Thursday, March 29, 2018

බෝයිලස් විභාග සූරයෝ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී තිබේ. A සමාර්ථ 9ක් ලබා ගත් පිරිස 9960කි. පළමු ස්ථාන හයක් ද දෙවන ස්ථාන ද නවයක් ද වාර්තා වී තිබේ. මේ සිසුන් සඳහා බොහෝ දෙනා සුබ පැතුව ද මට මේ පිරිස ගැන ඇත්තේ කනගාටුවක් සහ අනුකම්පාවකි. මේ අතරින් සාතිශය බහුතරයක් සිය ළමා කාලය මුළුමනින් ම අහිමි වූ විභාග සඳහා ද ඇති දැඩි කළ බෝයිලස් සිසුන්ය. 

අද සිටම ජයග්‍රාහී සිසුන් මාධ්‍ය වෙත තමන් අතිරේඛ පන්ති නොගිය, පාසල් වැඩ ඒ අවස්ථාවේම කළ, සියලු බාහිර ක්‍රියාකාරකම් කළ, දවසෙම සෙල්ලම් කළ පිරිසක් යැයි බොරු කියනු ඇත. එහෙත් ඒ ඇත්ත නොවේ. ඇත්ත නම් මොවුන් බහුතරය බොහෝ දේ අහිමි කරගත් පිරිසක් බවය. 

තරග විභාගයක් නොවන සාපෙළ විභාගය යම්තම් සමත් වන සිසුන් ඒ සම්මාන 9, 8, 7 ගත් අයට වඩා සිය ළමා කාලය සතුටින් නිදහසේ ගත කළ ළමුන්ය. එහෙයින් මම සිතන්නේ වඩා වාසනාවන්ත ඔවුන් බවය. එහෙයින් මම ඔවුන්ට සුබ පතමි.
ප්‍රථම ස්ථාන කිසිවක් කොළඹින් වාර්තා නොවීම කොළඹ නොවන අයගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනේ. එහෙත් මේ වන විට සාපෙළ සම්මාන පහක් සමග සමත් වන ඕනෑම අයකුට විවිධ ආකාරයේ උපාධි ලබාගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් කොළඹ කේන්ද්‍රකරගෙන බිහි වී ඇති නිසාත් පිට රට ගොස් උපාධි ගන්නා නිසාත් කොළඹ දෙමාපියන් සිය දරුවන් මේ තරගයෙන් ඉවත් කරගෙන ඇතැයි සිතිය හැකිය. 

අනෙක් අතට කොළඹ පහසුකම් ඇති නිසා උසස් පෙළ සඳහා සුපිරි පාසල්වලට යාමේ තරගයක් ද ඔවුන්ට නැත. කුමන හේතුව නිසා හෝ දහ දුකක් වන විභාග තරගයෙන් ඉවත් වීමට ලැබීම භාග්‍යයකි. එම දුකින් අපේ ගම්වල පොඩි එවුන් ද නිදහස ලබනු දැකීම මගේ බලාපොරොත්තුවයි. 

ඒ සඳහා  පවතින ලොකුම බාධාව උපාධිය ගත් සියලු දෙනාට ආණ්ඩුව විසින් රැකියා ලබා දිය යුතු යැයි පවතින අදහසයි. මෙය බොහෝ දෙනාගේ කෝපයට හේතු විය හැකි අදහසක් වුවත් යථාර්ථය එයයි. බොහෝ දෙනා අකමැත්තෙන් වුවත් මේ මාරාන්තික තරගයට යොමු කිරීමට එක් හේතුවක් එයයි. අනික යම් යම් රැකියා උසස් කොට සැලකීමයි. කය වෙහෙසා වැඩ කිරීම ලඝු කොට සැලකීමයි. 

මේ යල්පැන ගිය අදහස් අපේ සමාජයෙන් තුරන් කළ හැකි නම් රටේම ළමුන්ට ළමා කාලය නැවත ලැබෙනු ඇත. විභාග තරගය නිමාවනු ඇත. දරුවන් තම තමන් කැමති ක්ෂේත්‍ර ඔස්සේ ඉහළට ඉගෙන ගනු ඇත. නවෝත්පාදන ඉහළ යනු ඇත. අද දරුවන් අතර විභාග නිසා බෝ වී ඇති ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, සාමූහික හැඟීම් නොමැති වීම ආදි ව්‍යාධි තුරන් වී රට දැය සමය මෙන්ම පොදු යහපත ගැන ද සිතන පරිසරයට ආදරය කරන සැබෑ මිනිස් පරම්පරාවක් රටට ලැබෙනු ඇත. 


Monday, March 19, 2018

සිංහලයාගේ කරුමක්කාර චක්කරේ

අප ජාතියක් ලෙස සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට ආසන්නතම සිද්ධියට අනුව ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වූයේ කවදා ද සිට ද යන්න කිව නොහැකිය. කෙසේ වුව ද කිසියම් සිද්ධියක් හෝ ආසන්න සිද්ධිය අළලා දුරදිග නොබලා ප්‍රතිචාර  දැක්වීමට තරම් සිංහලයා වහා කලබල වන ළග පිකප් වන ජාතියක් නිසා ම අපට ඉතිහාසය පුරා සිදුව ඇත්තේ අවාසිමය.

අපට 1813-14 වන විට සිතෙන්නේ අපේ රජු (එකල අප සිතුවේ ඒ අපේ නොව වඩිග රජ ලෙසය) සුද්දාට අල්ලා දී ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමටය. උඩරට ප්‍රභූන් බලලෝභීත්වය නිසා රජුට එරෙහි වීම, ඒ නිසා ම සිංහල නීතිය අනුව ඇහැලේපොළ පවුලට මරණ දඬුවම දීම,  ඒ පදනම් කරගෙන රජු ද්‍රෝහියෙක් කිරීමට ඩොයිලිලා ගෙතු කතා ජනතාව පිළිගැනීම ඊට හේතු සාධක වන්නට ඇත. 

එලෙස රජු පවා දී ලබන ක්ෂණික තෘප්තියට පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳ අප කලින් සිතන්නේ නැත. ඒ පිළිබඳ සිතා වෙහෙසී රජුට රිදවා ලබාගත හැකි සතුට අහිමි කරගැනීමට අප සුදානම් නැත. එසේ සිතිය යුතු යැයි කිසිවකු කියන්නේ නම් ඌ පිස්සකු නැතහොත් රජුගේ වහලකු ලෙස සලකා අවඥාවට ලක් කිරීම අපේ සිරිතය. 

එහෙත් ඊට පසු එළඹෙන අතිශය භයංකර කාලය තුළ අපට රජුට රිදවා ලද සතුට මෙන් කිහිප ගුණයක වන්දියක් ගෙවීමට සිදුවෙයි. එහෙත් එදා රජු පාවා දීමට මුල් වූ ඇතැම්හු එහි වරදක් කිසිදා නොදකින අතර ඔවුන් සුද්දා සමග එක්ව රට වනසනන්ට සහ රජුට වඩා භයානක ලෙස ජනතාව පෙළන්නට වූහ. සංස්කෘතිය ශිෂ්ටාචාරය සංහාරය කරන්නට වූහ. පිරිසක් පසුකලක සත්‍ය අවබෝධ කරගත්ත ද එවිට අශ්වයා ගොසිනි.

එයින් වසර 200ට පමණ පසු 2015 වූයේ ද එයයි. රාජපක්ෂ ආණ්ඩුව් සුළු සුළු වැරදිවලට ජනතාව ප්‍රතිචාර දක්වන්නට වූහ. රටට හතුරු බලවේග ඒ සඳහා කල්යල් බලා පිදුරු දැමූහ. සමහරුන්ට හොරකම ද සමහරුන්ට වංචාව සමහරුන්ට ඒකාධිපතිත්වය ද සමහරුන්ට නාස්තිය ද සමහරුන්ට මාධ්‍ය නිදහස ද සමහරුන්ට වන විනාශය ද සමහරුන්ට රසායනික පොහොර ද මාතෘකා විය. 

එහෙත් මේ පිටුපස සිටින අය බෙදුම්වාදීහු, ඊළාම්වාදීහු, සිංහල බෞද්ධ විරෝදීහු වූහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දී ඇති ආකාරයට ම 2009 ලද නන්දිකඩාල් ජයග්‍රහණය සිහිනෙන් ගෑ සුවඳක් බවට පත්වීමය. දැන් ඒ ජයග්‍රහණය බොහෝ දුරට නැවත පාවා දී අවසන්ය.  රට නැවත 1983ට පමණ ආපසු ගමන් ගොසිනි. 

වසර දහස් ගණනක් තිස්සේ අපට හතුරුකම් කරන ඉන්දියාව අපගේ වීරයා වීමට ද ඔවුන්ගේ ජය පතා සටන් පාඨ කීමට ද අපට ගත වූයේ විනාඩි කිහිපයකි. ඉතිහාසය පුරා අප වෙනුවෙන් ජය ඝෝෂා නැඟූ බංගලාදේශය ද්‍රෝහීන් වීමට ගත වූයේ ද එම කාලය පමණි. මේ රට අද පවතින කාලකන්නි තත්ත්වයට ඇද දැමූවේ ඉන්දියානුවන් බව අපට අදාළ නැත. කොටින් ම අපට සමස්තය අදාළ නැත. අදාළ ආසන්නතම සිද්ධිය පමණි. 

සිංහලයාගේ මේ උපන්ගෙයි ලෙඩේ ගැන රටේ සතුරෝ  මැනවින් දනිති. ඉතින් කල් යල් බලා උන් නැවත නැවත එකම වළට අප ඇද දමති. අප අමාරුවෙන් පියවර 10ක් තබා කරන ගොං වැඩක් නිසා නැවත පියවර 100ක් පමණ පසුපසට විසිවෙයි. ඉක්මන් හැඟීම්බර තීන්දු ගෙන පසුව නිවී හැනහිල්ලේ පසුතැබීම අපේ අමන ජාතික පුරුද්දක් බවට පත්ව තිබේ. 

අප මේ කරුමක්කාර චක්‍රයෙන් ගොඩ ඒමට නම් එක එක සිද්ධියට නොව සමස්තයට ප්‍රතිචාර දක්වන දැක්මක් ජාතියට ලබා දිය යුතුය. සුළු සුළු සිද්ධි දෙස නොව සමස්ත චිත්‍රය දෙස බැලීමට දෑසක් ජාතියට ලැබිය යුතුය. ආසන්නතම සිද්ධියට බුද්ධියෙන් නොව හදවතින් ප්‍රතිචාර දක්වා අමාරුවේ නොවැටීමට තරම් ප්‍රඥාවකින් අප සන්නද්ධ විය යුතුය. එසේ නොවන්නේ නම් අප මේ නරා වළෙන් වෙර යොදා ගොඩ ආව ද නොබෝ කලකින් නැවත ඊට වඩා ගැඹුරු අගාධයකට වැටී හතර හන්දි කඩා ගනු නියතය. 

Monday, March 5, 2018

ඉවසීම හැර විකල්පයක් නැත

පෙබරවාරි 10 වෙනි දින සිට මේ රටේ සිදුවන බොහෝ දේ එදා ජනතාව  ලබා දුන් තීන්දුව කෙසේ හෝ කනපිට පෙරලීමට සිදුකරන සැලසුම්ගත කුමන්ත්‍රණ බව පෙනේ. එතෙක් කල් රටේ සිදුවූ සියල්ල දෙස හොඳ අවදියෙන් බලා සිට පෙබරවාරි 10 වෙනිදා සිය තීන්දුව ප්‍රකාශ කළ ජාතිය අවදි කිරීමට වසර කිහිපයක් බොරුවට නිදා සිටි බලවේග සුදානම් වීම, අම්පාරේ වඳ බෙහෙත් නාටකය මෙන්ම තෙල්දෙණියේ ඝාතනය ද දවසින් දවස එළි දකින එම කුමන්ත්‍රණයේ කොටස්ය. නතාව තීන්දුව මෙය නොවන්නට මෙවැනි සිදුවීම් මෙවැනි වේගයෙන් සිදු වන්නේ නැත. මළමිනීවල පුළුටු සුවඳ පස්සේ දුවන සුනඛයන් ඉන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නේ නැත.

මේ අවස්ථාවේ කුමන හෝ නොසණ්ඩාල පාහර වැඩක් කර සිංහල ජනතාව ප්‍රකෝප කරවා වාර්ගික ගැටුමක් ඇති කිරීම මේ පිටුපස සිටින බලවේගවල අරමුණ බව පෙනේ. සිංහලයාට එරෙහි මේ භයානක නාඩගම් අපේ රටේ වාසය කරන මධ්‍යස්ථ සර්වාගමික ජාත්‍යන්තර පුරවැසියන්, කලාකාරයන්, කවියන්, චිත්‍රපටකාරයන්, ඩොලර් හිඟන්නන් දකින්නේ නැත. එම ප්‍රකෝප කිරීම්වලට එරෙහිව කටේ කෙළ බිඳක් හෙළන්නේ ද නැත.

එහෙත් කිසියම් අවස්ථාවක සිංහලයන් ඊට එරෙහිව යම් ප්‍රතිචාර දැක්වුවහොත් එදා සිට හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ මේ කල්ලි කණ්ඩායම් වහා සටන් බිමට පැමිණ සටන අරඹති. උද්ඝෝෂණ කරති. මාධ්‍ය හමු තියති. තානාපති කාර්යාලවලට ලියති. කළු පටි බඳිති. කවි ලියති. චිත්‍රපට නාට්‍ය තනති. ගෝත්‍රික ම්ලේච්ඡ දෙදහස් පන්සිය අවුරුද්දක ශිෂ්ටාචාරය ඇසේ සිට පට්ට ගසති. අවසානයේ මේ සිංහල මුස්ලිම් ගැටුම මහින්ද හෝ ගෝඨාභයගේ ගිණුමට බැර කොට අත පිසදා ගනිති.


එදා අලුත්ගම දී වුණේ එයයි. එහි ප්‍රතිඵලය ලෙස  මුස්ලිම් ජනතාව පමණක් නොව සිංහල දෙමළ ජනතාව ද මහින්දලා සමග තරහා වූ අතර 2015 ජනාධිපතිවරණය පරාජයට එය හේතුවක් විය. එහෙත් අද ඒ ජනතාව තමන් රැවටුණු බව වටහා ගෙන මුස්ලිම් ජනතාව පවා නැවත මහින්ද රාජපක්ෂ වටා එකතු වන බේරුවල මැතිවරණ ප්‍රතිඵලවලින් සනාථ වේ. දැන නැවත සිදු වන්නේ එම එකතු වීම විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයකි. ඒ සඳහා බටහිර බලවෙග මෙන් ම වහාබ් මුස්ලිම් අන්තවාදී බලවේග එකමුතුව කටයුතු කරන බව පෙනේ. 

එහෙයින් මේ අවස්ථාවේ සිංහලයනි බොහෝ ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ඔබ ප්‍රකෝප වී මේ පිල්ලිවලට ප්‍රතිචාර දක්වනු දැකීම ඒවා සැලසුම් කොට ක්‍රියාත්මක කරන සියලු දෙනාගේ අරමුණය. එහ අරමුණ ඉටු කර දීමට ඔබ කටයුතු කළ යුතු නැත. එවැනි ගැටුමක් ඇති වුව ද මේ ආණ්ඩුව කිසි විටක සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. 1915 වසරේ මෙන් සිංහල මුස්ලිම් ගැටුමට ආධාර කළේ යැයි සිංහල නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව එය අවස්ථාවක් කරගනු ඇත. 

එපමණක් නොව වාර්ගික පදනම යටතේ රට බෙදන ව්‍යවස්ථා සාධාරණීකරණය කිරීමට ද එය යොදා ගනු ඇත. එහෙයින් මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ ඉවසීමය. ඒ හැර විකල්පයක් නැත. මෙය ඉතාම බුද්ධිමත් ලෙස විසඳාගත යුුතු ප්‍රශ්නයකි.
 
සිය රට දේ සිරි සැප දේ !