Saturday, September 28, 2024

කලම්බු මෝටර් ෂෝ 2024....!

 මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ.

ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනාණ්ඩුව බලයට ආ වෙලාවේ. අවුරුදු 10ක් තිස්සේ රාජපක්ෂලා රටේ මහජන බදු මුදලින් සුරසැප වින්ද හැටි කියාපාන්න තමයි, එදා කලම්බු මෝටර් ෂෝ එක කළේ.

අපට ආයේම කලම්බු මෝටර් ෂෝ එක දකින්න ලැබුණේ 2024 අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට පත්වුණ වෙලාවේ. 75 වසරක් තිස්සේ මේ රටේ ජනතාවගේ බදු මුදල් ගසා කමින් පාලකයෝ සුරසැප වින්ද හැටි තමයි, මෙවර කලම්බු මෝටර් ෂෝ එකෙන් රටට ප්‍රකාශ කළේ.

මේ රටේ පශ්චාත් ජනාධිපතිවරණ සමය වර්ණවත් කරන අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක නොකළේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ සහ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ විතරයි.


මහින්ද ඒ ෂෝ එක නොපෙන්නුවට 2015 ගෙදර ගියේ තිස් වසරක යුද්ධය අවසන් කරලා ඩොලර් බිලියන 20ක රටේ ආර්ථිකය ඩොලර් බිලියන 80 කරලා. රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 07කට නග්ගලා ඒක පුද්ගල ආදායම තුන් ගුණයක් එනම් 3800ක් කරලා.

ඒ වගේ රටට අධිවේගී මාර්ග, ගුවන් පාළම් හඳුන්වා දීලා, රට පුරා මාර්ග කාපට් කරලා 80%ක් විතර ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කරලා විදුලි බලය නිවාස 97%ට විතර දුන්නා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නෙළුම් පොකුණ, නෙළුම් කුලුන, වරාය නගරය, රටේ වැඩිම විදුලි උත්පාදනය සපයන නොරෙච්චෝලේ වගේ දැවැන්ත වැඩ කළේ ඒ කාලේ තමයි.

ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමයි, මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න මුල පිරුවේ. 2019 ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නඩත්තු කළ වාහන 1600 අතරින් 50%ක් රටේ සෙසු අමාත්‍යංශවල යොමු කළේ ගෝඨාභය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක පිරිස 2500 සිට 250ට අඩු කිරීමට නියෝග නිකුත් කළා.ඩිපෝවල දිරමින් පැවැති බස් 280ක් විතර අලුත්වැඩියා කරලා ආයේම පාරට දැම්මා. ඒ විතරක් නෙමෙයි, කිසිදු රාජ්‍ය ආයතනයකට 2023 වසර තෙක් අලුතින් වාහන නොගන්නා ලෙස නියෝග කළා. හැබැයි කලම්බු මෝටර් ෂෝ එක නම් කළේ නෑ.

පහුගියදා කළ කලම්බු මෝටර් ෂෝ එකේ ප්‍රදර්ශනය කළ සියලු ම වාහන වගේ 2015-2019 කාලයේ රටට ගෙන ආ වාහන වීම තමයි, වඩාත් උත්ප්‍රාසජනක වෙන්නේ. මොකද ඒ ආණ්ඩුව හදන්න එජාපය වගේ ම මාලිමාවත් වැඩ කළා. ඒ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් තමයි, දැන් අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා.

ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කියනවා, ජනාධිපති ලේකම් කාර්යාලයේ තම වාහනය ඇතුළු සියලු වාහන නිල වශයෙන් භාරදුන් බව. ඉතින් දැන් මේ ෂෝ කළා ඇති. රටේ ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන සැලැස්ම ක්‍රියාත්මක නොකර මේ වගේ ෂෝ පෙන්න පෙන්න හිටියෝත් එදා ෂෝ පෙන්නපු ආණ්ඩු වගේ අවාසනාවන්ත ඉරණමකට තමයි, මේ ආණ්ඩුවටත් මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ජනතාව බොහෝම ලොකු අවදානමක් අරන් මාලිමාවට බලය දුන් එකේ ප්‍රතිඵල ඒ ජනතාවට ලබා දීම තමයි, මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !