Saturday, August 27, 2022

රංජන් අධිකරණය සහ අරගලය..

 රංජන් රාමනායක හිරේ ගියේ අධිකරණයට අපහාස කිරීමේ වරදටය. අවුද්දයි මාස 07කට පසු ජනාධිපති සමාව ලබන රංජන්ට නිදහස ලැබෙනවා.

එහෙත් ඒ කොන්දේසි සහිතව නිදහසක්. අධිකරණයට අපහාස වන ආකාරයට තමා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවත් ඊට කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් රංජන් ලිඛිතව තහවුරු කොට තියෙනවා. නැවත එවැනි වරදක් නොකරන බව ද එහි අවධාරණය කරනවා.

කෙසේ වුණත් ඔහුට ලැබී ඇත්තේ ව්‍යවස්ථාවේ 34(1) යටතේ කොන්දේසි සහිත සමාවක්. ඒ අනුව වසර 07ක් ප්‍රජා අයිතිය අහිමියි. මැතිවරණ සඳහා තරඟ කළ නොහැකියි.

රංජන්ට ව්‍යවස්ථාවේ 34(2) යටතේ පූර්ණ නිදහසක් හිමි නොවන්නේ ඔහු රාජ්‍යය නමැති මන්දිය දරා සිටින කුලුනු තුනෙන් එකක් වන අධිකරණය අභියෝගයට ලක් කළ නිසා විය යුතුයි. 

රාජ්‍යය දරා සිටින අනෙක් කුලුනු දෙක වන විධායකය සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පිරිස මෙහිලා ඉතා ම වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති බව මගේ අදහසයි. රාජ්‍ය පැවැත්ම ආරක්ෂා වීමට ද තම කුලුනු මෙන්ම අධිකරණය නමැති කුලුන ද එක සේ වැදගත් බව එම පිරිස අවබෝධ කරගෙන කටයුතු කොට තිබෙනවා.

මෙහිලා මතු වන ගැටලුව පසුගිය සමයේ අධිකරණය නමැති කුලුන මෙම අවබෝධය ඇතිව කටයුතු කළේ ද යන්නයි. එමගින් ලබා දුන් තීන්දු සහ ආදර්ශ කෙතරම් වගකීම් සහගත ද යන්නයි. ඔවුන් තම වගකීම නිසි බරින් වටහා ගෙන අවබෝධ කරගෙන කටයුතු කළේ ද යන්නයි.

පොදු දේපළ විනාශ කළ කල්ලිවලට සිය ගණනින් අධිකරණයේ පෙනී සිටි නීතීඥයින් විනිසුරු තීන්දුවලට සංකේතාත්මකව අනියමින් තර්ජනය කරමින් හැසිරීම කෙතරම් යුක්ති සහගත ද? 

රඹුක්කන පෙට්‍රල් බවුසරයක් පැහැරගෙන ගිනි තබා දැවැන්ත විනාශයක් කිරීමට උත්සාහ කළ අපරාධකාරයින්ට අත්පොලසන් දෙමින් ප්‍රචණ්ඩත්වය හිංසනය වීරත්වයට ඔසවා තැබූ එම පිරිස වගකීම් සහගත ලෙස හැසිරුණේ යැයි අපට කිවහැකිද? 

අනතුරුව ජනතාවට නීතියට අතට ගෙන ම්ලේච්ඡ ⁣ගෝත්‍රිකයින් සේ ගෙවල් ගිනි තබමින් මිනී මරමින් රාජ්‍ය දේපළ වනසමින් ඒවා තම සන්තකයට ගනිමින් කටයුතු කරන්නට අවශ්‍ය මානසික උත්තේජනය දුන්නේ එමගින් නොවේද? එහි දී නීතීඥ සංගමය කටයුතු කළ ආකාරය නිවැරදිද?

රඹුක්කන විනාශය වළකා ගන්නට බලය පාවිච්චි කළ පොලිස් නිලධාරීන් සිරගත කර රටේ ආරක්ෂක අංශවලට ද මැර කල්ලිවලට ද ලබා දුන් පණිවිඩය කුමක් ද? 

ජනාධිපති මැදුර, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලා ගත් ෆැසිස්ට්වාදීන් පාර්ලිමේන්තුව ද සිය ග්‍රහණයට ගත්තේ නම් විධායක සහ ව්‍යවස්ථාදායක කුලුනු කඩා වැටෙන රටක අධිකරණය පමණක් සුරක්ෂිතව පවතිනු ඇතැයි එම පිරිස සිතන්නේ ද?

අධිකරණය සහ එය නියෝජනය කරන පිරිස සමස්ත රාජ්‍යය සහ එහි පැවැත්ම ගැන මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතුව තියෙනවා. රාජ්‍ය නමැති මන්දිරය දරා සිටින කුලුනු දෙකක් දුර්වල වන විට අධිකරණ කුලුනට පමණක් එහි ආරක්ෂාව තහවුරු කළ නොහැකියි. එවැනි රටක අධිකරණයට පැවැත්මක් නෑ.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාව තහවුරු වෙන්න නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය ආරක්ෂා විය යුතුයි. රාජ්‍යයක පැවැත්මට ඒ කුලුනු තුනම එක සේ වැදගත්. ෆැසිස්ට්වාදය රජයන රටක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන සියල්ල ෆැසිස්ට්වාදය තමයි.

මේක අපි ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු වැදගත් කාරණයක්. සියල්ලට වඩා රාජ්‍යය උත්තරීතරයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කුලුනු තමන් ද ආරක්ෂා වෙමින් අනෙක් කුලුනු ද ආරක්ෂා කරමින් රාජ්‍යය ආරක්ෂා කළ යුතුයි. රාජ්‍ය නැති වුණ දවසට ඒ කුලුනු හිස් වචන විතරයි.

Monday, August 8, 2022

වාසුගේ IMF කතා....!

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අනුබල දීම වසළ වැඩකැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා තිබේ. එහි අනෙක් පැත්ත නම් IMF නොයා විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ අර්බුදය ජය ගැනීම විශිෂ්ට බවය. 

වාසුදේව නානායක්කාර ඇමැති ධූරයක් දැරූ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ අගමැති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය ආණ්ඩුව උත්සාහ කළේ IMF නොයා ණය වාරික ද ගෙවමින් අපේ ආනයන සීමා කර අපනයන වර්ධනය කර දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් මෙම ආර්ථික අර්බුදය ජයගැනීමටය. 

එකල ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ආර්ථික විශේෂඥයින් පැවසුවේ IMF සහයෝගය ලබා ගැනීමට වහා කටයුතු කළ බවය. ආණ්ඩුවේ ම පිරිසක් ද සිටියේ මෙම මතයේය. උදය ගම්මන්පිල පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශ කළේ ණය ගෙවීම් නවතා දමා ගෑස් ඉන්ධන ඖෂධ ආදී ජනතා මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවය.

විමල් වීරවංශ නිතර ම ඉන්දු ඇමරිකානු මූලෝපායික උගුලක රට සිර කළ බවට චෝදනා කරන බැසිල් රාජපක්ෂ එකල IMF යාමට දැඩි ලෙස එරෙහි වූ අතර තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමේ වගකීම තමා භාරගන්නා බවත් කැබිනට් හමුවේ දී අවධාරණය කළ බව එකල මාධ්‍ය වාර්තා කළේය.

එදා IMF නොයා අර්බුදයෙන් ගොඩ එන්නට සටන් කළ ආණ්ඩුව ගෙදර යවන්නට විමල් උදය සමග සටන් කළ වාසු, IMF නොයාමේ මතවාදය දරන පිරිස රාජ්‍ය පාලන කේන්ද්‍රයේ සිට පරිධියට ඇද දැමීමට සම්මාදම් වූ වාසු, එදා ඇමැතිවරයෙකු ලෙස IMF නොයා යුතුය යන මතවාදය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකළ වාසු, IMF දොරකඩට රට දක්කා ගෙන එන්නට දැන හෝ නොදැන ප්‍රබල ලෙස දායක වූ වාසු මෙදා IMF යාමට එරෙහි වීම කෙතරම් තාර්කික ද? කෙතරම් සදාචාරාත්මක ද? සැබවින් ම IMF යාම වසළ ක්‍රියාවක් නම් එතැනට රට තල්ලු කළ වාසු අංක එකේ වසළයෙකි.

IMF යාම නිසා වාසුලා නඩත්තු කරන වාමාංශික මතවාද මගින් මෙතෙක්  පවත්වා ගෙන ආ සුභ සාධන රාජ්‍යය අභියෝගයට ලක්වනු ඇත. රාජ්‍ය නම් අම්මා දුප්පත් කර මහ මග හිඟමනට ඇද දමා ඇගේ දරුවන්ට සුඛෝපභෝගී ජීවිත ලබා දෙන එම රාජ්‍ය ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යා යුතු නැත. 

වෘත්තීය සමිති මාෆියාව මගින් ප්‍රාණ ඇපයට ගෙන දිගින් දිගට ම පාඩු ලබන ඒ පාඩු ලබන අතරත් ඒවායේ සේවකයින්ට බොරු අතිකාල, බෝනස් දෙමින් ජනතාව මත බර පටවන කිසිදු රාජ්‍ය ආයතනයක් තව දුරටත් ජනතා බදු මුදලින් පවත්වා ගෙන නොයන තැනට IMF මගින් හෝ තිත තැබේ නම් එය ජනතාවට යහපතකි.

රටේ ම 3%ක ඡන්ද පදනමක් සහිත වෛරී වාමාංශික වෘත්තීය සමිති මාෆියාව රජයන රාජ්‍ය ආයතන මගින් බලශක්ති සුරක්ෂිතතාව සෙවීම විහිළුවක් බව පසුගියදා විදුලිබල මණ්ඩල මාෆියාව මුළු රටේ ම විදුලිය විසන්ධි කර ජල බලාගාර අක්‍රීය කර විදුලිය නොනිපදවා සොරොවි හැර ජලය නිකරුණේ කුඹුරට යැවීමෙන් තහවුරු කර ඇත. 

රටට ජනතාවට දරාගත නොහැකි ආර්ථික අවපාතයක වැටී සිටින මොහොතක එවැනි ම්ලේච්ඡ හැසිරීමක් ප්‍රකට කළ වෘත්තීය සමිති මාෆියාව, තමන්ට වඩා අසීරු මොහොතේ රටට තෙල් ටික දුන් ලංකා IOC කෙතරම් හොඳද යන තැනට මතයක් සමාජගත කළ බව නොරහසකි.

IMF යාමට එරෙහි කණ්ඩායම රාජ්‍ය පාලනයෙන් පළවා හැර IMF යාම විසඳුම ලෙස පිළිගන්නා කණ්ඩායම බලයට පත් කර IMF යාම හැර විකල්පයක් නොමැති තැනට රට තල්ලු කර දමා අවසානයේ ඊට එරෙහි වන බංකොලොත් තැනට ඇද වැටීම වාසුදේව යල්පැන ගිය සමාජවාදයේ පමණක් නොව පසුගිය කාලයේ සිදු කළ පාප මිත්‍ර සේවනයේ ද අවසාන ප්‍රතිඵලයයි.

Thursday, August 4, 2022

රෙජිම් චේන්ජ් සැලසුම සහ ගෝඨාභය...

විමල් වීරවංශ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් අනාවරණය කළේ, අරගලය හමුවේ ඉල්ලා අස්වීමට සූදානම් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එවක අගමැති රනිල් වික්‍රමසිංහ ද ඉවත් කර ඉල්ලා අස්වන ලෙස ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් බල කළ බවය. 

විමල් ඊට පෙර ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය අවු. 05ක ධූර කාලය නිමාකර සිය දරු මුනුබුරන් සමග ජීවත් වන්නට ඇමරිකාව බලා යාමේ අපේක්ෂාවෙන් ඇමරිකාව අසතුටු නොවන ආකාරයට කටයුතු කළ බවයි. එහෙත් ජනාධිපති ධූරය පමණක් නොව සිය ජීවිතය ද බරපතළ අවධානමක පවතින අවස්ථාවක ඇමරිකාවේ නැතහොත් ජූලි චන්ග්ගේ උවමනාව අනුව කටයුතු කර ඇමරිකාව අසතුටු නොකර ඉන්නට ගෝඨාභය කටයුතු කර නැති බව විමල්ගේ ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එපමණක් නොව විමල් එක ම වැඩසටහනේ කරන ප්‍රකාශයක් ඔහු විසින් ම අනතුරුව නිෂේධනය කරයි.

අනෙක් අතට විමල් ප්‍රකාශ කරන ආකාරයේ දෙයක් සිදුවී නම් තමන්ට ඇමරිකානු සරණාගතභාවය ලබා දෙන්නේ නම් රනිල් ඉවත් කරන බවට කොන්දේසියක් දමා ගෝඨාභයට ඇමරිකාවට යාමට අවස්ථාවක් ලබා ගැනීමට ද එහි අවස්ථාවක් තිබිණි. එහෙත් තමා යාමට අපේක්ෂා කළ සියලු ම රටවල් තමා ප්‍රතික්ෂේප කරන පසුබිමක පවා ගෝඨාභය ජූලි චන්ග්ගේ ඉල්ලීමට පිටුපා ඇත.

කොටින් ම සිය ද්විත්ව පුරවැසිභාවය ද අහිමි කරගෙන මේ රටට සේවය කිරීමේ අවංක අභිලාෂයෙන් කටයුතු කළ ගෝඨාභය අවසාන මොහොතේ පවා ඇමරිකානු අපේක්ෂාව අනුව රනිල් ඉවත් කිරීමට කටයුතු කර නැත. 

අනෙක් අතට විමල් අනාවරණය කළ මෙම කරුණ මගින් හෙළි වන වඩාත් වැදගත් කාරණය ඇමරිකාව හෝ බටහිර රනිල් තව දුරටත් සිය නියෝජිතයා ලෙස නොසලකන බවය. නොඑසේ නම් රනිල් ඉවත් කර ඉල්ලා අස්වන්නැයි ඇමරිකාව ගෝඨාභයගෙන් ඉල්ලන්නේ නැත. ගෝඨා ඉවත් වූ වහා ජනාධිපති වන්නේ රනිල් බව ඔවුන් නොදැන සිටියා නොවේ.

ඇමරිකානු ඉල්ලීම අනුව රනිල් ඉවත් කළේ නම් එකල අරාජිකව පැවැති රට නැවත යථා තත්ත්වය⁣ට ගෙන ඒම සිහිනයක් වනු ඇත. කතානායක මහින්ද යාපා ජනාධිපති ධූරයට පත්ව පිස්සු කෙළින අතර රට තුළ සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය කිරීම ඇමරිකාවේ ඊළඟ සැලසුම වන්නට ඇත. ඔවුන්ගේ අරමුණ එමගින් අපේ රට අස්ථාවර කිරීම පමණක් නොව එම අර්බුදයට හේතුව චීන ආයෝජන බවට ප්‍රවාදයක් ගොඩනඟමින් චීනයට පහර දීම ද බව අප අමතක කළ යුතු නැත. එහෙත් ගෝඨාභය නිසා එය වැළකිනි. ඊට හිමි ගෞරවය ඔහුට ලබා දීමට අප කෘතඥ විය යුතුය.

අනතුරුව පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරණය සඳහා ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වූ අතර සුමන්දිරන්, සම්බන්ධන්, මනෝ ගනේෂන්, රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, තානාපති කාර්යාල, පෙරටුගාමී ඇතුළු අරගල නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, සජබ ආදී සියලු පාර්ශ්ව ඩලස් දිනවීමට පෙරමුණ ගත්තේය. 

ජවිපෙ 2015 මහින්දට දෙන්න එපා කියමින් මෛත්‍රීට කැම්පේන් කළ විදිහට ම මෙදා රනිල්ට දෙන්න එපා කියමින් ඩලස්ට කැම්පේන් කළේය. රනිල්⁣ට ඡන්දය දී ගමට එන්න එපා යැයි පෙරටුගාමී මැරයින් වෙනම බියගැන්වීමේ මානසික මෙහෙයුමක් දියත් කළේය.

රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට මෙලෙස බටහිර සිය උපරිම බලය යොදන බව දැන දැන ම විමල් වීරංශ ද ඩලස් ජනාධිපති කරලීමට දරදිය ඇද්දේය. එය කැලණි වැන්දා සේ සියලු පව් කමා කරවන මහානිශංස පිංකමක් බව ද පැවසුවේය.

ඒ අනුව බලන විට විමල් උත්සාහ කර ඇත්තේ ද රනිල් පන්නා ඩලස් නම් රූකඩය ජනපති කොට, ජූලි චන්ග්ල සිදුකළ ⁣රෙජිම් චේන්ග් එක පරිසමාප්ත කරලීමටය. එහි අවසාන කොටස තරණය කිරීමට මුක්කු ගැසීමටය. එය මට නම් සුළුපටු වරදක් නොවේ. පාස්කු ප්‍රහාරය එල්ල වන බව දැන දැන ම එය වළක්වා ගැනීමට කටයුතු නොකළ අපරාධය වැන්නකි. නැතහොත් ඊට වඩා බරපතළ වරදකි.

එදා සියලු බලවේග එක මිටට ගොනු වී කළ කුමන්ත්‍රණය පරාජය කිරීමට පොහොට්ටු මන්ත්‍රී පිරිස මහා අවධානමක් ගෙන කටයුතු නොකළේ නම් අද රට සම්පූර්ණයෙන් මෙහෙය වන්නේ බටහිර විසින් තෝරාපත් කළ ඩලස් විසිනි. එසේ නම් අපේ රට සියලු බටහිර අවශ්‍යතා ඉටුකරගන්නා ගොදුරු බිම් බවට පත්වනු නොඅනුමානය. විමල් දැන හෝ නොදැන ඒ අවස්ථාවේ ඉටු කළේ ඇමරිකානු අවශ්‍යතාව හැර වෙන යමක් දැයි ඔහුගේ ම මෙම ප්‍රකාශ දෙක ඇසුරින් නුවණින් විමසා බැලීම වටී. 



 
සිය රට දේ සිරි සැප දේ !