Saturday, November 13, 2021

චීන පොහොර සමාගම මට්ටු කරන විදිහ මෙන්න...!

කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වාර්තා සකස් කළේ කවුද ඒවා වෙනස් කළේ කවුද ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයට එහිලා පැවරෙන වගකීම කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් කළ යුතුය.

ප්‍රමිතියෙන් තොර මහ පොළොවට විෂ එකතු කරන රසායනික ටොන් 80 000කට වඩා මේ රටට ගෙන ඒම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ඒ සඳහා දායක වන්නේ නිකම් නොවේ. මෙම ගනුදෙනුවේ දී නිලධාරීන් කිහිප දෙනෙකුගේ හත්මුතු පරම්පරාව ම ගොඩයන්නට ඇත.



අප සමාජය දේශපාලකයින් හොරු වංචාකාරයින් දූෂිතයින් යැයි බැණ වැදුණ ද රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා පිළිබඳ අවධානයක් යොමු නොකරති. සැබවින් ම දේශපාලකයින්ට වඩා කිහිප ගුණයක් දූෂිත තක්කඩි සුදු කරපටි අපරාධකාරයින්ගෙන් අපේ රාජ්‍ය සේවය රටට හෙණයක් වී ඇති බව කිව යුතුය.

කවර ආණ්ඩුවක් ආව ද කවර පාලකයෙක් ආව ද මෙම සුදු කරපි අපරාධකාරයෝ කොමිස් කුට්ටි පිටින් ගිලිමින් දේශපාලනඥයින් ද ගොනාට අන්ද ගෙන මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් ගිලිමින් ඇත.

යහපාලන ආණ්ඩුව සමයේ කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රු. කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට පත් එවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ සඳහා උදාහරණයකි.

මෙවැනි කිසිදා හෙළි නොවන සාපරාධී ගනුදෙනුවලින් දූෂිත නිලධාරී කල්ලිය සුවිශාල ධනස්කන්ධයක් උපයන අතර ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔවුන් ලවා ඕනෑ ම අපරාධයක් කරවා ගත හැකිය. මේ රටට ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර රැගෙන ඒම පිටුපස ඇති කතාව ද එයමය.

එවැනි පිරිසක් චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි මුදලට වාර්තා නිකුත් නොකරනු ඇතැයි කිසිසේත් කිව නොහැකිය. CIC සමාගම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ද මිල දී ගන්නා රටක මෙය මහ ලොකු දෙයක් නොවේ.

අදාළ චීන පොහොර සමාගම ලොව පුරා රටවල් 16කට පමණ කාබනික පොහොර සපයන දැවැන්ත සමාගමකි. එවැනි සමාගමක් ප්‍රමිතිය පරික්ෂාව සඳහා ප්‍රමිතියෙන් තොර පොහොර සාම්පල් එවාවි යැයි මම නම් විශ්වාස නොකරමි.

එපමණක් නොව සිය පොහොරවල අහිතකර බැක්ටීරියා ඇත්නම් ස්වාධීන තුන්වන පාර්ශ්වයක් ලබා අදාළ පොහොර තොග පරික්ෂා කරන ලෙස මෙම සමාගම කිසිදු අවස්ථාවක ඉල්ලා සිටින්නේ නැත. මන්ද එවැනි ජාත්‍යන්තර ආයතනයක පරික්ෂණයකින් සිය පොහොර අසමත් වුවහොත් සිය සමාගම සම්පූර්ණයෙන් කඩා වැටෙන හෙයිනි.

මේ වන විට එම සමාගමේ ඉල්ලීම මත ස්වාධීන ආයතනයක් වන Schutter Global Inspection and Survey Company විසින් සිදුකළ පරීක්ෂණයක් මගින් එම පොහොරවල නියමිත ප්‍රමිතිය ඇති බව සහතික කර තිබේ. අදාළ පරීක්ෂණ සිදුකරන ජාත්‍යන්තර ආයතන කිසිම අවස්ථාවක වැරදි වාර්තා නිකුත් කර සිය කීර්ති නාමය විනාශ කරගන්නේ ද නැත.

එහෙයින් අපගේ නිලධාරී පැලැන්තිය මත පමණක් විශ්වාසය තබා ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු නොකළ යුතු බව මගේ අදහසයි. අපට මෙන් ම චීනයට ද පිළිගත හැකි ස්වාධීන ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණය කිරීමට අප නම්‍යශීලී විය යුතුය.

අපේ රට අසීරුතාවට පත්වන සෑම අවස්ථාවක අප සමග සිටි ජිනීවාහිදී බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් අප වෙනුවෙන් සිටගත් චීනය සමග අප නිකරුනේ රාජතාන්ත්‍රික ගැටුමක් ඇති කරගත යුතු නැත. අප කළ යුත්තේ අපට ද පිළිගත හැකි ජාත්‍යන්තර ආයතනයක් ලවා අදාළ පරීක්ෂණයය නැවත සිදුකිරීමය.

එම පරීක්ෂණයෙන් පොහොර තොගයේ ප්‍රමිතිය තහවුරු කරන්නේ නම් අප එම පොහොර තොගය ලබාගත යුතු අතර අදාළ මුදල ද වහා ම ගෙවා දැමිය යුතුය. කිසිදු බියක් නොමැතිව එම පොහොර භාවිත කළ යුතු අතර ශාඛ නිරෝධායන සේවය අදාළ අසමත් වාර්තාව ලබා ගත්තේ කෙසේ දැයි සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර කිසිවෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

එහි දී එම පරීක්ෂණයෙන් අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තාව සනාථ වුවහොත් අප චීන සමාගමට අදාළ මුදල ගෙවිය යුතු නැත. අවශ්‍ය නම් සිදු වූ අපහසුතාවට චීන සමාගමෙන් අපට වන්දියක් ඉල්ලා සිටිය හැකිය. එසේ ම චීනයට අප සමග ගැටුමක් හදා ගැනීමේ අවස්ථාව මෙමගින් අහෝසි වනු ඇත.

චීනය විසින් අදාළ තෙවන පරීක්ෂණය සිදුකළ ජාත්‍යන්තර ආයතනයට වඩා අපගේ ශාක නිරෝධායන සේවය නිවැරදි බව තහවුරු වීමත් සමග පිට රටවල එවැනි පරීක්ෂණ ද අපට ලැබෙනු ඇත. එය අපට විදේශ විනිමය උපයන මාර්ගයක් වනු ඇත. අපගේ විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදය ලෝක ප්‍රසිද්ධ වනු ඇත.

එපමණක් නොව සිය වගකීම නිවැරදි ලෙස ඉටු කළ අපේ නිලධාරීන්ට අපි ජනාධිපති සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කළ යුතුය. අපේ ශාඛ නිරෝධායන සේවයේ වාර්තා නිවැරදි බව ඉර හඳ සේ විශ්වාස කරන පිරිස මගේ යෝජනාව පිළිබද බෙහෙවින් සතුටු වනු ඇති බව මගේ විශ්වාසයයි.

බටහිර රටක ආයතනයක් ලවා සිදුකරන එවැනි පරීක්ෂණයක් මගින් චීනයට මෙන් ම චීන සමාගමට ද හොඳ පාඩමක් ඉගැන්වීමේ අවස්ථාව අපට හිමි වනු ඇත. චීනයට ප්‍රමිතියෙන් තොර සිය පොහොර සමාගම වසා දැමීමට සිදුවනු ඇත. ශාඛ නිරෝධායන ආයතනයේ කීර්තිමත් විද්‍යාඥයින් ද මේ අවස්ථාව ලබා ගෙන අපේ රටේ ද සිය ශාඛ නිරෝධායන සේවයේ ද විශිෂ්ටත්වය ලොව හමුවේ හඬගා කීමට දෙවරක් නොසිතනු ඇති බව මම තරයේ විශ්වාස කරමි.

2 comments:

Mandawala Hamuduruvo said...

Dear Pinvantha Mahathanani,
Your article is great! India and the West are plotting to tarnish our friendship with China! Today even so called Marxists like UNJVP is voicing for Monsanto! Anti China propaganda is rampant! They allare receiving dollars!
Mandawala Hamuduruvo

නාමල් උඩලමත්ත said...

මම ඔබ වහන්සේගේ මතය සමග එකඟ වෙමි. පටු අරමුණු පෙරදැරිව හුදු බල දේශපාලන තරඟයක නිරත වන මෙරට ඇතැම් දේශපාලන කණ්ඩායම් ජනතාව ද නොමග යවමින් රට අගාධයට හෙළමින් ඇත. ජනතාව හැකි පමණ ඥානනය කරනු මිස වෙන විකල්පයක් නොමැත.

 
සිය රට දේ සිරි සැප දේ !