Monday, December 20, 2021

මුරුත්තෙට්ටුවේ හිමි පවත කියා දෙන පාඩම..෴

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මම පුිය කරන චරිතයක් නෙමෙයි. නමුත් මම ඊට වඩා පිළිකුල් කරන  චරිතයක් සමග වුණත් තැනට ඔබින විදිහට හැසිරෙන හැටි මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් කියල දුන්නා. පරිණතකම කියන්නේ තමන් අකමැති තමන්ට අකමැති අය එක්ක සුහදව ගනුදෙනු කරන ආකාරය කෙටියෙන් ලියන විදිහ කියල අද මට හිතෙනවා.

මම ශිෂ්‍යයෙක් විදිහට අවුරුදු හතරක් වගේ ම ඇකඩමික් පර්යේෂකයෙක් විදිහටත් කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 10ක් වැඩ කළා. ඒ කාලය තුළ අපට විෂය දැනුම වගේ ම සමාජ දැනුමත් කොළඹ සරසවියෙන් නොමැන ම පෙවූ බව ගෞරවයෙන් කියන්න ඕන.

විශ්වවිද්‍යාලයක උපාධිය .ලබා ගන්න උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීම අනිවාර්ය නෑ. එහි දී පදක්කම් පිරිනැමීම, සංකේතාත්මක උපාධි මංජුසාව ලබා දීම සහ ඡායාරූප කිහිපයක් ගැනීම හැර කිසිවක් වන්නෙත් නෑ. ඕනෑ ම හේතුවක් මත එම උලෙළට නෑවිත් ඉන්නත් පුළුවන්.

කාට හරි කුලපති මුරුත්තෙට්ටුවේ  හාමුදුරුවන්ට විරෝධය පාන්න ඕන නම්, එහිමියන් අතින් උපාධි මංජුසාව ගන්න අකමැති නම් උපාදි ප්‍රදානෝත්සවට නෑවිත් ඉන්න තිබුණා. එහෙම කළා නම් ඇත්තට ම තමන් අවු. 3-4ක් කොළඹ වශ්වවිද්‍යාලයේ ගත කරලත් එළියට ගියේ හිස් ටිං එකක් වගේ කියලා රටට ලෝකයට නොපෙන්වා ඉන්න තිබුණා. 

මේ වගේ ඊනියා රැඩිකල් පට්ට මෝඩ විරෝධතාවලින් සමාජයට අනාවරණය වෙන්නේ තමන්ගේ හිස්කම මිස වෙන කිසිවක් නෙමෙයි. අපි ගරු කරන්න ඕන අපි උගත් විශ්වවිද්‍යාලයේ කුලපති කියන ධූරයට මිස ඒ පුද්ගලයට නෙමෙයි. 

හුදු උගත්කම මිස විනයක් නැති මේ වගේ අය කිසිම ආයතනයකට බඳවා ගන්න පෞද්ගලික ව්‍යවසායකයෙක් කැමති නෑ. ඉතින් ලිප්ටන් වටරවුමේ වාඩිවෙලා ආයේම ආණ්ඩුවේ පිංපඩියකට සෙට් වෙනවා ඇර විකල්පයක් නෑ.

අනික කුලපතිකම හුදු දේශපාලන පත්වීමක් කියන එක හරි ම මෝඩ බොළඳ අදහසක් නිසා ඊට පාන විරෝධයත් ඒ වගේ ම බොළඳයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම දේශපාලනිකයි. කුලපති විතරක් නෙමෙයි, උප කුලපතිත් දේශපාලනිකයි. 

ඒ විතරක් නෙමෙයි, මේ ආයතනවලට කථිකාචාර්යවරු බඳවා ගැනීමත් දේශපාලනිකයි. කුලය, පළාත, ආගම, කල්ලිය විතරක් නෙමෙයි, ස්ත්‍රී පුරුෂභාවය පවා පළමු පන්තියේ සමාර්ථ, පදක්කම්වලට වගේ ම ආධුනික කථිකාචාර්ය තනතුරුවලටත් ශාස්ත්‍රීය නිපුණතා සහ ඇල්මට වඩා බලපානවා. 

අපේ අවසාන වසර හොඳ ම නිබන්ධනයට හිමි කුසලානය මට ලබා නොදීමට එක ම හේතුව එක් ඇදුරෙකුට එය සිය සිත් ගත් තරුණියකට ලබා දීමට තිබූ නොතිප් ආශාව බව මට කීවේ ඒ කමිටුව නියෝජනය කළ තවත් ආචාර්යවරයෙක්මයි. 

ගුණදාස අමරසේකර පද්‍ය විචාර සම්ප්‍රදාය ගැන මා කළ නිබන්ධනය පැත්තකට දාලා ඉපැරණි කොරවක්ගල් මුරගල් ? ගැන කළ නිබන්ධනයකට සම්මානය ලැබුණා. (මා උගත්තේ සිංහල අධ්‍යයනාංශයේ මිස ඉතිහාසය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක යැයි නොසිතත්වා!)

නමුත් ඒ මිතුරිය හෝ ගුරුවරයා සමග මගේ කිසි ම අහිතක් නැත්තේ, එය මේ ගණයේ පළමු හෝ අවසාන සිදුවීම නොවන නිසා. අනෙක් අතට ඒ දීප්තිමත් ආචාර්යවරයාගෙන් මා බොහෝ දේ උගත් බව අදත් සිහිපත් කරන්නේ ඉතා ම ගෞරවයෙන්. 🙏

මා විශ්වවිද්‍යාල ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අමිහිරි අත්දැකීම්වලට එරෙහිව නීතිය හමුවට  යන්න කී ගුරුවරුත් හිටියා. නමුත් ඒ වගේ උඩ බලලා කෙළ ගහන වැඩවලට මම කැමති වුණේ නෑ. ඒක මා නොලද දේට වඩා ලද දේට කරන අගෞරවයක්. 

ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යාලය එහි විසල් පුස්තකාලය මම අදත් හිතින් පැදකුණු කරනවා. ඒ ගෞරවය අභිමානය ඉදිරියේ අර අමිහිරි අත්දැකීම් නොගිණිය යුතු තරම්. මම මේ ටික වුණත් කීවේ අදේශපාලනික පිවිතුරු කිසිවක් නෑ කියල කියන්න ඕන නිසයි.

අනෙක් අතට මේ කුලපති විරෝධය හුදු උගත්කම නිසා උදුම්මාගත් හිසින් සහ ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරන තැතක් විතරයි. 

උගත්කම වගේ ම බුද්ධිය තිබෙනවා නම් මේ මට්ටමට කිසිවෙක් වැටෙන්නේ නෑ. බොහෝ උපාධිකාරයින්ට වඩා දැනුම සමාජාවබෝධය ඔවුන් නූගතුන් යැයි ගරහන අයට තිබෙනවා. ගුරුවරයාගේ නිබන්ධනය කට පාඩම් කර විභාග පාස් කළ පමණින් ඒ දැනුම ලබන්න බෑ.

සරසවියේ සමාජවාදී ආණ්ඩු පිහිටුවන, ධනපති භංග කරන සටන්බිමේ මම හිටියේ නෑ. පන්ති පහ කරල, උසස් පෙළ සහ අනතුරුව මහජන බැංකුවේ සේවය කළ කාලයේ ම එහි හිස් බව පසක් වුණා. 

ඒ නිසා මගේ විශ්වවිද්‍යාල කාලය තුළ මගේ වැඩි ම කාලය ගෙවුණේ විශ්වවිද්‍යාල මහ පොත්ගුලේ. ඒ කාලය තුළ මම විෂයානුබද්ධ පොතපත වගේ ම විෂයානුබද්ධ නොවන පොතපත දහස් ගාණක් කියවලා ඇති. 

මම තරම් ඒ කාලය තුළ පුස්තකාලය පරිහරණය කළ කිසිවෙක් හිටියේ නෑ. මගේ මිත්‍රයෝ මා මුණ ගැහෙන්න කෙළින්ම ආවේ පුස්තකාලයට. කවුරු හරි මං ගැන විමසුවොත් ඔවුන් මා නොදැකම කීවේ "ලයිබ්‍රියේ ඉන්නවා" කියල. පුස්තකාලයේ මා ඉන්න කොටසේ විදුලි පහන්, විදුලි පංකා නිවා ගෙන, එහි සේවකයින්ටත් ඉසිඹුවක් සලසා, සැඳෑ කළුවර සමග අවසාන සීනුව නාද වන මොහොතේ ඒ මහා පොත්ගුලෙන් නික්ම යන හැටි මට අද වගේ මතකයි.

ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැදගත්කම හෝ වටිනාකම මට උපාධි මංජුසාව ලබා දෙන තැනැත්තා මත රැඳෙන බවක් කවදාවත් හිතුණේ නෑ. අපි කතෝලිකයෝ නොවුණත් එවක කුලපති ඔස්වල්ඩ් ගෝමස් පියතුමා  ඉදිරියේ බොහෝ ම ගෞරවයෙන් හිස නමලා උපාධි මංජුසාව ගත්තා. 

නමුත් විශ්වවිද්‍යාලයට ගිහින් එහි නිසි ඵල නෙළා නොගත්, රතු විප්ලවයේ කොටස්කාරයෝ වෙලා අවසානයේ වසර 3-4කින් හිස් අතින් ලිප්ටන් වට රවුමට තල්ලු වන අයෙකුට මැද සාලයේ තබන උපාධි පුදානෝත්සව පින්තූරය මහ මෙරක් වෙන්න පුළුවන්.

මේ රටේ මහ ජනතාව බොහොම අමාරුවෙන් එක් උපාධිධාරියෙකුට තමන්ගේ මුදල් ලක්ෂ 10ක් විතර වැය කරල නෙළා ගන්න අස්වැන්න හුළඟට යනවා දකින කොට මොනවා හිතෙනවා ඇද්ද?

නාමල් උඩලමත්ත

Saturday, November 20, 2021

ආනන්දගේ තෙල් හිඟය සහ රූපවාහිනී පුවත්...

තෙල් සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගිය ආනන්ද පාලිත පසුගිය මාස කිහිපයේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු කියා ජනතාව හතර වරක් පිරවුම්හල් අසල පෝලිම් ගැස්සවූයේය.

ජනතාව ආණ්ඩුවට කුනු බැනුම් බනිමින් වාහනවලට තෙල් ෆුල් ටෑන්ක් ගසා ගෙන ගැලුම්වල ද පුරවා ගෙන ගෙදර ගියේ සියලු වැඩ අතහැර පැය ගණන් පෝලිම්වල තපිමිණි. 

මෙලෙස එකවර තෙල් අසාමාන්‍ය ලෙස මිලට ගැනීම නිසා මතු වන කෘත්‍රිම හිඟයක් මිස රටේ මෙි කිසිදු අවස්ථාවක තෙල් හිඟයක් ඇති නොවිණි. රට පුරා සුපුරුදු ලෙස තෙල් බෙදා හැරිණි. 



ජනතාව අපහසුතාවට පත් කරමින් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම පිළිබඳ ආනන්ද පාලිත වරක් අත්අඩංගුවට ද පත් වුව ද පසුව නිදහස් විය. 

මෙලෙස බොරු කියා ජනතාව රැවටීම ඔස්සේ ආණ්ඩුව අපහසුතාවට පත්කළ හැකි බව දැනගත් සජිත්, ආනන්ද පාලිත සජබෙ වෘත්තීය සමිති ප්‍රධානී සහ මාධ්‍ය ප්‍රකාශක කළේය.

තව දින කිහිපයකින් ආනන්ද පාලිත සජබෙට උවමනා ආකාරයේ ජනතාව කුපිත කරන තවත් තෙල් බොරුවක් දෙසනු ඇත. ජනතාව නැවත පෝලීම්වලට පෙළ ගැසෙනු ඇත.

ජනතාව ද මෙම තත්ත්වය පිළිබඳ මීට වඩා සවිඥානික විය යුතුය. එසේ ම ආනන්ද පාලිතගේ තෙල් හිඟයට සිය ප්‍රවෘත්තිවල ඉඩක් දෙන රූපවාහිනී නාළිකා ඒ කරුණු බලශක්ති ඇමැතිවරයා හෝ තෙල් සංස්ථාව ලවා තහවුරු කර ගැනීමට තරම් වගකීම් සහගතවිය යුතුය.

මන්ද  ආනන්ද පාලිතට වඩා ජනතාව විශ්වාස කරන්නේ තමා ප්‍රවෘත්ති බලන නාළිකාවය. ආනන්ද පාලිත යනු කවුද කියා මේ රටේ ජනතාව දන්නේ ද නැත. එහෙත් රූපවාහිනීය ඇත්ත කියන්නේ යැයි ජනතාව සිතති. ඒ ජනතාව අසරණ නොකිරීම රූපවාහිනී නාළිකාවල වගකීමය.

Thursday, November 18, 2021

සඳහිරු සෑය සඳ හිරු පවතින තුරු ජාතියට දෙන පණිවිඩය කුමක් ද?

මහරජ ගැමුණු ආක්‍රමණිකයාට එරෙහිව දියත් කළ සටන මෙන් ම මහින්ද රාජපක්ෂ ද දියත් කළේ ප්‍රභාකරන් යොදා ගෙන බටහිර සහ ඉන්දියාව විසින් සිදුකළ ආක්‍රමණයට එරෙහි සටනකි. එළාර මෙන් ම ප්‍රභාකරන් ද පරාජයට පත් නොවන්නට අපේ රටේ ද ජාතියේ ද බුදු දහමේ ද ඉරණම විසඳෙන්නට ඉඩ තිබිණි. 

2009 නන්දිකඩාල්වල දී පරාජයට පත් කළේ, යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, යාපෙන් නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ද අනතුරුව මිනි මරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය බස්තියන් පිල්ලේ නම් දෙමළ පොලිස් නිලධාරියා ද ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. 

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු නැගෙනහිර දෙමළ තරුණයින්ගේ සහය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණි. එසේ ම අර්ජුනන් ශිවකුමාර නම් මගේ පාසල් මිතුරකු ඇතුළු දකුණේ බොහෝ දෙමළ තරුණයින් හමුදාවට බැඳී කොටි පරාජය කිරීමට සටන් කළ බව අභිමානයෙන් යුතුව කිව යුතුමය. එහෙයින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති.

එසේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා වැඩි ම ප්‍රතිලාභ ලැබුවේ උතුරේ දරුවන් බව අද බොහෝ දෙනෙකු පිළිනොගත්ත ද අනාගතයේ එම සත්‍ය බැහැර කරලීමට නොහැකි වනු ඇත. ප්‍රභාකරන් විසින් කරේ සයනයිට් කරල් පළඳා දෑතට අත්බෝම්බ සහ තුවක්කු දුන් තරුණයින් අතර නැවත පොත පැන ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. ප්‍රභාකරන් විසින් මිනිස් බෝම්බ බවට පත්කළ උතුරේ දරුවන්ට සාපෙළ උසස් පෙළ විභාගවලින් ලංකාවේ පළමු දෙවන ස්ථාන ලබාගත හැකි ලෝකයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ විසිනි.

මේ සියල්ල මෙන් ම ප්‍රභාකරන් විසින් රාජයප්පු ජෝෂප් රදගුරුගේ අනුදැනුම මත අපේ හින්දු සංස්කෘතිය බුල් ඩෝසර් කරමින් ගොඩනැඟූ ක්‍රිස්තියානි වතිකානුව බිමට සමතලා කළේ මහින්ද රජපක්ෂ විසිනි. උතුරේ ජනතාවගේ හින්දු සංස්කෘතිය රැකදුන් මහා වීරයා මහින්ද රාජපක්ෂ බව අනාගතයේ උතුරේ ජනතාව අවබෝධ කරගනු ඇත.

මෙවැනි පසුබිමක රටම ලේ විලක් කළ ලොව දරුණුතම ත්‍රස්වාදය ලෙස හැඳින්වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට අප එරෙහි විය යුතුය. මෙවැනි අතාර්කික විකාර දොඩවන පුස් උගතුන්ට අප අනුකම්පා කළ යුතුය. ප්‍රභාකරන්ගේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් නම් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ත්‍රස්ත කල්ලියේ පරාජය සමස්ත සිංහල ජනතාවගේ පරාජයක් විය යුතුය. 

බෙදී වෙන්ව දෙරටක් වන්නට නියමිතව පැවැති අපේ රට කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් එක්සේසත් කළ ඒ අභිමානී විජයග්‍රහණය මේ රටේ උතුරේ ද දකුණේ ද මතු මතු උපදින දරුවන්ගේ ජයග්‍රහණයකි. මැදින් සීමා ඉරක් ගසා ගෙන අවි අමෝරා ගෙන යුද වදින රටක් වෙනුවට මහ මුහුදින් වට වූ රටක් මහින්ද රාජපක්ෂගේ ආයෝමය නායකත්වයෙන් සහ විරෝදාර ත්‍රිවිද හමුදාවේ අතිමහත් කැපකිරීම් මතින් ඔවුන්ට ලැබී තිබේ. ඒ රට ඒ ජයග්‍රහණය රැකගැනීම ඒ සියලු දරුවන්ගේ උර මත ද පැටවෙන වගකීමකි.

එම විජයග්‍රහණය මෙන් ම එම වගකීම ද සිහිපත් කරමින් ඉදි වූ සඳහිරු සෑය යුද්ධයේ පරාජයේ සංකේතයක් නොව සාමයේ විජයග්‍රහණයේ සංකේතයකි. එහි පරාජිතයින් වන්නේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, බස්තියන් පිල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් නියෝජනය කරන දෙමළ ජනතාවගේ ද ජයග්‍රහණයකි. එමගින් සංකේතවත් කරන්නේ කෘරතර යුද්ධයේ නිමාව සහ මධුරතර සාමයේ උදාවය. බුදු දහමේ සුරක්ෂිතතාවය. සඳහිරු පවතින තුරු පැවතිය යුතු එක්සේසත් ලංකාවය. එදා මහරජ ගැමුණු රන්වැලි මහසෑය ඉදිකරමින් ද මහින්ද රාජපක්ෂ සඳහිරු සෑය ඉදිකරමින් ද සංකේතවත් කරන්නේ එයයි.

ඊයේ සඳහිරු සෑය අබියස සිට මහින්ද රාජපක්ෂ එය තහවුරු කළේ මෙසේ ප්‍රකාශ කරමිනි.

"යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේ දී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ සිට 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු ම රණවිරුවන්ටත් ඒ වාගේ ම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! යැයි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු ම දෙනා අපේ ම රටේ අපේ ම අය."

මෙවැනි උදාරතර අරමුණු පෙරදැරිව ඉදිකළ සඳහිරු සෑය නිසා කිසිවෙකුගේ සිත පෑරෙන්නේ නම් ඒ ත්‍රස්තවාදියෙකි. නොඑසේ නම් ත්‍රස්තවාදයේ සහයකයෙකි. නොඑසේ නම් පටු කුහක දේශපාලනය නිසා රට එක්සේසත් කිරීමේ ගෞරවය තම දේශපාලන පක්ෂයට හිමි නොවන නිසා ඇති වන ඉච්ඡාභංගත්වයෙන් කටමැත දොඩවන්නෙකි. සඳහිරු සෑයේ නිදන් කිරීමට රත්තරන් ලබා දුන් රේගු නිලධාරීන්ගෙන් පවා පළිගනිමින් පහුගිය යහපාලනාණ්ඩුව ගෙන ගිය අධාර්මික පාලනය කෙළවර වූයේ එම පවට කරගැසූ එජාපයට මෙන් ම ශ්‍රීලනිපයට ද දිට්ඨධම්මවේදනීය කර්මය පළ දීමෙනි. එවැනි අන්තවාදීන් පුනරුත්ථාපනය කරනු මිස කළ හැකි දෙයක් නැත.

මෙම මිත්‍යාව සමාජගත කරමින් සමාජයේ නොමැති වෛරයක් බෙදීමක් ඇති කිරීමට, කූරගලට විදුලිය ලබා දීමට එරෙහි වූ සකලවිධ බෞද්ධ විරෝධී බලවේගවලට අද නායකත්වය සපයන සජිත් ප්‍රේමදාසට පිරිත් නූල් බඳිමින් රජ පුටුවට ගෙන යන්නට බලා සිටින භික්ෂූන් වහන්සේලා අතලොස්සක් ද මේ අතර සිටිනු දැකීම කනගාටුවට කරුණකි. 

Wednesday, November 17, 2021

මන්ත්‍රී විශ්‍රාම වැටුපට වසර 10ක් අනිවාර්ය කළ ආණ්ඩුව ගෙදර යවනු..!

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුත 15000කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.

1971 මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් 1/3ක් හෝ 2/3ක් සමග ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රීවරයෙකුට හිමිය. ඒ අනුව එම විශ්‍රාම වැටුප රු. 18 500කි. එයට ජීවන වියදම් දීමනාව ද එකතු කළ විට වැටුප රු. 25100කි. විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මෙයට පෙර මසකට රු. 10 0000ක දීමනාවක් ද ඊට එකතු කර ඇත. ඒ අනුව වැටුප 35 100කි.

මේ අනුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඕනෑ ම අයකුට මාසිකව රු. 35 100ක විශ්‍රාම වැටුපක් සිය ගිණුමට බැරවෙයි. මෙම සංඛ්‍යාව කෙතරම් දැයි කිව නොහැකි වුවත් 1970 දශකයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ 454 දෙනෙක් 2019 වන විට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කීහ. 2020 අගොස්තු 17 වෙනි දිනට පෙර එනම් මාර්තු මස 02 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ නිසා තවත් 64 දෙනෙකු මෙම ලැයිස්තුවට එකතු වීම වැළැක්විණි.

කෙසේ වුව ද මෙම විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැතැයි තීන්දු කළ පසුගිය යහපාලනාණ්ඩුව 2019 වසරේ මුල මෙම විශ්‍රාම වැටුප තවත් රු. 15 000කින් ඉහළ නැංවීමට යෝජනාවක් ගෙන ආ නමුත් මහජන විරෝධය හමුවේ එය ඉටු කළ නොහැකි විය. යහපාලනාණ්ඩුව වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන මෙම යෝජනාව ගෙන ආවේ එම ආණ්ඩුව මගින් ම 2016 වසරේ රාජ්‍ය සේවයට බැඳී වසර 45ක් පමණ සේවය කරන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කපමිනි. 

එදා යෝජිත විශ්‍රාම වැටුප් වැඩි කිරීම ද හිටපු මන්ත්‍රීවරුන්ට ලැබිණි නම් එම විශ්‍රාම වැටුප රු. 50100කි. මේ වන විට මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබන පිරිස 454ක් නම් මාසිකව රු. 27 745400ක් (50100×454) මුදලක් ඒ සඳහා වැයවෙයි.

කෙසේ වුව ද 2022 අයවැය මගින් පාර්ලිමේන්තුව අඛණ්ඩව දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් නියෝජනය කළ වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් මන්ත්‍රී ධූරයක් දැරූ අයට පමණක් විශ්‍රාම වැටුප හිමි වනු ඇත. ඒ සමග 500කට අධික විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රී පිරිස සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. 

2019 වසරේ යහපාලනාණ්ඩුව මන්ත්‍රී විශ්‍රාම වැටුප වැඩි කිරීමට උත්සාහ කරන විට එම පක්ෂයේ සිටි වර්තමාන සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිවෙකු ඊට එරෙහි වූයේ නැත. එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළ විධායක සභාව නියෝජනය කළ එම ආණ්ඩුව විසින් ම පත්කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක ද ඊට එරෙහි වූයේ නැත. රතු කොළ සියලු දෙනා එකාවන්ව ඊට පක්ෂ වූහ. 

එම යෝජනාව ගෙන ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ගෙවන ගෙවීම ද ඉහළ නැංවීමට කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල විය යුතුය. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් කොට පාලනය කළ කොවිඩ් වසංගත තත්ත්වය නැවත රට පුරා බෝ කිරීම සඳහා ජනතාව කැඳවන, බලය වෙනුවෙන් ඕනෑ ම පහත් ක්‍රියාවක නිරත වන පිරිසකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කිව යුතුය.

මෙම යෝජනාව මෑත කාලයේ දේශපාලනඥයකු විසින් ආණ්ඩුවක් විසින් යෝජනා කළ ඉතා ම ප්‍රගතිශීලී යෝජනාවක් වන අතර මෙරට දේශපාලනය මහත්මා දේශපාලනයේ සිට බලු පොරයක් දක්වා ඇද දැමූ මැති ඇමැති වරප්‍රසාද තව තවත් අඩු කිරීමට සමාජ මතයක් නිර්මාණය කළ යුතුය. අප බලවත් කළ යුත්තේ සිය මල්ල තර කරන යෝජනා සම්මත කරගන්න දේශපාලන බලවේග නොව ජනතාව වෙනුවෙන් එම වරප්‍රසාද පවරා දෙන බලවේගයක් වෙනුවෙනි.

Monday, November 15, 2021

රාජ්‍ය සේවය රටට බරක් කියල බැසිල් බොරු කිව්ව ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට බරක් බව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මේ පිළබඳ අද වන විට සමාජයේ සංවාදයක් මතුව තිබේ. සමහරු පවසන්නේ මැති ඇමැතිලා ද රටට බරක් බවය. රාජ්‍ය සේවය රටට බරක් නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කර අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප ද අහිමි කිරීමට කටයුතු කළ යහපාලනාණ්ඩුවේ සුජාත පුත්‍රයාණෝ අද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසීම රාජ්‍ය සේවයට කළ අපහාසයක් බව ප්‍රකාශ කරති. 

රාජ්‍ය සේවය රටට බරක් බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ ද නොකළ ද එය අද රටට මහ බරකි. අප එය ප්‍රකාශ කළේ බොහෝ කලකට පෙරය. රටේ සමස්ත ආදායමින් 85%ක් පමණ රාජ්‍ය සේවයට පඩි ගෙවීමට සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන පසුබිමක එය රටට බරක් බව බැසිල් රාජපක්ෂ අලුතින් කිව යුතු දෙයක් ද නොවේ. 

කෙසේ වුව ද ලක්ෂ 1990 වන විට ජනගහනයෙන් දහසට 30ක් වූ රාජ්‍ය සේවය 2020 වන විට දහසට 60 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසර තිහක් තුළ රාජ්‍ය සේවක පිරිස 100%කින් ඉහළ ගොස් තිබේ. ලක්ෂ 07ක්ව පැවැති රාජ්‍ය සේවය ලක්ෂ 14ක් දක්වා ඉහළ දමන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා බැසිල්ය. එහෙයින් බැසිල් ද එහි කොටස්කරුවෙකි.\



මෙලෙස රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීම මෙන් ම යහපාලනාණ්ඩුව එකවර සමස්ත රාජ්‍ය සේවයේ වැටුප රු. 10 000කින් ඉහළ නැංවීම ද රාජ්‍ය සේවය රටට බරක් වීමට හේතු වී තිබේ. 2016 වසරේ සිට අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප අහිමි කළ යහපාලනාණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රු. 35 100 සිට රු. 15000කින් රු. 50 100 දක්වා ඉහළ නැංවීමට යෝජනා කළ බව අපට අමතක නැත. 

අප රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සමස්ත දේශපාලන දැක්මට එරෙහිව වුව ද ඔහු රාජ්‍ය සේවය කෙරෙහි දැක්වූ ආකල්පය නිවැරදි බව පිළිගත යුතුය. රනිල්ගේ හරි දේ පිළිගැනීම ඔහුගේ බහුතර වැරදි ප්‍රතික්ෂේප කිරීමට බාධාවක් නොවේ. අප විමසා බැලිය යුත්තේ ප්‍රතිපත්තිය මිස ප්‍රතිපත්තිය දරන්නාගේ පැටිකිරිය නොවේ.

අතීතයේ සිදු වූ මෙම වරද දැන්වත් නිවැරදි කළ යුතුව ඇත. රාජ්‍ය සේවය අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණය යොදා ගෙන ජනතාවට තවත් සමීප කරන අතර ඊට සාපේක්ෂව බඳවා ගන්නා පිරිස අඩු කළ යුතුය. ජනතාව රාජ්‍ය සේවයට ආකර්ෂණය වන විශ්‍රාම වැටුප ඉවත් කිරීම ආන්දෝලනාත්මක විය හැකි බැවින් සියලු දෙනා වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය ආකර්ෂණීය කළ යුතුය. 

මේ වන විට එංගලන්තයේ ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පිරිස 0.29%කි. ඉතාලියේ 0.20%කි. බ්‍රසීලයේ 0.12%කි. එහෙත් ලංකාවේ එවැනි කිහිප ගුණයකි. එම පිරිස නඩත්තුව සඳහා රටේ සමස්ත ආදායමින් 85%ක් වෙන් කළ පසු රට සංවර්ධනය කළ නොහැකි බවට දේශපාලනඥයින්ට දොස් තබා පලක් නැත. රාජ්‍ය සේවය පුළුල් කරන බවට පොරොන්දු දෙන විට ජනතාව ඊට එරෙහිව විය යුතුය. 

එසේ ම රටේ අධ්‍යාපනය වෘත්තියාභිමුඛ නොව ව්‍යවසායාභිමුඛ කළ යුතුය. මහජන මුදලින් විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුත්තේ ව්‍යවසායකයකු ආයෝජකයකු නිර්මාණය කිරීමට මිස රැකියා හිඟන්නන් බෝ කිරීම නොවේ. ලිප්ටන් වටරවුමේ මැසි බැඳගෙන වයසට යන උපාධිධාරීන් බෝ කරන අධ්‍යාපනය අප වහා ම වෙනස් කළ යුතුය. අතීතයෙන් සහ වර්තමානයෙන් පාඩම් උගෙන අනාගතය සුවපත් කළ යුතුය.


Saturday, November 13, 2021

චීන පොහොර සමාගම මට්ටු කරන විදිහ මෙන්න...!

කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වාර්තා සකස් කළේ කවුද ඒවා වෙනස් කළේ කවුද ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයට එහිලා පැවරෙන වගකීම කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් කළ යුතුය.

ප්‍රමිතියෙන් තොර මහ පොළොවට විෂ එකතු කරන රසායනික ටොන් 80 000කට වඩා මේ රටට ගෙන ඒම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ඒ සඳහා දායක වන්නේ නිකම් නොවේ. මෙම ගනුදෙනුවේ දී නිලධාරීන් කිහිප දෙනෙකුගේ හත්මුතු පරම්පරාව ම ගොඩයන්නට ඇත.



අප සමාජය දේශපාලකයින් හොරු වංචාකාරයින් දූෂිතයින් යැයි බැණ වැදුණ ද රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා පිළිබඳ අවධානයක් යොමු නොකරති. සැබවින් ම දේශපාලකයින්ට වඩා කිහිප ගුණයක් දූෂිත තක්කඩි සුදු කරපටි අපරාධකාරයින්ගෙන් අපේ රාජ්‍ය සේවය රටට හෙණයක් වී ඇති බව කිව යුතුය.

කවර ආණ්ඩුවක් ආව ද කවර පාලකයෙක් ආව ද මෙම සුදු කරපි අපරාධකාරයෝ කොමිස් කුට්ටි පිටින් ගිලිමින් දේශපාලනඥයින් ද ගොනාට අන්ද ගෙන මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් ගිලිමින් ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රු. කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට පත් එවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ සඳහා උදාහරණයකි.

මෙවැනි කිසිදා හෙළි නොවන සාපරාධී ගනුදෙනුවලින් දූෂිත නිලධාරී කල්ලිය සුවිශාල ධනස්කන්ධයක් උපයන අතර ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔවුන් ලවා ඕනෑ ම අපරාධයක් කරවා ගත හැකිය. මේ රටට ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර රැගෙන ඒම පිටුපස ඇති කතාව ද එයමය.

එවැනි පිරිසක් චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි මුදලට වාර්තා නිකුත් නොකරනු ඇතැයි කිසිසේත් කිව නොහැකිය. CIC සමාගම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ද මිල දී ගන්නා රටක මෙය මහ ලොකු දෙයක් නොවේ.

අදාළ චීන පොහොර සමාගම ලොව පුරා රටවල් 16කට පමණ කාබනික පොහොර සපයන දැවැන්ත සමාගමකි. එවැනි සමාගමක් ප්‍රමිතිය පරික්ෂාව සඳහා ප්‍රමිතියෙන් තොර පොහොර සාම්පල් එවාවි යැයි මම නම් විශ්වාස නොකරමි.

එපමණක් නොව සිය පොහොරවල අහිතකර බැක්ටීරියා ඇත්නම් ස්වාධීන තුන්වන පාර්ශ්වයක් ලබා අදාළ පොහොර තොග පරික්ෂා කරන ලෙස මෙම සමාගම කිසිදු අවස්ථාවක ඉල්ලා සිටින්නේ නැත. මන්ද එවැනි ජාත්‍යන්තර ආයතනයක පරික්ෂණයකින් සිය පොහොර අසමත් වුවහොත් සිය සමාගම සම්පූර්ණයෙන් කඩා වැටෙන හෙයිනි.

මේ වන විට එම සමාගමේ ඉල්ලීම මත ස්වාධීන ආයතනයක් වන Schutter Global Inspection and Survey Company විසින් සිදුකළ පරීක්ෂණයක් මගින් එම පොහොරවල නියමිත ප්‍රමිතිය ඇති බව සහතික කර තිබේ. අදාළ පරීක්ෂණ සිදුකරන ජාත්‍යන්තර ආයතන කිසිම අවස්ථාවක වැරදි වාර්තා නිකුත් කර සිය කීර්ති නාමය විනාශ කරගන්නේ ද නැත.

එහෙයින් අපගේ නිලධාරී පැලැන්තිය මත පමණක් විශ්වාසය තබා ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු නොකළ යුතු බව මගේ අදහසයි. අපට මෙන් ම චීනයට ද පිළිගත හැකි ස්වාධීන ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණය කිරීමට අප නම්‍යශීලී විය යුතුය.

අපේ රට අසීරුතාවට පත්වන සෑම අවස්ථාවක අප සමග සිටි ජිනීවාහිදී බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් අප වෙනුවෙන් සිටගත් චීනය සමග අප නිකරුනේ රාජතාන්ත්‍රික ගැටුමක් ඇති කරගත යුතු නැත. අප කළ යුත්තේ අපට ද පිළිගත හැකි ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණයය නැවත සිදුකිරීමය.

එම පරීක්ෂණයෙන් පොහොර තොගයේ ප්‍රමිතිය තහවුරු කරන්නේ නම් අප එම පොහොර තොගය ලබාගත යුතු අතර අදාළ මුදල ද වහා ම ගෙවා දැමිය යුතුය. කිසිදු බියක් නොමැතිව එම පොහොර භාවිත කළ යුතු අතර ශාඛ නිරෝධායන සේවය අදාළ අසමත් වාර්තාව ලබා ගත්තේ කෙසේ දැයි සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර කිසිවෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

එහි දී එම පරීක්ෂණයෙන් අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තාව සනාථ වුවහොත් අප චීන සමාගමට අදාළ මුදල ගෙවිය යුතු නැත. අවශ්‍ය නම් සිදු වූ අපහසුතාවට චීන සමාගමෙන් අපට වන්දියක් ඉල්ලා සිටිය හැකිය. එසේ ම චීනයට අප සමග ගැටුමක් හදා ගැනීමේ අවස්ථාව මෙමගින් අහෝසි වනු ඇත.

චීනය විසින් අදාළ තෙවන පරීක්ෂණය සිදුකළ ජාත්‍යන්තර ආයතනයට වඩා අපගේ ශාක නිරෝධායන සේවය නිවැරදි බව තහවුරු වීමත් සමග පිට රටවල එවැනි පරීක්ෂණ ද අපට ලැබෙනු ඇත. එය අපට විදේශ විනිමය උපයන මාර්ගයක් වනු ඇත. අපගේ විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදය ලෝක ප්‍රසිද්ධ වනු ඇත.

එපමණක් නොව සිය වගකීම නිවැරදි ලෙස ඉටු කළ අපේ නිලධාරීන්ට අපි ජනාධිපති සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කළ යුතුය. අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තා නිවැරදි බව ඉර හඳ සේ විශ්වාස කරන පිරිස මගේ යෝජනාව පිළිබද බෙහෙවින් සතුටු වනු ඇති බව මගේ විශ්වාසයයි.

බටහිර රටක ආයතනයක් ලවා සිදුකරන එවැනි පරීක්ෂණයක් මගින් චීනයට මෙන් ම චීන සමාගමට ද හොඳ පාඩමක් ඉගැන්වීමේ අවස්ථාව අපට හිමි වනු ඇත. චීනයට ප්‍රමිතියෙන් තොර සිය පොහොර සමාගම වසා දැමීමට සිදුවනු ඇත. ශාඛ නිරෝධායන ආයතනයේ කීර්තිමත් විද්‍යාඥයින් ද මේ අවස්ථාව ලබා ගෙන අපේ රටේ ද සිය ශාඛ නිරෝධායන සේවයේ ද විශිෂ්ටත්වය ලොව හමුවේ හඬගා කීමට දෙවරක් නොසිතනු ඇති බව මම තරයේ විශ්වාස කරමි.

Friday, October 15, 2021

නැවතත් මාවිල්ආරු වසයි...!

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් ලබා ගැනීමේ සටන හෙවත් 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයේ දෙවන කොටස ගුරු වැටුප් සටනය. 

එහි අරමුණ ද සමාජයට එරෙහි විය නොහැකි පන්නයේ ඉතා ම සාධාරණ ඉල්ලීමක් ඉදිරියට දමා ජනතාව ගොනුකර එය ආණ්ඩු විරෝධයක් වෙත ක්‍රමානුකූලව යොමු කිරීමය. මම මුල සිට ම මේ අනතුරු ඇඟවීම කළෙමි.

රූකඩ ගුරු සංගම් නායතයින් කරන්නේ හිස් මාස්ටර්ස් වොයිස් අනුව ආණ්ඩුව ලබා දෙන ඕනෑ ම විසඳුමක පුංචි පරහක් හොයා ගෙන ඉන් රිංගා වර්ජනය ඉදිරියට කරගෙන ගොස් ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට මතයක් ජනගත කිරීමය.

අවුරුදු 25ක් පැරණි යැයි කියන ඊනියා ගුරු වැටුප් ගැටලුව ඉතා ම දුෂ්කර වසංගත කාලයක වුව අදියර 4කින් අදියර 3කින් පමණක් නොව අවසානයේ අදියර 2කින් විසඳීමට ද ආණ්ඩුව ඉතා ම නම්‍යශීලිව කටයුතු කරන පසුබිමක වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඉතා ම ම්ලේච්ඡ ලෙස මාවිල්ආරු සොරොව්ව වසා දමා ඇත.

මේ අවස්ථාවේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් අනාගත දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දුවක් ගතයුතුය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැක දෙන්නට වහාම පාසල් ආරම්භ කළ යුතුය. රාජකාරිය සඳහා වාර්තා නොකරන සියලු දෙනාගේ පඩි කපා දැමිය යුතුය.

පාසලට පැමිණෙන ගුරුවරුන් සහ නව තාක්ෂණය ද භාවිතයෙන් අධ්‍යාපන කටයුතු ස්ථාපිත කළ යුතුය. කිසියම් දිනයක් ලබා දී එදිනට පෙර සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවයෙන් පහකර අවශ්‍ය නම් නව උපාධීධාරීන් බඳවාගත යුතුය. 

පිං පඩිපිට, වෘත්තීය සමිති බලහත්කාරය මගින් දියත් කර ඇති මේ අශිෂ්ට කුමන්ත්‍රණය දැන් වහා ම පරාජය කළ යුතුය. දරුවන්ගේ අයිතිය වෙනුවෙන් මේ කුමන්ත්‍රණය පරාජය කිරීමට දෙමාපියන් සංවිධානය වී පෙරට ආ යුතුය.

Thursday, October 14, 2021

දුරකතන අංක හිමිකම....

දුරකතන අංකයේ අයිතිය එහි හිමිකරුට ලබා දෙමින් තමන්ට උවමනා ඕනෑ ම දුරකතන සේවා ජාලයක සේවාව ලබා ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීම ඉදිරිගාමී ක්‍රියාවකි. මෙය ඉන්දියාවෙි සිදුව ඇත්තේ දශකයකට පමණ පෙරය.

එය කිසියමි දුරකතන ජාලයකට ග්‍රාහකයා බැඳ තබා ගෙන සූරාකෑමේ අනියම් හිමිකම අහෝසි කරයි. ඒ සමග ම දුරකතන සේවා සපයන සමාගම්වලට ද ගුණාත්මක සේවාවක් සපයන අතර තරඟකාරී අයකිරීම් වෙත යාමට ද සිදුවෙයි.



කෙසේ වුව ද මා නිවැරදි නමි මේ සමග ම 071 හෝ 070 යනු මොබිටෙල් 077 හෝ 076 යනු ඩයලොග් වශයෙන් මෙතෙක් ග්‍රාහකයාට අනෙකාගේ දුරකතන අංකය හඳුනා ගැනීමේ ඉඩ ඇහිරෙනු ඇත. 

එහි දී ඒ ඒ දුරකතන ජාලය තුළ ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා අය කරන ගාස්තුවට වැඩියෙන් එම ජාලයෙන් පිටත  වෙනත් ජාලයකට ගන්නා ඇමතුම් සඳහා අය කරන්නේ නම් පාරිභෝගිකයා නැවත වටයකින් අමාරුවෙි වැටෙනු ඇත.

එහෙයින් මේ සමග ම කිසියම් ජාලයක් තුළ සහ ඉන් පිටත යැයි අයකිරීම් දෙකක් පවත්වා ගෙන යාම ද අහෝසි විය යුතුය. එය මේ සමග සිදුවන්නේ දැයි මම නොදනිමි. එසේ වන්නේ නම් සතුටු වෙමි. නොඑසේ නම් එය ද මේ නව නීති බලාත්මක වන විට සිදුවිය යුතු බව අවධාරණය කරමි.

Sunday, October 10, 2021

ගෑස් මිලේ නොකියූ කතාව....

ගෑස් මිල ඉහළ ගියේ යැයි විපක්ෂ කණ්ඩායම් අමන්දානන්දයට පත්ව බුකියේ ජයපැන් බොති. ඒ ගෑස් මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්වීමේ සතුට බෙදාගන්නා හැටිය. ඔවුන් සිතන්නේ ගෑස් මිල ඉහළ ගිය විට ජනතාව ආණ්ඩුව පෙරළා සජිත් ජනාධිපති කර පිහිටුවන ආණ්ඩුව මගින් අනුර නැවතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්කරනු ඇතැයි කියා විය යුතුය.

මේ වන විට ලෝක වෙළෙඳපො⁣ළේ ගෑස් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙි. කලාපයේ ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවල ගෑස් මිල පවා පැවැතියේ ලංකාවේ ගෑස් මිලට බෙහෙවින් ඉහළිනි. එහෙත් ජනතාවගේ පහසුව තකා ආණ්ඩුව මුරණ්ඩු ලෙස ගෑස් මිල ඉහළ දැමීමට ඉඩදුන්නේ නැත.

මේ නිසා මෙතෙක් රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාගම දිනකට ලක්ෂ 800ක් පාඩු ලද අතර දිගින් දිගට ම පාඩු ලද ලාෆ් සමාගම ගෑස් ආනයනය අතහැර දැමුවේය. ඒ නිසා හටගත් අර්බුදය තවම නිමක් නැත. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන විට ඊට සාපේක්ෂව මිල ඉහළ දැමීමට කටයුතු කළේ නම් එවැනි අර්බුදයක් ඇති නොවේ. 


එමගින් රටට කෙතරම් පාඩුවක් වුව ද ලිට්‍රෝ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දැමීම නොව මෙතෙක් ඉහළ නොදමා සිටීමේ මෝඩ තීන්දුවට ජනතාව ආණ්ඩුවට ස්තූති කළ යුතුය. එය කෙතරම් දුර්වල වුව ද ජනතාව වෙනුවෙන් ගත් අවංක තීන්දුවකි. එසේ නොවන්නට ගෑස් මිල ඉහළ යන්නේ බොහෝ කලකට පෙරය.

කෙසේ වුව ද එසේ වී නම් ගෑස් පෝලීම් ඇති වන්නේ නැත. කිරිපිටි ආදී අනෙකුක් ආනයන සඳහා ද ඒ මූලධර්මය අනුව කටයුතු කළේ නම් කිරිපිටි පෝලීම් ද නැත. 

සහල් ප්‍රශ්නය ද ගෑස් ප්‍රශ්නය ද කිරිපිටි ප්‍රශ්නය ද ආණ්ඩුව හුදෙක් ජනතාව පැත්තෙන් පමණක් සිතාගත් හැඟීම්බර එහෙත් ප්‍රඥාගෝචර නොවන තීන්දුවල ප්‍රතිඵලය. එහෙයින් ආණ්ඩුව මේ අවස්ථාවේ හෝ ලෝක යථාර්ථයට රටේ ජනතාව අභිමුඛ කිරීම හොඳය. 

නොඑසේ නම් සිදුවන්නේ රට තුළ අිවිශාල භාණ්ඩ හිඟයක් ඇති වී ජනතාව මීට වඩා ප්‍රකෝප කරවන අන්තයක් වෙත ඇදගෙන යාමය.  ජනතාව බොහෝ විට තමන්ට ලද මේ නො අගයන අතර නොලැබුණු දේ පිළිබඳ මැසිවිලි නගති. 

එසේ ම ආණ්ඩුව ලිට්‍රෝ සමාගමට දිනකට ලක්ෂ 800ක් පාඩු ලබන පසුබිමක ගෑස් අඩු මිලට ලබා දීම ඔස්සේ සිදුවන්නේ එම පාඩුව දර ළිපේ උයන මිනිහාගෙන් ද නැවත අයකර ගැනීම නැතහොත් සියලු ජනතාව සමග සම සේ බෙදා ගැනීම බව ද නොකියා ම බැරිය. එක අතකින් එය අයුක්ති සහගතය. ගෑස් ලිපේ උයන අපේ බර දර ළිපේ උයන මිනිහා සමග බෙදා ගැනීම කෙතරම් යුක්තිසහගත ද?

මේ අවස්ථාවේ ජනතාව තේරුම්ගත යුත්තේ අප පසුගිය  සමයේ රු. 1500ට ලබාගත්තේ එවැනි දෙගුණයක් වටිනා ගෑස් බවය. අප අසල්වැසි රටවල ජනතාව එම සම්පූර්ණ මිල ගෙවා ගෑස් ලබා ගන්නා විට මෙරට ආණ්ඩුව රාජ්‍ය සමාගමට දවසට ලක්ෂ 800ක පාඩුවක් දරා ගනිමින් ජනතාවට සහන මිලට ගෑස් ලබා දුන් බවය. එහෙත් තවත් ඉදිරියට ඒ ගමන යාම යථාර්ථය නොවේ. 

මගේ යෝජනාව නම් අප රට තුළ යථාර්වාදී නොවන මිල පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොකළ යුතු බව ය. ව්‍යාපාරිකයා ජනතාව සූරා කන තත්ත්වයක් තුළ මිස රජය ඊට මැදිහත් නොවිය යුතුය. පසුගිය අත්දැකීම්වලින් ආණ්ඩුව උගත යුත්තේ එයයි. අද පැවතියේ යහපාලනාණ්ඩුව  නම් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන්නේ ලංකාවේ මිල ඉහළ ගිය පසු බව නම් නිසැක ලෙස ම කිව හැකිය.

©නාමල් උඩලමත්ත

අනුර හොරු ඇල්ලූ හැටි....

අනුර දිසානායක යූටියුබ් ජනාධිපති වුණ සලකුණ වැඩසටහනේ දී මහා හෙළිදරව්වක් කළා. ඒ කතාව එයා ම කියන විදිහට සැකෙවින් මෙහෙමයි.

ඒ 2004 ආණ්ඩුවේ අනුර කෘෂිකර්ම ඇමැතිකම දරන කාලේ. ඊට කලින් රනිල්ගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ගාමිණී ජයවික්රම පෙරේරා කාලේ සැකසූ වාරි ව්යාපෘතයක් ආණ්ඩු පෙරළිය නිසා රනිල්ලට කරගන්ක බැරිවෙනවා ඉතින් මේ සම්පූර්ණ කළ ව්යාපෘති යෝජනාව අනුර ළඟට එනවා ඇමැති අත්සන ගන්න.
මේක ජයිකා ව්යාපෘතියක්. සම්පූර්ණ වටිනාකම රු. කෝටි 800යි. ජපානයෙන් කෝටි 600ක ණයක් දෙනවා. ලංකාව කෝටි 200යි. ඉතින් අනුර මේනට අත්සන් නොකර ආයේම විගණනයක් කරනවා.
එතකොට තමයි අනුර දැනගන්නේ මේ ව්යාපෘතිය රු. කෝටි 280කට කරන්න පුළුවන් කියල. ජපානයෙන් ණය ගන්න ඕන කෝටි 80ක ණයක් විතරයි. ඉතින් අනුර මේ ව්යාපෘතියට අත්සන් කරන්න බෑම කියනවා.


එතකොට එවක ජනාධිපතිනී චන්ද්රිකා, ජපාන තානාපති ඇතුළු විවිධ පාර්ශ්ව අනුරට මේක අත්සන් කරන්න බලපෑම් තරනවා. අනුර මේක මහා අපරාධයක් කියල බෑ ම බෑ ම කියනවා. ජපාන තානාපති සතියට දවස් තුනක් මිනිස්ට්රිය ඉස්සරහට ඇවිත් අනුර මුණ ගැහෙන්න තාප්පේ ළඟ හිටං ඉන්නවා. අනුර තානාපතිව ඇතුළට ගන්නෙවත් නෑ.
ඉතින් දවසක් මේ ව්යාපෘතිය ගැන කැබිනට් එකේ සාකච්ඡා වෙනවා. අනුර දිගට ම අත්සන් කරන්න බෑ කියනවා. මේ අස්සේ එවක ආණ්ඩුවේ මහවැලි ඇමැති මෛතීපාල සිරිසේන කියනවා, එහෙම නම් වැඩේ මට දෙන්න මම කොරන්නම් කියලා.
ඒ කියන්නේ අනුරට අනුව කෝටි 280න් කරන්න පුළුවන් වැඩේ කෝටි 800න් කරන්න මෛතීපාල එක පයින් සූදානම්. අනුරගේ විගණනය අනුව මේ වැඩෙන් කෝටි 520ක් විතර ම හොරා කනවා. යූඇන්පි ගාමිණී ජයවික්රම ⁣පෙරේරාලා කන්න හැදූ කෑම කන්න. මෛතීපාල දැන් ඒකට සූදානම්. අනුර කියනවා වැව් ටික දෙන්න බෑ කියල.
අනුරගේ හෙළිදරව්ව එතනින් ඉවරයි.
ඉතින් බලන්න හොරකම නිමා කරල, හොරු අල්ලලා රටට යහපාලනය උදා කරන්න අනුරලා ඊට අවුරුදු 10කට පස්සේ 2015 තෝරගන්නේ අර එදා කෝටි 520ක් යටි මඩි ගහන්න හැදූ මෛතීපාල. අගමැති ඇමැතිකම්වලට තෝරගත්තේ ඒ ව්යාපෘතිය හැදූ යූඇන්පි ආණ්ඩුවේ රනිල් ලා සහ ගාමිණී ජයවික්රම පෙරේරාලා. යහපාලනාණ්ඩුවේ උපදේශක තමයි අත්සන ගහල කෝටි 520ක් හොරා කමු කී චන්ද්රිකා. බලන්න මෙි හොරකල්ලිය රජ කරල තමයි, අනුර හොරකමට දඬුවම දුන්නේ.
ඒ යහපාලන වසංගතය තමයි, මහ බැංකුව දෙපාරක් කඩලා, හම්බන්තොට වරායත් විකුණල, රටේ ආර්ථික වර්ධනය 3%ට ඇදල දාලා මේ රටේ ආර්ථිකය කොවිඩ් වසංගතයට කලින් විනාශ කළේ. පාස්කු බෝම්බ ගස්ස ගෙන සංචාරක ව්යාපාරය විනාශ කළේ.
ඒදා රාජපක්ෂලට හොරු කිය කිය යූඇන්පිය බලයට ගේන්න වැඩ කළ අනුරලා ඒ ව්යාපෘතිය ඉවර වෙලා අවුරුදු ගාණක් යනකල් මේ ගැන කිව්වේ නෑ. ගාමිණී ජයවික්රම ⁣පෙරේරා පැන්ෂොන් ගිහින්. මෛතීපාල ආයෙමත් අනුරලගේ විරුද්ධ පිලට ගිහින්. එතකොට තමයි අනුරට ඒ අයගේ හොරකම් මතක් වෙන්නේ.
හැබැයි කට උල්කරලා අැස් ලොකු කරලා මේ කතා කියද්දී මොළේ උඩ වාඩිවෙලා අහන එවුන්ට අනුර හෙන වීරයා. මේ කතාවේ වැඩි කොටස වුණත් අනුර ගොතපු බොරුවක් වෙන්න පුළුවන්.
නාමල් ලැම්බෝගිනි 20ක් ගෙනාවා කියල රටටම බොරු කියල ඒ වීඩියෝව පෙන්නලත්, මම එහෙම කිව්වේ නෑ මම කියන්නේ පරම සත්ය විතරයි කිව්ව ඩෑල්ලෙක නේ. එහෙම එකා තමයි, එකම විකල්පය.

Thursday, October 7, 2021

6% සටන සහ වැඩි ගුරුපඩි සටන...

"ගුරු වැටුප් විෂමතාව දුරලනු! අධ්‍යාපන අයිතිය සුරකිනු!" තේමාවෙන් නැවතත් අාරම්භ කර ඇත්තේ 200-2015 රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ආරම්භ කළ "අධ්‍යාපනය සඳහ ද.ජා.නි. 6%ක් වෙන් කරනු!" පන්නයේ කුමන්ත්‍රණයකි. 

අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම අතිශය අසීරු කාරණයක් වන්නේ යම් සේ ද 1994 සුබෝදිනී වාර්තාව අනුව ගුරු වැටුප් නැංවීම ද අතිශය අසීරු කාරණයකි. ඊටත් වඩා භයානක යෝජනාවකි. මේ ආකාරයට වැටුප් වැඩි කළහොත් සමස්ත රාජ්‍ය සේවය ම අස්ථාවර වන අතර සියලු අංශ තමන්ට ද ගුරු වැටුප් හා සමාන වර්ධක ඉල්ලා පාරට බසිනු ඇත.

එහෙයින් මෙම යෝජනා කිසිසේත් ක්‍රියාත්මක කිරීම නොකළ යුතුය. වසර 24ක් තිස්සේ එම යෝජනා කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළේ ද එහි භයානකත්වය දන්නා නිසාය. අනෙක් අතට දැනට අමාත්‍ය අනුකමිටුව විසින් යෝජිත වැටුප් වර්ධක ගුරු වෘත්තීය සමිති පිළිගන්නා බවත් එය කොටස් ලෙස නොව එකවර ලබාදිය යුතු බවත් සඳහන් කර ඇත.


මෙම වැටුප් වර්ධක නිසා පවා සෙසු රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත නොඑළඹෙනු ඇතැයි කිව හැකි ද? එසේ ම එම බලපෑම අහෝසි කිරීම පිණිස ගුරු සේවය ඒකාබද්ධ රාජ්‍ය සේවයෙන් ඉවත් කර සංවෘත සේවයක් බවට පත් කිරීම ද නොකළ යුතුව තිබූ පය බරවයට පිටිකර බෙහෙත් බැඳීම වැනි වැඩකි.

ගුරු සේවයේ වැටුප් වැඩි කළ යුකුනම් කළ යුත්තේ පරිපාලන සේවය මෙන් ප්‍රසිද්ධ තරඟ විභාගයක් පවත්වා ඉහළ වැටුප් ශ්‍රේණියක පිහිටුවීමය. එවිට රාජ්‍ය සේවයේ කිසිවෙකුට ඊට එරෙහිව වර්ජන අවි එසවිය නොහැකිය. එහෙත් සුබෝදිනී කර ඇත්තේ නොකළ යුතුම දෙයයි.

සැබවින්ම අප මෙම සුබෝදිනී වාර්තාව සැකසීමේ දේශපාලන පසුබිම සහ ඒ පිටුපස සිටි අයගේ පෞද්ගලික රුචි අරුචිකම් මෙන්ම අභිලාෂයන් ද හඳුනාගත යුතුය. එක ම සුදුසුකම් පදනමි කරගෙන රාජ්‍ය සේවයට බැඳෙන පිරිස අතරින් ගුරු සේවය සුවිශේෂ කොට වැටුප් වර්ධක ලබා දීම පිටුපස ඇති අභිලාෂ සහ රවූෆ් හකීම් අධිකරණ ඇමැති ධූරය දරන සමයේ නීති විද්‍යාලයට අසාමාන්‍ය ලෙස මුස්ලිම් පිරිස යාමේ අභිලාෂ අතර කිසිදු වෙනසක් තිබිය නොහැකිය. මෙය හුදෙක් පටු අරමුණින් සිදු කරන ලද විකෘතියකි. 

කෙසේ වුව ද විවිධ කරුණු පදනම් කරගෙන වැඩ වර්ජන දියත් කර රටට අහිමි කරන මහා ධනස්කන්ධය ඉතිරි කර ගැනීම උදෙසා ආණ්ඩුව වහාම කළ යුත්තේ වර්ජකයින්ට පඩි ගෙවන කාලකන්නි සපරාධී නීතිය අහෝසි කර දැමීමය. ලොව කිසිදු රටක් වර්ජකයින්ට පිං පඩි ගෙවන්නට මහජන බදු මුදල් මකර කටට දමන්නේ නැත. මෙය සැබවින් ම සුළු පිරිසකගේ ඊනියා අයිතිවාසිකම් රැකීමට සමස්ත රට වැසියාගේ අයිතිය අමු අමුවේ කොල්ලකෑමකි. 


ඊයේ වැඩි පඩි උද්ඝෝෂණයට විරෝධය පාමින් "පඩියක් ගන්නවා නම් වැඩක් කරපල්ලා.. උඹලට ලැජ්ජ නැද්ද?" කියා ⁣ජනතාව නොබියව අසන තැනට පත්වීම ඔස්සේ වරිජකයින්ට මෙන්ම වර්ජකයින් පිංපඩි ගෙවන ආණ්ඩුවට ද මෙි අසාධාරණය තවත් ඉවසීමට ජනතාව තවත් සූදානම් නැති බව කනට ගසා කියා දී තිබේ.

වර්ජනය කරන දින ගණනට වැටුප් කපා දැමුවේ නම් කිසිදු වර්ජනයක් සතියකින් ඔබ්බට ඇද ගෙන යාමට කිසිදු බලවේගයකට නොහැකිය. එවැනි ඍජු තීන්දුවක් ගත්තේ නම් පසුගියදා සාපෙළ ප්‍රතිඵල එන්නේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ද සමගය. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වර්ජනය අවසන් වී දැන් බොහෝ කල්ය. 

2010-15 ආණ්ඩුව පෙරළන තුරු දියත් කළ 6% සටන ද යහපාලනාණ්ඩුව බලයට පත් වූ වහා විය යුතු ලෙස ම ස්වාභාවික මරණයට පත්වූ බවත් යහපාලනාණ්ඩුව යටතේ එතෙක් අධ්‍යාපනය සඳහා ලද මුදල ද  නොලැබුණු බවත් සිහිකටයුතුය. 6% සටන පසුපස වූ සැබෑ දේශපාලන අරමුණ වූ බෞද්ධ විරෝධී ජාතිකත්ව විරෝධී කල්ලතෝනි බලවේගය බලයට පත්කිරීම සපුරා ගත් පසු ආචාර්ය නිර්මාල් දේවසිරි සටන අතහැරියේ 6% අවජාතක දරුවෙක් බවත් එහෙයින් මග අතැර යමි කියා උදාන වැකියක් ද පුකාශයට පත්කර බව අවසාන වශයෙන් ලියා තබමි.

Friday, October 1, 2021

පොළොන්නරුවේ සිරාගේ පූජනීය වැව....!

 පොළොන්නරුවේ සිරිසේන මොනා වුණත් පට්ට ඩෑල්ලෙක. පරාක්‍රම සමුද්‍රේ ඉහත්තාවේ වැව් රක්ෂිතේ ගල් කොරියක් දානවා. වැව් තාවුල්ලේ දහම් කොළුවට ගෙයක් හදනවා. ඩඩ්ලි මලයා වැව් තාවුල්ලත් අල්ලලා අරලිය හෝටලේ වැට ගහනවා. දැන් පරාක්‍රම සමුද්‍රේ නිකං සිරිසේන පවුලේ බූදලයක් වගේ.

ඊට පස්සේ රොෂාන් රණසිංහ මැදිහත් වෙලා වාරිමාර්ගේ, පුරාවිද්‍යාවේ, නාගරික සංවර්ධනේ, නගර සභාවේ අනුමැතිය අරගෙන බර වාහනත් දුවන වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් හදන්න යනවා.

මේ නිසා සාමාන්‍ය ජනතාවට වගේ ම සංචාරකයින්ට විවේක ගන්න, ව්‍යායාම කරන්න, වැවේ අසිරිය විඳින්න තැනක් ලැබෙනවා. වැව් බැම්මටත් අතිරේඛ ආරක්ෂාවක් ලැබෙනවා. නගරාලංකාරයත් ඉහළ යනවා.


ඔන්න ඉතින් මහ ගෙදර තෝම්බුවට වෙන එකෙක් අත තිබ්බා වගේ සිරාට මළ පයිනවා. මුලින් ම මහරාජගේ නාළිකාව ලවා වැඩේ පත්තු කරනවා. ඊට පස්සේ නින්දගමේ හාමුදුරුවෝ ටිකකුයි ගොයියෝ ටිකකුයි වැව් බැම්මට නග්ගනවා. 

ඊට පස්සේ ඇවිත් වොයිස් කට් දෙනවා වැව පූජනීයයි. රජ කාලේ වැව් බැම්මට නැග්ගේ සෙරෙප්පු ගලවලා..වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් හදන එක සීගිරියට හෙලිකොප්ටර් බානවා වගේ කියලා. 

වැව් ඉස්මත්තේ වැව් රක්ෂිතේ ගල් කොරියක් කරන ගමන් වැව් තාවුල්ලේ පුතාට ගේත් හදල, මල්ලිගේ හෝටල් සාවියට තව කොටහක් කොටු කරගෙන මේ යකා සරමක් ඇඳගෙන මෙහෙම අපට කියනවා. 

දැන් පරාක්‍රම සමුද්‍රෙ සිරිසේන පවුලේ නින්දගමේ කොටහක්. ඒක පූජනීයයි. ඒ නිසා සාමාන්‍ය මිනිහෙකුට පයින් යන්නවත් වැවේ ලස්සන බලන්නවත් තැනක් හැදුවොත් පූජනීය වැව කෙළෙසෙනවා. 

පූජනීය වැවේ ලස්සන බලන්න ඕන නම් අපේ මල්ලිට ගාණ ගෙවල හෝටලේට වරෙල්ලා. අපේ පුතා පූජනීය වැවෙි ගේ හැදුවට වෙන එකෙකුට වැවි බැම්මෙවත් ඇවිදින්න හොඳ නෑ.

කුහකයොත් දැක්කා.. මේ වගේ කුහතයෙක් නම් කවදාවත් දැක්කේ නෑ. ඊට වඩා මරු බඩු ටික තමයි, වැවේ තියෙන දහම්ගේ ගේත් නොදැක, ඩඩ්ලිගේ හෝටලෙත් නොදැක වැව් ඉහත්තාවෙි රක්ෂිතේ සිරිසේනලගේ ගල් කොරියත් නොදැක, වැව රකින්න ආව පරිසරප්‍රේමි දෑහිතකාමී පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ නෑයෝ සෙට් එක. හොඳට අත ගාලා බැලුවා නමි හරි අං පෑදෙනව ද ඔළුවේ කියල.

Wednesday, September 29, 2021

නාවික හමුදාව කුරුසියේ ඇන ගැසීම...

වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය සහ රාගම දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද නාවික හමුදාව අදාළ දේවස්ථාන වෙත දැනුම් දී තිබේ. ඔවුන් මෙය පවසා ඇත්තේ කිසියම් පාර්ශ්වයක් වෙතින් ලද බුද්ධි තොරතුරක් පදනම් කරගෙනය. 

මෙවැනි බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම තහවුරු කිරීම මෙන් ම නැවත අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර තමන් වෙත ලද තොරතුර වහා ම අදාළ දේවස්ථාන වෙත නාවික හමුදාව දැනුම් දෙන ලද්දේ ඉතා ම යහපත් චේතනාවෙනි. 2019 මතකයන් සමග තවත් එවැනි විනාශයක් වනු වැළැක්වීමට ගතයුතු එක පියවරක් ලෙස එම නිලධාරීන් මෙම දැනුම් දීම කර තිබේ.

එහෙත් සිරිල් ගාමිණී පියනම ඊයේ මාධ්‍ය අමතමින් අදාළ අනතුරු ඇඟවීම පිළිබඳ විශාල ඝෝරනාඩුවක් කළේ යහපාලනාණ්ඩුවට 97 වරක් දැනුම් දී තිබුණ ද පල්ලියට එම අනතුරු ඇඟවීම නොකිරීම නිසා ජීවිත 250ක් අහිමි වී තවත් සිය ගණනක් අාබාධිත වූ පසුබිමකය. 

අවම වශයෙන් නාවික හමුදාවට මෙම තොරතුර ලද විගස අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීම පිළිබඳ සිය කෘතවේදීත්වය පළකිරීමට තරම්වත් විනයක් මෙි පියනමට නොතිබිණි. සැබවින් ම ඊට සුළු මොහොතකට පසු එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබිණි නම් එය වළක්වා ගැනීමට හෝ හානිය අවම කර ගැනීමට මෙම අනතුරු ඇඟවීම උපකාරි නොවන්නේ ද? 

එසේ දැනුම්වත් නොකර යම් ප්‍රහාරයක් එල්ල විනි නම් කිසියම් පාර්ශ්වයක් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් නාවික හමුදාව දැනුම්වත් කළ බව ප්‍රකාශ කළේ නම් එම නිලධාරීන්ට ද යහපාලන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මෙන් සිදුවන්නේ "ගහනවා කියල කිව්වට, මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" යනුවෙන් කීමටය.

එහෙයින් කුහක පටු අරමුණුවලින් බැහැරව පල්ලිය කටයුතු කරන්නේ නම් කළ යුතුව තිබුණේ මෙම නිලධාරීන් හමු වී අදාළ දැනුම් දීම පිළිබඳ ස්තුති කිරීම මිස මාධ්‍ය හමු කැඳවමින් අදාළ බුද්ධි තොරතුරු පිළිබඳ අඬබෙර ගැසීම නොවෙි.

බුද්ධි තොරතුරු විවිධ පාර්ශ්වලින් ලැබෙන අතර ඒ සියල්ල 100%ක් සාර්ථක වන්නේ නැත. එහෙත් ආරක්ෂක අංශ එ් සියල්ලට ම 100%ක් සූදානම් විය යුතුය. මන්ද ආරක්ෂක අංශවලට සාර්ථක වීමට දවස් 365ම සාර්ථක විය යුතු වුව ද සතුරාට සාර්ථක වීමට උවමනා තප්පර කිහිපයකි. එහෙයින් තමන් වෙත ලද මූලික තොරතුරු මත පදනම්ව පල්ලිය දැනුම්වත් කිරීම පිළිබඳ නිරවුල් මනසකින් කටයුතු කරන කිසිවෙකුට මෙලෙස අකෘතඥ විය නොහැකිය.

එසේ ම කිසියම් ප්‍රහාර සැලසුමක් අවසාන මොහොතේ කිසියම් හේතුවක් නිසා වෙනස් විය හැකිය. එමගින් අදාළ බුද්ධි තොරතුර බොරුවක් යැයි හෝ වගකීමෙන් තොරව කටයුතු කළේ යැයි ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කිරීම මන්දබුද්ධිකකමකි. 

එම තොරතුරු ඉහළට දැනුම් දී විශ්ලේෂණය කර තහවුරු කරගෙන විධිමත් ලෙස කාදිනල්තුමාට දැනුම් දෙන විට නියමිත ක්‍රමවේදය සපුරා තිබුණ ද එසේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් තිබිය හැකිය. එවිට ලෙඩා මළත් බඩ සුද්දයි කීමට නම් හැකිය. මන්ද ආරක්ෂක අංශ පිළිවෙළට අදාළ රාජකාරී ක්‍රමවෙිද අකුරට රකිමින් ආරක්ෂාව තහවුරු කරන තුරු සතුරා බලා සිටින්නේ නැත.

එම තොරතුරු මාධ්‍ය හමු තබමින් සතුරා අතට දෙමින් මුග්ධ ලෙස හැසිරීම සද්භාවයෙන් කටයුතු කළ නාවික හමුදාව අධෛර්යවත් කිරීමක් පමණක් නොව සතුරාට සිය දුබලකම් සකසා ගෙන සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමකි.

පල්ලියේ මෙි හැසිරීම අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ කලින් පල්ලියට දැනුම් දී සහරාන් කල්ලියේ අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනයම් හේතුවක් මත එම ප්‍රහාරය එල්ල නොකළේ නම් මේ ආකාරයට ම මාධ්‍ය හමුවක් තබා අදාළ දැනුම් දීම කළ නිලධාරීන් ද ඔත්තුකරුවන් ද ජුදාස්ලා මෙන් සතුරාට නිරාවරණය නොකරනු ඇතැයි කිව හැකි ද?

එවැනි මුග්ධ හැසිරීමක් ඉදිරියෙහි සිය ඔත්තුකරුවන්ගේ ආරක්ෂාව සහ සතුරා අවුල් කිරීම සඳහා පළපුරුදු ආරක්ෂක නිලධාරීන්ට එවැනි බුද්ධි තොරතුරක් තහවුරු කර නැතැයි පැවසීම හැර විකල්පයක් තිබිය හැකි ද?

එදා පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මේ රටේ බෞද්ධ ජනතාව පෙනී සිටියේ කතෝලික ජනතාව වෙනුවෙනි. ඔවුන්ගේ දුක බෙදාගත්තේ අපය. එහෙත් තෙවසරක් ගතවීමටත් පළමුව අපරාධකාරයින්ට දඬුවම් නොකළේ යැයි චෝදනා කරමින් පල්ලිය දැන් සිටින්නේ සතුරු කඳවුරේ ආයුධ මුවහත් කරමින් බව නකගාටුවෙන් වුව ද කිව යුතුය..

2001 ඇමරිකාවෙි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට 2016 ප්‍රංශ ත්‍රස්ත පුහාරයට අදාළ නඩු පැවරීම් සිදුවන්නේ අද බව දේශපාලන අතකොලුවක් බවට පත්ව දෙව්දත් රංගනයක නියැලෙන මේ පියවරුන්ට කියා පලක් නැත.

Tuesday, September 28, 2021

ආණ්ඩුවේ මිල පාලන තීන්දුව කොයිබට ද?

අපේ රටේ නිෂ්පාදනය නොකරන පිට රටින් ආනයනය කරන භාණ්ඩවල මිල තීරණය කළ යුත්තේ ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව කිසිවෙකු ඉහළ මිලට භාණ්ඩ අලෙවි කර අසාධාරණ ලෙස ලාභ උපයන්නේ නම් ය. 

එසේ ම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ නොනංවා බලහත්කාරයෙන් වෙළඳපොළ පාලනයට උත්සාහ කිරීම ප්‍රායෝගික නැත. එවිට සිදුවන්නේ ව්‍යාපාරිකයින් භාණ්ඩ ආනයනය නවතා දැමීම ය. පසුගිය සමයේ ලාෆ් ගෑස් හිඟයක් ඇති වූයේ එහෙයිනි. කිරිපිටි, තිරිඟු පිටි ආදියට ද මෙය අදාළ ය.

එසේ ම ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව මිල ඉහළ නොනංවා රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාග ඔස්සේ පාඩු පිට ගෑස් විකිණීම ද නොකළ යුතු ක්‍රියාවකි. මේ නිසා සිදුවන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විනාශ වීම ය. මේ වන විට එම සමාගමේ දෛනික පාඩුව ලක්ෂ 800ක් බව කියවෙයි. තව කෙතරම් දුරට මෙම පාඩුව දරා ගන්න ද?

මේ වන විට අසල්වැසි ඉන්දියාවේ 12kg ගෑස් සිලින්ඩරයක මිල ශ්‍රී ලංකා රු. 2384.77කි. පාකිස්ථානයේ ගෑස් සිලින්ඩයක් ශ්‍රී ලංකා රු. 2414.97කි. බංගලිදේශයේ රජයට අනුබද්ධ සමාගමේ ගෑස් සිලින්ඩරයක් ශ්‍රී ලංකා රු. 1378.76ක් ද පෞද්ගලික සමාගම් සිලින්ජරයක් ශ්‍රී ලංකා රු. 2274.60ක් ද වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ සිලින්ඩරයක් රු. 1495ක් ද ලාෆ් සිලින්ඩරයක් රු. 1856ක් ද වෙයි.


මේ අනුව ඉන්දියාවේ මෙන් ම පාකිස්ථායේ ද ගෑස් මිල ලංකාවට වඩා ඉහළ ය. බංගලිදේශයේ පෞද්ගලික සමාගම් සිලින්ඩයක මිල ද ශ්‍රී ලංකාවේ ගෑස්වලට වඩා මිල ය. බංගලි රජයේ ගෑස් ලංකාවේ ලිට්‍රෝවලට වඩා රු. 115ක් පමණ වැඩිය. ඒ කෙසේ වුව ද ලංකාවේ ලාෆ් ගෑස් සමාගමට පවා සාධාරණ මිල වැඩි කිරීමක් නොලැබී ඇති බව බංගලි පෞද්ගලික ගෑස් මිල සමග සසඳන විට පෙනෙයි.

මෙලෙස ආනයන මිල පාලනය කෙටි කාලීනව ඉතා ජනප්‍රියවාදී තීන්දු විය හැකි වුව ද ඒවා දිගුකාලීනව රටට හිතකර නැත. මේ නිසා රජයේ ලිට්‍රෝ සමාගම පමණක් නොව ලාෆ් සමාගම ද බංකොලොත් වී යා හැකි අතර ඒ හා බැඳුණු ඍජු හා වක්‍ර රැකියා කරන විශාල පිරිසකගේ ඉරණම ඒ සමග විසඳෙනු ඇත. එහෙයින් ජනතාවට සැබෑ තත්ත්වය පැහැදිලි කර මෙම සමාගම් සඳහා මිල ඉහළ නැංවීමට අවස්ථාව ලබා දිය යුතු ය. එපමණක් නොව සෙසු භාණ්ඩවලට ද ඒ අවස්ථාව ලබා දිය යුතුය. 

එසේ නොමැතිව ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීම අතහැර දැමූ විට ඇති වන භාණ්ඩ හිඟය සහ පෝලීම් නිසා ආණ්ඩුවට විශාල හානියක් සිදුවන බව ද මතක තබා ගැනීම වැදගත්ය. ඒ සමඟ ඇති වන පීඩනය සමග මිල වැඩි කර භාණ්ඩ ගෙන ඒමට ඉඩ දී විහිළුවක් බවට පත්වීම ඊට වඩා හානියක් සිදුකරයි.

රටේ නිෂ්පාදනය කරන සහල් ටිකේ මිල පවා පාලනය කළ නොහැකි තත්ත්වයට වෙළෙඳපොළ ක්‍රමය බලවත් වී ඇති අතර රාජ්‍ය ශක්තිය දුර්වල වී ඇති පසුබිමක රට දැඩි විදේශ විනිමය අර්බුදයක ගැලී සිටිමින් ලෝක යථාර්ථයට එරෙහිව ජනතාවට සහන දීමට යැයි උඩුගං බලා පිහිනීමට කටයුතු කිරීම නිරර්ථකය. මන්ද භාණ්ඩ හිඟය, භාණ්ඩ පෝලීම් නිසා අවසානයේ ඒ ජනතාව ද නවතින්නේ ආණ්ඩුවට එරෙහි තැනක හෙයිනි.

Monday, September 27, 2021

වසංගත දෙකක්...

ලංකාව අද දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට හේතුව කොවිඩ් විතරක් නෙමෙයි, 2015 ඉඳල මේ රට ගිලගත් යහපාලන වසංගතයත් එ්කට හේතුවක්. ඇත්තට ම රටේ ආර්ථික වැටෙන්නේ 2015 ඉඳලා.

එතෙක් 7% ඉක්මවා ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටේ ආර්ථික වර්ධනය 2%⁣ට වැටුණේ යහපාලන වසංගත කාලේ. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය වැටුණේ යහපාලන වසංගත කාලේ.

ලෝකය කොවිඩ් එක්ක පළමු වසංගතයට මුහුණ දෙන කොට අපි මුහුණ දෙන්නේ දෙවෙනි වසංගතයට. ලෝකයේ සෙසු රටවල ආර්ථිකය කොවිඩ් නිසා කඩා වැටෙද්දි, ලංකාවේ යහපාලන වසංගතය නිසා කඩා වැටිච්චි ආර්ථිකය තමයි කොවිඩ් නිසා කඩා වැටෙන්නේ. ලෝකය කබලට වැටෙද්දි, අපි වැට්ටේ කබලෙන් ළිපට.

ඒ නිසා බංගලිදේශය හරි වෙන රටක් එක්ක හරි අපේ රට සසඳන්න බෑ. බංගලිදේශයට යහපාලන වසංගතය බෝ වුණේ නෑ. බංගලිදේශය 2016 ඉඳලා 7% ඉක්මවූ ආර්ථික වර්ධනයක් ලබනවා. 2019 එය 8% ඉක්මවනවා. එහෙත් කොවිඩ් එක්ක ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 2020 දී 3.5%ට විතර වැටෙනවා.

කොවිඩ් වසංගතය මැද අපට බංගලිදේශයෙන් ඩොලර් හුවමාරුවකට යන්න වුණේ යහපාලන වෛරසය මේ රටේ ආර්ථිකය කොවිඩ් වසංගතය එන විට විනාශ කරල තිබ්බ නිසයි. 2015 වන විට ලංකාවෙි 8.2ක විදේශ සංචිත තිබුණා. ඒක 2019 වෙද්දි ඩො.බි. 7.6ට පහළ බහිනවා. නමුත් 2015 ඇ.ඩො. බිලියන 27.49ක් වෙච්චි බංගලි විදේශ සංචිත 2019 වෙද්දි ඇ.ඩො.බි. 32.70 දක්වා ඉහළ යනවා.


යහපාලන වසංගත කාලේ මහ බැංකු බැඳුම්කර වංචාව දෙවරක් වෙනවා. කිසි ම වසංගතයක් නැති කාලෙක හම්බන්තොට වරායේ කොටස් 85%ක් අවු. 198කට චීනෙට විකුණා දමනවා. වරායේ සම්පූර්ණ පාලනය චීන සමාගමකට ලැබෙනවා.

එවැනි පසුබිමක යුගදනවි ආයෝජනය ගැන ඒ යහපාලනාණ්ඩුව මැති ඇමැතිකම් දැරූ පිරිස අස්ගිරියට ගිහින් කියන ඒවා ඇහුව ම පුදුම හිතෙනවා. 

යුගදනවි කොටස්වලින් 40%යි ඇමරිකානු සමාගමට දෙන්නේ. ඉතිරි 60% වගේ ම සමාගමේ පාලනයත් රජය සතුයි. නැවත අවු. 15කින් බලාගාරය 100%ක් රටට අයිති වෙනවා. ඒ නිකන්ම නෙමෙයි  ගල් අඟුරු වෙනුවට වැඩි දියුණු කළ ගෑස්  බලාගාර සහ බෙදාහැරීම් ජාලයක්. රටට ඩොලර් මිලියන 250කුත් ලැබෙනවා.

කිසිම වසංගතයක් නැති කාලෙක ඩො.මි. 1100කට හම්බන්තොට වරාය අවු. 198කට විකුණල, මත්තල ගුවන්තොටුපල, නැගෙනහිර පර්යන්තය විකුණන්න MCC ගහන්න නැකැත් බලපු  එවුන් දිවි හිමියෙන් යුගදනවි බේරගන්න ඕනලු. ඇත්තට ම කිරිඇල්ලටයි පී. පෙරේරාටයි කුඩෙන් ගහල පන්න නොගත්තට අස්ගිරි හාමුදුරුවන්ට පිං දෙන්න  ඕන. 

අද රටේ ආර්ථික අර්බුදයට අවම වශයෙන් කොවිඩ්වත් බලපෑවා නොකිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන විපක්ෂය එදා රටට කළ විනාශයත් මේ අර්බුදයට විශාල හේතුවක්. අපට බංගලිදේශෙන් ණය ගන්න වුණේ යහපාලන වසංගතය නිසා.

අද රටට මේ වගේ ගිවිසුමකට හරි යන්න වෙන තත්ත්වෙට රට ඇදල දැම්මේ කොවිඩ්වලටත් වඩා යහපාලන වසංගතය කියල අපි රටට කියන්න ඕන.

 
සිය රට දේ සිරි සැප දේ !