Tuesday, February 1, 2022

වැඩ වර්ජන තහනමට එරෙහි විය යුතු ද?

රේගුව, වරාය, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ආදිය රටේ ආර්ථික මර්මස්ථාන වර්ජනයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවත් ඒවා හමුදාව පොලිසිය මෙන් ව්‍යවස්ථාව මගින් ම වර්ජනය කළ නොහැකි ආකාරයට නීති සම්පාදනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි පසුගියදා ප්‍රකාශ කළේ ය.

වැඩවර්ජනය කිරීම කම්කරු අයිතියක් බවත් එම අයිතිය උදුරා ගැනීමට කටයුතු කිරීමට සූදානම් වුවහොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැගෙන පාරට බසින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තර්ජනාංගුලිය දිගු කළේ ඉන් අනතුරුව ය.

රටේ ජනතාව කන බත් ඇටයක් ගාණේ බදු ගෙවමින් නඩත්තු කරන රාජ්‍ය සේවය එම ජනතාවගේ අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් එම ජනතාව කබළෙන් ළිපට ඇද දමන්නේ නම් එම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක වගකීම ඊනියා කම්කරු අයිතීන් රැක ගැනීම ද නො එසේ නම් සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම ද යන්න අප මෙහි දී සලකා බැලිය යුතු ය.

කිසියම් ඉල්ලීමක් දිනා ගැනීම සඳහා භාවිත කළ යුතු අවසාන අවිය වැඩවර්ජනය වුව ද අද මේ රටේ රාජ්‍ය සේවකයින් ඕනෑ ම ගැටලුවක් සඳහා විසඳුම් සොයන්නේ වැඩවර්ජනයක යෙදෙමිනි. ලොව කිසි ම රටක සේවකයෙකුට නොමැති වැඩවර්ජන කාලය තුළ වැටුප් ලබන සාපරාධී අයිතියට ද හිමිකම් කියන මෙරට රාජ්‍ය සේවය සෑම දිනක ම වර්ජන දියත් කරන්නේ එය සිය රාජකාරිය ලෙස සලකන්නාක් මෙනි.

පසුගිය සමයේ මොවුන් දියත් කළ සියලු ම වැඩවර්ජන මේ රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොව සිය පෞද්ගලික අරමුණු මුදුන් පුමුණුවා ගැනීම වෙනුවෙනි. කොවිඩ් වසංගතය නිසා රටත් ජනතාවත් දැඩි අසීරු අඩියක පසුවන අවස්ථාවක ගුරුවරු වර්ජනය කළේ ජනතාවට තවත් බදු ගසා අපේ පඩි වැඩිකරපල්ලා කියමිනි. මේ නිසා කොවිඩ්වලින් බැටකෑ දරුවන්ගේ අධ්‍යාපනයට රටේ අනාගත ශ්‍රම බලකායට කෙතරම් විනාශයක් වූයේ ද? 

පසුගියදා කුරුණෑගල රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය කළේ කිසිවෙකු වෛද්‍යවරයෙකුට පහර දුන් බව පවසමිනි. මේ කල්ලිය කොළඹ නුවර මාර්ගය ද වසා ගෙන දියත් කළ විරෝධතාවට මගී ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය. 

මහජන බදු මුදලින් වැටුප් ලබමින් මොවුන් සිදුකළ මේ සාපරාධී ක්‍රියාව නිසා එදින බෙහෙත් ගැනීමට පැමිණි, මොවුන්ට පඩි ගෙවන සිය දහස් ගණනක් රෝගීන් අසරණ විය. ඇතැමෙකු බෙහෙත් නොමැති නිසා මියැදෙන්නට ද ඇත. තවත් දහස් ගණනක් මහ මග රස්තියාදු විය. මොවුන්ගේ ඊනියා අයිතිවාසිකම් රකිනවාද? නැත්නම් ජනතාවගේ අයිතිය රකිනවා ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය.

සති ගණනක් වැයකර යථා තත්ත්වයට පත්කළ නොරෙච්චෝලේ  අංක 03 ටරබයිනය නැවත පැය ගණනක් තුළ ඊයේ අක්‍රීය වී ඇති අතර මෙම ටර්බයිනය අක්‍රීය වීමට හේතුව පසුගිය දෙසැම්බර් 03 වෙනිදා හදිසි විදුලි බිඳ දැමීමක් සඳහා එහි අපරාධකාරයින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා බව වාර්තා වෙයි. 

මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙ.වො. 270ක් අහිමි වී ඇති අතර ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් එය නැවත ප්‍රතිසංස්කරණයට සහ වැඩි මිල ඩීසල් විදුලි බලාගාර සඳහා දැවී යයි. මේ අපරාධ කල්ලිවලට අයිතීන් ලබා දෙන්නේ ද නොඑසේ නම් මොවුන් ගාලු මුවදොර පණ යන තුරු එල්ලා තබන්නේ ද යන්න අප තීන්දු කළ යුතුය.

තමන් අකමැති දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කළේ යැයි කියමින් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය පසුගියදා වර්ජනයක් ආරම්භ කළ අතර දුරගමන් දුම්රිය ජනතාව සමග කැලෑවල අතහැර මේ නරුමයින් දුම්රියෙන් බැස ගොස් තිබිණි. විදෙස් සංචාරකයින් ද දරු මල්ලන් අතින් කටින් එල්ලා ගත් ජනතාව ද කැලෑ කඩා ගෙන පිළිසරණක් සොයා එන ආකාරය දක්නට ලැබිණි. 

දුම්රිය මගී ජනතාව ඇතුළු මේ රටේ ජනතාවගේ බදු මුදලින් පඩි ලබන දුම්රිය රියදුරු කල්ලිය සිය ඊනියා අයිතිවාසිකම් වෙනුවෙන් අර ජනතාව මහ මග අතහැර දමා යන්නේ රාජ්‍ය සේවකයින් ලෙස නොව ත්‍රස්තවාදීන් ලෙස ය. පාස්කු ප්‍රහාරය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත පණ ලබන විට ම එම සංචාරක පිරිස බල්ලන් බලලුන් මෙන් කැලෑවක අතරමං කරන රටක් පිළිබඳ ඔවුන් ලෝකයට ලබා දෙන පණිවිඩය කුමක් ද?

මේ කිසිදු අවස්ථාවක මොවුන් වර්ජන කැඳවන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නොව සිය පටු පෞද්ගලික ආත්මාර්ථය උදෙසා ය. ඒ සඳහා බිල්ලට ගන්නේ ඔවුන්ට ලක්ෂ ගණනින් පඩි ගෙවන මේ රටේ පොදු මහ ජනතාව ය. රාජ්‍ය සේවයට වැටුප් ගෙවමින් නඩත්තු කරන මේ ජනතාවගේ අයිතිවාසිකම් ඊනියා කම්කරු අයිතිවාසිකම්වලට වඩා ගව් ගණනක් උඩින් තිබිය යුතුය. 

ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආණ්ඩුවක මූලික වගකීමය. ඒ අයිතිවාසිකම් කඩකරන ඕනෑ ම එකෙකුට එරෙහිව ආණ්ඩුව නැඟී සිටිය යුතු ය. ඒ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන කල්ලියේ අයිතිය රකින්නට පෙරට එන කල දුටු කල වළ ඉහින මෝඩ පුතාණන්ගේ තරම මේ රටේ ජනතාව තේරුම්ගත යුතුය. 

එහෙයින් සබ්‍රි සඳහන් කළ ක්ෂේත්‍ර මෙන් ම සෞඛ්‍යය, ප්‍රවාහන ආදී අංශ ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කර එම ක්ෂේත්‍රවල කිසිදු වැඩවර්ජනයක් දියත් කළ නොහැකි ආකාරයට ව්‍යවස්ථාවට නීති සම්පාදනය කළ යුතු ය. ඊට අකමැති ඕනෑ ම අයකුට මහ ජනතාව වැටුප් ගෙවමින් නඩත්තු කරන එම රැකියාවලින් ඉවත්ව තමන් කැමති රස්සාවක් කරකියා ගැනීමට කිසිදු තහනමක් නැත.

නාමල් උඩලමත්ත

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !