Tuesday, March 29, 2022

ජනතාවගේ ගෙවල්වල වගේ ම පාලකයින්ගේ මන්දිරවලත් විදුලිය කපනු...!

මේ අපි ගෙවන්නේ ඉතා ම දුෂ්කර කාලයක්. දවසේ වැඩ කරන කාලයෙන් විශාල කොටසක් විදුලිය නෑ. රටේ තෙල් ගෑස් හිඟයක්. ජනතාව පෝලිම්වල. මේ වෙලාවේ විදුලි කප්පාදුව ජනපති මැදුර, මන්ත්‍රී නිවාස සහ පාර්ලිමේන්තුව වගේ තැන්වල සිදු නොවන බව ප්‍රකාශ වෙනවා. මේ ප්‍රකාශ පවා ජනතාව තුළ කෝපය වෛරය අවුළුවන බව ආණ්ඩුව තේරුම් ගැනීම වැදගත්.

රෝහල්, වෙළඳ කළාප ආදිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා නොවන සියලු ස්ථාන සඳහා වෙනසකින් තොරව විදුලිය විසන්ධි කළ යුතුයි. විශේෂයෙන් දේශපාලකයින්ට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු නෑ. මේ රටේ විදුලිය කපන තැනට එන්න තක්කඩි නිලධාරීන් වගේ ම අඩුවැඩි වශයෙන් දේශපාලකයිනුත් වගකිව යුතුයි. පසුගිය ආණ්ඩුව අන්තවාදීන්ගේ පීඩනයට බයවෙලා සාම්පූර් බලාගාරය ඉදිනොකිරීම ඊට මූලික හේතුවක්.

සාම්පූර් හදලා ගල් අඟුරුවලින් විදුලිය ගන්න අවස්ථාව ලැබුණා නම් අපට පසුගිය කාලයේ විදුලිය සඳහා වැය කළ ජලය, ඩීසල් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගන්න තිබුණා. ඒ වගේ ම පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි පද්ධතියට එකතු කිරීම සඳහා ඉඩනොදුන් ද්‍රෝහී නිලධාරීන් වගේ ම පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ඇතැම් බලාගාරවල විදුලි ජනන යන්ත්‍ර අක්‍රීය කළ බවටත් චෝදනා නැඟෙනවා. මේ ගැන මෙතෙක් කිසිම පියවරක් නොගැනීමෙන් එවැනි අපරාධකාරයින්ට තටු ලබා දී තිබෙනවා.

මේ අවස්ථාවේ රටේ තිබෙන විදුලිය ජනතාවට නොදී දේශපාලකයින්ගේ නිවෙස්වලට, පාර්ලිමේන්තුවට පමණක් නෙමෙයි, ජනපති මැදුටත් අඛණ්ඩව ලබා දීම වැරදියි. ජනතාව වගේ ම පාලකයනුත් මේ අපහසුතා විඳින්න ඕන. එතකොට එහෙම නොවන හෙටක් ගොඩනඟන්න පාලකයින්ටත් ඥානය පහළ වෙයි. අනෙක් අතට ජනතාවට පාලකයින් කෙරෙහි පවතින අධික වෛරය කෝපය සංසිඳේවි.

ජනතාව විදුලියත් නැතිව තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල තමන්ගේ ජීවිත කාලය දියකර හරිද්දි ජනපති මැදුරට මන්ත්‍රී නිවාසවලට අඛණ්ඩව විදුලිය දෙනවා කියල ප්‍රචාරය කරද්දි අර ජනතාව තුළ ඇති වන හැඟීම් පාලකයින් තේරුම්ගත යුතුයි. පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් සතියකට හෝ දෙසතියකට නැත්නම් මසකට දිනක් කැඳවීමෙන් රටට මේ වෙලාවේ සිදුවන වාසිය, අවාසියට වඩා වැඩියි. 

එවිට රට පුරා සිට පාර්ලිමේන්තුවට එන වාහන සිය ගණනක් නවතිනවා. එමගින් අධික ඉන්ධන පරිභෝජනය කරන එම වාහනවල ඉන්ධන ටික ඉතිරි වෙනවා. පාර්ලිමේන්තුවේ කැන්ටිමේ වියදම නවතිනවා. විදුලි බිල ජල බිල ඉතිරි වෙනවා. මේ අසීරු අවස්ථාවේ පාලකයින් ජනතාව සමග ඊට මුහුණ දිය යුතුයි. 

යුද්ධය අවස්ථාවේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ පුතා යෝෂිත නාවික හමුදාවට එකතු වීම මානසික සටනක කොටසක්. පාලකයින් සිය දරු පවුල් ප්‍රභාකරන්ගෙන් බේර ගන්න විදෙස් රටවල හංගද්දි එය එක්තරා කැපකිරීමක්. ඉතින් අද ජනතාව වගේ ම පාලකයනුත් විදුලිය නැතිව අඳුරේ සිටිය යුතුයි. මේ අර්බුදයෙන් ජයගන්න ජනතාව පෙළ ගස්වා ගැනීමට එය ඉතා ම වැදගත්. 

1 comment:

Me තුමා said...

නාමල් අසනීපෙන්ද ? එහෙනම් බෙහෙත් ටිකක් ගන්න,
රෝහල් වල ඉන්නේ ලෙඩ්ඩු, වෙළඳ කළාප වලින් කෙරෙන්නේ රටට අවශ්‍යම ඩොලර් සපයාගැනීම. ඕවට විදුලිය විසන්ධි කරන්න කියන්නේ අමුම අමු තක්කඩි වැඩක්. ලැබෙන ඩොලර් දෙකටත් කෙළවන්න එපා අයිෂේ.
සාම්පුර් හැදුව කියමුකෝ කවුද ගල් අඟුරු දෙන්නේ රටේ තියෙන ගස් පුච්චලා අඟුරු හදල ඒකට දාන්න බෑ. පිටරටින්ම ගල් අඟුරු ආනයනය කරන්න ඕනේ. ඩොලර් ගස් වලින් කඩන්නද?. ඩොලර් තිබෙනවානම් තෙල් ගෙන්නලා දැනට වැහිලා තියෙන බලාගාර දුවවනවා නේ.
ලකුණු අඩු කරලා බඳවා ගත්තනම් යෝෂිත නෙවේ තව බොහොමයක් කොල්ලො කෙල්ලො හමුදාවට ඒවි.

 
සිය රට දේ සිරි සැප දේ !