Wednesday, September 29, 2021

නාවික හමුදාව කුරුසියේ ඇන ගැසීම...

වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය සහ රාගම දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද නාවික හමුදාව අදාළ දේවස්ථාන වෙත දැනුම් දී තිබේ. ඔවුන් මෙය පවසා ඇත්තේ කිසියම් පාර්ශ්වයක් වෙතින් ලද බුද්ධි තොරතුරක් පදනම් කරගෙනය. 

මෙවැනි බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම තහවුරු කිරීම මෙන් ම නැවත අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර තමන් වෙත ලද තොරතුර වහා ම අදාළ දේවස්ථාන වෙත නාවික හමුදාව දැනුම් දෙන ලද්දේ ඉතා ම යහපත් චේතනාවෙනි. 2019 මතකයන් සමග තවත් එවැනි විනාශයක් වනු වැළැක්වීමට ගතයුතු එක පියවරක් ලෙස එම නිලධාරීන් මෙම දැනුම් දීම කර තිබේ.

එහෙත් සිරිල් ගාමිණී පියනම ඊයේ මාධ්‍ය අමතමින් අදාළ අනතුරු ඇඟවීම පිළිබඳ විශාල ඝෝරනාඩුවක් කළේ යහපාලනාණ්ඩුවට 97 වරක් දැනුම් දී තිබුණ ද පල්ලියට එම අනතුරු ඇඟවීම නොකිරීම නිසා ජීවිත 250ක් අහිමි වී තවත් සිය ගණනක් අාබාධිත වූ පසුබිමකය. 

අවම වශයෙන් නාවික හමුදාවට මෙම තොරතුර ලද විගස අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීම පිළිබඳ සිය කෘතවේදීත්වය පළකිරීමට තරම්වත් විනයක් මෙි පියනමට නොතිබිණි. සැබවින් ම ඊට සුළු මොහොතකට පසු එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබිණි නම් එය වළක්වා ගැනීමට හෝ හානිය අවම කර ගැනීමට මෙම අනතුරු ඇඟවීම උපකාරි නොවන්නේ ද? 

එසේ දැනුම්වත් නොකර යම් ප්‍රහාරයක් එල්ල විනි නම් කිසියම් පාර්ශ්වයක් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් නාවික හමුදාව දැනුම්වත් කළ බව ප්‍රකාශ කළේ නම් එම නිලධාරීන්ට ද යහපාලන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මෙන් සිදුවන්නේ "ගහනවා කියල කිව්වට, මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" යනුවෙන් කීමටය.

එහෙයින් කුහක පටු අරමුණුවලින් බැහැරව පල්ලිය කටයුතු කරන්නේ නම් කළ යුතුව තිබුණේ මෙම නිලධාරීන් හමු වී අදාළ දැනුම් දීම පිළිබඳ ස්තුති කිරීම මිස මාධ්‍ය හමු කැඳවමින් අදාළ බුද්ධි තොරතුරු පිළිබඳ අඬබෙර ගැසීම නොවෙි.

බුද්ධි තොරතුරු විවිධ පාර්ශ්වලින් ලැබෙන අතර ඒ සියල්ල 100%ක් සාර්ථක වන්නේ නැත. එහෙත් ආරක්ෂක අංශ එ් සියල්ලට ම 100%ක් සූදානම් විය යුතුය. මන්ද ආරක්ෂක අංශවලට සාර්ථක වීමට දවස් 365ම සාර්ථක විය යුතු වුව ද සතුරාට සාර්ථක වීමට උවමනා තප්පර කිහිපයකි. එහෙයින් තමන් වෙත ලද මූලික තොරතුරු මත පදනම්ව පල්ලිය දැනුම්වත් කිරීම පිළිබඳ නිරවුල් මනසකින් කටයුතු කරන කිසිවෙකුට මෙලෙස අකෘතඥ විය නොහැකිය.

එසේ ම කිසියම් ප්‍රහාර සැලසුමක් අවසාන මොහොතේ කිසියම් හේතුවක් නිසා වෙනස් විය හැකිය. එමගින් අදාළ බුද්ධි තොරතුර බොරුවක් යැයි හෝ වගකීමෙන් තොරව කටයුතු කළේ යැයි ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කිරීම මන්දබුද්ධිකකමකි. 

එම තොරතුරු ඉහළට දැනුම් දී විශ්ලේෂණය කර තහවුරු කරගෙන විධිමත් ලෙස කාදිනල්තුමාට දැනුම් දෙන විට නියමිත ක්‍රමවේදය සපුරා තිබුණ ද එසේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් තිබිය හැකිය. එවිට ලෙඩා මළත් බඩ සුද්දයි කීමට නම් හැකිය. මන්ද ආරක්ෂක අංශ පිළිවෙළට අදාළ රාජකාරී ක්‍රමවෙිද අකුරට රකිමින් ආරක්ෂාව තහවුරු කරන තුරු සතුරා බලා සිටින්නේ නැත.

එම තොරතුරු මාධ්‍ය හමු තබමින් සතුරා අතට දෙමින් මුග්ධ ලෙස හැසිරීම සද්භාවයෙන් කටයුතු කළ නාවික හමුදාව අධෛර්යවත් කිරීමක් පමණක් නොව සතුරාට සිය දුබලකම් සකසා ගෙන සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමකි.

පල්ලියේ මෙි හැසිරීම අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ කලින් පල්ලියට දැනුම් දී සහරාන් කල්ලියේ අභ්‍යන්තර ගැටුමක් හෝ වෙනයම් හේතුවක් මත එම ප්‍රහාරය එල්ල නොකළේ නම් මේ ආකාරයට ම මාධ්‍ය හමුවක් තබා අදාළ දැනුම් දීම කළ නිලධාරීන් ද ඔත්තුකරුවන් ද ජුදාස්ලා මෙන් සතුරාට නිරාවරණය නොකරනු ඇතැයි කිව හැකි ද?

එවැනි මුග්ධ හැසිරීමක් ඉදිරියෙහි සිය ඔත්තුකරුවන්ගේ ආරක්ෂාව සහ සතුරා අවුල් කිරීම සඳහා පළපුරුදු ආරක්ෂක නිලධාරීන්ට එවැනි බුද්ධි තොරතුරක් තහවුරු කර නැතැයි පැවසීම හැර විකල්පයක් තිබිය හැකි ද?

එදා පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මේ රටේ බෞද්ධ ජනතාව පෙනී සිටියේ කතෝලික ජනතාව වෙනුවෙනි. ඔවුන්ගේ දුක බෙදාගත්තේ අපය. එහෙත් තෙවසරක් ගතවීමටත් පළමුව අපරාධකාරයින්ට දඬුවම් නොකළේ යැයි චෝදනා කරමින් පල්ලිය දැන් සිටින්නේ සතුරු කඳවුරේ ආයුධ මුවහත් කරමින් බව නකගාටුවෙන් වුව ද කිව යුතුය..

2001 ඇමරිකාවෙි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට 2016 ප්‍රංශ ත්‍රස්ත පුහාරයට අදාළ නඩු පැවරීම් සිදුවන්නේ අද බව දේශපාලන අතකොලුවක් බවට පත්ව දෙව්දත් රංගනයක නියැලෙන මේ පියවරුන්ට කියා පලක් නැත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !