Monday, December 20, 2021

මුරුත්තෙට්ටුවේ හිමි පවත කියා දෙන පාඩම..෴

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මම පුිය කරන චරිතයක් නෙමෙයි. නමුත් මම ඊට වඩා පිළිකුල් කරන  චරිතයක් සමග වුණත් තැනට ඔබින විදිහට හැසිරෙන හැටි මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් කියල දුන්නා. පරිණතකම කියන්නේ තමන් අකමැති තමන්ට අකමැති අය එක්ක සුහදව ගනුදෙනු කරන ආකාරය කෙටියෙන් ලියන විදිහ කියල අද මට හිතෙනවා.

මම ශිෂ්‍යයෙක් විදිහට අවුරුදු හතරක් වගේ ම ඇකඩමික් පර්යේෂකයෙක් විදිහටත් කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 10ක් වැඩ කළා. ඒ කාලය තුළ අපට විෂය දැනුම වගේ ම සමාජ දැනුමත් කොළඹ සරසවියෙන් නොමැන ම පෙවූ බව ගෞරවයෙන් කියන්න ඕන.

විශ්වවිද්‍යාලයක උපාධිය .ලබා ගන්න උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීම අනිවාර්ය නෑ. එහි දී පදක්කම් පිරිනැමීම, සංකේතාත්මක උපාධි මංජුසාව ලබා දීම සහ ඡායාරූප කිහිපයක් ගැනීම හැර කිසිවක් වන්නෙත් නෑ. ඕනෑ ම හේතුවක් මත එම උලෙළට නෑවිත් ඉන්නත් පුළුවන්.

කාට හරි කුලපති මුරුත්තෙට්ටුවේ  හාමුදුරුවන්ට විරෝධය පාන්න ඕන නම්, එහිමියන් අතින් උපාධි මංජුසාව ගන්න අකමැති නම් උපාදි ප්‍රදානෝත්සවට නෑවිත් ඉන්න තිබුණා. එහෙම කළා නම් ඇත්තට ම තමන් අවු. 3-4ක් කොළඹ වශ්වවිද්‍යාලයේ ගත කරලත් එළියට ගියේ හිස් ටිං එකක් වගේ කියලා රටට ලෝකයට නොපෙන්වා ඉන්න තිබුණා. 

මේ වගේ ඊනියා රැඩිකල් පට්ට මෝඩ විරෝධතාවලින් සමාජයට අනාවරණය වෙන්නේ තමන්ගේ හිස්කම මිස වෙන කිසිවක් නෙමෙයි. අපි ගරු කරන්න ඕන අපි උගත් විශ්වවිද්‍යාලයේ කුලපති කියන ධූරයට මිස ඒ පුද්ගලයට නෙමෙයි. 

හුදු උගත්කම මිස විනයක් නැති මේ වගේ අය කිසිම ආයතනයකට බඳවා ගන්න පෞද්ගලික ව්‍යවසායකයෙක් කැමති නෑ. ඉතින් ලිප්ටන් වටරවුමේ වාඩිවෙලා ආයේම ආණ්ඩුවේ පිංපඩියකට සෙට් වෙනවා ඇර විකල්පයක් නෑ.

අනික කුලපතිකම හුදු දේශපාලන පත්වීමක් කියන එක හරි ම මෝඩ බොළඳ අදහසක් නිසා ඊට පාන විරෝධයත් ඒ වගේ ම බොළඳයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම දේශපාලනිකයි. කුලපති විතරක් නෙමෙයි, උප කුලපතිත් දේශපාලනිකයි. 

ඒ විතරක් නෙමෙයි, මේ ආයතනවලට කථිකාචාර්යවරු බඳවා ගැනීමත් දේශපාලනිකයි. කුලය, පළාත, ආගම, කල්ලිය විතරක් නෙමෙයි, ස්ත්‍රී පුරුෂභාවය පවා පළමු පන්තියේ සමාර්ථ, පදක්කම්වලට වගේ ම ආධුනික කථිකාචාර්ය තනතුරුවලටත් ශාස්ත්‍රීය නිපුණතා සහ ඇල්මට වඩා බලපානවා. 

අපේ අවසාන වසර හොඳ ම නිබන්ධනයට හිමි කුසලානය මට ලබා නොදීමට එක ම හේතුව එක් ඇදුරෙකුට එය සිය සිත් ගත් තරුණියකට ලබා දීමට තිබූ නොතිප් ආශාව බව මට කීවේ ඒ කමිටුව නියෝජනය කළ තවත් ආචාර්යවරයෙක්මයි. 

ගුණදාස අමරසේකර පද්‍ය විචාර සම්ප්‍රදාය ගැන මා කළ නිබන්ධනය පැත්තකට දාලා ඉපැරණි කොරවක්ගල් මුරගල් ? ගැන කළ නිබන්ධනයකට සම්මානය ලැබුණා. (මා උගත්තේ සිංහල අධ්‍යයනාංශයේ මිස ඉතිහාසය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක යැයි නොසිතත්වා!)

නමුත් ඒ මිතුරිය හෝ ගුරුවරයා සමග මගේ කිසි ම අහිතක් නැත්තේ, එය මේ ගණයේ පළමු හෝ අවසාන සිදුවීම නොවන නිසා. අනෙක් අතට ඒ දීප්තිමත් ආචාර්යවරයාගෙන් මා බොහෝ දේ උගත් බව අදත් සිහිපත් කරන්නේ ඉතා ම ගෞරවයෙන්. 🙏

මා විශ්වවිද්‍යාල ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අමිහිරි අත්දැකීම්වලට එරෙහිව නීතිය හමුවට  යන්න කී ගුරුවරුත් හිටියා. නමුත් ඒ වගේ උඩ බලලා කෙළ ගහන වැඩවලට මම කැමති වුණේ නෑ. ඒක මා නොලද දේට වඩා ලද දේට කරන අගෞරවයක්. 

ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යාලය එහි විසල් පුස්තකාලය මම අදත් හිතින් පැදකුණු කරනවා. ඒ ගෞරවය අභිමානය ඉදිරියේ අර අමිහිරි අත්දැකීම් නොගිණිය යුතු තරම්. මම මේ ටික වුණත් කීවේ අදේශපාලනික පිවිතුරු කිසිවක් නෑ කියල කියන්න ඕන නිසයි.

අනෙක් අතට මේ කුලපති විරෝධය හුදු උගත්කම නිසා උදුම්මාගත් හිසින් සහ ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරන තැතක් විතරයි. 

උගත්කම වගේ ම බුද්ධිය තිබෙනවා නම් මේ මට්ටමට කිසිවෙක් වැටෙන්නේ නෑ. බොහෝ උපාධිකාරයින්ට වඩා දැනුම සමාජාවබෝධය ඔවුන් නූගතුන් යැයි ගරහන අයට තිබෙනවා. ගුරුවරයාගේ නිබන්ධනය කට පාඩම් කර විභාග පාස් කළ පමණින් ඒ දැනුම ලබන්න බෑ.

සරසවියේ සමාජවාදී ආණ්ඩු පිහිටුවන, ධනපති භංග කරන සටන්බිමේ මම හිටියේ නෑ. පන්ති පහ කරල, උසස් පෙළ සහ අනතුරුව මහජන බැංකුවේ සේවය කළ කාලයේ ම එහි හිස් බව පසක් වුණා. 

ඒ නිසා මගේ විශ්වවිද්‍යාල කාලය තුළ මගේ වැඩි ම කාලය ගෙවුණේ විශ්වවිද්‍යාල මහ පොත්ගුලේ. ඒ කාලය තුළ මම විෂයානුබද්ධ පොතපත වගේ ම විෂයානුබද්ධ නොවන පොතපත දහස් ගාණක් කියවලා ඇති. 

මම තරම් ඒ කාලය තුළ පුස්තකාලය පරිහරණය කළ කිසිවෙක් හිටියේ නෑ. මගේ මිත්‍රයෝ මා මුණ ගැහෙන්න කෙළින්ම ආවේ පුස්තකාලයට. කවුරු හරි මං ගැන විමසුවොත් ඔවුන් මා නොදැකම කීවේ "ලයිබ්‍රියේ ඉන්නවා" කියල. පුස්තකාලයේ මා ඉන්න කොටසේ විදුලි පහන්, විදුලි පංකා නිවා ගෙන, එහි සේවකයින්ටත් ඉසිඹුවක් සලසා, සැඳෑ කළුවර සමග අවසාන සීනුව නාද වන මොහොතේ ඒ මහා පොත්ගුලෙන් නික්ම යන හැටි මට අද වගේ මතකයි.

ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැදගත්කම හෝ වටිනාකම මට උපාධි මංජුසාව ලබා දෙන තැනැත්තා මත රැඳෙන බවක් කවදාවත් හිතුණේ නෑ. අපි කතෝලිකයෝ නොවුණත් එවක කුලපති ඔස්වල්ඩ් ගෝමස් පියතුමා  ඉදිරියේ බොහෝ ම ගෞරවයෙන් හිස නමලා උපාධි මංජුසාව ගත්තා. 

නමුත් විශ්වවිද්‍යාලයට ගිහින් එහි නිසි ඵල නෙළා නොගත්, රතු විප්ලවයේ කොටස්කාරයෝ වෙලා අවසානයේ වසර 3-4කින් හිස් අතින් ලිප්ටන් වට රවුමට තල්ලු වන අයෙකුට මැද සාලයේ තබන උපාධි පුදානෝත්සව පින්තූරය මහ මෙරක් වෙන්න පුළුවන්.

මේ රටේ මහ ජනතාව බොහොම අමාරුවෙන් එක් උපාධිධාරියෙකුට තමන්ගේ මුදල් ලක්ෂ 10ක් විතර වැය කරල නෙළා ගන්න අස්වැන්න හුළඟට යනවා දකින කොට මොනවා හිතෙනවා ඇද්ද?

නාමල් උඩලමත්ත

3 comments:

ජසොන් said...

යන්නෙ කොහේද මල්ලෙ පොල්. මූ.ආ.න්‍රර්ස් හාමුදුරුවන් ගෙ සුදුසුකම් දාලා පෙන්නන්න.බය්යන්ගෙ අන්තිම තුරුම්පුව කතෝලික බෞද්ධ විරසකයක් මැවීම වගේ.

Gurusinghe said...

කසා හරි, කුලපති අද්යන තනතුරක් නොවේ, අවම සුදුසුකමක් අවශ්‍ය නොවේ. ජ වී පෙ මෝඩකමට බෙහෙත් නැත. AKD

ජසොන් said...

හැමදාම නේස් වර්ජන කරලා මරලා දාපු ගාන හොයන්න ක්‍රම නෑ..

-මාතලන්

 
සිය රට දේ සිරි සැප දේ !