Wednesday, February 2, 2022

රාගමින් එළියට පනින නවක වධ ත්‍රස්තවාදය...

රාගම වෛද්‍ය පීඨ ගැටුම සඳහා මූලික වී ඇත්තේ නවක වධ සිද්ධියක් බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් නොදියුණු ගෝත්‍රික ම්ලේච්ඡ නවක වධය තුරන් කිරීමට නොහැකි වීම පිළිබඳ අප ජාතියක් ලෙස ලැජ්ජාවට පත්විය යුතුය.

තම පවුල් පසුබිම, පෙනුම ආදිය පදනම් කරගත් හීනමානය සහ ඊනියා සමාජවාදී මාක්ස්වාදී විෂබීජ මනස්ගත වීම නිසා හට ගන්නා වෛරය පදනම් කරගත් තිරිසන් හැඟීම් රිසි සේ පිට කරන තෝතැන්නක් බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත්වීම ඉතා ම අවසානාවන්ත තත්ත්වයකි.

මෙම සිදුවීමට සම්බන්ධ දෙවන වසර සිසුවා නවක වධයට එරෙහි වීම නිසා දිගින් දිගට ම එම ම්ලේච්ඡ හිංසන කණ්ඩායමට ගොදුරක් වී තිබේ. ඔහුට මෙයට පෙර ද ප්‍රහාරයක් එල්ල වුව ද එය මාධ්‍යයට පුවතක් නොවන්නේ ඒ සඳහා ඇමැති සම්බන්ධයක් නොමැති නිසා විකිණිය නොහැකි නිසා විය යුතුය. 

එහෙත් මේ අවස්ථාවේ ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය නිසා මාධ්‍ය එය තලු මරමින් විකුණනු පෙනේ. ඇමැති හෝ ඔහුගේ පාර්ශ්වය යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට තර්කයක් නැත. කෙසේ වුව ද ඊට මුවා වී නවක වධ කණ්ඩායමට සමාජ අනුකම්පාව ලබා ගෙන නීතියෙන් ගැළවී යාමට කිසිසේත් ඉඩදිය යුතු නැත. 

ඊනියා විශ්වවිද්‍යාල සම්ප්‍රදායට මුවා වී සිසුන් හිංසනයට ලක් කිරීමට සහ මානසික රෝගී කල්ලිවලට හිංසන කාම සංතෘප්තිය ලබා දීමට එරෙහිව අප නැගී සිටිය යුතුය. මේ රටේ කිසිදු පිළිගත හැකි ජන පදනමක් නොමැති දේශපාලන මතවාදයක දඩබිම් බවට පත්ව ඇති විශ්වවිද්‍යාල භූමිය එම ම්ලේඡත්වයෙන් මුදා ගනු විනා ඊට තෙල් සාත්තු කිරීමට ඉඩ දිය යුතු නැත. 

අනෙකාගේ වද වේදනාවෙන් සහ හිංසනයට ලක් නොවී ඉගෙන ගැනීමේ අයිතියට පවා ගරු නොකරන මෙම ම්ලේච්ඡ බලවේගවලට රටක දේශපාලන බලය ලැබුණහොත් කුමක් වනු ඇති දැයි බුද්ධිමත් ජනතාව සිතා බැලිය යුතු ය. තමන් සමග එකට උගනින සිසුවෙකුගේ හිසට පරිගණක මොනිටරයකින් පහර දී මරා දමන ත්‍රස්ත මානසිකත්වයක් ගොඩනඟන මෙම කල්ලියකින් රටක සමාජයක අභිවෘද්ධිය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි.

නවක වධ ම්ලේච්ඡත්වයට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කළ යුතු අතර ඊට එකඟ නොවන ඕනෑ ම ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරිය යුතු ය. නවක වධයට පක්ෂපාතී වන අතලොස්සක් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ද ගව ඝාතකාගාර වැනි ඔවුන්ගේ මානසික මට්ටමට ඔබින රැකියා ලබා දිය යුතු ය.

නාමල් උඩලමත්ත..

2 comments:

Unknown said...

සහතික ඇත්ත

jagath said...

Yes totally agree. Isnt our society tribal. It may be the reason that raggine is still there

 
සිය රට දේ සිරි සැප දේ !