Monday, November 15, 2021

රාජ්‍ය සේවය රටට බරක් කියල බැසිල් බොරු කිව්ව ද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට බරක් බව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මේ පිළබඳ අද වන විට සමාජයේ සංවාදයක් මතුව තිබේ. සමහරු පවසන්නේ මැති ඇමැතිලා ද රටට බරක් බවය. රාජ්‍ය සේවය රටට බරක් නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කර අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප ද අහිමි කිරීමට කටයුතු කළ යහපාලනාණ්ඩුවේ සුජාත පුත්‍රයාණෝ අද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසීම රාජ්‍ය සේවයට කළ අපහාසයක් බව ප්‍රකාශ කරති. 

රාජ්‍ය සේවය රටට බරක් බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ ද නොකළ ද එය අද රටට මහ බරකි. අප එය ප්‍රකාශ කළේ බොහෝ කලකට පෙරය. රටේ සමස්ත ආදායමින් 85%ක් පමණ රාජ්‍ය සේවයට පඩි ගෙවීමට සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන පසුබිමක එය රටට බරක් බව බැසිල් රාජපක්ෂ අලුතින් කිව යුතු දෙයක් ද නොවේ. 

කෙසේ වුව ද ලක්ෂ 1990 වන විට ජනගහනයෙන් දහසට 30ක් වූ රාජ්‍ය සේවය 2020 වන විට දහසට 60 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසර තිහක් තුළ රාජ්‍ය සේවක පිරිස 100%කින් ඉහළ ගොස් තිබේ. ලක්ෂ 07ක්ව පැවැති රාජ්‍ය සේවය ලක්ෂ 14ක් දක්වා ඉහළ දමන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා බැසිල්ය. එහෙයින් බැසිල් ද එහි කොටස්කරුවෙකි.\



මෙලෙස රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීම මෙන් ම යහපාලනාණ්ඩුව එකවර සමස්ත රාජ්‍ය සේවයේ වැටුප රු. 10 000කින් ඉහළ නැංවීම ද රාජ්‍ය සේවය රටට බරක් වීමට හේතු වී තිබේ. 2016 වසරේ සිට අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප අහිමි කළ යහපාලනාණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රු. 35 100 සිට රු. 15000කින් රු. 50 100 දක්වා ඉහළ නැංවීමට යෝජනා කළ බව අපට අමතක නැත. 

අප රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සමස්ත දේශපාලන දැක්මට එරෙහිව වුව ද ඔහු රාජ්‍ය සේවය කෙරෙහි දැක්වූ ආකල්පය නිවැරදි බව පිළිගත යුතුය. රනිල්ගේ හරි දේ පිළිගැනීම ඔහුගේ බහුතර වැරදි ප්‍රතික්ෂේප කිරීමට බාධාවක් නොවේ. අප විමසා බැලිය යුත්තේ ප්‍රතිපත්තිය මිස ප්‍රතිපත්තිය දරන්නාගේ පැටිකිරිය නොවේ.

අතීතයේ සිදු වූ මෙම වරද දැන්වත් නිවැරදි කළ යුතුව ඇත. රාජ්‍ය සේවය අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණය යොදා ගෙන ජනතාවට තවත් සමීප කරන අතර ඊට සාපේක්ෂව බඳවා ගන්නා පිරිස අඩු කළ යුතුය. ජනතාව රාජ්‍ය සේවයට ආකර්ෂණය වන විශ්‍රාම වැටුප ඉවත් කිරීම ආන්දෝලනාත්මක විය හැකි බැවින් සියලු දෙනා වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය ආකර්ෂණීය කළ යුතුය. 

මේ වන විට එංගලන්තයේ ජනගහනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පිරිස 0.29%කි. ඉතාලියේ 0.20%කි. බ්‍රසීලයේ 0.12%කි. එහෙත් ලංකාවේ එවැනි කිහිප ගුණයකි. එම පිරිස නඩත්තුව සඳහා රටේ සමස්ත ආදායමින් 85%ක් වෙන් කළ පසු රට සංවර්ධනය කළ නොහැකි බවට දේශපාලනඥයින්ට දොස් තබා පලක් නැත. රාජ්‍ය සේවය පුළුල් කරන බවට පොරොන්දු දෙන විට ජනතාව ඊට එරෙහිව විය යුතුය. 

එසේ ම රටේ අධ්‍යාපනය වෘත්තියාභිමුඛ නොව ව්‍යවසායාභිමුඛ කළ යුතුය. මහජන මුදලින් විශ්වවිද්‍යාලවල ඉගැන්විය යුත්තේ ව්‍යවසායකයකු ආයෝජකයකු නිර්මාණය කිරීමට මිස රැකියා හිඟන්නන් බෝ කිරීම නොවේ. ලිප්ටන් වටරවුමේ මැසි බැඳගෙන වයසට යන උපාධිධාරීන් බෝ කරන අධ්‍යාපනය අප වහා ම වෙනස් කළ යුතුය. අතීතයෙන් සහ වර්තමානයෙන් පාඩම් උගෙන අනාගතය සුවපත් කළ යුතුය.


1 comment:

විපුල අබේසිංහ said...

ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ අනුපාතය 18 ට 1 යි.ඒ කියන්නේ පුරවැසියන් 18 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක්.හිනා වෙන්ඩද අඬන්නද?

 
සිය රට දේ සිරි සැප දේ !