Tuesday, March 29, 2022

ජනතාවගේ ගෙවල්වල වගේ ම පාලකයින්ගේ මන්දිරවලත් විදුලිය කපනු...!

මේ අපි ගෙවන්නේ ඉතා ම දුෂ්කර කාලයක්. දවසේ වැඩ කරන කාලයෙන් විශාල කොටසක් විදුලිය නෑ. රටේ තෙල් ගෑස් හිඟයක්. ජනතාව පෝලිම්වල. මේ වෙලාවේ විදුලි කප්පාදුව ජනපති මැදුර, මන්ත්‍රී නිවාස සහ පාර්ලිමේන්තුව වගේ තැන්වල සිදු නොවන බව ප්‍රකාශ වෙනවා. මේ ප්‍රකාශ පවා ජනතාව තුළ කෝපය වෛරය අවුළුවන බව ආණ්ඩුව තේරුම් ගැනීම වැදගත්.

රෝහල්, වෙළඳ කළාප ආදිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා නොවන සියලු ස්ථාන සඳහා වෙනසකින් තොරව විදුලිය විසන්ධි කළ යුතුයි. විශේෂයෙන් දේශපාලකයින්ට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු නෑ. මේ රටේ විදුලිය කපන තැනට එන්න තක්කඩි නිලධාරීන් වගේ ම අඩුවැඩි වශයෙන් දේශපාලකයිනුත් වගකිව යුතුයි. පසුගිය ආණ්ඩුව අන්තවාදීන්ගේ පීඩනයට බයවෙලා සාම්පූර් බලාගාරය ඉදිනොකිරීම ඊට මූලික හේතුවක්.

සාම්පූර් හදලා ගල් අඟුරුවලින් විදුලිය ගන්න අවස්ථාව ලැබුණා නම් අපට පසුගිය කාලයේ විදුලිය සඳහා වැය කළ ජලය, ඩීසල් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගන්න තිබුණා. ඒ වගේ ම පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි පද්ධතියට එකතු කිරීම සඳහා ඉඩනොදුන් ද්‍රෝහී නිලධාරීන් වගේ ම පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ඇතැම් බලාගාරවල විදුලි ජනන යන්ත්‍ර අක්‍රීය කළ බවටත් චෝදනා නැඟෙනවා. මේ ගැන මෙතෙක් කිසිම පියවරක් නොගැනීමෙන් එවැනි අපරාධකාරයින්ට තටු ලබා දී තිබෙනවා.

මේ අවස්ථාවේ රටේ තිබෙන විදුලිය ජනතාවට නොදී දේශපාලකයින්ගේ නිවෙස්වලට, පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි, ජනපති මැදුටත් අඛණ්ඩව ලබා දීම වැරදියි. ජනතාව වගේ ම පාලකයනුත් මේ අපහසුතා විඳින්න ඕන. එතකොට එහෙම නොවන හෙටක් ගොඩනඟන්න පාලකයින්ටත් ඥානය පහළ වෙයි. අනෙක් අතට ජනතාවට පාලකයින් කෙරෙහි පවතින අධික වෛරය කෝපය සංසිඳේවි.

ජනතාව විදුලියත් නැතිව තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල තමන්ගේ ජීවිත කාලය දියකර හරිද්දි ජනපති මැදුරට මන්ත්‍රී නිවාසවලට අඛණ්ඩව විදුලිය දෙනවා කියල ප්‍රචාරය කරද්දි අර ජනතාව තුළ ඇති වන හැඟීම් පාලකයින් තේරුම්ගත යුතුයි. පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් සතියකට හෝ දෙසතියකට නැත්නම් මසකට දිනක් කැඳවීමෙන් රටට මේ වෙලාවේ සිදුවන වාසිය, අවාසියට වඩා වැඩියි. 

එවිට රට පුරා සිට පාර්ලිමේන්තුවට එන වාහන සිය ගණනක් නවතිනවා. එමගින් අධික ඉන්ධන පරිභෝජනය කරන එම වාහනවල ඉන්ධන ටික ඉතිරි වෙනවා. පාර්ලිමේන්තුවේ කැන්ටිමේ වියදම නවතිනවා. විදුලි බිල ජල බිල ඉතිරි වෙනවා. මේ අසීරු අවස්ථාවේ පාලකයින් ජනතාව සමග ඊට මුහුණ දිය යුතුයි. 

යුද්ධය අවස්ථාවේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ පුතා යෝෂිත නාවික හමුදාවට එකතු වීම මානසික සටනක කොටසක්. පාලකයින් සිය දරු පවුල් ප්‍රභාකරන්ගෙන් බේර ගන්න විදෙස් රටවල හංගද්දි එය එක්තරා කැපකිරීමක්. ඉතින් අද ජනතාව වගේ ම පාලකයනුත් විදුලිය නැතිව අඳුරේ සිටිය යුතුයි. මේ අර්බුදයෙන් ජයගන්න ජනතාව පෙළ ගස්වා ගැනීමට එය ඉතා ම වැදගත්. 

Tuesday, March 22, 2022

මිල්කො ආයතනය පිටිකිරි ගහන්නේ කාගේ උවමනාවට ද?

මේ අවස්ථාවේ මිල්කො ආයතනය පිටිකිරි නිෂ්පාදනය වෙනුවෙන් දියර කිරි, කල්කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම් නිෂ්පාදනය නතර කිරීම හෝ අඩු කිරීම විශාල වරදකි. මේ නිසා පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රිය හයිලන්ඩ් අයිස්ක්‍රීම් වෙළඳපොළ වෙනත් පිරිසක් අතට පත් වනු ඇත. ආයතනයට ලාභ ගෙනා අයිස්ක්‍රීම් නිෂ්පාදනය මේ උත්සව සමයේ අතහැර දැමීම ආයතනයේ විනාශයට මිස යහපතට හේතු වන්නේ නැත.

අනෙක් අතට ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ දියර කිරි ප්‍රවර්ධනය සඳහා පොරොන්දු වී ඇති පසුබිමක දශක ගණනාවක් තිස්සේ බහුජාතික සමාගම් විසින් පිටිකිරි පානයට ඇබ්බැහි කළ ජනතාව ඉන් මිදි නැවතත් සියවස් ගණනාවක් හුරුව පැවැති දියර කිරී පානයට යොමු වන පසුබිමක නැවත පිටිකිරි ප්‍රවර්ධනය විශාල අපරාධයකි. 

පිටිකිරි නිෂ්පාදනයට වැයකළ යුතු දියර කිරි ප්‍රමාණය අධික නිසා කිරි නිෂ්පාදනය වැඩි නොකර පිටිකිරි නිෂ්පාදනයට යොමු වන විට සෙසු නිෂ්පාදන අඩු කිරීමට සිදුවන අතර එය මිල්කො ආයතනයේ මූල්‍ය තත්ත්වයට ද අහිතකර ලෙස බලපානු ඇත. මේ නිසා නැවතත් ජනතාව දියර කිරි පානයෙන් පිටිකිරි පානයට ඇබ්බැහි වනු ඇති අතර එමගින් අවසානයේ බහුජාතික සමාගම්වල උවමනාව ඉටු වනු ඇත. ජනතාවගේ නීරෝගීභාවය ද අහිමි වනු ඇත.



සැබවින් ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නේ නම් දැන් කළ යුතුව ඇත්තේ දියර කිරි තව තවත් ප්‍රවර්ධනය කරන අතර අමාත්‍යංශය සමග එක්ව කිරි නිෂ්පාදන ප්‍රවර්ධනයට කටයුතු කිරීමය. ඒ කිසිවක් නොකර මෙතෙක් වෙළඳපොළේ පැවැති දියරකිරි, රසකළ කිරි, අයිස්ක්‍රීම්, කල්කිරි, යෝගට් ආදී සියල්ල සීමා කර කිරිපිටි ප්‍රවර්ධනය කරන්නේ කාගේ උවමනාවට ද? ඒ මේ රට වෙනුවෙන් ද? නැත්නම් නවසීලන්තය වෙනුවෙන් ද? 

හිටපු සභාපතිවරයාට කිරිපිටි නිෂ්පාදනය කළ නොහැකි වුව ද තමන් කිරිපිටි නිෂ්පාදනය කළේ ය යන ස්වයං තෘප්තිය ලැබීම හැර එමගින් මේ රටට අත්වන වාසිය කුමක් ද? කිරිපිටි වෙනුවෙන් සමස්ත මිල්කො නිෂ්පාදන බිලි දීම අවසානයේ ලෙඩා මළත් බඩ සුද්දයි කීමට වඩා වැඩි දෙයක් ඉතිරි කරනු ඇද්ද? නිෂ්පාදන ජනතා ඉල්ලුමට අනුව ලබා දෙමින් බහුජාතික සමාගම් ග්‍රහනයෙන් මේ රටේ ජනතාව මුදා ගැනීමටත් අනාගතයේ නිරෝගී පරපුරක් උරුම කර දීමටත් නව සභාපතිවරයාට විශාල වගකීමක් ඇත. මිල්කො දියර කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම්, යෝගට් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කර ඉන් අනතුරුව කිරිපිටි නිෂ්පාදනයට යොමු වන්නේ නම් එහි කිසිදු වරදක් නැත. එහෙත් අවාසනාවට සිදුවන්නේ අටුව කඩා පුටුව හැදීමකි.

එසේ ම යහපාලනාණ්ඩුව සමයේ අවසාන අවුරුදු දෙක තුන ඇතුළත මිලියන 2000ක් පාඩු ලැබූ ආයතනය, ඉතා ම දුෂ්කර කාල වකවානුවක වුව ද නැවත වාර්ෂිකව මිලියන 400ක් පමණ ලාභ ලබන තැනට ගෙන ඒමට හිටපු සභාපතිවරයා කටයුතු කළේ ය. එම සියලු ජයග්‍රහණ කෙහෙල්මල් පිටිකිරි වෙනුවෙන් බිලිදීමේ ප්‍රතිවිපාක දෝර ගලා යනු ඇත්තේ වර්තමාන සභාපතිවරයා මතින් නොව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මතිනි. 

ඒ නිසා මිල්කො වර්තමාන සභාපතිවරයා මීට වඩා වගකීමෙන් සහ අනාගත දැක්මකින් කටයුතු කර මිල්කො ආයතනය ද සෞභාග්‍ය දැක්මෙහි අරමුණු ද මුදුන්පමුණුවා ගැනීමට කටයුතු කරනු දැකීම අපේ අපේක්ෂාවයි.

නාමල් උඩලමත්ත

 
සිය රට දේ සිරි සැප දේ !