Monday, September 27, 2021

වසංගත දෙකක්...

ලංකාව අද දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට හේතුව කොවිඩ් විතරක් නෙමෙයි, 2015 ඉඳල මේ රට ගිලගත් යහපාලන වසංගතයත් එ්කට හේතුවක්. ඇත්තට ම රටේ ආර්ථික වැටෙන්නේ 2015 ඉඳලා.

එතෙක් 7% ඉක්මවා ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටේ ආර්ථික වර්ධනය 2%⁣ට වැටුණේ යහපාලන වසංගත කාලේ. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය වැටුණේ යහපාලන වසංගත කාලේ.

ලෝකය කොවිඩ් එක්ක පළමු වසංගතයට මුහුණ දෙන කොට අපි මුහුණ දෙන්නේ දෙවෙනි වසංගතයට. ලෝකයේ සෙසු රටවල ආර්ථිකය කොවිඩ් නිසා කඩා වැටෙද්දි, ලංකාවේ යහපාලන වසංගතය නිසා කඩා වැටිච්චි ආර්ථිකය තමයි කොවිඩ් නිසා කඩා වැටෙන්නේ. ලෝකය කබලට වැටෙද්දි, අපි වැට්ටේ කබලෙන් ළිපට.

ඒ නිසා බංගලිදේශය හරි වෙන රටක් එක්ක හරි අපේ රට සසඳන්න බෑ. බංගලිදේශයට යහපාලන වසංගතය බෝ වුණේ නෑ. බංගලිදේශය 2016 ඉඳලා 7% ඉක්මවූ ආර්ථික වර්ධනයක් ලබනවා. 2019 එය 8% ඉක්මවනවා. එහෙත් කොවිඩ් එක්ක ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 2020 දී 3.5%ට විතර වැටෙනවා.

කොවිඩ් වසංගතය මැද අපට බංගලිදේශයෙන් ඩොලර් හුවමාරුවකට යන්න වුණේ යහපාලන වෛරසය මේ රටේ ආර්ථිකය කොවිඩ් වසංගතය එන විට විනාශ කරල තිබ්බ නිසයි. 2015 වන විට ලංකාවෙි 8.2ක විදේශ සංචිත තිබුණා. ඒක 2019 වෙද්දි ඩො.බි. 7.6ට පහළ බහිනවා. නමුත් 2015 ඇ.ඩො. බිලියන 27.49ක් වෙච්චි බංගලි විදේශ සංචිත 2019 වෙද්දි ඇ.ඩො.බි. 32.70 දක්වා ඉහළ යනවා.


යහපාලන වසංගත කාලේ මහ බැංකු බැඳුම්කර වංචාව දෙවරක් වෙනවා. කිසි ම වසංගතයක් නැති කාලෙක හම්බන්තොට වරායේ කොටස් 85%ක් අවු. 198කට චීනෙට විකුණා දමනවා. වරායේ සම්පූර්ණ පාලනය චීන සමාගමකට ලැබෙනවා.

එවැනි පසුබිමක යුගදනවි ආයෝජනය ගැන ඒ යහපාලනාණ්ඩුව මැති ඇමැතිකම් දැරූ පිරිස අස්ගිරියට ගිහින් කියන ඒවා ඇහුව ම පුදුම හිතෙනවා. 

යුගදනවි කොටස්වලින් 40%යි ඇමරිකානු සමාගමට දෙන්නේ. ඉතිරි 60% වගේ ම සමාගමේ පාලනයත් රජය සතුයි. නැවත අවු. 15කින් බලාගාරය 100%ක් රටට අයිති වෙනවා. ඒ නිකන්ම නෙමෙයි  ගල් අඟුරු වෙනුවට වැඩි දියුණු කළ ගෑස්  බලාගාර සහ බෙදාහැරීම් ජාලයක්. රටට ඩොලර් මිලියන 250කුත් ලැබෙනවා.

කිසිම වසංගතයක් නැති කාලෙක ඩො.මි. 1100කට හම්බන්තොට වරාය අවු. 198කට විකුණල, මත්තල ගුවන්තොටුපල, නැගෙනහිර පර්යන්තය විකුණන්න MCC ගහන්න නැකැත් බලපු  එවුන් දිවි හිමියෙන් යුගදනවි බේරගන්න ඕනලු. ඇත්තට ම කිරිඇල්ලටයි පී. පෙරේරාටයි කුඩෙන් ගහල පන්න නොගත්තට අස්ගිරි හාමුදුරුවන්ට පිං දෙන්න  ඕන. 

අද රටේ ආර්ථික අර්බුදයට අවම වශයෙන් කොවිඩ්වත් බලපෑවා නොකිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන විපක්ෂය එදා රටට කළ විනාශයත් මේ අර්බුදයට විශාල හේතුවක්. අපට බංගලිදේශෙන් ණය ගන්න වුණේ යහපාලන වසංගතය නිසා.

අද රටට මේ වගේ ගිවිසුමකට හරි යන්න වෙන තත්ත්වෙට රට ඇදල දැම්මේ කොවිඩ්වලටත් වඩා යහපාලන වසංගතය කියල අපි රටට කියන්න ඕන.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !