Saturday, September 28, 2024

කලින්ම යන්න ගිය කුමාර වෙල්ගම...

 කුමාර වෙල්ගම අද අභාවප්‍රාප්ත වෙලා කියලා අහද්දි මගේ මතකය එක පාරටම ඇදිලා ගියේ 2022 මැයි 9 ප්‍රහාරයට පසු ඔහු කළ ප්‍රකාශයකට. මැයි 09 අරගලකරුවන්⁣ගේ මාරාන්තික ප්‍රහාරයට පසු සුවය ලබා පැමිණි වෙල්ගම කීවා, තව අවුරුදු 20ක් මට ජීවත් වෙන්න තිබුණා නම් මේ ප්‍රහාරය නිසා ඒක 10ට බැස්සා කියලා. ඒත් වෙල්ගම ප්‍රහාරයෙන් අවුරුදු 2කට පස්සේ නොඑන්නම ගිහින්.

වෙල්ගම මහ උගත් උපාධ් සහතිකලාභී දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු ජනතාව එක්ක මහ පොළොවේ දේශපලනය කළ මිනිහෙක්. 2015  රට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා යහපාලනාණ්ඩුව බලය⁣ට පත්වෙලා රට හැම අතින්ම ආගාධය කරා අරන් යද්දි පොහොට්ටුව හදන්න ඔහු විශාල වැඩ කොටසක් කළා.

අවසානයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය නම් කරද්දි වෙල්ගම තමයි, ඊට විරුද්ධව කඳවුර තුළ අභීතව සටන් කළ මිනිහා. ඔහු කීවේ ප්‍රාදේශීය සභාවකවත් නොහිටි දේශපාලනය නොදන්න ගෝඨාට රට කරන්න බෑ කියලා. 


මම එදා අවංකවම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියත් සමහරු ඇත්තටම ගෝඨාභය ඉස්සුවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගන්න බව පසුකාලීනව තහවුරු වුණා. ඒ පිරිසට උවමනා වුණේ ගෝඨාභය ජනාධිපති කරවීමට වඩා ගෝඨා ලවා තම සතුරා වන බැසිල් පලවා හරින්න. 

එතන දී ගෝඨාභයගේ සමත් අසමත්කම් ඒ අයට එතරම් වැදගත් වුණේ නෑ. 2015 ජනාධිපතිවරණ සම්බන්ධීකරණය බැසිල්ට නෙමෙයි, ගෝඨාභයට දෙන්න කියලා මහින්දට කීවෙත් මේ අවස්ථාවාදීන් තමයි. ඒක වෙනම කතාවක්.

අවසානයේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණාම වෙල්ගම ඊළඟ ජනාධිපති බිහිවන දැවැන්ත කඳවුර අතහැර ගියා. ඊට පසු ඔහු නැවත විවිධ තැන්වල හිටගත්තා. 2020 සජබෙන් පාර්ලිමේන්තුවට ආවා.

ඔහු දිගටම සිය මතවාදයේ හිටියා. අවසානයේ ආර්ථික අර්බුදය උස්සන්න වුණා. කාබනික පොහොර වැනි අත්තනෝමතික තීන්දු එක්ක කඳුවුරේ ගැමි ජන පදනම නාය ගියා. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දෙස් විදෙස් බලවේග ජනතාව පාරට බස්සලා ගෝඨාභය පළවා හැරියා.

එදා ගෝඨාභයට මුලින්ම විරුද්ධ වුණ ඒ වෙනුවෙන් සටන් කළ වෙල්ගමත් ගෝඨා විරෝධී අරගලයේ ගොදුරක් වුණා. හරියට නම් ඔහු එම අරගලකරුවන්ගේ වීරයෙක් විය යුතුව තිබුණා. තම වාසිය වෙනුවෙන් සියලු පාවදීම් කරන දේශපාලනඥයන් සහ මිනිස්සු අතර වෙල්ගම නියම දේශපාලනඥයෙක්. 

කුමාර වෙල්ගමට නිවන් සුව! 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !