Sunday, January 21, 2018

ජවිපෙ අවතාර සහ පිල්ලි

"ලංකා දේශපාලනයේ අවතාරයක් සැරිසරයි; ඒ ජවිපෙය" කියලා ජවිපෙට ගම දෙන්න කියන ආචාර්ය නිර්මාල් නොබෝදා ෆේස්බුක් සටහනක් තබා තිබෙනු දුටිමි. ඒ අතර ජවිපෙ ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබුණේ මහ බැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම සම්බන්ධව වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවය.

මේ කතා දෙකම ජවිපෙ වර්තමාන තත්ත්වය පිළිබිඹු කරන පැහැදිලි කැටපත් දෙකකි. අර්ජුන් මහේන්ද්‍රන් නමැති සිංගප්පූරුකාාරයා අදාළ තනතුරට පත් කිරීමට ජනපති පමණක් නොව තවත් බොහෝ දෙනා එරෙහි වෙද්දී තමන් පෞද්ගලිකව වගකීම භාරගන්නා බව පවසමින් සිය ගජයා මහ බැංකුව සුද්ද කිරීමේ මෙහෙයුමේ නායකත්වයට පත් කළේ එවක ආසන 42ක් සහිත ජනවරම පොකට් ගසා අගමැති වූ රනිල් වික්කමසිංහය.

මේ රටම දන්නා සත්‍ය විකෘති කරමින් බොරු කීමට තව දුරටත් පණ ඇති දේශපාලන ව්‍යාපාරයකට නොහැකිය. අවම වශයෙන් එජාපයේ පී. හැරිසන් වැනි බොරුකාරයන් පවා මෙි තරම් පක්ෂග්‍රාහී පිළිකුල් සහගත බොරු කියන්නේ නැත. එහෙයින් ආචාර්ය නිර්මාල් පවසන පරිදිම අනුරගේ ජවිපෙ යනු සෝමවංශගේ ජවිපෙ මළ පසු උපන් අවතාරයකි.

දැන් එහි නායකත්වයට පත්ව ඇත්තේ රනිල් නමැති යක් දෙස්සා මුදල් නමැති මන්තර බලයෙන් බැඳ ගෙන වැඩ ගන්නා යක්කුය. කුම්භාණ්ඩයෝය. මළ ප්‍රේතයෝය. එජාපයට අවශ්‍ය නොවන අවස්ථාවල තමන්ට රිසි සේ හැසිරෙන මොවුහු සිරිකොතින් කැඳවීම් ලද වහා මරු පිල්ලි ලෙස කටයුතු කරති.

මේ ආණ්ඩුවේ විනාශකාරී ගමන සිය විධායක බලය පාවිච්චි කර නිවැරදි මාවතට ගන්නා බවක් සිරිසේන ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රදර්ශනය කර නැත. ඔහු ද ඒ විනාශයේ කොටස්කරුවකු වූවා පමණි. ඔහු විශ්වාසදායි පුරවැසියෙක් මහ බැංකු අධිපති කළා නම් එජාපය⁣ට ඔහුම පවසන මෙරට ඉතිහාසයේ දැවැන්තම වංචාව කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොදී එය විසුරුවා නැවත රනිල් අගමැති නොකරවන්නට නැවත 2016 පෙර හොරකමටත් දරුණු දෙවන මහ බැංකු කොල්ලය සිදුවන්නේ නැත.

එහෙත් මේ ගමනට කිසියම් අවස්ථාවක ඔහු එරෙහි වන්නේ නම් ජවිපෙ වහාම සිය හාම්පුතාගේ පිල්ලි ලෙස සිය වගකීම ඉටු කරමින් සිරිසේනට පහර දෙනු ඇත. එකල්හි ඒකාබද්ධය රටේ යහපත වෙනු⁣වෙන් සිරිසේන වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

එහෙත් අනෙකාට සහාය වීමට නම් මුලින්ම තමා ශක්තිමත් විය යුතුය. හිඟන්නකුට අවශ්‍ය විටක තම මිතුරකුට පවා උදව් කළ නොහැකිය.එහෙයින් ඒකාබද්ධය එළඹෙන මැතිවරණය තමන් ශක්තිමත් වීමට යොදා ගත යුතුය.
 
සිය රට දේ සිරි සැප දේ !