Thursday, November 18, 2021

සඳහිරු සෑය සඳ හිරු පවතින තුරු ජාතියට දෙන පණිවිඩය කුමක් ද?

මහරජ ගැමුණු ආක්‍රමණිකයාට එරෙහිව දියත් කළ සටන මෙන් ම මහින්ද රාජපක්ෂ ද දියත් කළේ ප්‍රභාකරන් යොදා ගෙන බටහිර සහ ඉන්දියාව විසින් සිදුකළ ආක්‍රමණයට එරෙහි සටනකි. එළාර මෙන් ම ප්‍රභාකරන් ද පරාජයට පත් නොවන්නට අපේ රටේ ද ජාතියේ ද බුදු දහමේ ද ඉරණම විසඳෙන්නට ඉඩ තිබිණි. 

2009 නන්දිකඩාල්වල දී පරාජයට පත් කළේ, යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, යාපෙන් නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ද අනතුරුව මිනි මරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය බස්තියන් පිල්ලේ නම් දෙමළ පොලිස් නිලධාරියා ද ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. 

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු නැගෙනහිර දෙමළ තරුණයින්ගේ සහය නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය තවත් දුෂ්කර වන්නට ඉඩ තිබිණි. එසේ ම අර්ජුනන් ශිවකුමාර නම් මගේ පාසල් මිතුරකු ඇතුළු දකුණේ බොහෝ දෙමළ තරුණයින් හමුදාවට බැඳී කොටි පරාජය කිරීමට සටන් කළ බව අභිමානයෙන් යුතුව කිව යුතුමය. එහෙයින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති.

එසේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා වැඩි ම ප්‍රතිලාභ ලැබුවේ උතුරේ දරුවන් බව අද බොහෝ දෙනෙකු පිළිනොගත්ත ද අනාගතයේ එම සත්‍ය බැහැර කරලීමට නොහැකි වනු ඇත. ප්‍රභාකරන් විසින් කරේ සයනයිට් කරල් පළඳා දෑතට අත්බෝම්බ සහ තුවක්කු දුන් තරුණයින් අතර නැවත පොත පැන ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. ප්‍රභාකරන් විසින් මිනිස් බෝම්බ බවට පත්කළ උතුරේ දරුවන්ට සාපෙළ උසස් පෙළ විභාගවලින් ලංකාවේ පළමු දෙවන ස්ථාන ලබාගත හැකි ලෝකයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ විසිනි.

මේ සියල්ල මෙන් ම ප්‍රභාකරන් විසින් රාජයප්පු ජෝෂප් රදගුරුගේ අනුදැනුම මත අපේ හින්දු සංස්කෘතිය බුල් ඩෝසර් කරමින් ගොඩනැඟූ ක්‍රිස්තියානි වතිකානුව බිමට සමතලා කළේ මහින්ද රජපක්ෂ විසිනි. උතුරේ ජනතාවගේ හින්දු සංස්කෘතිය රැකදුන් මහා වීරයා මහින්ද රාජපක්ෂ බව අනාගතයේ උතුරේ ජනතාව අවබෝධ කරගනු ඇත.

මෙවැනි පසුබිමක රටම ලේ විලක් කළ ලොව දරුණුතම ත්‍රස්වාදය ලෙස හැඳින්වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට අප එරෙහි විය යුතුය. මෙවැනි අතාර්කික විකාර දොඩවන පුස් උගතුන්ට අප අනුකම්පා කළ යුතුය. ප්‍රභාකරන්ගේ පරාජය සමස්ත දෙමළ ජනතාවගේ පරාජයක් නම් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ත්‍රස්ත කල්ලියේ පරාජය සමස්ත සිංහල ජනතාවගේ පරාජයක් විය යුතුය. 

බෙදී වෙන්ව දෙරටක් වන්නට නියමිතව පැවැති අපේ රට කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් එක්සේසත් කළ ඒ අභිමානී විජයග්‍රහණය මේ රටේ උතුරේ ද දකුණේ ද මතු මතු උපදින දරුවන්ගේ ජයග්‍රහණයකි. මැදින් සීමා ඉරක් ගසා ගෙන අවි අමෝරා ගෙන යුද වදින රටක් වෙනුවට මහ මුහුදින් වට වූ රටක් මහින්ද රාජපක්ෂගේ ආයෝමය නායකත්වයෙන් සහ විරෝදාර ත්‍රිවිද හමුදාවේ අතිමහත් කැපකිරීම් මතින් ඔවුන්ට ලැබී තිබේ. ඒ රට ඒ ජයග්‍රහණය රැකගැනීම ඒ සියලු දරුවන්ගේ උර මත ද පැටවෙන වගකීමකි.

එම විජයග්‍රහණය මෙන් ම එම වගකීම ද සිහිපත් කරමින් ඉදි වූ සඳහිරු සෑය යුද්ධයේ පරාජයේ සංකේතයක් නොව සාමයේ විජයග්‍රහණයේ සංකේතයකි. එහි පරාජිතයින් වන්නේ ත්‍රස්තවාදය මිස දෙමළ ජනතාව නොවේ. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, බස්තියන් පිල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් නියෝජනය කරන දෙමළ ජනතාවගේ ද ජයග්‍රහණයකි. එමගින් සංකේතවත් කරන්නේ කෘරතර යුද්ධයේ නිමාව සහ මධුරතර සාමයේ උදාවය. බුදු දහමේ සුරක්ෂිතතාවය. සඳහිරු පවතින තුරු පැවතිය යුතු එක්සේසත් ලංකාවය. එදා මහරජ ගැමුණු රන්වැලි මහසෑය ඉදිකරමින් ද මහින්ද රාජපක්ෂ සඳහිරු සෑය ඉදිකරමින් ද සංකේතවත් කරන්නේ එයයි.

ඊයේ සඳහිරු සෑය අබියස සිට මහින්ද රාජපක්ෂ එය තහවුරු කළේ මෙසේ ප්‍රකාශ කරමිනි.

"යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේ දී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ සිට 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු ම රණවිරුවන්ටත් ඒ වාගේ ම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! යැයි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු ම දෙනා අපේ ම රටේ අපේ ම අය."

මෙවැනි උදාරතර අරමුණු පෙරදැරිව ඉදිකළ සඳහිරු සෑය නිසා කිසිවෙකුගේ සිත පෑරෙන්නේ නම් ඒ ත්‍රස්තවාදියෙකි. නොඑසේ නම් ත්‍රස්තවාදයේ සහයකයෙකි. නොඑසේ නම් පටු කුහක දේශපාලනය නිසා රට එක්සේසත් කිරීමේ ගෞරවය තම දේශපාලන පක්ෂයට හිමි නොවන නිසා ඇති වන ඉච්ඡාභංගත්වයෙන් කටමැත දොඩවන්නෙකි. සඳහිරු සෑයේ නිදන් කිරීමට රත්තරන් ලබා දුන් රේගු නිලධාරීන්ගෙන් පවා පළිගනිමින් පහුගිය යහපාලනාණ්ඩුව ගෙන ගිය අධාර්මික පාලනය කෙළවර වූයේ එම පවට කරගැසූ එජාපයට මෙන් ම ශ්‍රීලනිපයට ද දිට්ඨධම්මවේදනීය කර්මය පළ දීමෙනි. එවැනි අන්තවාදීන් පුනරුත්ථාපනය කරනු මිස කළ හැකි දෙයක් නැත.

මෙම මිත්‍යාව සමාජගත කරමින් සමාජයේ නොමැති වෛරයක් බෙදීමක් ඇති කිරීමට, කූරගලට විදුලිය ලබා දීමට එරෙහි වූ සකලවිධ බෞද්ධ විරෝධී බලවේගවලට අද නායකත්වය සපයන සජිත් ප්‍රේමදාසට පිරිත් නූල් බඳිමින් රජ පුටුවට ගෙන යන්නට බලා සිටින භික්ෂූන් වහන්සේලා අතලොස්සක් ද මේ අතර සිටිනු දැකීම කනගාටුවට කරුණකි. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !