Saturday, September 28, 2024

පාසල් උත්සම සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතුයි...!

පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමිය කළ නියෝගය අගය කරමි. ආණ්ඩුවේ එම තීන්දුව ද අගය කරමි.

කෙසේ වුව ද මෙම තීන්දුව මෙයට පෙර ද බොහෝ ඇමැතිවරු ගත්ත ද එය ක්‍රියාත්මක වූයේ නැත. දිගින් දිගටම දෙමාපියන් අපහසුතාවට පත්කරමින් පාසල්වල මුදල් එකතු කිරීම සිදුවිය.

ගුරුවරු ඇතුළු බහුතර රාජ්‍ය සේවක කැමැත්ත දිනා බලයට පැමිණි ආණ්ඩුවෙි මෙම තීන්දුව අනුව කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටියි. එය කඩ කරන්නේ නම් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුය. 


මෙවැනි අකටයුතු සිදුවන්නේ නම් රටේ ජනතාවට ඍජුවම පැමිණිලි කිරීම සඳහා දුරකතන අංකයක් විවෘත කිරීමට හැකි නම් එය තවත් විධිමත් කළ හැකිය. එසේම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වන පිරිසට විනයානුකූලව කටයුතු කළ යුතුය.

කුමන හේතු මවපාමින් පාසල්වල මුදල් එකතු කිරීම නිසා අසරණ වන්නේ දුප්පත් දෙමාපියන්ය. ඔවුන්ගේ දරුවන්ය. එහෙයින් මම ඊට එරෙහිව බොහෝ අවස්ථාවල ලීවෙමි. ඒ වෙනුවෙන් පෙනී සිටියෙමි.

සිස්ටම් චේන්ජ් කළ හැක්කේ මෙවැනි තීන්දු මහ පො⁣ළොවේ ක්‍රියාත්මක කර බැවින් වෙනසක් ඉල්ලු සැම ද වෙනසට ලැබුණු ජන වරමට හිස නමා වෙනසට එරෙහි වූ අය ද දැන් ඊට අනුගත විය යුතුය.

කලින්ම යන්න ගිය කුමාර වෙල්ගම...

 කුමාර වෙල්ගම අද අභාවප්‍රාප්ත වෙලා කියලා අහද්දි මගේ මතකය එක පාරටම ඇදිලා ගියේ 2022 මැයි 9 ප්‍රහාරයට පසු ඔහු කළ ප්‍රකාශයකට. මැයි 09 අරගලකරුවන්⁣ගේ මාරාන්තික ප්‍රහාරයට පසු සුවය ලබා පැමිණි වෙල්ගම කීවා, තව අවුරුදු 20ක් මට ජීවත් වෙන්න තිබුණා නම් මේ ප්‍රහාරය නිසා ඒක 10ට බැස්සා කියලා. ඒත් වෙල්ගම ප්‍රහාරයෙන් අවුරුදු 2කට පස්සේ නොඑන්නම ගිහින්.

වෙල්ගම මහ උගත් උපාධ් සහතිකලාභී දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු ජනතාව එක්ක මහ පොළොවේ දේශපලනය කළ මිනිහෙක්. 2015  රට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා යහපාලනාණ්ඩුව බලය⁣ට පත්වෙලා රට හැම අතින්ම ආගාධය කරා අරන් යද්දි පොහොට්ටුව හදන්න ඔහු විශාල වැඩ කොටසක් කළා.

අවසානයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය නම් කරද්දි වෙල්ගම තමයි, ඊට විරුද්ධව කඳවුර තුළ අභීතව සටන් කළ මිනිහා. ඔහු කීවේ ප්‍රාදේශීය සභාවකවත් නොහිටි දේශපාලනය නොදන්න ගෝඨාට රට කරන්න බෑ කියලා. 


මම එදා අවංකවම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියත් සමහරු ඇත්තටම ගෝඨාභය ඉස්සුවේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගන්න බව පසුකාලීනව තහවුරු වුණා. ඒ පිරිසට උවමනා වුණේ ගෝඨාභය ජනාධිපති කරවීමට වඩා ගෝඨා ලවා තම සතුරා වන බැසිල් පලවා හරින්න. 

එතන දී ගෝඨාභයගේ සමත් අසමත්කම් ඒ අයට එතරම් වැදගත් වුණේ නෑ. 2015 ජනාධිපතිවරණ සම්බන්ධීකරණය බැසිල්ට නෙමෙයි, ගෝඨාභයට දෙන්න කියලා මහින්දට කීවෙත් මේ අවස්ථාවාදීන් තමයි. ඒක වෙනම කතාවක්.

අවසානයේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණාම වෙල්ගම ඊළඟ ජනාධිපති බිහිවන දැවැන්ත කඳවුර අතහැර ගියා. ඊට පසු ඔහු නැවත විවිධ තැන්වල හිටගත්තා. 2020 සජබෙන් පාර්ලිමේන්තුවට ආවා.

ඔහු දිගටම සිය මතවාදයේ හිටියා. අවසානයේ ආර්ථික අර්බුදය උස්සන්න වුණා. කාබනික පොහොර වැනි අත්තනෝමතික තීන්දු එක්ක කඳුවුරේ ගැමි ජන පදනම නාය ගියා. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දෙස් විදෙස් බලවේග ජනතාව පාරට බස්සලා ගෝඨාභය පළවා හැරියා.

එදා ගෝඨාභයට මුලින්ම විරුද්ධ වුණ ඒ වෙනුවෙන් සටන් කළ වෙල්ගමත් ගෝඨා විරෝධී අරගලයේ ගොදුරක් වුණා. හරියට නම් ඔහු එම අරගලකරුවන්ගේ වීරයෙක් විය යුතුව තිබුණා. තම වාසිය වෙනුවෙන් සියලු පාවදීම් කරන දේශපාලනඥයන් සහ මිනිස්සු අතර වෙල්ගම නියම දේශපාලනඥයෙක්. 

කුමාර වෙල්ගමට නිවන් සුව! 

කලම්බු මෝටර් ෂෝ 2024....!

 මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ.

ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලනාණ්ඩුව බලයට ආ වෙලාවේ. අවුරුදු 10ක් තිස්සේ රාජපක්ෂලා රටේ මහජන බදු මුදලින් සුරසැප වින්ද හැටි කියාපාන්න තමයි, එදා කලම්බු මෝටර් ෂෝ එක කළේ.

අපට ආයේම කලම්බු මෝටර් ෂෝ එක දකින්න ලැබුණේ 2024 අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාණ්ඩුව බලයට පත්වුණ වෙලාවේ. 75 වසරක් තිස්සේ මේ රටේ ජනතාවගේ බදු මුදල් ගසා කමින් පාලකයෝ සුරසැප වින්ද හැටි තමයි, මෙවර කලම්බු මෝටර් ෂෝ එකෙන් රටට ප්‍රකාශ කළේ.

මේ රටේ පශ්චාත් ජනාධිපතිවරණ සමය වර්ණවත් කරන අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක නොකළේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ සහ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ අවස්ථාවේ විතරයි.


මහින්ද ඒ ෂෝ එක නොපෙන්නුවට 2015 ගෙදර ගියේ තිස් වසරක යුද්ධය අවසන් කරලා ඩොලර් බිලියන 20ක රටේ ආර්ථිකය ඩොලර් බිලියන 80 කරලා. රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 07කට නග්ගලා ඒක පුද්ගල ආදායම තුන් ගුණයක් එනම් 3800ක් කරලා.

ඒ වගේ රටට අධිවේගී මාර්ග, ගුවන් පාළම් හඳුන්වා දීලා, රට පුරා මාර්ග කාපට් කරලා 80%ක් විතර ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කරලා විදුලි බලය නිවාස 97%ට විතර දුන්නා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නෙළුම් පොකුණ, නෙළුම් කුලුන, වරාය නගරය, රටේ වැඩිම විදුලි උත්පාදනය සපයන නොරෙච්චෝලේ වගේ දැවැන්ත වැඩ කළේ ඒ කාලේ තමයි.

ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ තමයි, මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න මුල පිරුවේ. 2019 ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නඩත්තු කළ වාහන 1600 අතරින් 50%ක් රටේ සෙසු අමාත්‍යංශවල යොමු කළේ ගෝඨාභය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක පිරිස 2500 සිට 250ට අඩු කිරීමට නියෝග නිකුත් කළා.ඩිපෝවල දිරමින් පැවැති බස් 280ක් විතර අලුත්වැඩියා කරලා ආයේම පාරට දැම්මා. ඒ විතරක් නෙමෙයි, කිසිදු රාජ්‍ය ආයතනයකට 2023 වසර තෙක් අලුතින් වාහන නොගන්නා ලෙස නියෝග කළා. හැබැයි කලම්බු මෝටර් ෂෝ එක නම් කළේ නෑ.

පහුගියදා කළ කලම්බු මෝටර් ෂෝ එකේ ප්‍රදර්ශනය කළ සියලු ම වාහන වගේ 2015-2019 කාලයේ රටට ගෙන ආ වාහන වීම තමයි, වඩාත් උත්ප්‍රාසජනක වෙන්නේ. මොකද ඒ ආණ්ඩුව හදන්න එජාපය වගේ ම මාලිමාවත් වැඩ කළා. ඒ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් තමයි, දැන් අපේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා.

ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කියනවා, ජනාධිපති ලේකම් කාර්යාලයේ තම වාහනය ඇතුළු සියලු වාහන නිල වශයෙන් භාරදුන් බව. ඉතින් දැන් මේ ෂෝ කළා ඇති. රටේ ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන සැලැස්ම ක්‍රියාත්මක නොකර මේ වගේ ෂෝ පෙන්න පෙන්න හිටියෝත් එදා ෂෝ පෙන්නපු ආණ්ඩු වගේ අවාසනාවන්ත ඉරණමකට තමයි, මේ ආණ්ඩුවටත් මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා ජනතාව බොහෝම ලොකු අවදානමක් අරන් මාලිමාවට බලය දුන් එකේ ප්‍රතිඵල ඒ ජනතාවට ලබා දීම තමයි, මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම.

Thursday, September 26, 2024

වාහන අවභාවිතය සහ බොරුව...

 ජනාධිපතිවරයෙක් ඉවත් වෙද්දි ඔහුගේ වාහන, ඔහු යටතේ වැඩකළ නිලධාරීන්ගේ සහ ඔහු යටතේ ක්රියාත්මක වූ ආයතනවල වාහන භාර දෙනවා.

ඒවා කවුරුවත් ගෙදර අරන් යන්නේ නෑ. ඒ වාහන ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල භාවිතයට ලබා ගන්නවා. අලුතින් උපන් facebook දේශපාලන උගත්තු නොදැන හිටියට 2005, 2015 වගේම 2019ත් මේක මේ විදිහටම වුණා.
එහෙම නැතිව වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය හෙට ඉඳලා බස් එකේ එන්නේ නෑ. කෝච්චියේ එන්නෙත් නෑ. ත්රීවිල්වල එන්නෙත් නෑ. කරත්තවල එන්නෙත් නෑ.
ඉතින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලේ වාහන ගෙදර අරන් ගිහින් අලුත් ජනාධිපති කාර්ය මණ්ඩලේ ටුක් ටුක්වල වැඩට ආව නම් ඔන්න ඒක නිව්ස් එකක් තමයි.
ඊයේ වීඩියෝ කරලා මහා අපරාධයක් විදිහට ප්රදර්ශනය කළ වාහන වර්තමාන ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය අද හෙට අරන් යනවා. ඒ අයට රාජකාරි කරන්න තමයි, මේ වාහන ඇනිය තියෙන්නේ.

2019 බලය⁣ට ආ ගෝඨාභය ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 ඉඳලා 250ට අඩු කළා. වාහන සිය ගණනක් නැවත මුදල් අමාත්යංශයට භාර දුන්නා. හැබැයි ඒවා වීඩියෝ කරලා ප්රදර්ශනය කළේ නම් නෑ.

Tuesday, September 24, 2024

අනාගමික රාජ්‍යය සහ අගමැති හරිනි...!

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කොට මේ රට අනාගමික රාජ්‍යයක් විය යුතු බව 2015 යහපාලනාණ්ඩුව යටතේ ගෙන ආ ලාල් විජේනායකගේ රට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට යෝජනා කළේ හරිනි අමරසූරිය. පහත ඡායාරූපයේ 9 වැනි පාද සටහනේ ඒ විස්තරේ තීනවා.

එදා මහා සංඝරත්නය සහ ජාතික සංවිධාන එක්ක එකතු වෙලා රටේ ජනතාව දැනුම්වත් කරලා මේ යෝජනාවලිය පරාජය කරනවා. ඒ සම්මන්ත්‍රණවලට මමත් එදා රට පුරා ගියා. 2018 ප්‍රාදේශීය සභා ඡන්දෙන් එවක ආණ්ඩුව අතුගා දමන තැනට ජන රැල්ලක් හදාගන්න එහි බලපෑම විශාල දායකත්වයක් දැක්කුවා.


අපට වසර 2500ක් බුදු දහම රැකගන්න පුළුවන් වුණේ එය රාජ්‍යත්වය සමග බැඳ තැබූ නිසායි. මහරජ ගැමුණු, ආක්‍රමණික එළාර පරාජයට සටන් වැදුණේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රට සැප පිණිස නොව බුදු දහමේ චිරස්ථිතිය පිණිසයි කියලා ජාතියට ප්‍රතිඥාවක් දීලා. 

දළදා සමිඳුගේ භාරකාරත්වය හිමි පුද්ගලයා රටේ රජු විදිහට සලකන සම්ප්‍රදාය අපේ මුතුන් මිත්තන් ගොඩනැගුවේ බුදු දහමේ ආරක්ෂාවට. "බුදු දහමට උඹලා ආරක්ෂා කොරන්න ඕන නෑ, බුදු දහම උඹලාගේ ආරක්ෂාවටයි" කියන නිරාගමික පල්ලි කපුටන්ගේ පෝස්ට් ෆේස්බුක් එකේ ශෙයාර් කරන පුස්සෝ ඉතිහාසය දන්නේ නෑ. 

අවිහිංසාවාදී බුදු දහමට රාජ්‍ය ආරක්ෂාව අහිමි වුණ පැරණි බෞද්ධ රාජ්‍යය වුණු ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව අද අබෞද්ධ රටවල්. ඇෆ්ගනිස්ථානයේ සුවිශාල බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා ඒවාට පුද පූජා කළ ඇෆ්ගන් බෞද්ධ මුතුන් මිත්තන්ගේ අබෞද්ධ මුනුබුරෝ තමයි, ඒ ප්‍රතිමා බෝම්බ දාලා බිමට සමතලා කළා.


අපි ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව පරාජය කරලා වසර කිහිපයක් ගතවෙද්දි 1815 ඉංගිරිසිකාරයා උඩරට ගිවිසුමට දාන්නත් බයවුණ මේ අනාගමික රාජ්‍යය යෝජනාව ගෙන ආ හරිනි රටේ අගමැති පුටුවට එන එක අහම්බයක් ද?

කවදාවත් ජවිපෙ නොහිටි මාලිමා ජාතික ලැයිස්තුවෙන් ආ හරිනි කාගේ අතකොළුවක් ද? අමරපුර නිකායේ ගිහි ලේකම් හෝ භාණ්ඩාගාරික බව කියන විජිත හේරත් අගමැති ධුරයට නුසුදුසු ඇයි?

මාලිමා ප්‍රතිපත්තිය අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා අනුර දිසානායක, විලියම් ගොපල්ලව පන්නයේ රූකඩයක් කරලා, රට පාලනය කරන්නේ අනාගමික හරිනි ද? 

Sunday, September 22, 2024

අලුත් ජනාධිපතිතුමාගේ වගකීම...

ආර්ථික අර්බුදය කියන කුණාටුව මැද ලංකාව කියන ගුවන් යානය රනිල් කියන පළපුරුදු නියමුවා ආරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යන ලකුණු දැක දැක, ඒ යානයේ ඉකොනොමි ක්ලාස් සීට් දෙකකට වෙලා පොර ටෝක් දිදී හිටි කවදාවත් ගුවන් යානා ධාවනය නොකළ දෙන්නෙකුට යානයෙේ නියමු කටයුතු බාරදෙන්න මම කැමති වුණේ නෑ.

නමුත් රටේ බහුතරය එම තීන්දුව ප්‍රතික්ෂේප කරලා. යානයේ මගීන් 50%ක බහුතරය අර ඉකොනොමි ක්ලාස් ගිය දෙන්නාගෙන් කිසිවෙකුටවත් කැමති නැතත් තව දුරටත් යානය පළපුරුදු රනිල් ඉදිරියට රැගෙන යනවාට කැමති වෙලා තිබු⁣ණේ 17%යි. බහුතරයේ කැමැත්ත නියමුවා මාරු කරන්න. ඒක මමත් පිළිගන්නවා. ඒක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය. 

දැන් අපි සියලු දෙනා ඉන්න ගුවන් යානය අනුර කියන අලුත් නියමුවා අතට ලැබිලා. ගමන අතරමග නිසා අවදානම් කියලා යානයෙන් පනින්නත් බෑ. පැනලා ඉතින් කිප දෙනෙක් විතරක් බේරුණත් වැඩක් නෑ. අලුත් නියමුවාට කැමති වුණ 42%කගේ වගේම අනික් නියමුවට කැමති වුණ 32%කගේ ජීවිතත් දෙන්නාටම විරුද්ධ වුණ 17%කගේ ජීවිතත් දැන් අලුත් පයිලට්ගේ අතේ. කොටින්ම අලුත් නියමුවාට විරුද්ධ වුණ 58%කගේ ජීවිතත් ඔහු අතේ.


ඉතින් යානය අපි කැමති කෙනාට නොලැබුණා කියලා දෙස් දෙවොල් තියලා අනේ මේක කඩා වැටියං කියලා කොඩිවින කරලා වැඩක් නෑ. මොකද වැටුණොත් වැටෙන්නේ අපි හැමෝම එක්ක අපේ රට කියන යානාවම මිසක් අලුත් පයිලට්ගේ ටීම් එක විතරක් නම් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙම දෙස් තියන පිරිස මෙවර අලුත් නියමුවාට පක්ෂපාතී වීමත් එක අතකින් ර⁣ටේ වාසනාව.

ඒ නිසා අපි සියලු දෙනා එක්ක මේ යානාව ආරක්ෂිතව තොටුපළකට ගෙන එන්න අලුත් පයිලට්තුමාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ❤️ හැබැයි පයිලට් මනා සිහියෙන් වැඩ නොකළොත් අපි එහෙම ප්‍රාර්ථනා කළා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම පයිලට් පිස්සු කෙළින කොට අපට ගංජා බීලා නන්දාගේ පවන අහ අහ ඉන්නත් බෑ.

මේක විපක්ෂයේ ස්ටේජ්වල හිටං ආර්ථික අර්බුදයෙන් බැට කෑ අසරණ ජනතාවට ගැලරි චූන් කරන්න කී සුරංගනා කතා අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එහෙම වැඩ කළොත් 2015 යහපාලනාණ්ඩුව රට ඇදලා දැම්මාට වඩා ආගාධයකට, මරියානා ආගාධයටම රට වැටෙන්න පුළුවන්. ඒ අවධානම තේරුම් ගන්නම වෙනවා.

හොරු ඇල්ලීම, හොරා කෑ ධනය රාජසන්තක කිරීම, උගන්ඩාවේ සඟවා ඇති ධනය ගෙන ඒම, නාස්තිය වංචාව දුෂණය අවම කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසි කිරීමේ කිසිම වරදක් නෑ. ඉතාම හොඳයි. හැබැයි රටේ හිටපු මුල් පුරවැසියන් වන හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ඇතුළු යම් වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මොකද ඒ අය හමුවෙන්න විදෙස් රාජතාන්ත්‍රික කණ්ඩායම් එනවා. එවිට ඔහු ගතකරන ජිවිතය අපේ රට ගැන යහපත් ප්‍රතිරූපයක් ලෝකයට දියයුතුයි. ඒක කවදා හෝ වත්මන් ජනපතිටත් අදාළයි.

මේ වෙලාවේ වඩාත් වැදගත් රටේ ආර්ථික සුරක්ෂිතතාව. රටේ භෞතික අඛණ්ඩතාව, ඒකීයභාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් ආර්ථික සුරක්ෂිතතාව සාතිශය වැදගත්. පහුගිය කාලේ සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, හරිනි අමරසූරිය, චතුරංග අබේසිංහ, හර්ෂණ සූරියපෙරුම ඇතුළු පොතේගුරු ආර්ථික මහාචාර්යලා කළ කී කතා අනුව ආර්ථිකය ගෙනියන්න උත්සාහ කළොත් මේ යානයේ ඉන්ධන  ඉවර වෙනවා, ගුවන්තොටුපළට ළං වෙන්න කලින්ම.

අපි ඉන්නේ IMF විරෝධී, විදෙස් ආයෝජන විරෝධී කියුබානු, උතුරු කොරියානු පන්නයේ මාරාන්තික අත්හදා බැලීමක් තරමක කාලයක් හරි දරාගන්න පුළුවන් 2015 වගේ සුරක්ෂිත ස්ථානයක නෙමෙයි. 

ඒ නිසා වෙන වෙන මොන වෙනස්කම් කළත් වර්තමාන මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ අගසව්වන් කරගෙන අලුත් නියමුතුමාට ලක්ෂ 220ක් මගී ජීවිත එක්ක අපේ රට නමැති ගුවන් යානය ආරක්ෂිත තොටුපළ දක්වා රැගෙන යාමට ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 
සිය රට දේ සිරි සැප දේ !