පොරොන්දුවත් කඩලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත් ජවිපෙ නායකත්වය තමා සමිමතයෙහි පිහිටා නොසිට රනිල්ට වැදි බණ දේශනා කිරීම උත්ප්‍රාසජනකයි. 

ඒ නිසා කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තවත් ටිකක් නොඉල්ල, අන්දරේ වගේ ගල උස්සල මගේ කරෙන් තිබ්බොත් අරන් යන්නම් නොකිය අගමැතිකම භාර අරගෙන රට අර්බුදයෙන් ගලවා ගැනීමට නායකත්වය දෙන එක අනුරගේ වගකීම. අපට රට මිස පක්ෂ වැදගත් නොවන නිසා අනුරට රට ගොඩගන්න සහය දෙන්න අපි ලෑස්තියි.


අගමැති පුටුව අනුරට දෙනු...!

 අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලය තේරීමේ බලයත් තමන්ට ලබා දෙන්නේ රට භාර ගැනීමට සූදානම් බවටත් වර්තමාන පාර්ලිමේන්තුව තුළින් ම කැබිනට් මණ්ඩලය තෝරාගෙන මාස 06ක් ඇතුළත රට යථා තත්ත්වය⁣ට පත් කරන බවටත් ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 26 වෙනිදා ඓතිහාසික අනුරාධපුර නගරයේ දී ඓතිහාසික ප්‍රකාශයක් ක⁣ළේය.

අනුර කුමාරගේ එම ඓතිහාසික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තමා අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ලොව මෙතෙක් කිසිවෙකු නොකළ මේ මහා හපන්කම කරන්නේ නම් අනුරට නොබෙල් ත්‍යාගය ද හිමි විය යුතු බව රනිල් අවධාරණය කළේය.

74 වසරක ශාපලත් ධනපති ක්‍රමය විසින් රට හෙළු අගාධයෙන් ගොඩගැනීමට අනුර දිසානායකට සහ ජවිපෙට ලැබෙන මේ අනර්ඝ  අවස්ථාව මග නොහරින බව අපගේ බලවත් විශ්වාසයයි. ඒ සඳහා ජනපති ඉවත් විය යුතු යැයි කොන්දේසි දමමින් පළා යන්නට තරම් පහත් මට්ටමට අනුර නොවැටෙන බව ජනතාව දනී. පසුගියදා අනුරාධපුර දේශනාවේ දී ද අනුර එවැනි කිසිදු කොන්දේසියක් ප්‍රකාශයට පත් කළේ නැත.

ඉතින් අවු. 05න් රට හදන බව කියන සජබ ද එවැනි දින වකවානුවක් පවා ප්‍රකාශයට පත් නොකරන පොහොට්ටුව ද අනුරට හය මාසෙන් රට ගොඩගන්නට ඉඩලබා දිය යුතුය. පැත්තකට විය යුතුය. ජනාධිපතිවරයා ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුය. අනුර ඉල්ලන ඕනෑ ම සහයෝගයක් ලබාදිය යුතුය. අනුර හෙට ම අගමැති ධූරය භාරගෙන වැඩේට අතගැසිය යුතුය. අනුර හය මාසෙන් රට ගොඩගන්න ක්‍රියාන්විතයට එරෙහි වන  ද්‍රොහීන්ට එරෙහිව ජනතාව සිටගත යුතුය.

Sunday, July 3, 2022

සිපෙට්කො සභාපතිකම ජනකට...

මහජන උපයෝගීතා කොමිසමේ ජනක රත්නායක පහු ගියදා කිව්වා හරියට වැඩෙි කරනවා නම් පෙට්‍රල් ලීටරයක් රු. 200ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. මේ විදිහට තෙල් ගණන් යන්නේ මිස් මැනේජ්මන්ට් නිසා නෙමෙයි, නෝ මැනේජ්මන්ට් නිසා කියලත් කිව්වා.

ඊයේ ඇමැති කාංචන කිව්වා, ජනක රත්නායකට ඉන්ධන ලංකාවට ගෙනැත් රු. 200ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් සිපෙට්කෝ එකේ සභාපතිකම අරගෙන වැඩේ කරන්න කියලා.



මම හිතන්නේ සෑහෙන වැඩ්ඩෙක් වන ජනක රත්නායක මේ අවස්ථාව අතහැරල තමන්ට මේ රටට සේවය කරන්න ලැබෙන්න අවස්ථාව මග ඇරගන්න එකක් නෑ.

ජනක රත්නායක කියන්නේ සිපෙට්කො සභාපතිකම ගන්න එක මග ඇරලා පෙට්‍රල් ලීටරයක් රු. 190කට විතර ගහගන්න මේ රටේ ජනතාවට ලැ⁣බෙන්න යන වාසනාවට පයින් ගහන ද්‍රෝහියෙක් නෙමෙයි කියල අපට විශ්වාසයි.


Saturday, July 2, 2022

ඩොලර් ගේන්න ඩීසල් දියවු...!

 ඇඟළුම් කම්හල සේවය කරන පිරිසක් තමන්ගේ බසයට ඩීසල් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක විරෝධතාවක් කරනු දැක්කා. ඒ මිනිස්සු කියනවා අපි මේ විරෝධතාවට ගතකරන එක පැයකට රටට රු. ලක්ෂ 5ක ශ්‍රමය අහිමි වෙනවා කියලා.

ඇත්තට ඉතා ම සොච්චම් මුදලකට ශ්‍රමය වගුරමින් මේ රටට ඩොලර් ටික ගෙනෙන ඇඟළුම් සේවය අත්‍යවශ්‍ය සේවයක් නොවී මේ රටට ජනතාවට ශාපයක් වෙච්චි රාජ්‍ය සේවයේ යම් යම් කොටස්වලට අත්‍යවශ්‍ය සේවා ලේබලය ගහගෙන රටට ලැබෙන තෙල් ටිකත් කොල්ල කන්න ඉඩලබා දීම කනගාටුුවට කාරණයක්.

අර ගාමන්ට් මිනිස්සු තමන්ගේ කාලයේ වටිනාකම දන්නවා. කවදාවත් තමන්ගේ පෞද්ගලික වාහනවලට තෙල් ඉල්ලලා විරෝධතා කරල නෑ. ඒ මිනිස්සු සියලු දුෂ්කරතා දරාගෙන වෙනදා යතුරු පැදියක ත්‍රීවිලරයක ගාමන්ට් බස් එක යන පාරට ආව නමි අද පාපැදියක නැත්නම් පයින් ඇවිත් සේවයට එනවා. පණ අදින ආර්ථිකයට ඩොලර් හුස්ම පොදක් දෙන්න සටන් කරනවා.



ඒ අතර අද සමස්ත රාජ්‍ය සේවය ම වාහන හිමියෝ වෙලා සේවයට වාර්තා නොකර පෝලිම්වල ලැගලා ඉන්නවා. ඒ අර ගාමන්ට් යන කාන්තාවන් රටට ගේන ඩොලර් ටිකෙන් එයාලගේ වාහනවලට පෙට්‍රල් ගහගන්න.  හැබැයි මේ අතර රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවක පිරිසක් පාපැදිවල වගේ ම බසයක එල්ලී රෝහලට එන බවත් කෘතවේදීව සිහිපත් කරන්න ඕන.

ඇත්තට ම ගාමන්ට් බස් එකට ඩීසල් නොදී රාජ්‍ය සේවකයින්ට පෙට්‍රල් ගෙනැත් බෙදීම නොකළ යුතු දෙයක්. රටට ඩීසල් ගෙනැත් පොදු ප්‍රවාහනය සක්‍රීය කළා නම් හරි. රටේ ලංගම සහ පෞද්ගලික බස් ඇනිය ම මහා පාරට දැම්මා නම් දුම්රිය ටික දිව්වා නම් මේ අර්බුදය ජය ගන්න පුළුවන්.

මේ දුෂ්කර අවස්ථාවේ පෙට්‍රල් පෝලිම්වල දවස් ගණන් ගතකරන එක මොන තරම් අපරාධයක්ද කියල අර එතරම් උගත් යැයි සිතිය නොහැකි ගාමන්ට් කාන්තාව දන්නවා. මේ ඩීසල් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන පැය පවා රු. ලක්ෂ 5ක් රටට අහිමි කරන එක ගැන ඈට දුකක් තීනවා.

මේ කාලයේ වටිනාකම අපේ කාලකන්නි රාජ්‍ය සේවයට කිසිදා දැනෙන්නේ නෑ. ඔවුන් තරම් කාලය නාස්ති කරන පිරිසක් මේ ලොව තව ඇතැයි මා සිතන්නේ නෑ. ඔවුන් වර්ජනය කරන විරෝධතා කරන කාලය සඳහා මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි ගෙවීම මහා අපරාධයක්. එය කවදා හෝ නිවැරදි විය යුතුයි.

මේ රටේ අධ්‍යාපන සෞඛ්‍ය සේවා රජය යටතේ පවත්වා ගෙන ගියත් ඒ සඳහා පවා පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් හඳුන්වා දෙමින් සියල්ල පෞද්ගලීකරණය කළ යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නැති ලෝකේ එක ම රට අපි.

අන්තවාදී දේශපාලන පක්ෂ බලය හොබවන වෘත්තීය සමිති මාෆියාවේ අල්ලේ නැටවෙන විදුලිය, ගෑස්, ඉන්ධන ආදී කිසිදු ක්ෂේත්‍රයක් තව දුරටත් පාඩු  ලබමින් රජය යටතේ පවත්වා ගෙන යාමෙන් රටට හෝ ජනතාවට කිසිදු සුගතියක් නෑ. එමගින් රටට ලැබෙන කිසිදු සුරක්ෂිතතාවක් නැති බව මෙි රටෙි රාජ්‍ය සේවකයෝ ජනතාවට කනට ගහලා කියලා දීලා තියෙනවා.

මේ රටට ඩොලර් උපයන ඇඟළුම් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වගේ ම රට පුරා ආහාරපාන ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය රන වාහන සඳහා ඩීසල් ලබා දෙමින් රටේ ආර්ථිකයේ අවසන් පණනළ රැකගැනීම ආණ්ඩුවේ වගකීම. ඒ වගේ ම පොදු පුවාහන සේවා වහා ම සක්‍රීය කළ යුතුයි.

 
සිය රට දේ සිරි සැප දේ !