Tuesday, September 22, 2015

මරණ දඬුවම අපරාධවලට තිත තබන මැජික් පොල්ලක් ද?

පසුගියදා සිදු සේයා ළදැරියගේ හදිසි මරණයය සමඟ ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණයට එරෙහිව මරණ දඬුවම ඉල්ලා බොහෝ දෙනා හඬ නැඟූහ. අපරාධකරුවන්ට මරණ දඬුවම ඉල්ලන පින්තූර සිය ගණනින් ෆේස් බුක් පිටුවල හුවමාරු විය. රටක් කම්පිත කළ එවැනි අපරාධයක් සමඟ හැඟීම්බර මිනිසුන්ගෙන් එවැනි ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතු ය. එහෙත් අප අතර උගත් යැයි පිළිගැනීමක් තිබූ ඇතැම් පිරිස් විශේෂයෙන් ඇතැම් උගත් බෞද්ධ පිරිස් මේ අතර සිටීම කනගාටුව කරුණකි. 

උගත් පිරිස් මෙවැනි තීරණයකට එළඹීමට පෙර ලොව මරණ දඬුවම ක්‍රියාත්මක වන සහ නොවන රටවල සිදු වන මෙවැනි අපරාධ ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබිණි. දැනට මරණ දඬුවම ක්‍රියාත්මක වන මුස්ලිම් ලෝකයේත්, ඇමරිකාවෙත්, චීනයේ සහ උතුරු කොරියාවෙත් අපරාධවල අඩුවක් තිබේ ද? අනෙක් අතට මරණ දඬුවම යනු ශිෂ්ට ලෝකයට කෙතරම් උචිත ද? සියලු දේශපාලන අගතීන්ගේ, නිලධාරිවාදයෙන්, අල්ලසින් දූෂණයෙන් පිරුණු දේශපාලන ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියකින් යුක්තිය ඉටු වනු ඇති ද? සැබෑ අපරාධකරු එල්ලා මරයි ද? නැතහොත් කැකිල්ලේ තීන්දු මගින් අනෙකෙක් එල්ලා මරයි ද? එවැනි වරදක් වුවහොත් එය යළි නිවැරදි කරන්නේ කෙසේ ද? ආදි බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතුව තිබිණි. 

හේතුඵලවාදය පිළිගන්නා බෞද්ධයින් ලෙස අප මේ අපරාධ කිසියම් හේතුවක් නිසා හටගත් ඵලයක් ‍බව හඳුනා ගත යුතු ය. ඉතින් ඵලය නැති කිරීමට නම් කළ යුත්තේ හේතුව ඉවත් කිරීම මිස ඵලය විනාශ කිරීම නොවේ. එම ඵලය විනාශ කිරීම ගඟට ඉනි කැපීමක් පමණක් නොවන්නේ ඒ ඔස්සේ පිරිසක් නැවත අකුසල් රැස්කර ගැනීමක් සිදු කරන හෙයිනි. එමගින් සසර ගමන දිගු කර ගනු පමණි. ඒ අනුව බෞද්ධයින්ගේ අවධානය යොමු විය යුත්තේ මේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ පිටුපස ඇති හේතුව හඳුනා ගැනීමට ය. ඒ හේතුව ඉවත් කළ කල්හි ඵලය ඉබේම අහෝසි වෙයි. 

බුදු දහමින් සහ මේ රටේ පරිසරය විසින් ඔප දැමූ අපගේ හර පද්ධති, ඉන්දියානු බමුණු මතිමතාන්තර සහ වික්ටෝරියානු සුචරිතවාදය සමඟ මිශ්‍ර වී සිදු වූ බිඳවැටීම නිසා ආදරය, ප්‍රේමය සහ ලිංගිකත්වය දෙස කුහක ලෙස බැලීමට සමාජය හුරු වීම ද ඒ ඔස්සේ සමාජයේ ඇති වන ලිංගික අතෘප්තිය නූතන වානිජ මාධ්‍ය විසින් සිය ලාභ උපරිම කර ගැනීම සඳහා භාවිත කිරීම ද මේ පරිහානිය පිටුපස ඇති ප්‍රභල හේතුවකි. මේ කුහකත්වය නිසා පුද්ගලයාට සිය ස්වභාවික අවශ්‍යතා ඉටු කර ගැනීමේ විකල්ප මාර්ග වසා දමනු ලැබේ. 

