Showing posts with label රුවන් වැකි. Show all posts
Showing posts with label රුවන් වැකි. Show all posts

Friday, October 18, 2024

පුහුල් හොරා කරෙන් දැනෙන පාස්කු නාටකේ...!

පාස්කු කොමිසම් සභා වාර්තාව ජනාධිපතිගේ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ නොව කෝටි ගණනක් මහජන ධනය වැය කොට මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ කළ විමර්ශනයක් හෙයින් ඒවා වහාම පුසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළේ එවක විපක්ෂ මන්ත්‍රී, වත්මන් ජනාධිපතිතුමා විසිනි. 

එපමණක් නොව පාස්කු ප්‍රහාරය බල පෙරළියක් උදෙසා දියත් කළ ම්ලේච්ඡ කුමන්ත්‍රණයක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ එම ප්‍රහාරය නිසා බවත් පවසමින් මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රාහිම් නානාගේ පුතුන් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළ බවටත් ප්‍රවාද ජනගත කරමින් එම ප්‍රහාරයෙන් ඉස්ලාම් අන්තවාදීන් ගලවා ගැනීමට උත්සාහ කළ අයුරු ද අමතක නැත.

එසේම පාස්කු විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ එම ප්‍රහාරයට එවක ජනපති ගෝඨාගේ මෙන්ම අනතුරුව රනිල්ගේ සමීපතමයන් සමග ඇති සබඳතා එළිවන නිසා බවට ද නේක කතා සමාජගත කළ අයුරු ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. ඒ මල් වට්ටියට වර්තමාන සජබ කණ්ඩායම් ද අත ගැසූහ.

එවැනි පසුබිමක වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්ව කළ යුතුව පැවති පළමු රාජකාරිය මෙම විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමය. තමන් විපක්ෂයේ සිය කළ සියලු චෝදනා නිවැරදි වන බව තහවුරු කර පාස්කු කුමන්ත්‍රණය දියත් කළ අපරාධකරුවන් කුරුසයේ ඇණ ගැසීමය. 

එය නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිදු කරන බවට සහරාම් හෂීම් විනාඩි 40කට අධික කාලයක් තිස්සේ සිදුකරන පාපෝච්චාරණය බොරු කිරීමය.

එහෙත් බලයට පත්ව ඒ කිසිවක් නොකර පාස්කු විමර්ශන වාර්තා කොළ ගැලවී සුළ⁣ඟේ ගියා යැයි රට්ටු හිනස්සමින් වැල්  බයිලා ගසමින් තව දුරටත් එම වාර්තා සඟවා ගෙන සිටීම මෙම ආණ්ඩුවට කිසිසේත්ම සදාචාරාත්මක නැත. 

ඒවා ගම්මන්පිල අභියෝග කිරීමට පෙර පුසිද්ධියට පත් නොකිරීම ම ආණ්ඩුවේ දරුණු පරාජයකි. අනාගත විමර්ශන කටයුතුවලට එම වාර්තා ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් යැයි කීම ද විහිළුවකි.

එසේම දැන් පෙරළා කිසිවෙකුට මාලිමාවේ කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය⁣ සමග ඇති සබඳතා හෙළිවන නිසා මෙම වාර්තා සඟවන බවට චෝදනා කළ හැකිය. එම අනාවරණය ඉදිරි මහා මැතිවරණය⁣ට අවාසිදායක ලෙස බලපෑ හැකි නිසා මෙසේ ආණ්ඩුව කට්ටි පනිනවා යැයි චෝදනා කළ හැකිය. 

කොටින්ම විජිත හේරත් සඳහන් කළ වාර්තාවල ගලවන ලද කොළ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් සම්බන්ධ කොටස්, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සම්බන්ධ කොටස් විය හැකි බවටත් යමෙකු චෝදනා කරන්නට බැරි නැත. 

ඒ නිසා ජාතික ආරක්ෂාවට බලපාන කොටස් හැර මේ වාර්තා වහාම ආණ්ඩුව ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. ආණ්ඩුව තව දුරටත් කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඉල්ලමින් ඊට පසුබට වන්නේ නම් ගම්මන්පිල පළා නොයා කී ආකාරයට අදාළ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුමය. 

පාස්කු ප්‍රහාරය දේශපාලන පාපන්දුවක් කරගැනීම ඒ දිවිදුන් ජනතාවට කරන බලවත් අසාධාරණයකි. ඔවුන් නැවත නැවත මරා දැමීමකි. ප්‍රහාරයකින් නොව ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ පිරිස පස්සේ පමණක් සොයන අය එදා දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, මහ බැංකුව, දෙහිවල ⁣දුම්රිය ආදී ප්‍රහාර හමුවේ එසේ කටයුතු කළ බවට සාධක නොමැත.

එසේමබආණ්ඩුව සිය සෞඛ්‍ය සහ ආයුෂ ගැන සිතන්නේ නම් වහාම පරීක්ෂණ කළ යුත්තේ ගම්මන්පිල ගැන නොව ජනපති අනුර බලයට පත්ව සති තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම වාර්තා ලීක් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කවුද යන්න ගැනය. එවැන්නක් සැබවින්ම සිදුව ඇත්නම් එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ද තර්ජනයකි.

Monday, October 14, 2024

කො⁣රහේ කිඹුලන් දකිනු!

ඊයේ අනුර දිසානායක ජනාධිපතිතුමා සිය පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක පිරිස අමතා කතා කළා. එහි දී ඔහු කීවා, උතුරේ නායකයෙක් තමා හමු වී මහා මැතිවරණයට පසු ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කළා කියලා.

ඊට පෙර ජනාධිපතිතුමා රාමාඤ්ඤ සහ අමරපුර නිකා⁣ මහානාහිමිවරුන් බැහැදුටු මොහොතේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළා සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරි කටයුතු කරන බව.

අප පුල පුලා කිහිප වරක් කී පරිදිම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ තමයි, 2015 ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කළ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බව කියන්නේ. ඒ රට ප්‍රාන්ත ආාණ්ඩුවලට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව.

මේ වෙලාවේ මහා මැතිවරණයේ දී මාලිමාවට ආණ්ඩුව බලය දිය යුතුයි. ඒ කියන්නේ ආසන 113ක් දිය යුතුයි. රටෙි සංවර්ධන කටයුතු කරන්න, හොරු අල්ලන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මහින්ද රාජපක්ෂ කොටි පරාද කළෙත් ආසන 113ක් තියාගෙන.

හැබැයි කිසිසේත් ඊට වඩා ප්‍රබල බලයක් දිය යුතු නෑ. විශේෂයෙන් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව ලබා ගන්නා ආසන ප්‍රමාණය 150ට ආසන්න නොවන තැනක තැබීමට ජනතාව වගබලා යුතුයි.  ජනාධිපතිවරණය අවස්ථාවෙත් ජනතාව කිරලා මැනලා 42%ක සීමිත ජන වරමක් දීම පූර්වාදර්ශයක් කරගත යුතුයි.

දැන් ජනාධිතුමා ප්‍රකාශ කරන පරිදිම සුමන්දිරන්ලා ආණ්ඩුව එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්නේ අර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මත කරගැනීම මිස වෙන කෙංගෙඩියක් නෙමෙයි. 

අනික් අතට නව ආණ්ඩුව තමන්ගේ පළමු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස ඉන්දු ලංකා පාළම තැනීම ගැන අවසන් සාකච්ඡා පටන් අරගෙන. එදා ජවිපෙ කතා කළ ඉන්දියානු ව්‍යාප්තවාදය අද මාලිමාවේ කුනු බක්කියෙත් නැති බව පැහැදිලියි.

වැරදිලාවත් මාලිමාවට විශාල බලයක් ලැබුණොත් එය රට තවත් අර්බුදයකට ඇද දමන අවාසනාවන්ත යුගයක සමාරම්භය වෙන්න පුළුවන්. එය රට ආර්ථික අර්බුද කබළෙන් දේශපාලන අර්බුදය නම් ගින්නට ඇද දැමීමක්. එය රට වගේම ආණ්ඩුවේ ආයුෂත් කෙටි කරවන්න පුළුවන්. ඒ දෙකම විය යුතු නෑ.

එහෙත් අවාසනාවට මේ ප්‍රකාශවල යටිපෙළ මගින් කියැවෙන භයානක අනතුර කෙරෙහි මහා සංඝරත්නය හෝ ජාතිකත්ව කඳවුරේ පිරිස හෝ ජාතික සංවිධාන හෝ එතරම් අවදානයක් යොමු කළ බවක් පේන්න නෑ. එය රට පැත්තෙන් ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ සාමාන්‍ය ජනතාවට මේ අනතුර පහදා දෙන්න ඒ කණ්ඩායම් නිදිගැට හැර පෙරට ආ යුතුයි.෴

නාමල් උඩලමත්ත

Sunday, October 6, 2024

මහා මැතිවරණය සහ ජාතික ව්‍යාපාරයේ වගකීම...

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාමාඤ්ඤ සහ අමරපුර නිකායේ මහනාහිමිවරුන් බැහැදැක ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කරන අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද කටයුතු කරන බවයි. 

ජාතික ජන බලවේග 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 230 පිටුවේ සඳහන් ආකාරයට ඔවුන් 2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ඒමට නොහැකි වූ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එයි.

එකල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ලාල් විජේනායක කමිටුව මගින් ජනතා අදහස් යැයි යෝජනාවලියක් ගෙන ආ අතර එමගින් ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ප්‍රාන්ත ආණ්ඩුවලින් සමන්විත එක්සත් රාජ්‍යයක් නැතහොත් ඔරුමිත්තනාඩුවක් යෝජනා කොට තිබිණි.

එම ඔරුමිත්තනාඩු රාජ්‍යයෙහි බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කළ යුතු බව යෝජනා කරනු ලැබ තිබුණේ වත්මන් අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය විසිනි.

ජාතික බලවේග මේ ගැන දැඩිව ප්‍රශ්න කරන විට ජනාධිපතිවරණය ආසන්නයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සමුළුවකට ගිය විජිත හේරත් කළේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් ඉවත් නොකරන බවත් රටේ ඒකීයභාවය සුරකින බවත් පවසා පක්ෂ යෝජනාවලිය පිළිබඳ ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීමට පෙර සභාවෙන් පළා යාමය.


එහෙත් අවාසනාවන්ත ලෙස දැන් ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ පවසන පරිදි වලංගු බෞද්ධ මහා  සම්මේලනයේ කළ විජිත හේරත්ගේ ප්‍රකාශය නොව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන ප්‍රකාශයයි. ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා යෝජනාවලියයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මෙම ව්‍යවස්ථාව බලාත්මක වුවහොත් වසර 2500කට අධික කාලයක් ආරක්ෂා කරගත් අපගේ රාජ්‍යයේ අවසානය සනිටුහන් තරන බවට නම් සැකයක් නැත. 

එහෙයින් එම යෝජනාවලිය නැවත ගෙන එන්නේ නම් එය 2016-2017 සමයෙහි මෙන්ම නැවත පරාජය කරලීමට ජාතිමාමක බලවේග පෙරට ආ යුතු අතර ඒ සඳහා එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව බලගැන්විය යුතුය.

ජනාධිපතිවරණයේ දී 50% පවා නොදී 42% සුළුතර ජන වරමක් වත්මන් ජනාධිපතිවරයාට ලබා දුන් ආකාරයටම මහා මැතිවරණයේ දී මාලිමාවට ආසන 113ක ආණ්ඩුවක් පමණක් ලබා දීමට ජනතාව දැනුම්වත් කළ යුතුය.

ඊටත් වඩා වැදගත් වන්නේ බෙදුම්වාදයට එරෙහි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමය. ජනාධිපති වී සිය පියාවත් නොකළ 13 වන ව්‍යවස්ථා ⁣සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කී කිසිම දේශපාලන විඥානයක් ජාතිකත්වයක් නොමැති සජිත් ප්‍රේමදාසට එය කළ නොහැකිය.

ඔහු වටා සිටින හකීම්, මනො, මුජ්බර්, මරික්කාර් වැනි බෞද්ධ විරෝධීන් ඊට ඉඩ දෙන්⁣නේ ද නැත. එහෙයින් බෙදුම්වාදී ව්‍යවස්ථාව යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් දෙමළ ජාතික සන්ධානය සමග සජිත් පාර්ශ්වය ඊට අත එසවීමේ විශාල අවදානමක් ඇත.

එහෙයින් මේ අවස්ථාවේ ජාතිකත්වයට බර බෙදුම්වාදයට එරෙහි බලවේගයක් ශක්තිමත් කිරීම ජාතික බලවේගවල වගකීමයි. 

නාමල් රාජපක්ෂලා ඉදිරියේ දී බොරු නඩුවල පටලවමින් උසාවි බන්ධනාගාරවලට කොටු කිරීමේ වැඩි ඉඩක් ඇත. එවිට ඔවුන්ට රටේ ආරක්ෂාව ගැන නොව සිය පෞද්ගලික ආරක්ෂාව ගැන සිතීමට වද වීමට කාලය ගත කිරිමට සිදුවනු ඇත. 

රාජපක්ෂලා තමන්ට එරෙහිව අතිශයෝක්තියට නගා එකල එල්ල කළ බොහෝ චෝදනාවලට පිළිතුරු නොදී ඊට එ⁣රෙහිව නීතිය හමුවට නොගොස් ජනතාව අතර ඒවා කිඳා බසින තුරු නිහඬව සිටීමේ වරද ද රාජපක්ෂලාගේමය. ඔවුන් සිතන ආකාරයට ජනතාව ඉක්මනින්  සත්‍ය වටහා නොගන්නා අතර ඒ සඳහා කාලයක් ගතවනු ඇත. ජනතාව ද colombo motor show එක මෙන් ගිනි කන වැටී ඒවා දැක සතුටු වන අතර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ඉදිරියට එනු ඇත.

එහෙයින්  මේ අවස්ථාවේ දිලිත් ජයවීර ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය ඇතුළු සර්වජන බලයෙන් වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුවට පත්කොට යැවීම රටේ ආරක්ෂාවට යහපත්ය. ඔවුන් ඉදිරිපත් කරන ව්‍යවසායකත් රාජ්‍යය යෝජනාව ද මම බෙහෙවින් අගය කරමි.

පසුගිය සමයේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට අන්තවාදයට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර ආදී වැඩි පිරිසක් එම කඳවුර නියෝජනය කරති. මේ ඇතැමුන් ගැන පෞද්ගලිකව මට යම් ගැටලු තිබුණ ද ඒවා රටට වඩා ලොකු නැත.

මෙම පිරිස වර්තමාන ආණ්ඩුවේ රටට හිතැති යෝජනා සඳහා සහයෝගය ලබා දෙන අතර නිවැරදි මාවතේ යාමට ආණ්ඩුවට බල කරන අතර රටට අහිතකර ඕනෑම යෝජනාවක් බලපෑමක් පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සිය අතීත භාවිතයෙන් තහවුරු කර ඇත.

Friday, October 4, 2024

ශක්තිමත් ආණ්ඩුවක් සහ ප්‍රබල විපක්ෂයක්...!

 සජිත් ප්රේමදාස නාමික විපක්ෂ නායක මිස එහි කාර්යභාරය ඉටු නොකළේ යැයි කේ.ඩී. ලාල්කාන්ත සිදු කළ ප්රකාශයට සජිත්ලා බෙහෙවින් කලබල වී ඇති බව තහවුරු වන්නේ එම චෝදනාවට එරෙහිව වහාම ජනමාධ්ය වෙත නිවේදනයක් නිකුත් කිරීමෙනි.

ලාල්කාන්ත එය නොකීව ද පහුගිය ජනාධිපතිවරණයෙන් තහවුරු වන්නේ සජිත් සිය විපක්ෂ නායක භූමිකාව ඉටු නොකළ බවය. අවම වශයෙන් ඔහු සිය භුමිකාව ඉටු කළේ යැයි ජනතාව පිළිනොගත් බවය.
ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණය තුන් කොන් සටනක් වන්නේ ද තරඟ වැදුණු විපක්ෂ නායකයා පරාජය වන්නේ ද සජිත් සිය විපක්ෂ නායක භූමිකාව ඉටු නොකීම මූලික හේතුවක් කරගෙනය.
ඊට සජිත්ට දොස් පවරා පලක් නැත. ඔහු සිය උපරිම ජවයෙන් වැඩ කරයි. නමුත් ඔහුගේ හැසිරිම, උපක්රම තේරීම, ජාතික දේශපාලන අනවබෝධය, අපරිණත කතාව, දේශපාලන සංවාද භීතිකාව ඔහුට පය බරවයක් වී ඇත. ඒ නිසාම සජිත් නව පරම්පරාව අතර විහිළුකාරයෙක් වී ඇත. ඔහුත් සමග රටට දැන් ගමනක් නැත.

මෙය කිසිසේත් රටට හිතකර නැත. රටේ ප්රජාතන්ත්රවාදය නීරෝගීව පවතින්නට නම් ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද දක්ෂ ජනාධිපතිවරයෙක් මෙන්ම දක්ෂ විපක්ෂ නායකයෙක් ද අවශ්ය වෙයි.
සජිත් එහිලා දිගින් දිගටම අසාර්ථක වන චරිතයක් හෙයින් ඉදිරි මහා මැතිවරණයේ දී ශක්තිමත් ආණ්ඩුවක් පමණක් නොව ඊට මුහුණ දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ද විපක්ෂ නායකයෙක් ද තෝරා ගැනීමේ අභියෝගය රට ඉදිරියේ ඇත.
අලුත් ආණ්ඩුවට මුහුණ දිය හැකි සාධනීය විවේචනයෙන් ආණ්ඩුව නිවැරදි කරගත හැකි විපක්ෂයක් ද ගොඩනැගිය යුතු අතර ජනාධිපති අනුර දිසානායකට විකල්පය විය හැකි විපක්ෂ නායකයෙක් ද අප තෝරගත යුතුය.

Saturday, September 28, 2024

අගමැතිනිය වැඳ ගත්තයි දළදාව...

නව අගමැතිනිය දිවුරුම් දී දින කිහිපයකට පසු වුව ද අපේ චිරාගත සම්ප්‍රදායට හිස නමමින් මහනුවර දළදා මාළිගයට ගොස් ආශීර්වාද ලබා ගෙන මහනාහිවරුන් බැහැදැකීම මම අගය කරමි. 

මේ රටේ පාලන වගකීම භාරගත් පසු රටේ සම්ප්‍රදායට ගරු කිරීම යනු එම ජනවරම ලබා දුන් ජනතාව සමග සිට ගැනීමකි. එය ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කළ ගරු රඟපෑමක් හෝ වංචාවක් ලෙස හුවා දැක්වීමට ඉක්මන් වීමට වඩා එය අගය කිරීමට මම කැමැත්තෙමි.

2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ආ කුප්‍රකට ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛතාව ඉවත් කිරීමට යෝජනා කළ හරිනි අමරසූරියට අවසානයේ ජනතාව ඉදිරියෙහි රඟපෑමට හෝ මේ රටේ මුල්බැස පවතින අපේ සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයට හිස නැමීමට සිදුවීම ම රට ලද ජයග්‍රහණයකි.

කවර පාලකයා වුව ද ඔහු හෝ ඇයගේ පෞද්ගලික ඇදහිලි විශ්වාස පැත්තක තබා රටේ මුල්බැස ඇති සංස්කෘතියට අනුගත වීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නොමැතිව ජනතා විශ්වාසය දිනාගෙන රට පාලනය කළ නොහැකිය. එය යටත්විජිත සමයේ සුදු පාලකයන් ද දැන සිටි සත්‍යයකි. එසේම මහනුවර යුගයේ අපේ රට පාලනය කළ වඩුග රජවරු ද එය මැනවින් දැන සිටියහ.

කිසියම් සුළු කල්ලියක් විසින් ලියා පළකළ මැතිවරණ ප්‍රකාශනයෙහි කවර වල්පල් තිබුණ ද අනුර දිසානායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව දළදා මාළිගාව වැඳපුදාගෙන මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අන්‍යාගමික පූජකවරු ද හමුවිය. අටමස්ථානය වැඳපුදා ගෙන එහි නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ලබාගත්තේය.

මෙය ඉබේම සිදුවූවක් නොවේ, මාලිමාව සහ ඒ වටා සිටින බෞද්ධ විරෝධී කණ්ඩායම් පසුගිය සමයේ සිදුකළ ප්‍රකාශ සහ හැසිරීම්වලට එරෙහිව ගොඩනැගෙන විරෝධයට දක්වන ලද ධනාත්මක ප්‍රතිචාරයකි. එසේම අනුර හරිනි මෙලෙස අපේ සංස්කෘතික උරුමය සමග සිට ගන්නා විට එතෙක් ඔවුන් සමග සිටි සංස්කෘතික විරෝධී පිරිස අතරින් මතු වන විරෝධය ද සුළුකොට තැකිය යුතු නැත. එවිට ඔවුන්ට ශක්තියක් වීම අප වගබලා ගතයුතුය. සුද්දා වෙනුවෙන් සටනට ආ කැප්පෙටිපොළ අවසානයේ ස්වදේශික හමුදාවට එකතු වී ඊට නායකත්වය දුන් ඉතිහාසයක් අපට ඇත.

කවර බලවේග සමග සිටිය ද පාලකයා සිය සංස්කෘතික උරුමය සමග බැඳ තැබීම මේ රටෙි මහා සංඝ රත්නයේ ද ජාතිමාමක බලවේගවලද වගකීමයි. එය මෙවර සිදුකළේ හරිනිලා⁣ගේ අනුරලාගේ උපාධි වර්ණනා කළ වන්දිබට්ටයන් නොව එම කඳවුරේ සංස්කෘතික විරෝධයට එරෙහිව අවි එසවූ පිරිස විසිනි. සමාජ මාධ්‍ය ඔස්සේ මතු වූ ජනතා විරෝධය ද දිලිත් ජයවීර කලකට පෙර හරිනි ගැන සිදුකළ ප්‍රකාශයක් නැවත මතුවීම ද ඊට ප්‍රබල පිටුවහලක් විය.

තව ද මේ ආණ්ඩුව බලයට පත් කළේ ගෝඨාභය බලයට ගෙන ආ 69 ලක්ෂයේ ජනතා බලයම බව මැතිවරණ ප්‍රතිඵල සිතියම නිරීක්ෂණයෙන් තහවුරු කරගත හැකිය. එය ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ද තරයේ මතක තබාගත යුතුය. 

ඔවුන් බෙදුම්වාදීන්ගේ සිංහල බෞද්ධ වි⁣රෝධීන්ගේ හොරි කැසීමට කවර ප්‍රකාශ කළ ද සුමන්දිරන්ලාගේ ඉල්ලීම අනුව ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව තඩිනමින් ගෙන එන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ ලියා සපථ කළ ද උතුරු නැගෙනහිර හෝ උඩරට හෝ සුළු ජාතික බලප්‍රදේශවල සැලකිය යුතු ජයක් අනුර ලබා නැත. 

මේ නිසා ඉතිහාසයේ බහුතරය නොමැති පළමු ජනාධිපතිවරයාට සිය ජනපදනම පුළුල් කරගත හැක්කේ එම ජනතා විඥානය සමග සිට ගැනීමෙනි. ඔවුන්ගේ සංස්කෘතික උරුමය රැකදෙන බව තහවුරු කිරීමෙනි. තම හිස මත පටවා ඇති බෙදුම්වාදී න්‍යාය පත්‍ර විසි කර දැමීමෙනි.

එහෙයින් සිය ඡන්ද පදනමෙහි ජන විඥානය අවබෝධ කරගෙන කටයුතු කිරීම මත ආණ්ඩුවේ ආයුෂ තීරණය වන බව අවධාරණය කරමි. මේ රටේ සංස්කෘතියට අනුගත බව ජවිපෙ සිය ක්‍රියාවෙන්ම තහවුරු කරනු දැකීම ඒ ජනතා අභිලාෂයයි. රටේ සංස්කෘතියට සභ්‍යත්වයට ස්වෛරීත්වයට එරෙහි නොවන රටේ යහපත උදෙසා ගන්නා ඕනෑම තීන්දුවක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

නාමල් උඩලමත්ත


පාසල් උත්සම සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතුයි...!

පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමිය කළ නියෝගය අගය කරමි. ආණ්ඩුවේ එම තීන්දුව ද අගය කරමි.

කෙසේ වුව ද මෙම තීන්දුව මෙයට පෙර ද බොහෝ ඇමැතිවරු ගත්ත ද එය ක්‍රියාත්මක වූයේ නැත. දිගින් දිගටම දෙමාපියන් අපහසුතාවට පත්කරමින් පාසල්වල මුදල් එකතු කිරීම සිදුවිය.

ගුරුවරු ඇතුළු බහුතර රාජ්‍ය සේවක කැමැත්ත දිනා බලයට පැමිණි ආණ්ඩුවෙි මෙම තීන්දුව අනුව කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටියි. එය කඩ කරන්නේ නම් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුය. 


මෙවැනි අකටයුතු සිදුවන්නේ නම් රටේ ජනතාවට ඍජුවම පැමිණිලි කිරීම සඳහා දුරකතන අංකයක් විවෘත කිරීමට හැකි නම් එය තවත් විධිමත් කළ හැකිය. එසේම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වන පිරිසට විනයානුකූලව කටයුතු කළ යුතුය.

කුමන හේතු මවපාමින් පාසල්වල මුදල් එකතු කිරීම නිසා අසරණ වන්නේ දුප්පත් දෙමාපියන්ය. ඔවුන්ගේ දරුවන්ය. එහෙයින් මම ඊට එරෙහිව බොහෝ අවස්ථාවල ලීවෙමි. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමි.

සිස්ටම් චේන්ජ් කළ හැක්කේ මෙවැනි තීන්දු මහ පො⁣ළොවේ ක්‍රියාත්මක කර බැවින් වෙනසක් ඉල්ලු සැම ද වෙනසට ලැබුණු ජන වරමට හිස නමා වෙනසට එරෙහි වූ අය ද දැන් ඊට අනුගත විය යුතුය.

කලින්ම යන්න ගිය කුමාර වෙල්ගම...

 කුමාර වෙල්ගම අද අභාවප්‍රාප්ත වෙලා කියලා අහද්දි මගේ මතකය එක පාරටම ඇදිලා ගියේ 2022 මැයි 9 ප්‍රහාරයට පසු ඔහු කළ ප්‍රකාශයකට. මැයි 09 අරගලකරුවන්⁣ගේ මාරාන්තික ප්‍රහාරයට පසු සුවය ලබා පැමිණි වෙල්ගම කීවා, තව අවුරුදු 20ක් මට ජීවත් වෙන්න තිබුණා නම් මේ ප්‍රහාරය නිසා ඒක 10ට බැස්සා කියලා. ඒත් වෙල්ගම ප්‍රහාරයෙන් අවුරුදු 2කට පස්සේ නොඑන්නම ගිහින්.

වෙල්ගම මහ උගත් උපාධ් සහතිකලාභී දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු ජනතාව එක්ක මහ පොළොවේ දේශපලනය කළ මිනිහෙක්. 2015  රට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා යහපාලනාණ්ඩුව බලය⁣ට පත්වෙලා රට හැම අතින්ම ආගාධය කරා අරන් යද්දි පොහොට්ටුව හදන්න ඔහු විශාල වැඩ කොටසක් කළා.

අවසානයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය නම් කරද්දි වෙල්ගම තමයි, ඊට විරුද්ධව කඳවුර තුළ අභීතව සටන් කළ මිනිහා. ඔහු කීවේ ප්‍රාදේශීය සභාවකවත් නොහිටි දේශපාලනය නොදන්න ගෝඨාට රට කරන්න බෑ කියලා. 


මම එදා අවංකවම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියත් සමහරු ඇත්තටම ගෝඨාභය ඉස්සුවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගන්න බව පසුකාලීනව තහවුරු වුණා. ඒ පිරිසට උවමනා වුණේ ගෝඨාභය ජනාධිපති කරවීමට වඩා ගෝඨා ලවා තම සතුරා වන බැසිල් පලවා හරින්න. 

එතන දී ගෝඨාභයගේ සමත් අසමත්කම් ඒ අයට එතරම් වැදගත් වුණේ නෑ. 2015 ජනාධිපතිවරණ සම්බන්ධීකරණය බැසිල්ට නෙමෙයි, ගෝඨාභයට දෙන්න කියලා මහින්දට කීවෙත් මේ අවස්ථාවාදීන් තමයි. ඒක වෙනම කතාවක්.

අවසානයේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණාම වෙල්ගම ඊළඟ ජනාධිපති බිහිවන දැවැන්ත කඳවුර අතහැර ගියා. ඊට පසු ඔහු නැවත විවිධ තැන්වල හිටගත්තා. 2020 සජබෙන් පාර්ලිමේන්තුවට ආවා.

ඔහු දිගටම සිය මතවාදයේ හිටියා. අවසානයේ ආර්ථික අර්බුදය උස්සන්න වුණා. කාබනික පොහොර වැනි අත්තනෝමතික තීන්දු එක්ක කඳුවුරේ ගැමි ජන පදනම නාය ගියා. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දෙස් විදෙස් බලවේග ජනතාව පාරට බස්සලා ගෝඨාභය පළවා හැරියා.

එදා ගෝඨාභයට මුලින්ම විරුද්ධ වුණ ඒ වෙනුවෙන් සටන් කළ වෙල්ගමත් ගෝඨා විරෝධී අරගලයේ ගොදුරක් වුණා. හරියට නම් ඔහු එම අරගලකරුවන්ගේ වීරයෙක් විය යුතුව තිබුණා. තම වාසිය වෙනුවෙන් සියලු පාවදීම් කරන දේශපාලනඥයන් සහ මිනිස්සු අතර වෙල්ගම නියම දේශපාලනඥයෙක්. 

කුමාර වෙල්ගමට නිවන් සුව! 

කලම්බු මෝටර් ෂෝ 2024....!

 මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ.

ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනාණ්ඩුව බලයට ආ වෙලාවේ. අවුරුදු 10ක් තිස්සේ රාජපක්ෂලා රටේ මහජන බදු මුදලින් සුරසැප වින්ද හැටි කියාපාන්න තමයි, එදා කලම්බු මෝටර් ෂෝ එක කළේ.

අපට ආයේම කලම්බු මෝටර් ෂෝ එක දකින්න ලැබුණේ 2024 අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට පත්වුණ වෙලාවේ. 75 වසරක් තිස්සේ මේ රටේ ජනතාවගේ බදු මුදල් ගසා කමින් පාලකයෝ සුරසැප වින්ද හැටි තමයි, මෙවර කලම්බු මෝටර් ෂෝ එකෙන් රටට ප්‍රකාශ කළේ.

මේ රටේ පශ්චාත් ජනාධිපතිවරණ සමය වර්ණවත් කරන අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක නොකළේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ සහ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ විතරයි.


මහින්ද ඒ ෂෝ එක නොපෙන්නුවට 2015 ගෙදර ගියේ තිස් වසරක යුද්ධය අවසන් කරලා ඩොලර් බිලියන 20ක රටේ ආර්ථිකය ඩොලර් බිලියන 80 කරලා. රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 07කට නග්ගලා ඒක පුද්ගල ආදායම තුන් ගුණයක් එනම් 3800ක් කරලා.

ඒ වගේ රටට අධිවේගී මාර්ග, ගුවන් පාළම් හඳුන්වා දීලා, රට පුරා මාර්ග කාපට් කරලා 80%ක් විතර ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කරලා විදුලි බලය නිවාස 97%ට විතර දුන්නා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නෙළුම් පොකුණ, නෙළුම් කුලුන, වරාය නගරය, රටේ වැඩිම විදුලි උත්පාදනය සපයන නොරෙච්චෝලේ වගේ දැවැන්ත වැඩ කළේ ඒ කාලේ තමයි.

ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමයි, මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න මුල පිරුවේ. 2019 ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නඩත්තු කළ වාහන 1600 අතරින් 50%ක් රටේ සෙසු අමාත්‍යංශවල යොමු කළේ ගෝඨාභය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක පිරිස 2500 සිට 250ට අඩු කිරීමට නියෝග නිකුත් කළා.ඩිපෝවල දිරමින් පැවැති බස් 280ක් විතර අලුත්වැඩියා කරලා ආයේම පාරට දැම්මා. ඒ විතරක් නෙමෙයි, කිසිදු රාජ්‍ය ආයතනයකට 2023 වසර තෙක් අලුතින් වාහන නොගන්නා ලෙස නියෝග කළා. හැබැයි කලම්බු මෝටර් ෂෝ එක නම් කළේ නෑ.

පහුගියදා කළ කලම්බු මෝටර් ෂෝ එකේ ප්‍රදර්ශනය කළ සියලු ම වාහන වගේ 2015-2019 කාලයේ රටට ගෙන ආ වාහන වීම තමයි, වඩාත් උත්ප්‍රාසජනක වෙන්නේ. මොකද ඒ ආණ්ඩුව හදන්න එජාපය වගේ ම මාලිමාවත් වැඩ කළා. ඒ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් තමයි, දැන් අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා.

ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කියනවා, ජනාධිපති ලේකම් කාර්යාලයේ තම වාහනය ඇතුළු සියලු වාහන නිල වශයෙන් භාරදුන් බව. ඉතින් දැන් මේ ෂෝ කළා ඇති. රටේ ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන සැලැස්ම ක්‍රියාත්මක නොකර මේ වගේ ෂෝ පෙන්න පෙන්න හිටියෝත් එදා ෂෝ පෙන්නපු ආණ්ඩු වගේ අවාසනාවන්ත ඉරණමකට තමයි, මේ ආණ්ඩුවටත් මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ජනතාව බොහෝම ලොකු අවදානමක් අරන් මාලිමාවට බලය දුන් එකේ ප්‍රතිඵල ඒ ජනතාවට ලබා දීම තමයි, මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම.

Thursday, September 26, 2024

වාහන අවභාවිතය සහ බොරුව...

 ජනාධිපතිවරයෙක් ඉවත් වෙද්දි ඔහුගේ වාහන, ඔහු යටතේ වැඩකළ නිලධාරීන්ගේ සහ ඔහු යටතේ ක්රියාත්මක වූ ආයතනවල වාහන භාර දෙනවා.

ඒවා කවුරුවත් ගෙදර අරන් යන්නේ නෑ. ඒ වාහන ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල භාවිතයට ලබා ගන්නවා. අලුතින් උපන් facebook දේශපාලන උගත්තු නොදැන හිටියට 2005, 2015 වගේම 2019ත් මේක මේ විදිහටම වුණා.
එහෙම නැතිව වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය හෙට ඉඳලා බස් එකේ එන්නේ නෑ. කෝච්චියේ එන්නෙත් නෑ. ත්රීවිල්වල එන්නෙත් නෑ. කරත්තවල එන්නෙත් නෑ.
ඉතින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලේ වාහන ගෙදර අරන් ගිහින් අලුත් ජනාධිපති කාර්ය මණ්ඩලේ ටුක් ටුක්වල වැඩට ආව නම් ඔන්න ඒක නිව්ස් එකක් තමයි.
ඊයේ වීඩියෝ කරලා මහා අපරාධයක් විදිහට ප්රදර්ශනය කළ වාහන වර්තමාන ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය අද හෙට අරන් යනවා. ඒ අයට රාජකාරි කරන්න තමයි, මේ වාහන ඇනිය තියෙන්නේ.

2019 බලය⁣ට ආ ගෝඨාභය ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 ඉඳලා 250ට අඩු කළා. වාහන සිය ගණනක් නැවත මුදල් අමාත්යංශයට භාර දුන්නා. හැබැයි ඒවා වීඩියෝ කරලා ප්රදර්ශනය කළේ නම් නෑ.

Tuesday, September 24, 2024

අනාගමික රාජ්‍යය සහ අගමැති හරිනි...!

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කොට මේ රට අනාගමික රාජ්‍යයක් විය යුතු බව 2015 යහපාලනාණ්ඩුව යටතේ ගෙන ආ ලාල් විජේනායකගේ රට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට යෝජනා කළේ හරිනි අමරසූරිය. පහත ඡායාරූපයේ 9 වැනි පාද සටහනේ ඒ විස්තරේ තීනවා.

එදා මහා සංඝරත්නය සහ ජාතික සංවිධාන එක්ක එකතු වෙලා රටේ ජනතාව දැනුම්වත් කරලා මේ යෝජනාවලිය පරාජය කරනවා. ඒ සම්මන්ත්‍රණවලට මමත් එදා රට පුරා ගියා. 2018 ප්‍රාදේශීය සභා ඡන්දෙන් එවක ආණ්ඩුව අතුගා දමන තැනට ජන රැල්ලක් හදාගන්න එහි බලපෑම විශාල දායකත්වයක් දැක්කුවා.


අපට වසර 2500ක් බුදු දහම රැකගන්න පුළුවන් වුණේ එය රාජ්‍යත්වය සමග බැඳ තැබූ නිසායි. මහරජ ගැමුණු, ආක්‍රමණික එළාර පරාජයට සටන් වැදුණේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රට සැප පිණිස නොව බුදු දහමේ චිරස්ථිතිය පිණිසයි කියලා ජාතියට ප්‍රතිඥාවක් දීලා. 

දළදා සමිඳුගේ භාරකාරත්වය හිමි පුද්ගලයා රටේ රජු විදිහට සලකන සම්ප්‍රදාය අපේ මුතුන් මිත්තන් ගොඩනැගුවේ බුදු දහමේ ආරක්ෂාවට. "බුදු දහමට උඹලා ආරක්ෂා කොරන්න ඕන නෑ, බුදු දහම උඹලාගේ ආරක්ෂාවටයි" කියන නිරාගමික පල්ලි කපුටන්ගේ පෝස්ට් ෆේස්බුක් එකේ ශෙයාර් කරන පුස්සෝ ඉතිහාසය දන්නේ නෑ. 

අවිහිංසාවාදී බුදු දහමට රාජ්‍ය ආරක්ෂාව අහිමි වුණ පැරණි බෞද්ධ රාජ්‍යය වුණු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව අද අබෞද්ධ රටවල්. ඇෆ්ගනිස්ථානයේ සුවිශාල බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා ඒවාට පුද පූජා කළ ඇෆ්ගන් බෞද්ධ මුතුන් මිත්තන්ගේ අබෞද්ධ මුනුබුරෝ තමයි, ඒ ප්‍රතිමා බෝම්බ දාලා බිමට සමතලා කළා.


අපි ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව පරාජය කරලා වසර කිහිපයක් ගතවෙද්දි 1815 ඉංගිරිසිකාරයා උඩරට ගිවිසුමට දාන්නත් බයවුණ මේ අනාගමික රාජ්‍යය යෝජනාව ගෙන ආ හරිනි රටේ අගමැති පුටුවට එන එක අහම්බයක් ද?

කවදාවත් ජවිපෙ නොහිටි මාලිමා ජාතික ලැයිස්තුවෙන් ආ හරිනි කාගේ අතකොළුවක් ද? අමරපුර නිකායේ ගිහි ලේකම් හෝ භාණ්ඩාගාරික බව කියන විජිත හේරත් අගමැති ධුරයට නුසුදුසු ඇයි?

මාලිමා ප්‍රතිපත්තිය අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අනුර දිසානායක, විලියම් ගොපල්ලව පන්නයේ රූකඩයක් කරලා, රට පාලනය කරන්නේ අනාගමික හරිනි ද? 

Sunday, September 22, 2024

අලුත් ජනාධිපතිතුමාගේ වගකීම...

ආර්ථික අර්බුදය කියන කුණාටුව මැද ලංකාව කියන ගුවන් යානය රනිල් කියන පළපුරුදු නියමුවා ආරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යන ලකුණු දැක දැක, ඒ යානයේ ඉකොනොමි ක්ලාස් සීට් දෙකකට වෙලා පොර ටෝක් දිදී හිටි කවදාවත් ගුවන් යානා ධාවනය නොකළ දෙන්නෙකුට යානයෙේ නියමු කටයුතු බාරදෙන්න මම කැමති වුණේ නෑ.

නමුත් රටේ බහුතරය එම තීන්දුව ප්‍රතික්ෂේප කරලා. යානයේ මගීන් 50%ක බහුතරය අර ඉකොනොමි ක්ලාස් ගිය දෙන්නාගෙන් කිසිවෙකුටවත් කැමති නැතත් තව දුරටත් යානය පළපුරුදු රනිල් ඉදිරියට රැගෙන යනවාට කැමති වෙලා තිබු⁣ණේ 17%යි. බහුතරයේ කැමැත්ත නියමුවා මාරු කරන්න. ඒක මමත් පිළිගන්නවා. ඒක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය. 

දැන් අපි සියලු දෙනා ඉන්න ගුවන් යානය අනුර කියන අලුත් නියමුවා අතට ලැබිලා. ගමන අතරමග නිසා අවදානම් කියලා යානයෙන් පනින්නත් බෑ. පැනලා ඉතින් කිප දෙනෙක් විතරක් බේරුණත් වැඩක් නෑ. අලුත් නියමුවාට කැමති වුණ 42%කගේ වගේම අනික් නියමුවට කැමති වුණ 32%කගේ ජීවිතත් දෙන්නාටම විරුද්ධ වුණ 17%කගේ ජීවිතත් දැන් අලුත් පයිලට්ගේ අතේ. කොටින්ම අලුත් නියමුවාට විරුද්ධ වුණ 58%කගේ ජීවිතත් ඔහු අතේ.


ඉතින් යානය අපි කැමති කෙනාට නොලැබුණා කියලා දෙස් දෙවොල් තියලා අනේ මේක කඩා වැටියං කියලා කොඩිවින කරලා වැඩක් නෑ. මොකද වැටුණොත් වැටෙන්නේ අපි හැමෝම එක්ක අපේ රට කියන යානාවම මිසක් අලුත් පයිලට්ගේ ටීම් එක විතරක් නම් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙම දෙස් තියන පිරිස මෙවර අලුත් නියමුවාට පක්ෂපාතී වීමත් එක අතකින් ර⁣ටේ වාසනාව.

ඒ නිසා අපි සියලු දෙනා එක්ක මේ යානාව ආරක්ෂිතව තොටුපළකට ගෙන එන්න අලුත් පයිලට්තුමාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ❤️ හැබැයි පයිලට් මනා සිහියෙන් වැඩ නොකළොත් අපි එහෙම ප්‍රාර්ථනා කළා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම පයිලට් පිස්සු කෙළින කොට අපට ගංජා බීලා නන්දාගේ පවන අහ අහ ඉන්නත් බෑ.

මේක විපක්ෂයේ ස්ටේජ්වල හිටං ආර්ථික අර්බුදයෙන් බැට කෑ අසරණ ජනතාවට ගැලරි චූන් කරන්න කී සුරංගනා කතා අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එහෙම වැඩ කළොත් 2015 යහපාලනාණ්ඩුව රට ඇදලා දැම්මාට වඩා ආගාධයකට, මරියානා ආගාධයටම රට වැටෙන්න පුළුවන්. ඒ අවධානම තේරුම් ගන්නම වෙනවා.

හොරු ඇල්ලීම, හොරා කෑ ධනය රාජසන්තක කිරීම, උගන්ඩාවේ සඟවා ඇති ධනය ගෙන ඒම, නාස්තිය වංචාව දුෂණය අවම කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසි කිරීමේ කිසිම වරදක් නෑ. ඉතාම හොඳයි. හැබැයි රටේ හිටපු මුල් පුරවැසියන් වන හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ඇතුළු යම් වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මොකද ඒ අය හමුවෙන්න විදෙස් රාජතාන්ත්‍රික කණ්ඩායම් එනවා. එවිට ඔහු ගතකරන ජිවිතය අපේ රට ගැන යහපත් ප්‍රතිරූපයක් ලෝකයට දියයුතුයි. ඒක කවදා හෝ වත්මන් ජනපතිටත් අදාළයි.

මේ වෙලාවේ වඩාත් වැදගත් රටේ ආර්ථික සුරක්ෂිතතාව. රටේ භෞතික අඛණ්ඩතාව, ඒකීයභාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් ආර්ථික සුරක්ෂිතතාව සාතිශය වැදගත්. පහුගිය කාලේ සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, හරිනි අමරසූරිය, චතුරංග අබේසිංහ, හර්ෂණ සූරියපෙරුම ඇතුළු පොතේගුරු ආර්ථික මහාචාර්යලා කළ කී කතා අනුව ආර්ථිකය ගෙනියන්න උත්සාහ කළොත් මේ යානයේ ඉන්ධන  ඉවර වෙනවා, ගුවන්තොටුපළට ළං වෙන්න කලින්ම.

අපි ඉන්නේ IMF විරෝධී, විදෙස් ආයෝජන විරෝධී කියුබානු, උතුරු කොරියානු පන්නයේ මාරාන්තික අත්හදා බැලීමක් තරමක කාලයක් හරි දරාගන්න පුළුවන් 2015 වගේ සුරක්ෂිත ස්ථානයක නෙමෙයි. 

ඒ නිසා වෙන වෙන මොන වෙනස්කම් කළත් වර්තමාන මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ අගසව්වන් කරගෙන අලුත් නියමුතුමාට ලක්ෂ 220ක් මගී ජීවිත එක්ක අපේ රට නමැති ගුවන් යානය ආරක්ෂිත තොටුපළ දක්වා රැගෙන යාමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Sunday, September 3, 2023

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි...! - අරුණ් සිද්ධාර්ත්

 (උතුරේ ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු මොනවා ද ඒ සඳහා යෝජිත 13 වන සංශෝධනය මගින් විසඳුම් ලැබෙන්නේ ද උතුරේ පුරාවිද්‍යා භූමි සහ ආරක්ෂක හමුදාවෙහි කාර්යභාරය පිළිබඳ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති, යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුණ් සිද්ධාර්තන් සමග පැවැත් වූ සාකච්ඡාවකි.)

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ කතාබහක් මේ වන විට නැවත ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

13 වන සංශෝධනය උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් කියලා තමයි 1987 ඉන්දියාව හඳුන්වා දෙන්නේ. අද දෙමළ සමාජයේ බහුතරයක් වන හීන කුළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් කිසිවක් එහි නෑ. ඒක තමයි, 13 වන සංශෝධනයේ ඇති බරපතළ ම ගැටලුව.

ඔබ උතුරේ දරුණු කුල පීඩනයක් පිළිබඳ කතා කළත් එහෙම දෙයක් දකුණේ අපට පෙන්න නෑ?

ඔව් දෙමළ සමාජයෙන් පිට බොහෝ දෙනාට ඒ පිළිබඳ අවබෝධයක් නෑ. එය සඟවා තබා ගෙන තමයි, උතුරේ කුලවතුන් බවට පත්ව සිටින වෙල්ලාලයින් කටයුතු කරන්නේ. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ තේසවලාමේ නීතිය. එම නීතිය බලපාන්නේ උතුරේ පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වව්නියාව කියන දිස්ත්‍රික්ක පහේ ජීවත් වන දෙමළ ජනතාවට. 1707 ඕලන්ද යටත්විජිත පාලන කාලයේ යාපනයේ වාසය කළ වෙල්ලාල මුදලිවරුන් 12 දෙනෙක් එකතු වෙලා තමන්ගේ කැමැත්ත අනුව මෙම නීතිය සම්පාදනය කරනවා.

තේසවළාමේ නීති සංග්‍රහයේ 08 වන පරිච්ඡේදය අනුව යාපනේ ජීවත් වන කෝවියාර්, චන්ඩාර්, නලවාර් සහ පාලර් කියන දෙමළ කුල හතරක් වහල්ලු විදිහට නීත්‍යානුකූලව හඳුන්වා දෙනවා. මම අයත් වන්නේ නලවර් කියන අඩු කුලේට. තේසවළාමේ නීතිය අනුව වහලුන් වන අපට ඉගෙන ගන්න තහනම්. අපට ඉඩම් අයිතිය නෑ. විවාහ විය යුත්තේ වහල් කුලයක කාන්තාවක් සමග විතරයි. එහෙම විවාහ වෙන්නත් වහල් හිමියාගේ අවසරය අවශ්‍යයයි. අලුතින් උපදින තමන්ගේ දරුවට නම තියන්නවත් වහල් කුලේ දෙමාපියන්ට අවසර නෑ. නම තියන්නෙත් වහල් හිමි මුදලි විසින්. 1707 ඉඳලා 1844 දක්වා අවුරුදු 137ක් මේ නීතිය ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් තමන්ගේ කොලනිවල වහල්භාවය පිළිබඳ නීත ( Anti-Slavery Act) ඉවත් කරනවා. ඒ අවස්ථාවේ තමයි, අපි නීත්‍යානුකූල වහල්භාවයෙන් එළියට එන්නේ. නමුත් අවුරුදු 137ක් තිස්සේ අපේ ජනතාවට ඉගනිමේ අයිතිය අහෝසි කළ නිසා ඒ මිනිස්සු තව දුරටත් වහල්ලු නෙමෙයි කියලාවත් එදා දැනගෙන හිටියේ නෑ.

1944 සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දුන් පසු තමයි, වහල්භාවයේ සිටි අපේ මුතුන් මිත්තන්ට ඉගනීමේ අවස්ථාව ලැබෙන්නේ. 1957  බණ්ඩානායක ආණ්ඩුවෙන් Social Disability Act යනුවෙන් කුලවාදයට එරෙහි පනතක් ගේනවා. එයින් පස්සේ තමයි අපේ ජනතාව දැන ගන්නේ අවුරුදු 237ක් තිස්සේ තමන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. අපේ කුලවල මිනිස්සුන්ට පළමු වතාවට නල්ලුර් ඇතුළු කෝවිල්වලට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ 1956 අවුරුද්දේ. 1967 තමයි, මාවුස්සපුරම් කෝවිලට ඇතුළු වෙන්න අවසර දෙන්නේ. එතෙක් කල් අපේ මිනිස්සුන්ට වෙල්ලාල ප්‍රභූන් ආගමික අයිතියවත් දුන්නේ නෑ.

අදත් සමහර කෝවිල්වලට අපට යන්න තහනම්. අඩු කුලේ අයට පොදු ළිඳක වතුර බොන්න තහනම්, පාවහන් පළඳින්න බෑ. ප්‍රසිද්ධ ස්ථානයකට යන්න තහනම්, කාන්තාවන්ට උඩුකයට ඇඳුම් අඳින්න තහනම්, ඊට පස්සේ බ්ලවුස් අඳින්න බෑ, සරිපොටෙන් උඩුකය වසාගත යුතුයි. කනත්තකට ඇතුළු වෙන්න තහනම්, සැලුන් එකට තේ කඩයකට ඇතුළු වෙන්න තහනම්, පිරිමි අයට උඩු කයට අඳින්න බෑ. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න තහනම්. මේ විදිහට සාමාන්‍ය මිනිස්සු භුක්ති විඳින කිසිම අයිතිවාසිකමක් අපට දුන්නේ නෑ.

ඒ විදිහට සියවස් ගණනාවක් පීඩාවට පත් කළ ජනතාව තමයි, 60%කට වඩා උතුරේ ඉන්නේ. එම නීතිය යම් යම් සංශෝධන සහිතව තවමත් ක්‍රියාත්මකයි. ඉතින් තේසවලාමේ නීතියේ 08 වෙනි පරිච්ඡේදය මග ඇරලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳ කතා කිරීම විහිළුවක්. ඒක හරියට ත්‍රිපිටකය අතහැරලා බුදු දහම ගැන කතා කරනවා වගේ. මේ රට පාලනය කළ පාලකයින් පවා මේ ගැන කතා කළේ නෑ. උතුරේ ජනතාව මුහුණ දෙන මේ සැබෑ ප්‍රශ්නය පිළිබඳ දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳ දකුණේ කතා කරන අය දන්නෙත් නෑ. අපේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන 13 වන සංශෝධනයට අපි දැඩි ලෙස විරුද්ධයි.

දෙවනුව අපේ රට පිහිටි ස්ථානයේ ඇති මූලෝපායික වැදගත්කම නිසා ඉන්දියා හැමදාම උත්සාහ කළේ මේ රටේ ප්‍රශ්නයක් හදලා ඒ ප්‍රශ්නය දඩමීමා කරගෙන අපේ රට පාලනය කරන්න. එම සැලසුමේ කොටසක් විදිහට තමයි, 1960-70  දශකවල උතුරේ යම් යම් කණ්ඩායම්වලට ආයුධ සහ පුහුණුව ලබා දීලා ඉන්දියාව ගැටලුවක් නිර්මාණය කරන්නේ. කිසිම ප්‍රායෝගිකභාවයක් නැති 13 නැවත බලාත්මක කරන්න ඉන්දියාව උත්සාහ කරන්නෙත් රටේ අවුලක් හදන්න. මේ රටේ ශක්තිමත් නායකයෙක් බිහිවෙලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කොට දැමිය යුතුයි. මේක කිසිසේත් විසඳුමක් නෙමෙයි, නැති ප්‍රශ්න ඇති කරන වැඩක්. අපි අපේ මහ පොළොවේ යථාර්ථය අනුව අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුතුයි.

ඔබ එසේ කීවත් 13 වන සංශෝධනය බලාත්මක කළොත් උතුරේ දෙමළ ජනතාව අතට නේද බලය යන්නේ? දෙමළ සන්ධානය වගේ ම දකුණේ ඇතැම් පාර්ශ්ව පවා කියන්නේ එහෙමයි. ඔබ ඒකට විරුද්ධ ඇයි?

13 වන සංශෝධනය ඔස්සේ දෙමළ ජනතාවට නෙමෙයි, දෙමළ ජාතික සන්ධානයට තමයි බලය ලැබෙන්නේ. දෙමළ ජාතික සන්ධානය කියන්නේ අපේ ජනතාව අවුරුදු සිය ගණනක් වහල්භාවයේ තබා ගෙන සිටි අයගේ පක්ෂය. දෙමළ සන්ධානය කියන්නේ වෙල්ලාලයින්ගේ පක්ෂය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ, විධායක කමිටුවේ වෙනත් කිසිම කුලයක අයෙකුට ඉඩක් නෑ.

ඒ විතරක් නෙමෙයි, අධ්‍යාපනය ආයතන, විශ්වවිද්‍යාල, රාජ්‍ය පරිපාලන ආයතන ආදී කිසිම තැනක අඩු කුලවල අයට කිසිම අවස්ථාවක් නෑ. මේ අය අවුරුදු දෙසීය ගණනක් තිස්සේ අපට ඉගනීම තහනම් කරලා සමාජයේ සියලු අවස්ථා තමන්ගේ කුලයට අත්පත් කරගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට මගේ සීයගේ සීයට ඉගනීම තහනම් කරලා විග්නේශ්වරන්ගේ සීයා ඉගෙන ගෙන නීතීඥවරයෙක් වෙනවා. මගේ සීයා නූගත් වහලෙක්. මේ විදිහට අපි පරම්පරා ගණනාවක් වහල්භාවයේ හිරකරලා ඔවුන් ඉගෙන ගෙන සමාජයේ සියලු තීන්දු තීරණ ගන්නා ආයතනවල බලය අල්ල ගෙන ඉන්නවා. අපේ පරම්පරා ගණනාවක් මේ අයගේ ඉඩම්වල වහල් වැඩට යොදවලා අපට කෑම වේලක් විතරක් දීලා ඒ අය අති විශාල ධනස්කන්ධයක් උපය ගත්තා, අධ්‍යාපනය ලැබුවා. ඒ හරහා දේශපාලන බලය අත්පත් කරගත්තා. මේක අතිවිශාල අසාධාරණයක්.

මේ වගේ ම අසාධාරණයක් ඉන්දියාවේ කුලහීන ජනතාවටත් වුණා. ඒ අවස්ථාවේ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම ඒ ජනතාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සඳහා වෙනම කෝටාවක් වෙන් කළා. ඒ විදිහට ම අවුරුදු 200කට වැඩි කාලයක් අපට කළ අසාධාරණයට යුක්තිය ඉටු කරන්න 13න් මොනවාද කරලා තියෙන්නේ?

එසේ නම් මේ රටේ ඇති බව කියන ජනවාර්ගික ගැටලුවට සඳහා උතුරේ බහුතර ජනතාව නියෝජනය කරන ඔබ යෝජනා කරන විසඳුම කුමක් ද?

බලය බෙදා හැරීම පරිපාලනය විමධ්‍යගත කිරීම අපට ඉන්දියාව ඇවිත් කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. 13 වන සංශෝධනය හඳුන්වා දුන් 1987ට පෙරත් මේ රටේ ගම්සභා, ප්‍රාදේශීය සභා, නගර සභා ඔස්සේ බලය විමධ්‍යගත කරලා තිබුණා. 1987 කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) තිබුණේ නෑ. තොරතුරු තාක්ෂණය දියුණු නෑ. අද රාජ්‍ය සේවයේ බොහෝ අංශ ඩිජිටල්කරණය වෙලා. තමන්ගේ අතේ තියෙන දුරකතනයෙන් එම සේවා ලබා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 40කට කලින් යෝජනා කළ 13 වන සංශෝධනය අද කොහොමත් යල් පැනලා ඉවරයි. අනික සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට සමාජයක් බෙදා වෙන් කරන යෝජනා සමාජයේ යහපැවැත්මට විශාල බාධාවක්. ඒවා විසඳුම් නෙමෙයි, ප්‍රශ්න.

එහෙම නම් ඉන්දියාව මුලින් ම තමන්ගේ රටේ ප්‍රශ්නවලට විසඳුම ආදේශ කරන්න ඕන. මනිපූර්, කාෂ්මීර්, නාකලාම් වගේ ප්‍රාන්තවල ගැටුම් තියෙනවා. ඉතින් ඉන්දියාව ඇයි ඒ ප්‍රාන්තවලට මේ විදිහේ බලය ලබා නොදී සියලු බලතල තමන් යටතේ තබා ගෙන හමුදා බලයෙන් ඒ කණ්ඩායම් මර්දනය කරන්නේ ඇයි? තමන්ගේ රටේ ජනතාවට ඒ විදිහට සලකන ගමන් ලංකාවට ඇවිත් දෙමළ ජනතාවට බලය ලබා දෙන්න කීම විහිළුවක්. ඉන්දියාව විශාල රටක් තමයි. නමුත් අපි කුඩා රටක් වුණත් අපටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. අපේ රාජ්‍ය නායකයින් කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගැනීම වැදගත්. අපේ ප්‍රශ්නවලට බුදු දහමින් විසඳුම් සොයා ගන්න අපට පුළුවන්.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවා චෝදනා කරනවා සිංහල වර්ගවාදීන් දෙමළ නිජ භූමිය ආක්‍රමණය කරන බවට චෝදනා කරනවා. එම චෝදනාවේ ඇත්තක් තියෙනවා ද?

එහෙම චෝදනාවක් කිරීම ම මොන තරම් ගෝත්‍රික ද? දෙමළ ජනතාව ලංකාව පුරා ම ජීවත් වෙනවා. ලෝකය වටා ජීවත් වෙනවා. බහුතර සිංහල ජනතාව ජීවත් වන පළාත් මේක අපේ නිජභූමිය කීවොත්, එහෙම නැත්නම් බහුතර මුස්ලිම් ජනතාව ජීවත් වන පළාත් මේක අපේ නිජභූමිය කීවොත් ඒ දෙමළ ජනතාවට මොකද වෙන්නේ? ශිෂ්ට සමාජයක නම් ඕන මනුස්සයෙකුට තමන් කැමති තැනක ජීවත් වෙන්න අවස්ථාව තිබිය යුතුයි. කැනඩා ජාතිකයෝ එහේ ඉන්න දෙමළ ජනතාවට මේක අපේ නිජභූමිය උඹලා පලයල්ලා කීවොත් මොකද වෙන්නේ? මේ අයට තියෙන ප්‍රශ්නේ මේ රටේ සියලු දෙනා සමගියෙන් ජීවත් වීමයි. ඔවුන්ට ඕන මේ ජනතාව එකට මිශ්‍රවීම වළක්වන්න.  සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව සමගියෙන් ජීවත් වුණොත් මේ අයගේ දේශපාලනය අහෝසි වෙනවා. අපි මේ ගෝත්‍රික ප්‍රකාශ කරයේ හෙළා දකිනවා.

උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර පිළිබඳ විශාල ආන්දෝලනයක් නැවත මතුව තිබෙනවා. විශේෂයෙන් කුරුන්දි වැනි විහාර හින්දු කෝවිල් විනාශ කොට ඒ මත ගොඩනැඟූ බවටත් චෝදනා කරනවා? මේ පිළිබඳ පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක තියෙනවා ද? දෙමළ ඓතිහාසික ලේඛනවල මේ ගැන කිසියම් සාක්ෂියක් තියෙනවා ද?

එහෙම කිසියම් සාක්ෂියක් තියෙනවා ද කියලා තමයි, අපිත් ඒ චෝදනාව කරන අයගෙන් අහන්නේ. මෙතෙක් ඒ සඳහා සාක්ෂියක් ඉදිරිපත් කරලා නෑ. 1937 බ්‍රිතාන්‍ය පාලනය කාලේ කුරුන්දි ප්‍රදේශය පුරාවිද්‍යාත්මක භූමියක් විදිහට ගැසට් කරනවා. ඒ කාලේ රාජ්‍ය පරිපාලනයේ හිටියේ සුදු ජාතිකයෝ. සිංහල හරි දෙමළ හරි මිනිස්සු නෙමෙයි. මේක බෞද්ධ පුදබිමක් නොවුණා නම් ඒක සුදු ජාතිකයින්ට බෞද්ධකරණය කිරීමේ කිසිම උවමනාවක් තිබෙන්න විදිහක් නෑ. අපිත් මේ භූමියට ගිහින් බැලුවා. එහි දක්නට ලැබෙන සියලු පුරාවස්තු බෞද්ධ ආගමට අයත්. කැනීම් කරලා බැලුවත් පොතපත පරිශීලනය කළත් ලැබෙන්නේ බෞද්ධ පුදබිමක් පිළිබඳ සාක්ෂි විතරයි.

මුලතිව් කියන්නේ 2009 වන තුරු කොටි සංවිධානය යටතේ පාලනය වුණ භූමියක්. ඉතින් කෝවිලක් තිබුණා නම් කොටි පාලනය යටතේ එය වඩාත් හොඳට හදලා පුදපූජා කරන්න තිබුණා නෙ. නමුත් 2009ට කලින් මේ අය ඒ ප්‍රදේශයට ගියේවත් නෑ. මෙතන බෞද්ධ විහාරස්ථානයක් ගොඩනැඟෙද්දි තමයි, මේ අයට හදිසියේ ම එතන කෝවිලක් තිබුණා කියලා මතක් වෙන්නේ. මෙතන කෝවිලක් තිබුණා නම් හොඳයි. නමුත් ඒ බවට කිසිම සාධකයක් නෑ.

කුරුන්දිය අවට ගම්වල දෙමළ ජනතාවටත් මේ පන්සල ප්‍රශ්නයක් නෙමෙයි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා යාපනෙන් කිලිනොච්චියෙන් කිහිප දෙනෙක් අරන් ඇවිත් තමයි, මේ ප්‍රශ්නය ඇති කරන්නේ. මේක නීත්‍යානුකූලව නිවැරදි ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක්. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩු නිසා නැති ප්‍රශ්නයක් ඇති කරලා. මේ විදිහට වැඩ කළොත් එය ලේ හැලීමකින් අවසන් වෙන්න පුළුවන්. මොකද බුද්ධිමත් මිනිස්සු නිහඬව හිටියත් අනික් මිනිස්සු ආගම නාමයෙන් ගැටුමකට එන්න පුළුවන්.

දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර හමුදාව අත්පත් කරගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ලබා දිය යුතු බව කියනවා. දැන් යුද්ධය අවසන් නිසා මේ ඉඩම් නැවත පවරා දෙන ලෙස ඉල්ලා සිටීම සාධාරණයි නේද?

යුද්දේ කාලේ පෞද්ගලික ඉඩම්වල හමුදා කඳවුරු තිබුණා. නමුත් යුද්ධය අවසන් වීමත් සමග ම 90%ක් විතර ඒ ඉඩම් නිදහස් කරලා ඉවරයි. දැනට හමුදා පාලනය යටතේ පවතින්නේ ආරක්ෂක මර්මස්ථාන විදිහට පැවතිය යුතු ස්ථාන. උදාහරණයක් විදිහට පලාලි ගුවන්තොටුපළ. එහි ආරක්ෂාව සඳහා යම් භූමි ප්‍රමාණයක් උවමනා වෙනවා. ඒක උතුරට විතරක් නෙමෙයි, දකුණටත් අදාළයි. කොළඹ-මාතර අධිවේගී මාර්ගයට ජනතාවගේ ඉඩම් පවර ගන්නවා. ඒ සඳහා වන්දි ලබා දෙනවා. ඒ ඉඩම් රජය ගත්තා කියලා විරෝධතා කරලා වැඩක් නෑ. දැනට හමුදා පාලනය යටතේ උතුරේ තියෙන්නේ එහෙම ඉඩම්. එහෙම නොවන තව සුළු ප්‍රමාණයක් තියෙනවා. හමුදාව මුදා හැරි ඉඩම් වැඩි දියුණු කරන්න දෙමළ සන්ධානය මොනවා හරි උදව්වක් කළා ද? නෑ.

ඒ වගේ ම වෙල්ලාල කුලේ ධනවතුන් විශාල පිරිසක් විදෙස් රටවල පදිංචි වුණා. ඒ දෙමළ ඩයස්පෝරාවේ මිනිස්සු වසර 30-40ක් තිස්සේ උතුරේ ඉඩම් සල්ලිවලට අරන් කොටි කරගෙන ඉන්නවා. කිසිම වගාවක් නෑ. කිසිම ප්‍රයෝජනවක් නෑ. දෙමළ සන්ධානයට ඇයි බැරි මේ ඉඩම් ටික අරගෙන ඉඩම් නැති ජනතාවට බෙදා දෙන්න කටයුතු කරන්න බැරි. ඇත්තට ම උතුරේ ඉඩම් ප්‍රශ්නයට හේතුව හමුදාව නෙමෙයි, මෙන්න මේ විදිහට හිස් ඉඩම් කොටු කරගෙන සිටීමයි.

අපි පසුගිය දවසක දැක්කා තමන්ගේ ගමේ හමුදා කඳවුරක් ඉවත් කිරීමට එරෙහිව ජනතාව විරෝධතා කරනවා.

2010 වෙද්දි අපි එළියට ඇවිත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය වෙනුනේ හඬ නගන්න පටන් ගත්තා. අද අපේ ජනතාව එතැනට ඇවිත් කියලා මේ වගේ දේවල්වලින් තහවුරු වෙනවා. හමුදාව උතුරේ ජනතාව එක්ක ඉතා ම සුහදව වැඩ කරනවා. ජනතාවට හමුදාවෙන් ආරක්ෂාව ලැබෙනවා. සමාජ විරෝධී කටයුතුවලට හමුදාව විරුද්ධ වෙනවා. පොදු වැඩවලට හමුදාව ශ්‍රමය ලබා දෙනවා. හිටපු කොටි සාමාජිකයින්ට පවා ගෙවල් හදලා දෙන්න ශ්‍රමය දුන්නේ හමුදාව. මේ විදිහට හමුදාව සුහදව ඉන්න නිසා තමයි ජනතාව කඳවුර ඉවත් කරන්න එපා කියලා කියන්නේ. දකුණේ වගේ ම උතුරෙත් පොලිසිය පිළිබඳ ජනතාව තුළ පැහැදීමක් නෑ. පොලිසිය දූෂිතයි. නමුත් හමුදාව එහෙම නෑ. සමහරු දේශපාලනික උවමනාවන් නිසා බොරු චෝදනා කළාට අපේ හමුදාව ඉතා ම විනයගරුක හමුදාවවක්.

දෙමළ හින්දු කතෝලික ජනතාව ගැන අපි දන්නවා. උපතින් හින්දු ආගමිකයෙකු වන ඔබ බුදු දහම වැළඳ ගන්නවා. එහි පසුබිම කුමක් ද?

බුදු දහම දෙමළ ජනතාවට ආගන්තුක දර්ශනයක් නෙමෙයි. දේවානම්පියතිස්ස රජ කාලයට වසර 200කට පසු යාපනේ විශාල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගෙනවා. අපේ ගමේ ඒ කියන්නේ කදුරුගොඩ විශාල බෞද්ධ විහාරස්ථානයක් ඉදිවෙනවා. ඒ කාලේ කදුරුගොඩට කීවේ කදිරමලේ කියලා. කතරගමටත් කදිරමලේ කියනවා.

විශිෂ්ට ඉතිහාසඥයෙකු වන සී. රාසනායගම් මුදලිතුමා ලියූ Ancient Jaffna (1984) පොතේ තියෙනවා මලබාරයෙන් පැමිණි වෙල්ලාලයින් යාපනේ සිංහල බෞද්ධ ජනතාව යටත් කරගෙන වහල්භාවයට පත් කළා කියලා.

ඒ වගේ ම සිලප්පදිකාරම්, මණිමේකලා, වලයාපති, කුණ්ඩලකේසි සහ සීවග සින්දාමණි වගේ අපේ දෙමළ සාහිත්‍ය ග්‍රන්ථ ලියවිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙන. යාපනේ විතරක් නෙමෙයි, උතුරු පළාතේ ම දෙමළ බෞද්ධ සහ සිංහල බෞද්ධ අය හිටි බවට සාක්ෂි තියෙනවා. පසුකාලනව යුද්ධයත් එක්ක උතුරේ බෞද්ධයින් මර්දනය කළා. අඩු කුලේ කියන අපි සියලු දෙනා බෞද්ධයෝ. අපි දැන් කරන්නේ අපේ අපේ මුල් හොයා ගෙන යන එක.

අම්බෙක්කාරතුමාගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය පසුකාලීනව යටපත් වෙනවා. ඔබ මේ ගමන යන්නේ අම්බෙක්කාර් ව්‍යාපාරය මුහුණ දුන් අභියෝගවලට මුහුණ දීමට සූදානමින් ද?

අම්බෙක්කාර්තුමා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ආරාධනයෙන් 1950 ලංකාවට එනවා. ඒ අවස්ථාවේ ඉන්දියාවේ බෞද්ධ පුනරුදය සහ බැසයාම ගැන දේශනයක් කරනවා. එහි දී එතුමා පෙන්වා දෙනවා, එකල භාරතයේ විසූ බ්‍රහ්මින් කියන උසස් කුලයේ පිරිස බෞද්ධ සහ ජෛන ආගමික කණ්ඩායම් සමූල ඝාතනය කරනවා. ඒ ප්‍රචණ්ඩක්‍රියා ඔස්සේ තමයි, හින්දු ආගම ඉහළට එන්නේ. යාපනය ඇතුළු උතුරු පළාතෙත් වෙල්ලාලයින් කළේ ඒකමයි. එහෙත් දැන් ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුවේ විතරක් නෙමෙයි, ලොව පුරා ජනතාව බුදු දහම කෙරෙහි ආකර්ශනය වෙනවා.

ඔබ පසුගියදා යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධූරයට පත්වෙනවා. මොනවාද ඔබේ බලාපොරොත්තු?

අපි වසර 30ක් තිස්සේ යුද ගැටුම් සමග ආපස්සට ගිය සමාජයක්. ඕනෑම ප්‍රශ්නයක් ප්‍රචණ්ඩත්වයෙන් විසඳගන්න තමයි, අපි හුරු වෙලා තියෙන්නේ. අපි මුලින් ම අම්බේක්කාර්තුමා වගේ බුදු දහම සහ බෞද්ධ දර්ශනය ඒ දෙමළ ජනතාවට නිවැරදිව කියලා දෙන්න ඕන. බුදු දහම දෙමළ ජනතාව අතරට ගෙන ගොස් ප්‍රඥාවන්ත සමාජයක් ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා. එයින් පසු අපි උතුර-දකුණ යා කරන පාළමක් විදිහට බුදු දහම යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් මේ රටේ පවතින සියලු ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි බව අපි විශ්වාස කරනවා.

නාමල් උඩලමත්ත

 

Saturday, August 27, 2022

රංජන් අධිකරණය සහ අරගලය..

 රංජන් රාමනායක හිරේ ගියේ අධිකරණයට අපහාස කිරීමේ වරදටය. අවුද්දයි මාස 07කට පසු ජනාධිපති සමාව ලබන රංජන්ට නිදහස ලැබෙනවා.

එහෙත් ඒ කොන්දේසි සහිතව නිදහසක්. අධිකරණයට අපහාස වන ආකාරයට තමා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවත් ඊට කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් රංජන් ලිඛිතව තහවුරු කොට තියෙනවා. නැවත එවැනි වරදක් නොකරන බව ද එහි අවධාරණය කරනවා.

කෙසේ වුණත් ඔහුට ලැබී ඇත්තේ ව්‍යවස්ථාවේ 34(1) යටතේ කොන්දේසි සහිත සමාවක්. ඒ අනුව වසර 07ක් ප්‍රජා අයිතිය අහිමියි. මැතිවරණ සඳහා තරඟ කළ නොහැකියි.

රංජන්ට ව්‍යවස්ථාවේ 34(2) යටතේ පූර්ණ නිදහසක් හිමි නොවන්නේ ඔහු රාජ්‍යය නමැති මන්දිය දරා සිටින කුලුනු තුනෙන් එකක් වන අධිකරණය අභියෝගයට ලක් කළ නිසා විය යුතුයි. 

රාජ්‍යය දරා සිටින අනෙක් කුලුනු දෙක වන විධායකය සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පිරිස මෙහිලා ඉතා ම වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති බව මගේ අදහසයි. රාජ්‍ය පැවැත්ම ආරක්ෂා වීමට ද තම කුලුනු මෙන්ම අධිකරණය නමැති කුලුන ද එක සේ වැදගත් බව එම පිරිස අවබෝධ කරගෙන කටයුතු කොට තිබෙනවා.

මෙහිලා මතු වන ගැටලුව පසුගිය සමයේ අධිකරණය නමැති කුලුන මෙම අවබෝධය ඇතිව කටයුතු කළේ ද යන්නයි. එමගින් ලබා දුන් තීන්දු සහ ආදර්ශ කෙතරම් වගකීම් සහගත ද යන්නයි. ඔවුන් තම වගකීම නිසි බරින් වටහා ගෙන අවබෝධ කරගෙන කටයුතු කළේ ද යන්නයි.

පොදු දේපළ විනාශ කළ කල්ලිවලට සිය ගණනින් අධිකරණයේ පෙනී සිටි නීතීඥයින් විනිසුරු තීන්දුවලට සංකේතාත්මකව අනියමින් තර්ජනය කරමින් හැසිරීම කෙතරම් යුක්ති සහගත ද? 

රඹුක්කන පෙට්‍රල් බවුසරයක් පැහැරගෙන ගිනි තබා දැවැන්ත විනාශයක් කිරීමට උත්සාහ කළ අපරාධකාරයින්ට අත්පොලසන් දෙමින් ප්‍රචණ්ඩත්වය හිංසනය වීරත්වයට ඔසවා තැබූ එම පිරිස වගකීම් සහගත ලෙස හැසිරුණේ යැයි අපට කිවහැකිද? 

අනතුරුව ජනතාවට නීතියට අතට ගෙන ම්ලේච්ඡ ⁣ගෝත්‍රිකයින් සේ ගෙවල් ගිනි තබමින් මිනී මරමින් රාජ්‍ය දේපළ වනසමින් ඒවා තම සන්තකයට ගනිමින් කටයුතු කරන්නට අවශ්‍ය මානසික උත්තේජනය දුන්නේ එමගින් නොවේද? එහි දී නීතීඥ සංගමය කටයුතු කළ ආකාරය නිවැරදිද?

රඹුක්කන විනාශය වළකා ගන්නට බලය පාවිච්චි කළ පොලිස් නිලධාරීන් සිරගත කර රටේ ආරක්ෂක අංශවලට ද මැර කල්ලිවලට ද ලබා දුන් පණිවිඩය කුමක් ද? 

ජනාධිපති මැදුර, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලා ගත් ෆැසිස්ට්වාදීන් පාර්ලිමේන්තුව ද සිය ග්‍රහණයට ගත්තේ නම් විධායක සහ ව්‍යවස්ථාදායක කුලුනු කඩා වැටෙන රටක අධිකරණය පමණක් සුරක්ෂිතව පවතිනු ඇතැයි එම පිරිස සිතන්නේ ද?

අධිකරණය සහ එය නියෝජනය කරන පිරිස සමස්ත රාජ්‍යය සහ එහි පැවැත්ම ගැන මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතුව තියෙනවා. රාජ්‍ය නමැති මන්දිරය දරා සිටින කුලුනු දෙකක් දුර්වල වන විට අධිකරණ කුලුනට පමණක් එහි ආරක්ෂාව තහවුරු කළ නොහැකියි. එවැනි රටක අධිකරණයට පැවැත්මක් නෑ.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාව තහවුරු වෙන්න නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය ආරක්ෂා විය යුතුයි. රාජ්‍යයක පැවැත්මට ඒ කුලුනු තුනම එක සේ වැදගත්. ෆැසිස්ට්වාදය රජයන රටක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන සියල්ල ෆැසිස්ට්වාදය තමයි.

මේක අපි ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු වැදගත් කාරණයක්. සියල්ලට වඩා රාජ්‍යය උත්තරීතරයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කුලුනු තමන් ද ආරක්ෂා වෙමින් අනෙක් කුලුනු ද ආරක්ෂා කරමින් රාජ්‍යය ආරක්ෂා කළ යුතුයි. රාජ්‍ය නැති වුණ දවසට ඒ කුලුනු හිස් වචන විතරයි.

Monday, August 8, 2022

වාසුගේ IMF කතා....!

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අනුබල දීම වසළ වැඩකැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා තිබේ. එහි අනෙක් පැත්ත නම් IMF නොයා විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ අර්බුදය ජය ගැනීම විශිෂ්ට බවය. 

වාසුදේව නානායක්කාර ඇමැති ධූරයක් දැරූ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ අගමැති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය ආණ්ඩුව උත්සාහ කළේ IMF නොයා ණය වාරික ද ගෙවමින් අපේ ආනයන සීමා කර අපනයන වර්ධනය කර දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් මෙම ආර්ථික අර්බුදය ජයගැනීමටය. 

එකල ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ආර්ථික විශේෂඥයින් පැවසුවේ IMF සහයෝගය ලබා ගැනීමට වහා කටයුතු කළ බවය. ආණ්ඩුවේ ම පිරිසක් ද සිටියේ මෙම මතයේය. උදය ගම්මන්පිල පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශ කළේ ණය ගෙවීම් නවතා දමා ගෑස් ඉන්ධන ඖෂධ ආදී ජනතා මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවය.

විමල් වීරවංශ නිතර ම ඉන්දු ඇමරිකානු මූලෝපායික උගුලක රට සිර කළ බවට චෝදනා කරන බැසිල් රාජපක්ෂ එකල IMF යාමට දැඩි ලෙස එරෙහි වූ අතර තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ වගකීම තමා භාරගන්නා බවත් කැබිනට් හමුවේ දී අවධාරණය කළ බව එකල මාධ්‍ය වාර්තා කළේය.

එදා IMF නොයා අර්බුදයෙන් ගොඩ එන්නට සටන් කළ ආණ්ඩුව ගෙදර යවන්නට විමල් උදය සමග සටන් කළ වාසු, IMF නොයාමේ මතවාදය දරන පිරිස රාජ්‍ය පාලන කේන්ද්‍රයේ සිට පරිධියට ඇද දැමීමට සම්මාදම් වූ වාසු, එදා ඇමැතිවරයෙකු ලෙස IMF නොයා යුතුය යන මතවාදය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකළ වාසු, IMF දොරකඩට රට දක්කා ගෙන එන්නට දැන හෝ නොදැන ප්‍රබල ලෙස දායක වූ වාසු මෙදා IMF යාමට එරෙහි වීම කෙතරම් තාර්කික ද? කෙතරම් සදාචාරාත්මක ද? සැබවින් ම IMF යාම වසළ ක්‍රියාවක් නම් එතැනට රට තල්ලු කළ වාසු අංක එකේ වසළයෙකි.

IMF යාම නිසා වාසුලා නඩත්තු කරන වාමාංශික මතවාද මගින් මෙතෙක්  පවත්වා ගෙන ආ සුභ සාධන රාජ්‍යය අභියෝගයට ලක්වනු ඇත. රාජ්‍ය නම් අම්මා දුප්පත් කර මහ මග හිඟමනට ඇද දමා ඇගේ දරුවන්ට සුඛෝපභෝගී ජීවිත ලබා දෙන එම රාජ්‍ය ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යා යුතු නැත. 

වෘත්තීය සමිති මාෆියාව මගින් ප්‍රාණ ඇපයට ගෙන දිගින් දිගට ම පාඩු ලබන ඒ පාඩු ලබන අතරත් ඒවායේ සේවකයින්ට බොරු අතිකාල, බෝනස් දෙමින් ජනතාව මත බර පටවන කිසිදු රාජ්‍ය ආයතනයක් තව දුරටත් ජනතා බදු මුදලින් පවත්වා ගෙන නොයන තැනට IMF මගින් හෝ තිත තැබේ නම් එය ජනතාවට යහපතකි.

රටේ ම 3%ක ඡන්ද පදනමක් සහිත වෛරී වාමාංශික වෘත්තීය සමිති මාෆියාව රජයන රාජ්‍ය ආයතන මගින් බලශක්ති සුරක්ෂිතතාව සෙවීම විහිළුවක් බව පසුගියදා විදුලිබල මණ්ඩල මාෆියාව මුළු රටේ ම විදුලිය විසන්ධි කර ජල බලාගාර අක්‍රීය කර විදුලිය නොනිපදවා සොරොවි හැර ජලය නිකරුණේ කුඹුරට යැවීමෙන් තහවුරු කර ඇත. 

රටට ජනතාවට දරාගත නොහැකි ආර්ථික අවපාතයක වැටී සිටින මොහොතක එවැනි ම්ලේච්ඡ හැසිරීමක් ප්‍රකට කළ වෘත්තීය සමිති මාෆියාව, තමන්ට වඩා අසීරු මොහොතේ රටට තෙල් ටික දුන් ලංකා IOC කෙතරම් හොඳද යන තැනට මතයක් සමාජගත කළ බව නොරහසකි.

IMF යාමට එරෙහි කණ්ඩායම රාජ්‍ය පාලනයෙන් පළවා හැර IMF යාම විසඳුම ලෙස පිළිගන්නා කණ්ඩායම බලයට පත් කර IMF යාම හැර විකල්පයක් නොමැති තැනට රට තල්ලු කර දමා අවසානයේ ඊට එරෙහි වන බංකොලොත් තැනට ඇද වැටීම වාසුදේව යල්පැන ගිය සමාජවාදයේ පමණක් නොව පසුගිය කාලයේ සිදු කළ පාප මිත්‍ර සේවනයේ ද අවසාන ප්‍රතිඵලයයි.

Thursday, August 4, 2022

රෙජිම් චේන්ජ් සැලසුම සහ ගෝඨාභය...

විමල් වීරවංශ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් අනාවරණය කළේ, අරගලය හමුවේ ඉල්ලා අස්වීමට සූදානම් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එවක අගමැති රනිල් වික්‍රමසිංහ ද ඉවත් කර ඉල්ලා අස්වන ලෙස ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් බල කළ බවය. 

විමල් ඊට පෙර ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය අවු. 05ක ධූර කාලය නිමාකර සිය දරු මුනුබුරන් සමග ජීවත් වන්නට ඇමරිකාව බලා යාමේ අපේක්ෂාවෙන් ඇමරිකාව අසතුටු නොවන ආකාරයට කටයුතු කළ බවයි. එහෙත් ජනාධිපති ධූරය පමණක් නොව සිය ජීවිතය ද බරපතළ අවධානමක පවතින අවස්ථාවක ඇමරිකාවේ නැතහොත් ජූලි චන්ග්ගේ උවමනාව අනුව කටයුතු කර ඇමරිකාව අසතුටු නොකර ඉන්නට ගෝඨාභය කටයුතු කර නැති බව විමල්ගේ ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එපමණක් නොව විමල් එක ම වැඩසටහනේ කරන ප්‍රකාශයක් ඔහු විසින් ම අනතුරුව නිෂේධනය කරයි.

අනෙක් අතට විමල් ප්‍රකාශ කරන ආකාරයේ දෙයක් සිදුවී නම් තමන්ට ඇමරිකානු සරණාගතභාවය ලබා දෙන්නේ නම් රනිල් ඉවත් කරන බවට කොන්දේසියක් දමා ගෝඨාභයට ඇමරිකාවට යාමට අවස්ථාවක් ලබා ගැනීමට ද එහි අවස්ථාවක් තිබිණි. එහෙත් තමා යාමට අපේක්ෂා කළ සියලු ම රටවල් තමා ප්‍රතික්ෂේප කරන පසුබිමක පවා ගෝඨාභය ජූලි චන්ග්ගේ ඉල්ලීමට පිටුපා ඇත.

කොටින් ම සිය ද්විත්ව පුරවැසිභාවය ද අහිමි කරගෙන මේ රටට සේවය කිරීමේ අවංක අභිලාෂයෙන් කටයුතු කළ ගෝඨාභය අවසාන මොහොතේ පවා ඇමරිකානු අපේක්ෂාව අනුව රනිල් ඉවත් කිරීමට කටයුතු කර නැත. 

අනෙක් අතට විමල් අනාවරණය කළ මෙම කරුණ මගින් හෙළි වන වඩාත් වැදගත් කාරණය ඇමරිකාව හෝ බටහිර රනිල් තව දුරටත් සිය නියෝජිතයා ලෙස නොසලකන බවය. නොඑසේ නම් රනිල් ඉවත් කර ඉල්ලා අස්වන්නැයි ඇමරිකාව ගෝඨාභයගෙන් ඉල්ලන්නේ නැත. ගෝඨා ඉවත් වූ වහා ජනාධිපති වන්නේ රනිල් බව ඔවුන් නොදැන සිටියා නොවේ.

ඇමරිකානු ඉල්ලීම අනුව රනිල් ඉවත් කළේ නම් එකල අරාජිකව පැවැති රට නැවත යථා තත්ත්වය⁣ට ගෙන ඒම සිහිනයක් වනු ඇත. කතානායක මහින්ද යාපා ජනාධිපති ධූරයට පත්ව පිස්සු කෙළින අතර රට තුළ සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය කිරීම ඇමරිකාවේ ඊළඟ සැලසුම වන්නට ඇත. ඔවුන්ගේ අරමුණ එමගින් අපේ රට අස්ථාවර කිරීම පමණක් නොව එම අර්බුදයට හේතුව චීන ආයෝජන බවට ප්‍රවාදයක් ගොඩනඟමින් චීනයට පහර දීම ද බව අප අමතක කළ යුතු නැත. එහෙත් ගෝඨාභය නිසා එය වැළකිනි. ඊට හිමි ගෞරවය ඔහුට ලබා දීමට අප කෘතඥ විය යුතුය.

අනතුරුව පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරණය සඳහා ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වූ අතර සුමන්දිරන්, සම්බන්ධන්, මනෝ ගනේෂන්, රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, තානාපති කාර්යාල, පෙරටුගාමී ඇතුළු අරගල නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, සජබ ආදී සියලු පාර්ශ්ව ඩලස් දිනවීමට පෙරමුණ ගත්තේය. 

ජවිපෙ 2015 මහින්දට දෙන්න එපා කියමින් මෛත්‍රීට කැම්පේන් කළ විදිහට ම මෙදා රනිල්ට දෙන්න එපා කියමින් ඩලස්ට කැම්පේන් කළේය. රනිල්⁣ට ඡන්දය දී ගමට එන්න එපා යැයි පෙරටුගාමී මැරයින් වෙනම බියගැන්වීමේ මානසික මෙහෙයුමක් දියත් කළේය.

රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට මෙලෙස බටහිර සිය උපරිම බලය යොදන බව දැන දැන ම විමල් වීරංශ ද ඩලස් ජනාධිපති කරලීමට දරදිය ඇද්දේය. එය කැලණි වැන්දා සේ සියලු පව් කමා කරවන මහානිශංස පිංකමක් බව ද පැවසුවේය.

ඒ අනුව බලන විට විමල් උත්සාහ කර ඇත්තේ ද රනිල් පන්නා ඩලස් නම් රූකඩය ජනපති කොට, ජූලි චන්ග්ල සිදුකළ ⁣රෙජිම් චේන්ග් එක පරිසමාප්ත කරලීමටය. එහි අවසාන කොටස තරණය කිරීමට මුක්කු ගැසීමටය. එය මට නම් සුළුපටු වරදක් නොවේ. පාස්කු ප්‍රහාරය එල්ල වන බව දැන දැන ම එය වළක්වා ගැනීමට කටයුතු නොකළ අපරාධය වැන්නකි. නැතහොත් ඊට වඩා බරපතළ වරදකි.

එදා සියලු බලවේග එක මිටට ගොනු වී කළ කුමන්ත්‍රණය පරාජය කිරීමට පොහොට්ටු මන්ත්‍රී පිරිස මහා අවධානමක් ගෙන කටයුතු නොකළේ නම් අද රට සම්පූර්ණයෙන් මෙහෙය වන්නේ බටහිර විසින් තෝරාපත් කළ ඩලස් විසිනි. එසේ නම් අපේ රට සියලු බටහිර අවශ්‍යතා ඉටුකරගන්නා ගොදුරු බිම් බවට පත්වනු නොඅනුමානය. විමල් දැන හෝ නොදැන ඒ අවස්ථාවේ ඉටු කළේ ඇමරිකානු අවශ්‍යතාව හැර වෙන යමක් දැයි ඔහුගේ ම මෙම ප්‍රකාශ දෙක ඇසුරින් නුවණින් විමසා බැලීම වටී. 



Thursday, July 28, 2022

අරගලය අරාජිකත්වය සහ විමල්...!

ආර්ථික අර්බුදය නිසා ඇති වූ ජනතා පීඩනයේ අනියම් දරුවා වන අරගලය රාජ්‍ය දුර්වල කරන අරාජිකත්වය මිස අනෙකක් නොවන අපි මුල සිටම කීවෙමු. ආර්ථික පීඩනය දඩමීමා කරගෙන ජනතාව නීතියට අතට ගන්නා තැනට යොමු කළ දේශපාලන පක්ෂ, නීතීඥ සංගම්, තානාපති කාර්යාල සහ ආගමික පූජකයින් බහුතරයකගේ අරමුණ වූයේ ද ආණ්ඩුව දුර්වල කර එමගින් රාජ්‍ය දුර්වල කිරීමය. 

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රඹුක්කන තෙල් බවුසර සිද්ධියේ සිට ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය තහවුරු කිරීමට ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ශක්තිය නොදීමත් නීතීඥ සංගම් විසින් අවනීතියට එරෙහිව බලය පාවිච්චි කළ ආරක්ෂක අංශ දඩයමට පෙරමුණ ගැනීමත් අරාජිකත්වයට පාවඩ එළුවේය.

විමල් වීරවංශ මෙම අරගලය පසුපස සිටින්නේ අරාජිකකරුවන් බව මුල සිට එම බරින් අවබෝධ කර ගැනීමට නොහැකි මට්ටමේ බබෙක් යැයි මම නොසිතමි. එහෙත් ඔහු කළේ එම අරගලය ආණ්ඩුවට තුළ සිටින සිය ප්‍රතිවාදීන් දඩයම සඳහා යොමු කර, කල දුටු කල වළ ඉහගෙන කන්නට සැලසුම් කිරීමය. බැසිල් මහින්ද ආණ්ඩුවෙන් ඉවත් කර ආණ්ඩුවෙි සුක්කානම සියතට ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

සැබවින් ම සජිත් අනුර සුමන්දිරන් කුමාර් ආදීන්ට මෙන් ම විමල්ලාට ද උවමනා වූයේ ආර්ථික පීඩනයෙන් බිහිකරගත් අරගලය නැමති බළලා ලවා කොස් ඇට බාවා ගැනීමටය. සිය පටු අරමුණු සඵල කර ගැනීමය. සරත් ෆොන්සේකා තවමත් උත්සාහ කරන්නේ ඒ සඳහා ය. 

පසුගිය අනුප්‍රාප්තික ජනාධිපති තරඟයේ දී අරාජිකත්ව කඳවුරේ ඍජු අපේක්ෂකයා වූ ඩලස්ට, හකීම් බදියුදීන් සුමන්දිරන් රාජිත මනෝ ආදීන් සමග කිසිදු හිරිකිතයක් නැතිව විමල් සහයෝගය දෙන්නේ ද රාජපක්ෂලාට කෙළවීමේ අරමුණ අරාජිකත්වයට වඩා ඒ මොහොතේ පවා ඔහුට වැදගත් වු හෙයිනි. නො එසේ නම් විමල් යනු ඩලස් වැනි රූකඩයක් ජනාධිපති කර මේ රට අරාජිකත්වයෙන් ගොඩගත නොහැකි බව අවබෝධ කරගන්නට නොහැකි තොත්ත බබෙකු බව අප පිළිගත යුතුය.

එසේ නැත්නම් අප කෙතරම් අකමැති පුද්ගලයෙකු වුව ද වැඩ බලන ජනාධිපති ලෙස රනිල් ඒ වන විටත් මේ රටේ අරාජිකත්වය පාලනය කරන්නට නීතිය නැවත ස්ථාපිත කරන්නට ගෙන තිබූ සාධනීය පියවර නොතකා ඩලස් නම් අරාජිකත්වයේ බෙදුම්වාදයේ රූකඩ අපේක්ෂයා කර තබා ගෙන එන්නට කිසිදු සාධාරණ හේතුවක් නැත. එදා ඩලස්ට ඡන්දය දී කැලණි වැන්දා සේ සියලු පව් කමා කරගන්නා ලෙස ඉල්ලමින් විමල් ගෙන ගිය ප්‍රචාරණ රැල්ලට පොහොට්ටුවේ බහුතරය රැවටිනි නම් ඊළඟ පැයේ සිට රටේ රජයන අරාජිකත්වයට විමල්ලා ද ගොදුරු වන්නට ඉඩ තිබිණි.

එසේ වී නම් "මට ඇමැතිකම් එපා මගේ රාජ්‍යය මට දෙන්නැයි" ද කෑ ගසන්නට ද "පෞද්ගලික කෝන්තර පිරිමහින්නට ගොස් මේ රට තවත් හයිටියක් සුඩානයක් ලිබියාවක් නොකරන්නැයි" තමාගෙන් ම ඉල්ලා සිටින්නට ද වන්නේ නැත. සැබවින් ම එය ඔහු වෙන කිසි මන්ද ඒ වන විටත් අශ්වයා පැනගොස් හමාර හෙයිනි. පාර්ලිමේන්තුව ද අරාජිකකරුවන් විසින් නිෂ්ප්‍රභ කර නැතහොත් ඔවුන්ගේ රූකඩයක් බවට පත් කර අවසන් හෙයිනි.

මේ අවස්ථාවෙි හෝ විමල්ලා සිය පෞද්ගලික කෝන්තර සහ බල ව්‍යාපෘති පැත්තකින් තබා සිය උද්දච්ච අධිතක්සේරුව පාලනය කරගෙන රට වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය කැලණි වැන්දා වගේ ම පිංකමක් වන්නට ඉඩ ඇත. සිය නිවාස ගිනි බත් වෙද්දි ජීවිත තර්ජන සෙවනැලි මෙන් පිටුපස එද්දී නැවත අවස්ථාවට උචිත පුද්ගලයෙකු ජනාධිපති ධූරයට පත්කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ 225ට මම ස්තූති කරමි. පසුගියදා පාර්ලිමේන්තුව තුළට පැමිණ සිංහනාද කළ විමල් ද තමන්ගේ ව්‍යාපෘතිය පරාජය කළ පිරිසට ස්තූති කළ යුතුය. 

මට විමල් සමග හෝ වෙනත් කිසිවෙකු සමග පෞද්ගලික කෝන්තරයක් නැත. අතීතයේ විමල්ලේ භාවිතය අගය කළ ආකාරයට ම ඔවුන් රට වෙනුවෙන් සිට ගන්නා විට එය අගය කරන්නට මම සූදානමින් සිටිමි. අපේ දේශපාලනය විය යුත්තේ සමාජය ඉවකර එහි මතු වන ඕනෑ ම රැල්ලක් මත නැග වීරයින් වීම නොව කෙතරම් දුෂ්කර වුව ද රටට අහිතකර රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනමින් රට පැත්තේ සිට ගැනීමය.


 
සිය රට දේ සිරි සැප දේ !