Wednesday, February 16, 2022

අධිභාර බද්ද ගැන බොරු කියන්නේ කවුද?

වාර්ෂිකව රු. බිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායම් උපයන විශාල සමාගම් හෝ පුද්ගලයන් හෝ සඳහා එක වරක් සඳහා පමණක් අයක කරන වූ 25%ක අධිභාර බද්දක් 2022 අයවැය මගින් යෝජනා කර සම්මත කර ගැනිණි.

මෙම බද්දට සේවක අර්ථ සාධක අරමුදල (ETF) සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල (EPF) ද යටත් වන බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළේ ය. විවිධ සිවිල් සංවිධාන ඊට එරෙහිව නිවේදන ද නිකුත් කර තිබිණි. 

ETF සහ EPF ඇතුළු සමාජ අරමුදල් සමාගම් යටතට පත්වන ආකාරයට 2017 වසරේ සමාගම් පනත සංශෝධනය කළ ආණ්ඩුව නියෝජනය කළ වර්තමාන සමගි ජන බලවේග කණ්ඩායම ද එම ආණ්ඩුවේ මුර බල්ලා රාජකාරිය අකුරට ම ඉටු කළ ජඩතා විමුක්ති පෙරමුණ ද මැරී උපන් කණ්ඩායමක් මෙන් මෙම විරෝධතාවෙහි පෙරමුණේ ගමන් කළෝය. 

මෙම කණ්ඩායමට 2017 වසරේ අදාළ සංශෝධනයට එරෙහි නොවූවා පමණක් නොව ඊට පක්ෂව ඡන්දය භාවිත කළ පිරිස ද අයත් වෙයි. එසේ ම ආණ්ඩුවේ ම ඊට එරෙහි වන පිරිස ද එදා ඒ ගැන කතා කළ වගක් අපට මතක නැත. සමහර විට එය රහසේ කළ සංශෝධනයක් ද විය හැකි ය.

කෙසේ වුව ද මුදල් අමාත්‍යවරයා පසුගියදා කැබිනට් හමුවට ප්‍රකාශ ඇත්තේ ETF සහ EPF ඇතුළු සමාජ ආරක්ෂණ අරමුදල් 09ක් මෙම බද්ද සඳහා ඇතුළත් නොවන බවත් එය පෙර කී ඉහළ ආදායම් ලබන සමාගම් සහ පුද්ගලයින් 69ක් හඳුනා ගෙන යෝජනා කළ බවත් ය. මෙම බද්ද මගින් රු. බිලියන 105ක ආදායමක් අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ බව සිරස වාර්තා කර තිබිණි.

මේ අතර ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මුදල් අමාත්‍යවරයා ETF සහ EPF අරමුදල් වෙත ද අදාළ බද්ද පැනවීම සඳහා උත්සාහ කළ බවත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරු පිරිසකගේ විරෝධය මත ඔහුට අඩියක් පස්සට තබා අදාළ අරමුදල් නිදහස් කිරීමට සිදු වූ බවත් ය. ETF සහ EPF අරමුදල් සමාගම් ලෙස නාමකරණය කරමින් සමාගම් පනත සංශෝධනය කළ විපක්ෂය පවසන්නේ තමන්ගේ විරෝධය නිසා ආණ්ඩුව පසුබැස්ස බව ය.

මේ ඇතැම් කතා සත්‍යයට වඩා තමන් කියන්නට කැමති, තමන් අසන්නට කැමැති, තමන් ප්‍රචාරය කරන්නට කැමැති කතා බව මගේ විශ්වාසයයි. එසේ ම මේ සියලු කතා සත්‍ය විය නොහැකි ය. එකක් ඇත්ත නම් අනෙක බොරු විය යුතුම ය. සමහර කතා ඇසෙන විට මතක් වන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ හීන්සැරය කතාවේ "මේවා මගෙයි අලි හාමිගෙයි වැඩ" තමා යන කටුසු හාමිගේ කතාවයි.

අපට සැබවින් ම අවශ්‍ය සත්‍ය දැන ගැනීමට නම් කළ යුත්තේ මේ කතාවල නතර නොවී ඉන් ඔබ්බට ගමන් කිරීමය. එය එතරම් අමාරු වැඩක් ද නොවේ. 2022 අයවැය යෝජනාවලියේ මෙම අධිභාර බද්ද මගින් අපේක්ෂිත බදු ආදායම කෙතරම් දැයි සොයා බලන්න. එම අපේක්ෂිත බදු මුදල, ETF සහ EPF අරමුදල් සඳහා පනවන්නේ නැතිව පෙර සඳහන් කළ පුද්ගලයින් 69 දෙනාගෙන් අයකර ගත හැකි දැයි බලන්න. 

මුදල් ඇමැතිවරයා ම පසුව මාධ්‍ය වෙත සඳහන් කළ පරිදි එම අධිභාර බද්දෙන් අපේක්ෂිත ආදායම රු. බිලියන 105 නම් එම බද්ද අදාළ අරමුදල් දෙකට නොපනවා ඔහු හඳුනා ගත් සමාගම් සහ පුද්ගලයින් 69 දෙනාගෙන් අයකරගත හැකි නම් ඔහු පවසා ඇත්තේ ඇත්තකි. එහෙත් එම රු. බිලියන 105ක බදු ආදායම එකතු කර ගැනීම සඳහා එම සමාගම් සහ පුද්ගයින් 69 දෙනාගේ බදු මුදල ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා ETF සහ EPF වෙත ද බදු පැනවීම කළ යුතු නම් මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ බොරුවකි.

මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ ඇත්ත නම් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් ආණ්ඩුවේ සියලු හොඳ තමන්ගේ ද සියලු වැරදි අනෙකා ද පිට පටවමින් පිරිසක් කටයුතු කරන බව අපට අකමැත්තෙන් වුව ද පිළිගැනීමට සිදුවෙයි. එහි දී තම ආස්ථානය වැරදි නිසා යම් අපහසුතාවක් ඇති වුව ද සත්‍යයට මුහුණ දීමට තරම් අප අවංක විය යුතුය. එසේ ම මුදල් ඇමැතිවරයා පිළිබඳ මෙම කණ්ඩායම පතුරුවා හරින අනෙක් සියලු කතා ද මෙවැනි බව කෙතරම් තිත්ත වුව ද පිළිගැනීම හැර විකල්පයක් නැත.

එසේ ම මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ බොරු නම් අදාළ ඇමැති පිරිස සිය වගකීම ඉටු කර ඇතැයි ද කැබිනට්ටුව තුළ හොඳ දේට පක්ෂ වෙමින් වැරදි දේට එරෙහි වී ඇතැයි ද සියලු දෙනා තම දේශපාලන රුචි අරුචිකම් පසෙක තබා අමාරුවෙන් වුව ද පිළිගත යුතු ය. මුදල් ඇමැති බැසිල්ගේ සෙසු දේශපාලන වැඩ ද මෙවැනි අතිශය ප්‍රෝඩාකාරී කටයුතු බව පිළිගැනීම හැර විකල්පයක් නැත.

එසේ ම වර්තමාන විපක්ෂ කණ්ඩායම තමන් ආණ්ඩුව කරන විට තමන් ම අත උස්සා සම්මත කරන අණ පනත් පවා විපක්ෂයට පැමිණි විට වැරදි බව පිළිගෙන ඊට එරෙහි වන තරම් දුර්වලයින් පිරිසක් බව අවබෝධ කරගත යුතු ය. ඔවුන් සැබවින් ම මේ රටේ ආණ්ඩු බලය දැරීමට නොව විපක්ෂ බලය දැරීමට පවා නොහොබිනා කොටසකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !