Wednesday, January 19, 2022

මිල්කො සභාපති එළවා දැමිය යුතු ද?

තෙෂාර ජයසිංහ වෙනුවට රේණුක පෙරේරා ලිට්‍රො සභාපති කිරීම වගේ ම ලසන්ත වික්‍රමසිංහ වෙනුවට රේණුක පෙරේරා මිල්කො සභාපති කිරීමත් ප්‍රඥාවන්ත තීන්දු නෙමෙයි. රටේ ගෑස් අර්බුදයක් තිබුණ නිසා කලබලෙට කොරස් කටෙත් අත දා ගන්න බැරි වෙනවා වගේ ලිට්‍රො සභාපති මාරුව නම් අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් මිල්කෝ ආයතනය? එය මේ වන විට ඉතා ම හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක්.

මිල්කො ආයතනය යහපාලන කාලේ අවසන් වසර තුනේ මිලියන 2000කට වඩා පාඩු ලබමින් ජනතා බදු මුදල් ගිලිමින් පණ ඇද්ද ආයතනයක්. එහෙම ආයතනයක් තමයි, ලසන්ත එහි සේවකයින්ගේ නොමද ආශීර්වාදය සහ කිරිගොවීන්ගේ දායකත්වයත් ලබා ගෙන වසරකට මිලියන 400ක් ලාභ ලබන තැනට දියුණු කරන්නේ. 

ඒ විතරක් නෙමෙයි, මේ වන විට මිල්කො ආයතනය සේවකයින්ට බෝනස් ගෙවීමට වගේ ම කිරිගොවීන්ට ගෙවන මුදල 30%කින් වැඩි කරන්න කටයුතු කරලා අවසන්. ඒ අනුව මිල්කො ආයතනය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ කියන ජාතික සම්පත් වැඩි දියුණු කිරීම දේශීය ආයතන ශක්තිමත් කිරීම මේ වන විටත් ඉතා ම හොඳින් කරමින් තිබෙන ආයතනයක්. එම ලාභ ලැබීමේ රහස තවත් රහසක් තමයි, ආයතනය තුළ සිදු වූ දූෂණය වංචාව විශාල වශයෙන් සීමා කිරීම. 

ලසන්ත ඉවත් කිරීම සඳහා ඉහළට වැරදි තොරතුරු ලබා දෙන අය අතර යහපාලන කාලේ ආයතනයට මිලියන 2000ක් පාඩු වෙද්දි ඒ මුදල සාක්කුවට ගිය, එහෙම නැත්නම් පසුගිය වසර දෙකේ මිල්කො මිලියන 800ක් ලාභ ලබද්දි ඒක තමන්ගේ සාක්කුවට නොගිය අය ඉන්න පුළුවන්.  

එවැනි පසුබිමක පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට තනතුරක් දිය යුතු නිසා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ආයතනයක සභාපති තනතුර මාරු කිරීම ආණ්ඩුවට වගේ ම රේණුක පෙරේරාටත් හොඳ නැහැ. ඒ සියල්ලට ම වඩා මේ පත්වීම ඔස්සේ රටට ලබා දෙන පණිවිඩය හොඳ නෑ. ඒ වගේ ම ලසන්ත යුතුකම ජාතික සංවිධානය, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ වගේ සංවිධාන ගොඩනඟමින් 2015 ඉඳන් යහපාලනාණ්ඩුව ගෙදර යවලා ජාතිකත්වය අපේකම රජයන ආණ්ඩුවක් ගොඩනඟන්න පෙරමුණ ගත් තරුණ නායකයෙක්. 

ඉතින් දේශපාලනඥයින් ආයතන සභාපති මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලවලට නොදමන බව කියමින් අයඳුම්පත් කැඳවලා විශේෂඥ මණ්ඩල යටතේ සම්මුඛ පරීක්ෂණ කරල පත් කළ දක්ෂ සාර්ථක සභාපතිවරයෙක් කිසි ම හේතුවක් නොමැතිව දැහැටි දණ්ඩක් වගේ විසි කිරීමෙන් රටට ලැබෙන පණිවිඩය මොකක් ද? ලක්ෂ 4-5ක් මාසික වැටුපක් ලබමින් ජාත්‍යන්තර ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කර ඒ සියල්ල අතහැර රට වෙනුවෙන් සේවය කරන්න පැමිණි තරුණයෙකුගේ ආත්ම අභිමානයට මොකද වෙන්නේ? එහෙම කරද්දි ජනාධිපතිතුමා ආරාධනා කළත් එදා තාප්පවල චිත්‍ර ඇන්ද, පුරන් කුඹුරු අස්වැද්දු තරුණ පරපුර නැවත රට වෙනුවෙන් ඉදිරියට ඒවි ද?

මේ සියල්ලට ම වඩා රේණුක පෙරේරා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයා එක්ක වැඩ කරන්න බෑ කියලා තමන්ට පැවරූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිකමින් ඉල්ලා අස්වී ගෙදර ගිය කෙනෙක්. තමන්ට පැවරූ වගකීම එහෙම අතරමග දාලා ගිය කෙනෙකුට සියලු බාධක ජයගෙන ආයතනයක් සාර්ථකත්වය කරා රැගෙන ආ පුද්ගලයා පැත්තකට විසි කරලා තනතුරු ලබා දීමේ පදනම මොකක්ද කියල මට නම් තේරුමක් නෑ. එහෙම කරල මිල්කො ආයතනය නැවත බිඳ වැටුණොත් ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන චෝදනා විපක්ෂයේ බොරු චෝදනා වගේ නොතකා හරින්න ජනතාව කටයුතු කරන එකක් නෑ. 

ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේ අප හමුවේ ඇති අභියෝග ජයගනු මිස නැති ප්‍රශ්න නිර්මාණය කර ගෙන ඒ සඳහා පිළිතුරු සෙවීමට කාලය මිඩංගු කළ යුතු නෑ. රටේ අනාගත අභිවෘර්ධිය උදෙසා මේ ආණ්ඩුවේ අනාගත පැවැත්ම වගේ ම එහි ආරක්ෂාව පිළිබඳ නිරතුරුව සිතන මගේ අදහස නම් ලසන්ත වික්‍රමසිංහ කිසිසේත් මිල්කො ආයතන සභාපති ධූරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එම තීන්දුව රටේ යහපත තකා ආපසු හැරවිය යුතු බවයි. රේණුක පෙරේරා අදාළ පත්වීම භාරනොගත යුතු බවයි. රේණුක පෙරේරාට ආණ්ඩුවේ තනතුරක් දිය යුතු ම නම් කළ යුතු වන්නේ පසුගිය වසර දෙක තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදුන් ආයතනයකට ඔහු පත්කිරීමය. 

Monday, January 17, 2022

නික්ම ගිය නීලාවන් ගැන..

නීලා වික්‍රමසිංහ මා වඩාත් ආකර්ෂණීය වන, මට වඩාත් දැනෙන කට හඬ හිමි ගායිකාව ය. ඒ, ගුවන්විදුලියෙන් අප ඇසූ ඇගේ මුල් කාලීන ගැඹුරු හඬට නොව කාලයක් තිස්සේ ගීත ගායනා කිරීමෙන් සුසර වූ ඉසියුම් මධුරතර හඬට ය. සිලිං බිලිං, බලා හිඳිමි, දස්කොන් සකිසඳ වැනි ගීතවල මට ඇසෙන්නේ ඒ මධුර හඬය. ඈ නික්ම යන්නට පෙර ද මම මේ පිළිබඳ කිහිප වරක් ලියා තැබීමට අවස්ථාව ලැබීමට ඉඩ ලැබීම සැනසිල්ලකි.

නීලා තුළ ගායිකාවක, සංගීතවේදිනියක, ගුරුවරියක මෙන් ම තම නිජබිමට ආදරය කළ, ඊට අනතුරක් වනු දුටු සඳ ඊට එරෙහිව නිර්භයව නැඟී සිටි අනාගතය විනිවිද දුටු අභීත ගැහැනියක් ද සිටියා ය. එදා 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත්කළ අවස්ථාවේ ඈ සිදුකළ ප්‍රකාශයෙන් එය මොනවාට තහවුරු වෙයි.

රටේ සමස්ත භූමියෙන් 3/4ක පමණ ප්‍රදේශයක් පරාජයට පත් වූ බහුතර සිංහලයන් ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන උතුරු නැගෙනහිර ඇතුළු සුළු ජන ඡන්දවලින් බලයට පත්වූ අවස්ථාවේ ම රට වන නස්පැත්තිය නීලා දුටුවාය. ඈ ඉවසීමේ සීමාව ද අහිමිව හඬා වැටෙමින් උක්ත ප්‍රකාශය කළේ එහෙයිනි. මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කොට ආරම්භ වූ ඒ කලියුගයෙහි හම්බන්තොට වරාය විකුණා දැමීම, මහා බැඳුම්කර කොල්ලය, රණවිරුවන් ජිනීවා දංගෙඩියට යැවීම, උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය බුල් ඩෝසර් කර මිරිස් වැවීම, රට දෙකඩ කරන MCC ගිවිසුම අත්සන් කරන මුව විටට ම රට ඇදගෙන ඒම සහ අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල වන තැනට ජාතික ආරක්ෂාව දුර්වල කර ජන සංහාරයක් සිදුකිරීම වැනි අපරාධ මිස රටට සිදු වූ සෙතක් නැත. ඒ බව නීලා දුටුවේ සියලු ද්‍රෝහී බලවේග එකතු වී 2015 මහින්ද රාජපක්ෂ පරාජය කළ අවස්ථාවේ ය.

එම වසර පහ තුළ සමස්ත ආර්ථිකය බිඳ වැටුණි. ආර්ථික වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම, විදේශ සංචිත ආදී සියල්ල කඩා වැටුණේ කොවිඩ් වැනි දැවැන්ත වසංගතයක් තිබී නොව රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා ම රටට බෝ කළ යහපාලන වසංගතය නිසාවෙනි. මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය කඩා වැටුණේ කොවිඩ් නිසා නොව අන්තවාදය සුරතල් කළ යහපාලන වසංගතයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වූ පාස්කු ප්‍රහාරය නිසාවෙනි. කොවිඩ් වසංගතය අපට දැඩි බලපෑමක් එල්ල කිරීමට මූලික හේතුව ද ලෝකය එක වසංගතයකට මුහුණ දෙන විට අපේ රට වසර 05ක් තිස්සේ යහපාලන වසංගතයට මුහුණ දී හෙම්බත්ව සිටීම නිසා ය. 

ඒ කලියුගය අවසානයේ යහපාලන ක්ෂාපාලකයින්ට උදම් අනන්නට ඉතිරි වුණේ ජිනීවාවල දී බැරක් ඔබාමා සිරිසේන අසලට පැමිණ කතා කිරීම, රුපියල් පහ සමග කහ ඉර සුදු කිරීම වැනි විහිළු කිහිපයක් පමණි. ඒ ව්‍යසනය එදා නොදුටු ජනතාව ද එක්ව අවසානයේ යහපාලන ආණ්ඩුව ගෙදර යැව්වේ එජාපයට යන එන මං නැති කරමිනි. ශ්‍රීලනිපයට පොහොට්ටුවේ එල්ලීම නිසා යන්තම් පණ නළ ගැටගසා ගැනීමට හැකි විය. මේ ව්‍යසනය එදා නීලා වික්‍රමසිංහ ඉතා ම නිවැරදිව දුටුවාය. ඒ වෙනුවෙන් ඈ හඬ නැගුවාය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඒ කලාකාරිනිය තුළ තිබිණි. නීලා වික්‍රමසිංහ කලාකාරිනියට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමි.

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ

මා රඳවා පියවර මැන්නේ ....

හෙළා සුසුම් රැළි දුක සඟවන්නෙමි

මා කතරක තනි වූ වැන්නේ ....

බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ ....

නාමල් උඩලමත්ත


දුම්රිය අසේවයට විසඳුම ජනතා බදු මුදලින් කප්පම් ගෙවීම ද?

කොවිඩ් වසංගතයෙන් දෙවසරක් බැටකෑ රට සාර්ථක එන්නත්කරණයත් සමග නැවත හිස ඔසවමින් ඇත. පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටුණු සංචාරක කර්මාන්තය මෙන් ම අපනයනාභිමුඛ නිෂ්පාදන ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර සිය සුපුරුදු රිද්මයට පැමිණෙන ලකුණු දක්නට ඇත. අපගේ අපනයන ආදායම කොවිඩ් වසංගතය මැද වුව පසුගිය වසරේ වාර්තා කර තිබුණේ ඉතිහාසයේ ඉහළතම අගයයි.

වසංගතයක් සමග යළි පිබිදෙන රටට රටේ රාජ්‍ය අංශය සිය උපරිම දායකත්වයේ ඉන්ධන ලබා දිය යුතු වුව ද සිදුවන්නේ එහි අනික් පැත්තය. වාර්ෂිකව රුපියල් බිලියන දෙකක ආදායමක් උපයමින් රුපියල් බිලියන 10ක ජනතා බදු මුදල් ගිලින ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒ සඳහා කදිම උදාහරණයකි. වෘත්තීය සමිති පිළිකාව හැම අතම පැතිර ගිය දුම්රිය සේවය මේ රටෙන් සහ ජනතාවගෙන් පළිගනිමින් ඇති බව කනගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුතුමය.

දුම්රිය සේවය දිගට ම පාඩු ලැබුව ද එහි සේවකයෝ දීමනා අතිකාල ඇතුළත්ව අති විශාල පඩියක් ලබති. එහි සුළු සේවකයෙකුගේ පවා ආරම්භක වැටුප රු. පනස්දහසකට ආසන්නය. දුම්රිය රියදුරෙකු සාමාන්‍ය මාසික වැටුප රු. ලක්ෂ දෙකහමාරත් තුනත් අතර පවතින අතර මෙවැනි ඉහළ වැටුප් ලබන ලංකාවේ ඇති අනෙක් එකම රාජ්‍ය සේවය වෛද්‍ය සේවයයි.

මේ ආකාරයට මහජන මුදල් දුම්රිය නඩත්තු කිරීම සඳහා වෙන් කළ ද එය දිනෙන් දින ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වන ආකාරය පිළිකුල් සහගතය. එක දිනයක රියදුරන් ද තවත් දිනක දුම්රිය ස්ථානාධිපතිවරුන් ද තවත් දිනක දුම්රිය නියාමකවරුන් ද ඊට පසු සුළු සේවක හෝ කම්කරු ද වශයෙන් වර්ජන ක්‍රියාත්මක කරති. මේ වර්ජන රැල්ල විසින් කිසිදු ආයතනයක් රජයට පවරා ගැනීමට හෝ කතා කළහොත් ඊට එරෙහිව ජනතාව පාරට බසින තත්ත්වයට රාජ්‍ය සේවය එපා වී ඇත. හිඟුරාන සීනි සමාගම නැවත රජයට පවරා ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සිදුකළ ප්‍රකාශයට එරෙහිව දහස් ගණනක් මහ පාරට බැසීම ඒ සඳහා හොඳ ම උදාහරණයකි.

කිසියම් වර්ජනයක් ආරම්භ කිරීමට පැය 24කට පෙර ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු වුව ද මෙම කල්ලිය ධාවනය වන දුම්රිය අතරමග කැළෑවල නතර කර දමා වර්ජන ආරම්භ කරමින් ම්ලේච්ඡත්වයේ උපරිම සීමාවට පැමිණෙන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. මේ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා අසරණ වූ ජනතාව සිය දරු මල්ලන් ද බඩු පොදි ද අතින් කටින් එල්ලා ගෙන දුම්රිය පාර දෙපස කැළෑ බිඳගෙන පිළිසරණක් සොයා යන ආකාරය බලා සිටිය නොහැකි තරම් හද කම්පා කරවන සුළුය. ඒ අතර මේ රටට පැමිණි සංචාරක පිරිස් ද දක්නට ලැබුණු අතර ඔවුන් අපේ රට පිළිබඳ ලෝකයට රැගෙන යන පණිවිඩය කෙතරම් අප්‍රසන්න ද?

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා සම්පූර්ණයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවන අවස්ථාවක එල්ල වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට කිසිවෙකුට දඬුවම් ලැබෙන්නේ නැත. වෘත්තීය සමිති මාෆියාව වනසා දමා ඇති දුම්රිය සේවය වහා ම පෞද්ගලීකරණය කිරීම හැර කිසිදු විකල්පයක් මේ වන විට ඉතිරි වී නොමැති බව අපේ හැඟීමයි. මහජන බදු මුදල් පොම්ප කරමින් නඩත්තු කරන දුම්රිය සේවකයින් තව දුරටත් රටට සේවයක් ලබා නොදෙන පසුබිමක ජනතාවගෙන් සහ රටෙන් එළව එළවා පළිගන්නා පසුබිමක මහජන මුදල් පුච්චමින් මේ සාපරාධී ආයතන නඩත්තු කිරීම මේ රටේ ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි.

සෙසු රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳින දුම්රිය සේවකයින් තමන්ට කන්න අදින්න ලබා දෙන ආයතනය වැඩි දියුණු කිරීමට හෝ එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලීමට වෙහෙසෙනු වෙනුවට ඊනියා අයිතිවාසිකම් ඉල්ලමින් ෂයිලොක් තියරියට වැඩ කරද්දි ආණ්ඩුව ඔවුන් ඉදිරියේ දණ ගැසීම ආණ්ඩුව ලද ජනවරමට ද සිදුකරන ද්‍රෝහිකමකි. එහෙයින් මේ අනවශ්‍ය බරින් ජනතාව මුදා හැරීම පාලකයින්ගේ වගකීමකි. 

දුම්රිය සේවය පෞද්ගලීකරණය හෝ අර්ධ රාජ්‍ය සේවයක් බවට පත්කර එහි ආදායමින් එය නඩත්තු කළ යුතුය. එවිට හිතුමතේ වර්ජන කරමින් මගී ජනතාව අපහසුතාවට පත්කරමින් මාසේ අන්තිමට සුපුරුදු ලෙස පිං පඩි ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර අපි හම්බ කළොත් අපි කනවා තියරියට අනුව සිය සේවය විධිමත් සහ උපරිම ආකාරයෙන් ජනතාවට ලබා දෙනු ඇත. එවිට මේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලය නතර වනු පමණක් නොව රටට ජාත්‍යන්තරය සමග සමතැන් ගන්නා දියුණු දුම්රිය සේවයක් ද ලැබෙනු ඇත.

නාමල් උඩලමත්ත

 
සිය රට දේ සිරි සැප දේ !