ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්‍රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි.
77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය අනුව ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැක්කේය. ඊට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වේ. එහි 4 වෙනි වගන්තිය අනුව එම පරමාධිපත්‍ය බලයට අයත් ජනතාවගේ විධායක බලතල ජනතාව විසින් ඡන්දයෙන් පත් කරගන්නා විධායක ජනාධිපති විසින් ද ව්‍යවස්ථාදායක බලතල ජනතාව ඡන්දයෙන් පත් කරගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද ක්‍රියාත්මක කෙරේ. ජනතාවගේ අධිකරණ බලතල ව්‍යවස්ථානුකූලව පිළිගත් අධිකරණ සහ පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක කෙරේ.
මේ අනුව අපේ රටේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල සියල්ල මේ රටේ පුරවැසියන්ට අයත්ය. එය ඔවුන්ගේ පරමාධිපත්‍ය යටතේ ක්‍රියාත්මක විය යුතුය. එය මේ රටේ මිලියන 200ක් පමණ වන ජනතාවට අයිති අත්හළ නොහැකි අයිතියකි. මේ රටේ පුරවැසියාගේ පරම අයිතියකි. ඒ අයිතියට කිසියම් පරයකු ඇඟිලි ගැසීමට සූදානම් වන්නේ නම්, ඒ අයිතිය කිසියම් පරයකු අපෙන් උදුරා ගැනීමට සූදානම් වන්නේ නම් මිලියන 20ක් වන ජනතාව එක හඬින් ඊට එරෙහි විය යුතුය. මන්ද එවැනි බාහිර බලපෑම් අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන හෙයිනි.
එහෙත් 2015 ජනාධිපතිවරණයට පසු බටහිර රටවල සුද්දෝ we are part of this victory කියා උදම් ඇනූහ. අනතුරුව මේ සුද්දන්ම ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ රුසියානු නායකයා ට්‍රම්ප්ට උදව් කළේ යැයි කනිපින්දම් කී බව අපට අමතක නැත. අනුන්ගේ පරමාධිපත්‍ය බලය තුට්ටුවකට මායිම් නොකරන සුද්දන් පවා තමන්ගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බව මින් තහවුරු වෙයි.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පූටින්ගේ බලපෑම් කළ ද නොකළ ද එවැන්නක් වුණේ යැයි සුද්දන් චෝදනා කිරීම මගින් සනාථ වන්නේ තමන්ගේ වැඩවලට අනෙකා ඇඟිලි ගැසීම ඔවුන් නුරුස්සන බවය. සිය පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බවය. කිසිම ඇමරිකන්කාරයකු පූටින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට උදව් කළේ යැයි උදම් වූයේ නැත. ට්‍රම්ප් හෝ ජයග්‍රාහි පිරිස හෝ එය පිළිගත්තේ ද නැත. එවැනි අදහසක් පිළිගැනීම පවා නින්දාවක් ලෙස සැලකීමට තරම් ඇමරිකන්කාරයාට විළිබිය සහ ආත්ම ගරුත්වයක් ඇත.
එහෙත් අපේ රටේ තත්ත්වය කුමක් ද? 2015 ජනාධිපතිවරණයට තමන් ද දායක වූයේ යැයි සුද්දන් කියන විට එසේ නොවුණේ යැයි බොරුවට හෝ කියා ආත්ම ගරුත්වය බේරා ගැනීමට තරම් විළිබියක් ලැජ්ජාවක් අපේ පාලකයන්ට තිබුණේ නැත. ඊටත් එහා ගිය නිවට සිදුවීම් පෙළක් පසුගිය දා සිදුවිය.
මෑතක විශ්‍රාම ගිය කේෂාප් සිය රට බලා යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන්න යැයි දන්වා සිටියේ යැයි කතාවක් මාධ්‍යවල පළ විය. අතුල් කේෂාප් ඔබාමා පරිපාලනය විසින් මෙරටට එවන ලද තානාපතිය. මේ පුවත දැක අපේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගෙන් පිරිසක් මහත් අමන්දානන්දයට පත් වී තිබිණි. ඔවුන් මේ පුවත සිය ෆේස්බුක් පිටුවළ පළ කළේ මහත් උජාරුවෙනි. ඇමරිකානු ජනතාව පූටින්ගේ බලපෑමට එරෙහිව යුද ප්‍රකාශ කරන පසුබිමක අප බටහිරයන්ගේ බලපෑම දෝත පා වැළඳ ගැනීම මොන තරම් නිවට පරාධීන වහල්කමක්ද? මිනිසකුට මීට වඩා ද්‍රෝහීකමක් සිය මාතෘභූමියට සහ අනාගත පරපුරට කළ හැකිද?
ඇසුණු වහා අප එකවර ලැජ්ජාවට ද කෝපයට ද කනගාටුවට ද පත්විය යුතු මේ පුවත අපට අමන්දානන්දයට හේතුවක් වන්නේ කෙසේද? අපේ ජාතිය හෘද සාක්ෂියක් නැති අක්මුල් නැති දවස් හතළිහේ බෝයිලස් කුකුළන්ගේ තත්ත්වයට පත් වෙලාද?
කේෂාප් අභියෝග කර ඇත්තේ අපේ රටේ පුරවැසියන් මිලියන 200ට හිමි පරමාධිපත්‍ය බලයටයි, අත්හළ නොහැකි පරමාධිපත්‍ය බලයටයි. මේ රටේ බෝඩිංකාරයන් නොවන ඕනෑම පුරවැසියකු සිය අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට උඹ කවුද යැයි පෙරළා ප්‍රශ්න කළ යුතු නොවෙද? එහෙත් ඉන් අමන්දාන්නදයට පත්වන්නේ නම් අප ඒ ඇමරිකන්කාරයාගේ වහල් රෑනක් මිස නිදහස් නිවහල් රට වැසියන් යැයි පිළිගත හැකිද? මේ ප්‍රශ්නය වරක් නොව සිය වරක් හෝ අප අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු නැද්ද?
මේ රටේ අනාගත පාලකයා තෝරන්නේ අපය. අපේ රටේ මිලියන 200ක් ජනතාවය. ඒ ජනතාවගේ බහුතර කැමැත්තය. ඒ බලයට අපගේ පරම අයිතියකි. ඒ බලය වෙනුවෙන් අප පාට පක්ෂ ආගම් භේද පසෙක ලා එකම ජාතියක් ලෙස නැඟී සිටිය යුතුය. ඒ බලය අපේ අනාගත පරපුරට ආරක්ෂා කොට දිය යුතුය. හුදු පෞද්ගලික පටු කෙටි දේශපාලන අරමුණු සහ තෘප්තිය වෙනුවෙන් අපේ බලය පරයන්ට පාවා දීම මොන කරුමයක්ද? අපේ රටෙන් කොටසක් පරයකු පාලනය කිරීම ඉවසා ගත නොහැකිව ඇඳේ වකුටු වී නිදන ළමුන් බිහි කළ ජාතියක අලුත් පරපුර මෙතරම් පරාධීන ජාති භ්‍රෂ්ටයන් වූයේ කෙසේද?
මේ රටේ ජනතාව රටේ පාලකයා බහුතර ජනතාව තම පාලකයා තෝරා ගන්නේ රටේ යහපත සලකාය. ජනතාව තෝරා පත් කර ගත් පසු නායකයන් මොන වැරදි කළ ද ජනතා අපේක්ෂාව යහපත් පාලනයකි. එහෙත් අපේ රට වෙනුවෙන් බාහිර බලවේග නායකයන් තෝරා දෙන්නේ අපේ රටේ යහපතටද යන්න අප විමසා බැලිය යුතුය.
මේ අනුකම්පා කළ යුතු ලැජ්ජාවට පත් විය යුතු අමන්දානන්දයට හේතුව මැතිවරණයක් මගින් පරාජය කළ නොහැකි යැයි සිතන ප්‍රතිවාදී අපේක්ෂකයා බාහිර බලවේග ලවා හෝ ඉවත් කර දුර්වලයකු සමග තරග කර ජය ලැබීමේ මෝඩ උමතුව බව රහසක් නොවේ. එහෙත් මෙවැනි මෝඩකම් 1815 අපේ රජතුමා සුද්දාට පාව දී ලැබූ ජයට නොදෙවෙනි බව අප අවබෝධ කරගත යුතුය.
අනෙක් අතට දුර්වලයකු සමග සටන් කර ලබන ජය විශිෂ්ටද? තහනම් උත්තේජක භාවිත කොට ඔලිම්පික් පදක්කමක් දිනීම ශිෂ්ට ලෝකය පිළිගන්නවාද? කෙසේ හෝ පිටියේ දී උසේන් බෝල්ට් පරාජය කරනු මිස ඔහුට තරග තහනමක් පනවා ජය ගැනීමට ජස්ටින් ගැට්ලින් උපක්‍රම යෙදුවේද? මේ මොන නිවට කම් ද?
රටේ ජනතා සතු පරමාධිපත්‍ය බලය කිසිවකු කඩා වඩා ගන්නවා බලා උදම් ඇනීම සමාන වන්නේ අල්ලපු ගෙදර චණ්ඩියා ගෙදරට පැන සිය බිරිඳට අතවර කිරීම අභිමානයක් කොට සැලකීම වැනි නීච නිවට ක්‍රියාවකට පමණි. අතුල් කේෂාප්ගේ ප්‍රකාශය කනට මී පැණි වත් කළා සේ මධුරතර විය හැක්කේ එවැනි මානසික මට්ටමක සිටින අයකුටය. අප ජාතියක් ලෙස හඬා වැටිය යුතු කෝපයෙන් වියරු වැටිය යුතු සිද්ධියක් අපේ අමන්දානන්දයට හේතු වීම කෙතරම් ඛේදජනකද? එදා 1815 කුප්‍රකට උඩරට ගිවිසුමින් රට පාවාදීමට මොහොතකට පෙර කතර කොඩිය එසවීමට එරෙහි වූ වාරියපොළ සුමංගල නාහිමි වැනි විරයන් දෙව්ලොව සිට කුමක් සිතනු ඇතිද?