Sunday, February 13, 2022

වර්ජකයින්ට ජනතාවට දෂ්ට කිරීමට ඉඩදිය යුතු ද?

රෝහල් වැඩ වර්ජන කල්ලිය මේ වන විට ඔවුන්ට පඩි ගෙවන මේ රටේ ජනතාව පිටුපස එළව එළවා දෂ්ට කරමින් සිය ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ඇත. කොවිඩ් නිසා ඇද වැටුණු රටේ අනේක අගහිඟකම්වලින් පීඬා විඳින ජනතාව රෝහලට යන විට එතැත වැඩ වර්ජනයකි. වරෙක වෛද්‍යවරුය. තව වරෙක සුළු සේවකයෝ ය. තව වරෙක හෙදියෝ ය. අනතුරුව පරිපූරක සේවා ය. 

මෙලෙස වර්ජනය කරමින්, මාර්ග වසමින් විරෝධතා කරමින් කවර ජවුසමක් නැටුව ද සිය රැකියාවේ වගකීම ඉටු නොකර මහ ජනතාවට කෙතරම් විනාශයක් කළ ද මේ නරුම කල්ලියට මාසය අවසානයේ නියමිත පරිදි මහ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් පඩි ලෙස ගෙවති. රාජ්‍ය සේවය නිසා ලොව කිසිදු රටක ජනතාවක් මෙවැනි අසරණ ඉරණමකට ගොදුරු කර නැත.

74 වසරක් තිස්සේ මේ රට විනාශ වීමට එක් ප්‍රධානතම හේතුව පාලකයින් යැයි කිවව් ද සැබෑවට ම මේ රට වනසන්නේ ම්ලේච්ඡ වර්ජන පිටුපස සිටින දේශපාලන කල්ලියයි. රටේ ජනතාවගේ මුදල් ගිලින රාජ්‍ය සේවයයි. එම රාජ්‍ය සේවය පුරවන පාලකයින් මෙන් ම පිංපඩි රාජ්‍ය සේවකයෝ ද ඊට වගකිව යුතුය. මේ රටේ රාජ්‍ය සේවකයින් ලබන බොහෝ වරප්‍රසාද පෞද්ගලික අංශයට නැත. 

එහෙත් පෞද්ගලික අංශය මෙලෙස වර්ජනය කරන්නේ නැත. පාරවල් වසාගෙන උද්ඝෝෂණ කරන්නේ ද නැත. වැඩි පඩි ඉල්ලා ආයතනවල වැඩ නතර කරන්නේ ද නැත. ඔවුන්ට විශ්‍රාම වැටුප් ඇත්තේ ද නැත. කොටින් ම රාජ්‍ය අංශය ලබන බොහෝ වරප්‍රසාද ඔවුන්ට නැත. එහෙත් ආණ්ඩුව ද රු. 5000 බැගින් බෙදා දුන්නේ රාජ්‍ය අංශයටය. නමුත් මේ රටේ සමස්ත නිෂ්පාදනයෙන් 80%ක් සිදුවන්නේ පෞද්ගලික අංශය අතිනි. රාජ්‍ය සේවයේ දායකත්වය 20%කි. සමස්ත ආර්ථිකයට 20%ක දායකත්වයක් ලබා දෙන පිරිසක් නඩත්තු කිරීමට මේ රටේ ජනතාවට අපා දුක් විඳීමට සිදුව ඇත.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ජනතාව විශ්වාසය තැබුවේ මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කිරීමටය. එහෙයින් ඔහු දැන් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය. පළමුව මේ රටේ වර්ජකයින්ට පඩි ලැබෙන ආකාරයට වෙනස් කර ඇති නීතිය වහාම සංශෝධනය කර වර්ජනය කරන, මහජන සේවය ප්‍රතික්ෂේප කරන කිසිවෙකුට මහජන බදු මුදලින් වැටුප් නොලැබෙන ආකාරයට නව නීති සම්පාදනය කළ යුතුය. ලොව කිසිදු රටක නොමැති වර්ජකයින්ට පඩි ගෙවන ම්ලේච්ඡ නීතිය වෙනස් කළේ නම් මේ වර්ජන කල්ලිය සෑහෙන අඩපණ කළ හැකි ය. 

එසේ ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල මෙන් කිසිදා වර්ජනය නොකරන මහජන සේවය අකුරට ම ඉටු කරන නව රෝහල් පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ සියලු දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කළ යුතු ය. එමගින් ජනතාවට වඩා විනීත ආචාරශීලී සේවයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. වර්ජන ත්‍රස්තවාදීන් කිසියම් හේතුවක් මත වර්ජනයක් දියත් කළ ද එවිට සිදුවන මහජන පීඬාව අවම කරගත හැකි ය. සිය වර්ජන කේවල් කිරීමේ හැකියාව අහිමි වන හෙයින් එවැනි ව්‍යාපෘතියක් සඳහා වෘත්තීය සමිති මාෆියාව සෞඛ්‍ය සේවය හමුදාකරණය කරන්නේ යැයි කිඹුල් කඳුලු සලා ගෙන එරෙහි වනු ඇති අතර ඊට කිසිසේත් හිස නොනැමිය යුතුය.

එසේ ම රජයේ රෝහල්වල ආරක්ෂක සේවා සහ ආපනශාලා මෙන් ෆාමසි, පවිත්‍රතා සහ රසායනාගාර පහසුකම් ආදිය පෞද්ගලික අංශයට ලබා දිය යුතුය. එවිට එන එන ආණ්ඩුවලට එන එන සෞඛ්‍ය ඇමැතිට අවශ්‍ය ආකාරයට සිය හෙන්චයියන් ගෙනැවිත් මෙම ආයතනවල පිංපඩි කන රස්සා දීමේ අවස්ථාව ඇහිරෙනු ඇත. එවිට කිසි ම විටක ෆාමසි, පවිත්‍රතා සහ රසායනාගාර සේවා ආදිය වර්ජනය කරමින් ජනතාව පීඩාවට පත්කළ නොහැකි වනු ඇත. කිසිදු රජයේ රෝහලක ආපනශාලාවක් හෝ ආරක්ෂක සේවාවක් වර්ජනය කළේ යැයි අප අසා නැත. ඒ අදාළ ක්ෂේත්‍ර දෙක ම පෞද්ගලික අංශයට ලබා දී ඇති හෙයිනි.

ජනාධිපතිවරයා සිය ජන වරමට යුක්තිය ඉටු කිරීමට මේ සඳහා පෙරමුණු ගත යුතු අතර මෙම වෙනස්කම් කිරීමට ජනතාව ද ජනාධිපතිවරයාට බලකළ යුතුය. මේ මහා අසාධාරණයට එරෙහිව ජනතාව දැන්වත් නැඟී සිටිය යුතුය. මහ ජනතාවගේ බදු මුදලින් පඩි ලබමින් ඒ ජනතාව ම පෙරළා තළා පෙළා දමන තක්කඩින්ගේ ඊනියා කම්කරු අයිතිවාසිකම්වලට වඩා ඉහළින් ඒ කල්ලියට පඩි ගෙවමින් ඔවුන්ගේ පවුල් නඩත්තු කරන ජනතාවගේ අයිතිවාසිකම් තැබීම වෙනුවෙන් සමාජ මතයක් නිර්මාණය කළ යුතු ය.

නාමල් උඩලමත්ත

1 comment:

ජසොන් said...

න්‍රර්ස් ගණයාවයි සිව්පාදෙණියවයි ෆොර්ම් කරලා මේ ජාතියෙ වර්ජන කරන්න ඉගැන්නුවේ මහින්දලා තමයි

 
සිය රට දේ සිරි සැප දේ !