ලිංගිකත්වය එක අතකින් පූජනීත්වයට නංවන අතර අනෙක් අතින් ගර්හිත මී කුණක් ලෙස පිළිකෙව් කරනු ලැබේ. එම පීඩනය පහත් තැනින් වතුර ගලන නියා දහම අනුව පුපුරා ගිය කල්හි මාධ්‍යයන්හි ගොදුරක් වෙයි. පසු ගිය දා සේයා ළදැරිය දූෂණය කර මරා දැමූ අපරාධකරුවාට වඩා ඈ දූෂණයට ලක් කළේ මේ රටේ මාධ්‍ය විසිනි. සමාජය වෙලා පවත්නා ලිංගික කුහකත්වය සහ එහි ප්‍රතිඵලය වන අපරාධ විකුණනමින් ලාභ උපයන මාධ්‍ය පිළිබඳ ව ද අප ගැඹුරු සමාජ කථිකාවතක් නිර්මාණය කළ යුතු ය. එසේ නොවන තාක් නැවත මෙවැනි අපරාධයක් සිදු වූ කල්හි මරණ දඬුවම ඉල්ලා අප අතීසාරයට අමුඩ ගසනු ඇත. අපේ උගත් පාලකයින් ද පිට රටින් එල්ලුම් ගහට කඹ ගෙනෙනු ඇත. මරණ දඬුවම දෙමියි හිස් ගැලරි කතා දෙසාබානු ඇත.  

කරාපිටියට සංවර්ධනයේ අරුණලු!

නව රජය බලයට පත්වුණා විතරයි කරාපිටිය නව බස්නැවතුම අසල පදික වේදිකාවට යාබදව සුපිරි වෙළඳ සැල් සමූහයක් ඉදිකරනවා. 2x2 පොලුවලින් නිමවුණු මේ සුපිරි වෙළඳ සැල් සමූහයේ වහලයට ලොකු ඇන්කර් පෙට්ටි බෝඩ් ගහලා ඊට උඩින් තාරසීට් ගහලා 21 වන සියවසේ නව තාක්ෂණය අනුව හදලා තිබුණා. බිත්තිවලට ඉටි රෙදිවලට අමතරව රටට ම අරපිරිමැස්ම ගැන කදිම පාඩමක් කියා දෙමින් ටියුෂන්කාරයින්ගේ බෝඩ් ලෑලි භාවිත කරලා තිබුණා.

ඇත්තට ම දැන් ඉස්සර වගේ නෙමේ, අලුත් වෙළඳ සැල් සමූහයත් එක්ක කරාපිටිය බස් නැවතුම හරි ම ලස්සනයි. මේ වෙළඳ සැල් ව්‍යාපෘතිය රටට ම ආදර්ශයක්. මෙතෙක් කල් අසරණ වෙලා කාගිල්ස්, කීල්ස්, ලාෆ්, ආපිකෝ වගේ ඊනියා ධනපතින්ගේ කඩ දිහා දුකින් බලා හිටපු අපේ රටේ පීඩිත ජනතාවට දැන් අනුන්ට අත නොපා ආඩම්බරෙන් තමන්ගේ කියන්න පුළුවන් වෙළඳ සැලක් තියෙනවා. ගමේ කළුකඩ මුදලාලිලාගේ ගෑස් බලපු කලේ ඉවරයි.
ඇත්ත ට ආඩම්බරයි මේ තරම් කෙටි කාලයක් තුළ අලුත් ආණ්ඩුව රටට උදා කරලා දීපු දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ගැන. දැන් මහරගම, කඩවත පැත්තේ කෙනෙකුට වුණත් අධිවේගය දිගේ ගාල්ලට ඇවිත් කරාපිටියේ මේ සුපිරි වෙළඳ සැල්වලින් බඩු අරන් ගෙදර යන්න පුළුවන්. මහජන සල්ලි කන්න මහින්ද හදපු කිසි වැඩක් නැති අධිවේගී මාර්ගයට වුණත් වටිනාකමක් ලැබෙන ව්‍යාපෘතියක් මේක.

මේ සංවර්ධන කටයුතු දකිද්දි ඇහේ ඉඳිකටු ඇනෙනවා වගේ දැනෙන ගෝත්‍රික ජාතිවාදී අතීතකාමී රාජපක්ෂවාදී මෝඩයින්ගේ කන්කෙඳිරිගෑම් ආණ්ඩුව පයිසෙකට ගණන් ගත යුතු නෑ. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්නේ නෑ කියලා උන්ට ටික දවසකින් තේරෙයි. අපේ අගමැතිතුමා අපේ රට චෙන්නායි වගේ සුන්දර සශ්‍රීක දේශයක් කරන දිනය වැඩි ඈතක නෙමේ.

Thursday, September 10, 2015

මේ රටේ ජාතික විඥානය තීරණය කිරීම බටහිර පරවේණිගත අයිතියක් ද?

සුපුරුදු පරිදි නිර්මාල් රංජිත් දේවසිරි මහතා සම්බන්ධ විපක්ෂ නායක වීමට මම අකමැති මන්ද යන්න විස්තර කළ මගේ ලිපියකට සිය වෝලයේ ප්‍රතිචාර දක්වමින් මා ඉන් අදහස් නොකළ දෑ මතු කර සතුටු වෙයි. ඒ දැක තවත් පිරිසක් පිනා ගොස් තිබේ. ඒ සතුටට මම බාධා නොකරමි. ඔහු සඳහන් කරන පරිද මා එහි දෙමළා සම්බන්ධ සිංහල විඥානය ඉතා කදිමට ගොණු කරනු ලැබ ඇත. "අපි කැමති වන්නේ අපිට අභිමත දෙමළෙකුටයි. දෙමළා සිය දෙමළභාවය නිර්වචනය කරගත යුත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි." නිර්මාල් මහතාගේ තර්කය නිවැරදි නම් ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු ආදීන් සිය දෙමළ භාවය නිර්වචනය කර ඇත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි. එහෙයින් එය දෙමළ විඥානය නොවේ. එය ව්‍යාජ විඥානයකි. එහෙයින්  නිර්මාල් මහතා ඒ වෙනුවෙන් පෙනී නොසිටියි.

එය නියත ලෙස ම ව්‍යාජ විඥානයක් බව තමන්ට ලැබී ඇති කුමක්දෝ බලයක් ඇසුරින් නිගමනය කරන නිර්මාල් මහතා සම්බන්ධන් ප්‍රමුඛ සැබෑ දෙමළ විඥානය නියෝජනය කරන පිරිස දෙසට මලට ඇදෙන බමරෙකු මෙන් සතුටින් ඉගිල යයි. එලෙස තමා ඊට ආශක්ත වන්නේ ඔවුන්ගේ දේශපාලන දැක්ම තමන්ගේ දැක්ම හා සමපාත වන හෙයින් බව ඔහු නොකියයි. සම්බන්ධන්ලා මෙන් ම නිර්මාල් රංජිත් මහතා ද දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙති. දෙමළ විඥානය බෙදුම්වාදයට ලඝු කරන්නෝ වෙති. ඔවුහු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වීරත්වයෙහි ලා දේවත්වයෙහි ලා සලකති. බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළෝ දෙමළ අභිලාෂය පවා දුන් ජුදාස්ලා ය. ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු පමණක් නොව මුරලිදරන් වුව ජුදාස් කෙනෙකි. ඒ ජුදාස් ලා අගයන අප පව්කාරයෝ ය. පව්කාරයින්ට කිසිදා පවක් නොකළ ශාන්ත පිලිප් වැනි ශාන්තුවරුන් සමඟ එක්ව ගල් ගැසිය යුතුය.

යම් දිනෙක සම්බන්ධන් බෙදුම්වාදය අත හැරියහොත් (එසේ මොහොතකට උපකල්නය කරමු) නිර්මාල් මහතාට එතැන් සිට ඔහු සිංහල විඥානයට සමපාත ලෙස සිය දෙමළභාවය නිර්වචනය කරගත් ජුදාස් කෙනෙකි. කෙසේ වුව ද දෙමළ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ දිනක සම්බන්ධ මෙන් ම නිර්මාල් මහතා ද බටහිරට හප කළ නොවටිනා උක් දණ්ඩක් පමණි. කෙසේ වුව ද තමන් සේවය කරන්නේ එදා යටත්විජිතවාදීන් සිය කොලනි පසුවෙන් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමවේදයට බව මේ යටත්වජිත විරෝධි මාක්ස්වාදී උගතුන් නොදැන සිටීමට කිසිම හේතුවක් නැත. එහෙත් තමන් තුළ පවතින සිංහල බෞද්ධ වෛරය පිරිමසා ගැනීමට ඔවුහු ඕනෑ ම ආයුධයක් භාවිත කරති. එවන් පිරිස් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා බටහිර විසින් නියමින් හා අනියමින් පාවිච්චි කෙරති. සිය පැවැත්ම වෙනුවෙන් රටවල් ජාති, ආගම්, ගෝත්‍ර ලෙස බෙදා වෙන්කර ඒ රටවල් අස්ථාවර කිරීමේ තම උවමනාව ඉටු කරන මේ දේශීය ඒජනත්වරු බටහිර රටවල් ඔවුන්ගේ මෙහෙයුම් ඔස්සේ මහා බුද්ධිමත්තු ලෙස හුවා දක්වති. 

අනෙක් අතට නිර්මාල් මහතාට, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අනේක බාධා කිරීම් මැද ලැබුණු ආසන 95ක් නොතකා හරිමින් ඒ ජනවරම එජාප ආණ්ඩුවේ පාවඩයක් ලෙස සලකමින් ඒ ජනවරම යටපත් කර ආසන 15ක් දිනා ගත් සම්බන්ධ මහතා විපක්ෂ නායක කිරීම පැහැදිලි කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවායේ කවර මූලධර්ම අනුව ද? නිර්මාල් මහතා 1983 UNP මැරයින් සමඟ දෙමළ කඩ කොල්ලකෑවේ අපට වඩා හොඳින් ඉතිහාසයේ සිට ම දෙමළ විඥානය තේරුම් ගෙන ඇති නිසා ද? අද දෙමළ පිළිබඳ කිඹුල් කඳුලු හෙළන නිර්මාල් මහතා සැබවින් ම ඉටු කරන්නේ මේ රටේ අපේක්ෂා නොව අවම වශයෙන් දෙමළ සමාජයේ අපේක්ෂා නොව බටහිර අවශ්‍යතා ය. ටිමෝරය, යුගෝස්ලෝවියාව, කොසෝවෝ, දකුණු සුඩානය, හයිටිය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව ආදි රටවල් මේ පාර දිගේ ටික දිනකට කලින් මහත් උජාරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වෙත රැගෙන ගිය අයුරු අපි දුටිමු. දැන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ද යහ පාලනය ද මානුෂික අයිතිවාසිකම් ද මාධ්‍ය නිදහස ද සුළු ජන අයිතීන් ද මදි නොකියන්න ලැබී තිබේ. කෙතරම් ලැබී ඇත්ද කිවහොත් ඒ රටවල් අමු සොහොන්, මස්කඩ බවට පත්විණි. දහස් ගණනින් මැරී වැටිණි. පළා යමට ගොස් දහස් ගණනින් මුහුදේ ගිලී මැරුණි. ඉන් මිදුණු දහස් ගණනක් සිය මව්බිම අතැර දිවි පරදුවට තබා යුරෝපයට පළා යති.

කෙසේ වුවද මේ රට ඒකීය රටක් ලෙස පැවතිය යුතු බව සිතන, බටහිර බෙදුම්වාදී උවමනාවන්ට ඉඩ නොතැබිය යුතු බව සිතන, මේ රට තවත් අමු සොහොනක් නොකළ යුතු බව සිතන සිංහලයින් පමණක් නොව දෙමළ, මුස්ලිම් මිනිස්සු ද මේ රටේ ජීවත් වෙති. ඔවුන්ට බටහිර උවමනාව විසින් මෙහෙය වන ඇතැම් දෙමළ පිරිස්වලට සහ නිර්මාල මහතාට මෙන් මේ රටේ වෙනම කොටසක වෙනම ජීවත්වීමේ ආශාවක් නැත. විශේෂයෙන් හින්දු ජනතාවට එවැනි ප්‍රශ්න නැත. (මතවාදිමය ආධිපත්‍යට ඔවුන් මෙහෙයවීමට හැකි වීම වෙනම කරුණකි.) පෙර වසරක ජිනීවා වෙත පෙත්සමක් අත්සන් කර යැවූ උතුරේ ආගමික පූජකවරු අතර කිසිඳු හින්ද පූජකයෙකු සිටියේ නැත. එහෙයින් නිර්මාල් මහතා අවංක නම් මගේ ප්‍රකාශය දෙමළ සම්බන්ධ සිංහල විඥානය ලෙස නොව මේ රටේ ඒකීයභාවය අගය කරන බටහිර න්‍යාය පත්‍රයට එරෙහි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ විඥානය ලෙස තේරුම්ගත හැකිව තිබිණි. එහෙත් දෙමළ විඥානය බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධි එකක් විය යුතු බව ද එය දෙවියන් වහන්සේගේ නියමය බව ද ඊට කිසිසේත් සිංහල විඥානය සමඟ සමපාත වීමට ඉඩ නොතැබිය යුතු බවත් ද ප්‍රකාශ කෙරෙන සිය බටහිර හාම්පුතුන්ගේ උවමනාව, ආශාව ඇඳලි බැඳ දෝත් මුදුන් දී පිළිගන්නා තැනින් ආරම්භ කොට දිවි හිමියෙන් ඊට සේවය කිරීමේ දේශපාලන දේව කාර්යයට අත ගසා සිටින නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ සඳහා කිසි දිනක සුදානම් නොවනු ඇත. මන්ද මේ රටේ ජාතික විඥානය ද තීරණය කිරීමේ පේටන්ට් අයිතිය බටහිර සහ බටහිර නියෝජිතයින්ගේ පරවේණිය යැයි ඒ මහතා සිතන හෙයිනි. 

 
සිය රට දේ සිරි සැප දේ !