Wednesday, September 29, 2021

නාවික හමුදාව කුරුසියේ ඇන ගැසීම...

වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය සහ රාගම දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද නාවික හමුදාව අදාළ දේවස්ථාන වෙත දැනුම් දී තිබේ. ඔවුන් මෙය පවසා ඇත්තේ කිසියම් පාර්ශ්වයක් වෙතින් ලද බුද්ධි තොරතුරක් පදනම් කරගෙනය. 

මෙවැනි බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම තහවුරු කිරීම මෙන් ම නැවත අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර තමන් වෙත ලද තොරතුර වහා ම අදාළ දේවස්ථාන වෙත නාවික හමුදාව දැනුම් දෙන ලද්දේ ඉතා ම යහපත් චේතනාවෙනි. 2019 මතකයන් සමග තවත් එවැනි විනාශයක් වනු වැළැක්වීමට ගතයුතු එක පියවරක් ලෙස එම නිලධාරීන් මෙම දැනුම් දීම කර තිබේ.

එහෙත් සිරිල් ගාමිණී පියනම ඊයේ මාධ්‍ය අමතමින් අදාළ අනතුරු ඇඟවීම පිළිබඳ විශාල ඝෝරනාඩුවක් කළේ යහපාලනාණ්ඩුවට 97 වරක් දැනුම් දී තිබුණ ද පල්ලියට එම අනතුරු ඇඟවීම නොකිරීම නිසා ජීවිත 250ක් අහිමි වී තවත් සිය ගණනක් අාබාධිත වූ පසුබිමකය. 

අවම වශයෙන් නාවික හමුදාවට මෙම තොරතුර ලද විගස අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීම පිළිබඳ සිය කෘතවේදීත්වය පළකිරීමට තරම්වත් විනයක් මෙි පියනමට නොතිබිණි. සැබවින් ම ඊට සුළු මොහොතකට පසු එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබිණි නම් එය වළක්වා ගැනීමට හෝ හානිය අවම කර ගැනීමට මෙම අනතුරු ඇඟවීම උපකාරි නොවන්නේ ද? 

එසේ දැනුම්වත් නොකර යම් ප්‍රහාරයක් එල්ල විනි නම් කිසියම් පාර්ශ්වයක් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් නාවික හමුදාව දැනුම්වත් කළ බව ප්‍රකාශ කළේ නම් එම නිලධාරීන්ට ද යහපාලන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මෙන් සිදුවන්නේ "ගහනවා කියල කිව්වට, මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" යනුවෙන් කීමටය.

එහෙයින් කුහක පටු අරමුණුවලින් බැහැරව පල්ලිය කටයුතු කරන්නේ නම් කළ යුතුව තිබුණේ මෙම නිලධාරීන් හමු වී අදාළ දැනුම් දීම පිළිබඳ ස්තුති කිරීම මිස මාධ්‍ය හමු කැඳවමින් අදාළ බුද්ධි තොරතුරු පිළිබඳ අඬබෙර ගැසීම නොවෙි.

බුද්ධි තොරතුරු විවිධ පාර්ශ්වලින් ලැබෙන අතර ඒ සියල්ල 100%ක් සාර්ථක වන්නේ නැත. එහෙත් ආරක්ෂක අංශ එ් සියල්ලට ම 100%ක් සූදානම් විය යුතුය. මන්ද ආරක්ෂක අංශවලට සාර්ථක වීමට දවස් 365ම සාර්ථක විය යුතු වුව ද සතුරාට සාර්ථක වීමට උවමනා තප්පර කිහිපයකි. එහෙයින් තමන් වෙත ලද මූලික තොරතුරු මත පදනම්ව පල්ලිය දැනුම්වත් කිරීම පිළිබඳ නිරවුල් මනසකින් කටයුතු කරන කිසිවෙකුට මෙලෙස අකෘතඥ විය නොහැකිය.

එසේ ම කිසියම් ප්‍රහාර සැලසුමක් අවසාන මොහොතේ කිසියම් හේතුවක් නිසා වෙනස් විය හැකිය. එමගින් අදාළ බුද්ධි තොරතුර බොරුවක් යැයි හෝ වගකීමෙන් තොරව කටයුතු කළේ යැයි ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කිරීම මන්දබුද්ධිකකමකි. 

එම තොරතුරු ඉහළට දැනුම් දී විශ්ලේෂණය කර තහවුරු කරගෙන විධිමත් ලෙස කාදිනල්තුමාට දැනුම් දෙන විට නියමිත ක්‍රමවේදය සපුරා තිබුණ ද එසේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් තිබිය හැකිය. එවිට ලෙඩා මළත් බඩ සුද්දයි කීමට නම් හැකිය. මන්ද ආරක්ෂක අංශ පිළිවෙළට අදාළ රාජකාරී ක්‍රමවෙිද අකුරට රකිමින් ආරක්ෂාව තහවුරු කරන තුරු සතුරා බලා සිටින්නේ නැත.

එම තොරතුරු මාධ්‍ය හමු තබමින් සතුරා අතට දෙමින් මුග්ධ ලෙස හැසිරීම සද්භාවයෙන් කටයුතු කළ නාවික හමුදාව අධෛර්යවත් කිරීමක් පමණක් නොව සතුරාට සිය දුබලකම් සකසා ගෙන සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමකි.

පල්ලියේ මෙි හැසිරීම අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ කලින් පල්ලියට දැනුම් දී සහරාන් කල්ලියේ අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනයම් හේතුවක් මත එම ප්‍රහාරය එල්ල නොකළේ නම් මේ ආකාරයට ම මාධ්‍ය හමුවක් තබා අදාළ දැනුම් දීම කළ නිලධාරීන් ද ඔත්තුකරුවන් ද ජුදාස්ලා මෙන් සතුරාට නිරාවරණය නොකරනු ඇතැයි කිව හැකි ද?

එවැනි මුග්ධ හැසිරීමක් ඉදිරියෙහි සිය ඔත්තුකරුවන්ගේ ආරක්ෂාව සහ සතුරා අවුල් කිරීම සඳහා පළපුරුදු ආරක්ෂක නිලධාරීන්ට එවැනි බුද්ධි තොරතුරක් තහවුරු කර නැතැයි පැවසීම හැර විකල්පයක් තිබිය හැකි ද?

එදා පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මේ රටේ බෞද්ධ ජනතාව පෙනී සිටියේ කතෝලික ජනතාව වෙනුවෙනි. ඔවුන්ගේ දුක බෙදාගත්තේ අපය. එහෙත් තෙවසරක් ගතවීමටත් පළමුව අපරාධකාරයින්ට දඬුවම් නොකළේ යැයි චෝදනා කරමින් පල්ලිය දැන් සිටින්නේ සතුරු කඳවුරේ ආයුධ මුවහත් කරමින් බව නකගාටුවෙන් වුව ද කිව යුතුය..

2001 ඇමරිකාවෙි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට 2016 ප්‍රංශ ත්‍රස්ත පුහාරයට අදාළ නඩු පැවරීම් සිදුවන්නේ අද බව දේශපාලන අතකොලුවක් බවට පත්ව දෙව්දත් රංගනයක නියැලෙන මේ පියවරුන්ට කියා පලක් නැත.

Tuesday, September 28, 2021

ආණ්ඩුවේ මිල පාලන තීන්දුව කොයිබට ද?

අපේ රටේ නිෂ්පාදනය නොකරන පිට රටින් ආනයනය කරන භාණ්ඩවල මිල තීරණය කළ යුත්තේ ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව කිසිවෙකු ඉහළ මිලට භාණ්ඩ අලෙවි කර අසාධාරණ ලෙස ලාභ උපයන්නේ නම් ය. 

එසේ ම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ නොනංවා බලහත්කාරයෙන් වෙළඳපොළ පාලනයට උත්සාහ කිරීම ප්‍රායෝගික නැත. එවිට සිදුවන්නේ ව්‍යාපාරිකයින් භාණ්ඩ ආනයනය නවතා දැමීම ය. පසුගිය සමයේ ලාෆ් ගෑස් හිඟයක් ඇති වූයේ එහෙයිනි. කිරිපිටි, තිරිඟු පිටි ආදියට ද මෙය අදාළ ය.

එසේ ම ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව මිල ඉහළ නොනංවා රජයට අනුබද්ධිත ලිට්‍රෝ සමාග ඔස්සේ පාඩු පිට ගෑස් විකිණීම ද නොකළ යුතු ක්‍රියාවකි. මේ නිසා සිදුවන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විනාශ වීම ය. මේ වන විට එම සමාගමේ දෛනික පාඩුව ලක්ෂ 800ක් බව කියවෙයි. තව කෙතරම් දුරට මෙම පාඩුව දරා ගන්න ද?

මේ වන විට අසල්වැසි ඉන්දියාවේ 12kg ගෑස් සිලින්ඩරයක මිල ශ්‍රී ලංකා රු. 2384.77කි. පාකිස්ථානයේ ගෑස් සිලින්ඩයක් ශ්‍රී ලංකා රු. 2414.97කි. බංගලිදේශයේ රජයට අනුබද්ධ සමාගමේ ගෑස් සිලින්ඩරයක් ශ්‍රී ලංකා රු. 1378.76ක් ද පෞද්ගලික සමාගම් සිලින්ජරයක් ශ්‍රී ලංකා රු. 2274.60ක් ද වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ ලිට්‍රෝ සිලින්ඩරයක් රු. 1495ක් ද ලාෆ් සිලින්ඩරයක් රු. 1856ක් ද වෙයි.


මේ අනුව ඉන්දියාවේ මෙන් ම පාකිස්ථායේ ද ගෑස් මිල ලංකාවට වඩා ඉහළ ය. බංගලිදේශයේ පෞද්ගලික සමාගම් සිලින්ඩයක මිල ද ශ්‍රී ලංකාවේ ගෑස්වලට වඩා මිල ය. බංගලි රජයේ ගෑස් ලංකාවේ ලිට්‍රෝවලට වඩා රු. 115ක් පමණ වැඩිය. ඒ කෙසේ වුව ද ලංකාවේ ලාෆ් ගෑස් සමාගමට පවා සාධාරණ මිල වැඩි කිරීමක් නොලැබී ඇති බව බංගලි පෞද්ගලික ගෑස් මිල සමග සසඳන විට පෙනෙයි.

මෙලෙස ආනයන මිල පාලනය කෙටි කාලීනව ඉතා ජනප්‍රියවාදී තීන්දු විය හැකි වුව ද ඒවා දිගුකාලීනව රටට හිතකර නැත. මේ නිසා රජයේ ලිට්‍රෝ සමාගම පමණක් නොව ලාෆ් සමාගම ද බංකොලොත් වී යා හැකි අතර ඒ හා බැඳුණු ඍජු හා වක්‍ර රැකියා කරන විශාල පිරිසකගේ ඉරණම ඒ සමග විසඳෙනු ඇත. එහෙයින් ජනතාවට සැබෑ තත්ත්වය පැහැදිලි කර මෙම සමාගම් සඳහා මිල ඉහළ නැංවීමට අවස්ථාව ලබා දිය යුතු ය. එපමණක් නොව සෙසු භාණ්ඩවලට ද ඒ අවස්ථාව ලබා දිය යුතුය. 

එසේ නොමැතිව ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීම අතහැර දැමූ විට ඇති වන භාණ්ඩ හිඟය සහ පෝලීම් නිසා ආණ්ඩුවට විශාල හානියක් සිදුවන බව ද මතක තබා ගැනීම වැදගත්ය. ඒ සමඟ ඇති වන පීඩනය සමග මිල වැඩි කර භාණ්ඩ ගෙන ඒමට ඉඩ දී විහිළුවක් බවට පත්වීම ඊට වඩා හානියක් සිදුකරයි.

රටේ නිෂ්පාදනය කරන සහල් ටිකේ මිල පවා පාලනය කළ නොහැකි තත්ත්වයට වෙළෙඳපොළ ක්‍රමය බලවත් වී ඇති අතර රාජ්‍ය ශක්තිය දුර්වල වී ඇති පසුබිමක රට දැඩි විදේශ විනිමය අර්බුදයක ගැලී සිටිමින් ලෝක යථාර්ථයට එරෙහිව ජනතාවට සහන දීමට යැයි උඩුගං බලා පිහිනීමට කටයුතු කිරීම නිරර්ථකය. මන්ද භාණ්ඩ හිඟය, භාණ්ඩ පෝලීම් නිසා අවසානයේ ඒ ජනතාව ද නවතින්නේ ආණ්ඩුවට එරෙහි තැනක හෙයිනි.

Monday, September 27, 2021

වසංගත දෙකක්...

ලංකාව අද දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට හේතුව කොවිඩ් විතරක් නෙමෙයි, 2015 ඉඳල මේ රට ගිලගත් යහපාලන වසංගතයත් එ්කට හේතුවක්. ඇත්තට ම රටේ ආර්ථික වැටෙන්නේ 2015 ඉඳලා.

එතෙක් 7% ඉක්මවා ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටේ ආර්ථික වර්ධනය 2%⁣ට වැටුණේ යහපාලන වසංගත කාලේ. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය වැටුණේ යහපාලන වසංගත කාලේ.

ලෝකය කොවිඩ් එක්ක පළමු වසංගතයට මුහුණ දෙන කොට අපි මුහුණ දෙන්නේ දෙවෙනි වසංගතයට. ලෝකයේ සෙසු රටවල ආර්ථිකය කොවිඩ් නිසා කඩා වැටෙද්දි, ලංකාවේ යහපාලන වසංගතය නිසා කඩා වැටිච්චි ආර්ථිකය තමයි කොවිඩ් නිසා කඩා වැටෙන්නේ. ලෝකය කබලට වැටෙද්දි, අපි වැට්ටේ කබලෙන් ළිපට.

ඒ නිසා බංගලිදේශය හරි වෙන රටක් එක්ක හරි අපේ රට සසඳන්න බෑ. බංගලිදේශයට යහපාලන වසංගතය බෝ වුණේ නෑ. බංගලිදේශය 2016 ඉඳලා 7% ඉක්මවූ ආර්ථික වර්ධනයක් ලබනවා. 2019 එය 8% ඉක්මවනවා. එහෙත් කොවිඩ් එක්ක ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 2020 දී 3.5%ට විතර වැටෙනවා.

කොවිඩ් වසංගතය මැද අපට බංගලිදේශයෙන් ඩොලර් හුවමාරුවකට යන්න වුණේ යහපාලන වෛරසය මේ රටේ ආර්ථිකය කොවිඩ් වසංගතය එන විට විනාශ කරල තිබ්බ නිසයි. 2015 වන විට ලංකාවෙි 8.2ක විදේශ සංචිත තිබුණා. ඒක 2019 වෙද්දි ඩො.බි. 7.6ට පහළ බහිනවා. නමුත් 2015 ඇ.ඩො. බිලියන 27.49ක් වෙච්චි බංගලි විදේශ සංචිත 2019 වෙද්දි ඇ.ඩො.බි. 32.70 දක්වා ඉහළ යනවා.


යහපාලන වසංගත කාලේ මහ බැංකු බැඳුම්කර වංචාව දෙවරක් වෙනවා. කිසි ම වසංගතයක් නැති කාලෙක හම්බන්තොට වරායේ කොටස් 85%ක් අවු. 198කට චීනෙට විකුණා දමනවා. වරායේ සම්පූර්ණ පාලනය චීන සමාගමකට ලැබෙනවා.

එවැනි පසුබිමක යුගදනවි ආයෝජනය ගැන ඒ යහපාලනාණ්ඩුව මැති ඇමැතිකම් දැරූ පිරිස අස්ගිරියට ගිහින් කියන ඒවා ඇහුව ම පුදුම හිතෙනවා. 

යුගදනවි කොටස්වලින් 40%යි ඇමරිකානු සමාගමට දෙන්නේ. ඉතිරි 60% වගේ ම සමාගමේ පාලනයත් රජය සතුයි. නැවත අවු. 15කින් බලාගාරය 100%ක් රටට අයිති වෙනවා. ඒ නිකන්ම නෙමෙයි  ගල් අඟුරු වෙනුවට වැඩි දියුණු කළ ගෑස්  බලාගාර සහ බෙදාහැරීම් ජාලයක්. රටට ඩොලර් මිලියන 250කුත් ලැබෙනවා.

කිසිම වසංගතයක් නැති කාලෙක ඩො.මි. 1100කට හම්බන්තොට වරාය අවු. 198කට විකුණල, මත්තල ගුවන්තොටුපල, නැගෙනහිර පර්යන්තය විකුණන්න MCC ගහන්න නැකැත් බලපු  එවුන් දිවි හිමියෙන් යුගදනවි බේරගන්න ඕනලු. ඇත්තට ම කිරිඇල්ලටයි පී. පෙරේරාටයි කුඩෙන් ගහල පන්න නොගත්තට අස්ගිරි හාමුදුරුවන්ට පිං දෙන්න  ඕන. 

අද රටේ ආර්ථික අර්බුදයට අවම වශයෙන් කොවිඩ්වත් බලපෑවා නොකිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන විපක්ෂය එදා රටට කළ විනාශයත් මේ අර්බුදයට විශාල හේතුවක්. අපට බංගලිදේශෙන් ණය ගන්න වුණේ යහපාලන වසංගතය නිසා.

අද රටට මේ වගේ ගිවිසුමකට හරි යන්න වෙන තත්ත්වෙට රට ඇදල දැම්මේ කොවිඩ්වලටත් වඩා යහපාලන වසංගතය කියල අපි රටට කියන්න ඕන.

 
සිය රට දේ සිරි සැප දේ !