Sunday, September 22, 2024

අලුත් ජනාධිපතිතුමාගේ වගකීම...

ආර්ථික අර්බුදය කියන කුණාටුව මැද ලංකාව කියන ගුවන් යානය රනිල් කියන පළපුරුදු නියමුවා ආරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යන ලකුණු දැක දැක, ඒ යානයේ ඉකොනොමි ක්ලාස් සීට් දෙකකට වෙලා පොර ටෝක් දිදී හිටි කවදාවත් ගුවන් යානා ධාවනය නොකළ දෙන්නෙකුට යානයෙේ නියමු කටයුතු බාරදෙන්න මම කැමති වුණේ නෑ.

නමුත් රටේ බහුතරය එම තීන්දුව ප්‍රතික්ෂේප කරලා. යානයේ මගීන් 50%ක බහුතරය අර ඉකොනොමි ක්ලාස් ගිය දෙන්නාගෙන් කිසිවෙකුටවත් කැමති නැතත් තව දුරටත් යානය පළපුරුදු රනිල් ඉදිරියට රැගෙන යනවාට කැමති වෙලා තිබු⁣ණේ 17%යි. බහුතරයේ කැමැත්ත නියමුවා මාරු කරන්න. ඒක මමත් පිළිගන්නවා. ඒක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය. 

දැන් අපි සියලු දෙනා ඉන්න ගුවන් යානය අනුර කියන අලුත් නියමුවා අතට ලැබිලා. ගමන අතරමග නිසා අවදානම් කියලා යානයෙන් පනින්නත් බෑ. පැනලා ඉතින් කිප දෙනෙක් විතරක් බේරුණත් වැඩක් නෑ. අලුත් නියමුවාට කැමති වුණ 42%කගේ වගේම අනික් නියමුවට කැමති වුණ 32%කගේ ජීවිතත් දෙන්නාටම විරුද්ධ වුණ 17%කගේ ජීවිතත් දැන් අලුත් පයිලට්ගේ අතේ. කොටින්ම අලුත් නියමුවාට විරුද්ධ වුණ 58%කගේ ජීවිතත් ඔහු අතේ.


ඉතින් යානය අපි කැමති කෙනාට නොලැබුණා කියලා දෙස් දෙවොල් තියලා අනේ මේක කඩා වැටියං කියලා කොඩිවින කරලා වැඩක් නෑ. මොකද වැටුණොත් වැටෙන්නේ අපි හැමෝම එක්ක අපේ රට කියන යානාවම මිසක් අලුත් පයිලට්ගේ ටීම් එක විතරක් නම් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙම දෙස් තියන පිරිස මෙවර අලුත් නියමුවාට පක්ෂපාතී වීමත් එක අතකින් ර⁣ටේ වාසනාව.

ඒ නිසා අපි සියලු දෙනා එක්ක මේ යානාව ආරක්ෂිතව තොටුපළකට ගෙන එන්න අලුත් පයිලට්තුමාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ❤️ හැබැයි පයිලට් මනා සිහියෙන් වැඩ නොකළොත් අපි එහෙම ප්‍රාර්ථනා කළා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම පයිලට් පිස්සු කෙළින කොට අපට ගංජා බීලා නන්දාගේ පවන අහ අහ ඉන්නත් බෑ.

මේක විපක්ෂයේ ස්ටේජ්වල හිටං ආර්ථික අර්බුදයෙන් බැට කෑ අසරණ ජනතාවට ගැලරි චූන් කරන්න කී සුරංගනා කතා අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එහෙම වැඩ කළොත් 2015 යහපාලනාණ්ඩුව රට ඇදලා දැම්මාට වඩා ආගාධයකට, මරියානා ආගාධයටම රට වැටෙන්න පුළුවන්. ඒ අවධානම තේරුම් ගන්නම වෙනවා.

හොරු ඇල්ලීම, හොරා කෑ ධනය රාජසන්තක කිරීම, උගන්ඩාවේ සඟවා ඇති ධනය ගෙන ඒම, නාස්තිය වංචාව දුෂණය අවම කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසි කිරීමේ කිසිම වරදක් නෑ. ඉතාම හොඳයි. හැබැයි රටේ හිටපු මුල් පුරවැසියන් වන හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ඇතුළු යම් වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මොකද ඒ අය හමුවෙන්න විදෙස් රාජතාන්ත්‍රික කණ්ඩායම් එනවා. එවිට ඔහු ගතකරන ජිවිතය අපේ රට ගැන යහපත් ප්‍රතිරූපයක් ලෝකයට දියයුතුයි. ඒක කවදා හෝ වත්මන් ජනපතිටත් අදාළයි.

මේ වෙලාවේ වඩාත් වැදගත් රටේ ආර්ථික සුරක්ෂිතතාව. රටේ භෞතික අඛණ්ඩතාව, ඒකීයභාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් ආර්ථික සුරක්ෂිතතාව සාතිශය වැදගත්. පහුගිය කාලේ සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, හරිනි අමරසූරිය, චතුරංග අබේසිංහ, හර්ෂණ සූරියපෙරුම ඇතුළු පොතේගුරු ආර්ථික මහාචාර්යලා කළ කී කතා අනුව ආර්ථිකය ගෙනියන්න උත්සාහ කළොත් මේ යානයේ ඉන්ධන  ඉවර වෙනවා, ගුවන්තොටුපළට ළං වෙන්න කලින්ම.

අපි ඉන්නේ IMF විරෝධී, විදෙස් ආයෝජන විරෝධී කියුබානු, උතුරු කොරියානු පන්නයේ මාරාන්තික අත්හදා බැලීමක් තරමක කාලයක් හරි දරාගන්න පුළුවන් 2015 වගේ සුරක්ෂිත ස්ථානයක නෙමෙයි. 

ඒ නිසා වෙන වෙන මොන වෙනස්කම් කළත් වර්තමාන මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ අගසව්වන් කරගෙන අලුත් නියමුතුමාට ලක්ෂ 220ක් මගී ජීවිත එක්ක අපේ රට නමැති ගුවන් යානය ආරක්ෂිත තොටුපළ දක්වා රැගෙන යාමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !